A innings well played:අමරසේකරට 86ක්

ගුණදාස අමරසේකරයන් සිය ජීවිතයේ 86 වන වියට ප තබන්නේ පේරාදෙණි  සාහිත්‍ය කෙතේ අපුරුව විදහා පාමිනි.

තම කවිකම ගැන අමරසේකර කීවේ මෙසේය

මම කවියෙකි හදැති සසල
ලොසත සියලු දුක වළඳන
එදුක ලොවට කියනු විනා
නොමැත මසතු අන් යුතුකම

 

 

ඒ සිතැඟි ඇතුව දිගු මගක් පියමන් කල අමරසේකරයන් ගැන ලියන තවත් වෙදදුරෙක් කියන් නේ ඔහු තරුණ වැඩි බවයි.

 

ඔබගෙන් පසු පරපුරකදි
ඔබ විඳි සරතැසම විඳින
මගෙ දිවියට නිරතුරුවම
පහන් ටැඹක් වූවා ඔබ

නිතියෙන් මා හද වෙලනා
දහසක් පීඩා අතරේ
රටට දැයට ඇති බැති පෙම
ඔබෙන් උගත් සිරිතකි මා

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි කියයි තව දුරටත් මෙසේ

 

අසූ හය වසක් වුනාට
ඔබ තරුණයි අපට වැඩිය
බුදුන් වඳින දෝතින් වැඳ
ඔබට සුභාසිරි පතනෙමි

 

අමරසේකරයන්ට නිදුක් නිරෝගි හෙටක් පතන අතර පේරාදෙණි බිම් පියසේ ගෙවුනු සුන්දර දවස් වල අතීතය මෙනෙහි කරමින් සරත්චන්ද්‍රයන් හා ගත කල සමය දෙස බලන මේ සටහන තබමු මෙතැන.

