Mahinda:70 පිරුණු පසු කොහාටද?

 

 

mahinda copyමහින්ද රාජපක්‍ෂ මහතාට මේ සතියේ අවුරුදු හැත්තෑව පිරුණි. 69වැනි අවුරුද්දත් 70වැනි අවුරුද්දත් අතර වෙනස කෙතරම්දැ’යි ඔහුට පහුගිය දිනවල කල්පනා වන්නට ඇත. යම් හෙයකින් ඔහු බලාපොරොත්තුව සිටිය ආකාරයට 70වැනි ජන්ම දිනයේත් ජනාධිපතිව හිටියා නම්, මේ දිනවල ඔහුටත් රටටත්, ඔහුගේ ගජමිතුරන්ටත් රජමඟුල්ය. ආගමික පුද පූජා ඉවරයක් නැත. රාජ්‍ය උත්සව ඉවරයක් නැත. ආණ්ඩුවේ මුදල් වියදම් කර මහින්දට සුබපතා පළකරන දැන්වීම්වලින් පත්තර පිටු පිරී යනු ඇත. ඒ දැන්වීම්වල කොමිස් මුදල්වලින් එම ආණ්ඩුවේ ආයතනවල නිලධාරීන්ගේ සාක්කුද යහමින් පිරී යනු ඇත. (මේ කාලයේ මහින්ද රාජපක්‍ෂගේ ආශ්චර්යය ගැන පත්තරවලට ලියන මහත්මයෙක්, ඒ කාලයේ ආර්ථික සංවර්ධනයට සම්බන්ධ අමාත්‍යාංශයක සේවය කරද්දී එම අමාත්‍යාංශයෙන් මාධ්‍ය වලට දෙන හැම දැන්වීමකින්ම අඩු ගණනේ සියයට පහක කොමිස් මුදලක් ප‍්‍රසිද්ධියේම තමාට ලබාගත්තේය.)

දැන් ඒ කිසිවක් නැත. බලය අහිමිවීමෙන් හුදෙකලාව ඉන්නා මහින්දට වගේම ඔහු වටා සිටි ගජමිතුරන්ටද දැන් අත්වී ඇත්තේ නරක කාලයකි. බලය අහිමිවූ වහාම තංගල්ලට මහින්ද බලන්නට බස් ගණන් පිරී ආ ජනතාවද දැන් නැත. ඒ කාලයේ කීවේ කිසිම පරාජය වුණු නායකයකුට මේ තරම් ජන හරසරක් ලැබී නැති බවය. එහෙත් ඒවා තාවකාලික බව දන්නෝ දැනසිටියහ. මේ ආකාරයෙන් එක්තරා ආකාරයකට සමාජයෙන් කොන් වී සිටින මහින්ද රාජපක්‍ෂ මහතා මානසිකව දුර්වල වන විට ශාරීරිකවද දුර්වල වන්නේය. එය මිනිස් ස්වභාවයයි. රටේ රජකු ලෙස සිටි මානසිකත්වය නැති වන විට, ශරීරයටද එය බලපායි. එහෙම වන විට ශරීරයේ නිදන්ගත අතුරු අන්තරාද හිස ඔසවන්නට බලයි.

බලය ඇති කාලයේ මහින්ද පෙන්නුම් කරන ලද්දේ ශාරීරික ව්‍යායාම්වල යහමින් යෙදෙන, සෞඛ්‍ය සම්පන්න දැවැන්ත පෞරුෂයකින් යුත් කෙනෙකු ලෙසය. එහෙත්, දැන් ඔහුගේ හැසිරීම ඒ සියල්ලටම පරස්පරය. මහජනයා ඉදිරියේ දැන් පෙනීසිටින ඔහුගේ ශරීර භාෂාව ප‍්‍රකට කරන්නේ, ඔහු වනාහි කිසියම් පිරිසක් විසින් අමාරුවෙන් ඔසොවාගෙන යන ශරීර කූඩුවක් පමණක් බවය. ඔහුට වැඩි වේලාවක් සිටගෙන ඉන්නට බැරිය. බිම ඉඳගන්නට බැරිය. අන් අය විසින් අධ්‍යක්‍ෂණය කරන තිරනාටකයකට අනුව දුබල සිරුරකින් යුතුව පෙනීසිටීම පමණක් ඔහු කරනු පෙනේ. මේ හුදෙක් මහින්දට පමණක් විය හැකි දේ නොවේ. ඔහුගේ තත්ත්වයට පත්වන ලෝකයේ ඕනෑම බලවත් පුද්ගලයකුට අත්විය හැකි සාමාන්‍ය ඉරණමේ කතාවයි. –

ravaya

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.