මගේ කවිවල හොඳම රසිකයා සරච්චන්ද්‍රයි

ගුණදාස අමරසේකර
දිවි ම‍ඟෙහි සැඩ සුළං
හෙණ ගිගුම් කළු වලා
අතරතුර නොසැලෙමින්
නඟා ගත් හිස ඇතිව
නැඟුණු රන් කොත් අයුරු
මොහු ද නොසැලී සිටියි…
රාමනාදන් ශාලාවේ වහලයේ රන්කොත සරච්චන්ද්‍රයන්ට උපමා කරමින් ‘රන්කොත’ නම් කාව්‍ය රචනා කරන ගුණදාස අමරසේකරයන් තරම් සරච්චන්ද්‍රයන්ගේ ජීවන ගමන ගැන විග්‍රහයක යෙදෙන්නට සුමට වූ කෙනෙක් පිළිබඳ මා මතකයට නොනැ‍ඟේ. අමරසේකරයන්, සරච්චන්ද්‍රයන්ගේ භාව පූර්ණ, රස පූර්ණ නිර්මාණකරණයේ සැබෑ ස්වරූපය පිළිබඳ සවිඥානික ව පුද්ගලබද්ධ විචාරයකින් තොර ව ඒ නිර්මාණයන්ට පසුබිම් වූ සමාජ, ආර්ථික, දේශපාලන කියැවීම ද මේ සංලාපය ඔස්සේ මැනවින් අවධාරණය කරයි. සරච්චන්ද්‍රයන්ගේ සාර්ථකත්වයට තුඩු දුන් කාරණා මෙන් ම ඔහුගේ පැවැති දුර්වලතා ද පමණක් නොව ඔහු එක්තරා යුගයක් නියෝජනය කරන දේශීය බුද්ධිමතා වශයෙන් ද හේ මෙහිදී සරච්චන්ද්‍රයන් හඳුනා ගනී. මේ කියැවීම බෙහෙවින් වැදගත් වන්නේ ප්‍රශස්ති හෝ නිර්දය විචාරයකින් තොර ව විචාරක්ෂියෙන් යුතු ව සරච්චන්ද්‍රයන් අවලෝකනය කරනා බැවිනි. ජන්ම ශත සංවත්සරය සමරන මේ මොහොතේ සරච්චන්ද්‍ර උපහාර කලාපයෙන් මුවදොර වදනට අමරසේකරයන් මේ ගෙන එන ආලෝකය සරච්චන්ද්‍ර කියැවීමේ නව මාන උදාකරන බැව් අවිවාදිත ය.
ඔබ සරච්චන්ද්‍රයන් හඳුනාගන්නේ 50 දශකයේ මුල් භාගයේ පමණ බව මා අසා තිබෙනවා.
නෑ. ඊටත් ටිකක් කලින්. 40 දශකයේ අගභාගයේ පමණ. ඒ කාලෙ මම හිටියෙ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ. සරච්චන්ද්‍ර මහත්තයා එංගලන්තයට ගිහින් පශ්චාත් උපාධිය නිමා කරලා ආව අලුත. එතුමා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනක් ආරම්භ කළා ‘යෞවන සමාජය’ කියලා. තරුණ පිරිස් හැටියට අපි මේකට ඒ කාලෙ කන් දුන්නා. මමත් මේ වැඩසටහනට කතාවක් යැව්වා. ‘හ‍ඳේ පෙම්වතා’ ඒකෙ නම. ඒ කතාව සරච්චන්ද්‍රයන් බොහොම අගය කරලා නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කළා. ඊට පස්සේ දිගින් දිගටම සම්බන්ධතාව ඇතිවුණා. රිජ්වේ තිලකරත්න, පී. වැලිකල ඇතුළු අපි කීප දෙනෙක් ඒ වැඩසටහන නිසා තමයි සරච්චන්ද්‍රයන් හඳුනා ගත්තේ. එතුමා ඒ කාලෙ හිටියේ ඩික්මන් පාරේ මොරිස් ඇවනිව් එකේ. අපි නිතර ම එතැනට ගියා.
විදෙස් ප්‍රකාශන සමාගමකින් පළ කළ කෙටිකතා සංග්‍රහයකට ඔබ ඉදිරිපත් කළ කෙටිකතාවක් ඉංග්‍රිසියට පරිවර්තනය කළෙත් සරච්චන්ද්‍රයන් යැයි ඔබ පුවත්පතකට පවසා තිබුණා.
ඔව්. පනහේ දශකයේ මුල් භාගයේ ලංකාදීප පත්තරේ තිබුණා ‘ජගත් කෙටිකතා තරගය’ කියලා එකක් ගැන. මමත් මේකට කෙටිකතාවක් යැව්වා. මෙහි විනිශ්චය මණ්ඩලයේ හිටියේ සරච්චන්ද්‍ර, එම්. ජේ. පෙරේරා වගේ අය. ඉතින් ඔබ කිව්වා වගේ එතුමා මගේ කෙටිකතාවක් තේරුවා පමණක් නොවෙයි එය ඉංග්‍රීසියට පරිවර්තනයත් කළා.
සරච්චන්ද්‍රයන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක් ලැබී නික්ම යාමත් සමඟ ඔබ සමඟ පැවැති ඇසුර දුරස් වූවා ද?
සරච්චන්ද්‍රයන් මුලින් ම හිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ, පාලි අංශයේ. සිංහල අධ්‍යයන අංශයේ නොවෙයි. ඔහු දර්ශනශූරී උපාධිය කළෙත් බෞද්ධ දර්ශනය විෂයෙන්. ඊට පස්සෙ තමයි පේරාදෙණිය සිංහල අධ්‍යයන අංශයට ගියේ. සරච්චන්ද්‍ර කියන මේ පුද්ගලයා ඒ යුගය, ඒ සමාජය ඒ අවදිය මත තබලා සලකා බැලීම ඉතා වැදගත්. සරච්චන්ද්‍ර මහත්මයා ගැන ගැඹුරින් අවබෝධයක් ලබාගන්න නම් ඒක අවශ්‍යයයි. මම හිතන හැටියට සරච්චන්ද්‍ර කියන්නේ පුද්ගලයකුට වඩා එක්තරා යුගයක, එක්තරා බලවේගයක සංකේතයක් වැනි පුද්ගලයෙක්. එය අපි ගැඹුරින් වටහා ගත යුතුයි. බොහෝ දෙනකුට මේක තේරෙන්නෙ නැහැ. තවත් නාට්‍යකාරයකු, නවකතාකාරයකු විදියටයි අනෙක් අයට එතුමාව පෙනෙන්නේ.
මම හිතන හැටියට මේ රටේ ඉංග්‍රීසිකාරයන් ව්‍යාප්ත කරපු අධ්‍යාපනයෙන් පහළ වෙච්ච පළමුවැනි බුද්ධිමතා සරච්චන්ද්‍රයන්. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වගේ අය ඉංග්‍රීසි ඉගෙන ගත්තට ඉංග්‍රීසිකාරයන් විසින් මෙරට ව්‍යාප්ත කරපු ඔවුන්ගේ අධ්‍යාපනය ලබලා බිහිවෙච්ච අය නොවෙයි. එසේ බිහි වූ පළමු බුද්ධිමතා, ප්‍රාඥයා සරච්චන්ද්‍ර කියලා මම හිතනවා. මෙය වර්තමාන පරපුර දැනගත යුතු කාරණයක්. අධිරාජ්‍යවාදීන්ගේ අරමුණ වුණේ ඔවුන් අනුව යන අධිරාජ්‍යවාදී ගැති පිරිසක් අධ්‍යාපනය මඟින් බිහි කරගන්නයි. මේ රටේ විශ්වවිද්‍යාල පටන් ගත්තේත් ඒ අරමුණින්. එහෙම නැතිව රට ගැන, ජාතිය ගැන අවධානය යොමු කරපු බුද්ධිමතුන් පිරිසක් බිහි කිරීම නොවෙයි ඔවුන්ගේ අරමුණ වුණේ. ඉතින් ඒ අවදියේ තමයි සරච්චන්ද්‍ර කියන මේ පුද්ගලයා අපට හමුවෙන්නේ. ඒ අවදියේත් මේ රටේ හිටියා උසස් පන්තියක්, ඒ වගේම උසස් මධ්‍යම පන්තියක්. මේ අයට තිබුණේ රට ගැන, ජාතිය ගැන හැඟීමක් නොවෙයි.
ඒ පෙළැන්තියේ බොහෝ අයගේ ඒකායන අරමුණ වුණේ සිවිල් සේවයට එකතු වීම. නමුත් සරච්චන්ද්‍රයන් මේ ජනප්‍රිය මාර්ගය ප්‍රතික්ෂේප කරනවා.
ඒ කාලේ සිවිල් සේවයට එකතු වෙනවා කියන්නේ ජීවිතයේ මුදුන් පෙත්තට ළඟාවුණා වගේ හැඟීමක් තිබුණු කාලයක්. ඒක පිටුදැකපු එක ම පුද්ගලයා සරච්චන්ද්‍රයන්. එවැනි තීරණයක සිටීම ඒ කාලේ ඉතා අසීරු දෙයක්. නමුත් ඔහුට අවශ්‍ය වුණේ සිවිල් සේවයට යන්න නොවෙයි.
නමුත් ඔහු සිවිල් සේවා තරග විභාගය සඳහා පෙනී සිටිනවා.
ඔව්. මවුපියන්ගේ බල කිරීම මත එතුමා තරග විභාගය සඳහා පෙනී සිට තිබෙනවා. ඔහු ප්‍රශ්න පත්‍රවලින් ඊට සුදුසුකම් ලැබුවා. හැබැයි වාචික පරීක්ෂණයට යද්දි ඔහු නේරු කැප් එකක් දාගෙන ගිහින් තියෙනවා, ඒ මේකෙන් ගැලවෙන්න හිතාගෙන. ඔහුට එත­ැනදි ලකුණු පහයි ලැබිලා තියෙන්නේ. 5 ක් දීලා තියෙන්නේ ඊට වැඩිය ලකුණු දුන්නානම් තේරෙන නිසාලු. ඔහුත් එක්ක එකටම හිටිය එම්. ජේ. පෙරේරා, ඩී. ජේ. දයාරත්න වගේ අය සිවිල් සේවයට ගියා. ඒ වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන්න තරම් සරච්චන්ද්‍රයන් ආත්ම ශක්තියක් හා ප්‍රඥාවක් තිබුණු කෙනෙක්.
ඒ යුගයේ පහළ වුණු ඉංග්‍රීසි අධ්‍යාපනය ලබපු පුද්ගලයකුට මේ වගේ ආකල්පවලින් යුතු ව, අධිරාජ්‍ය ගැති මනසින් තොර පුද්ගලයෙක් හැටියට නැඟී සිටින්නට හැකිවීම සුවිශේෂී සිද්ධියක් හැටියට අපට දැකිය හැකියි. දැන් වගේ පරිපාලන සේවය ඒ කාලේ පහතට වැටිලා තිබුණේ නැහැ. මධ්‍යම පන්තියෙන් ආව අයට සිවිල් සේවයට තේරෙනවා කියන්නේ හතරමහ නිධානෙ පහළ වුණා වගේ. මහ විශාල දෑවැද්දක් එක්ක ගැහැනියක් විවාහ කරගෙන සමාජයේ ඉහළින් වැජඹෙමින් කාලය ගෙවාගන්න සිවිල් සේවය ඒ කාලේ බොහොම ප්‍රයෝජනවත් වුණා. එතුමා මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නට තරම් ආත්ම ශක්තියක් තිබු පුද්ගලයෙක්. මේ වගේ බුද්ධිමත්තු ඒ කාලේ අවශ්‍ය වී තිබුණා. එහි පළමුවැනියා වශයෙන් සරච්චන්ද්‍රයන් හඳුන්වා දිය හැකියි.
සරච්චන්ද්‍රයන්ගේ ‘Sinhalese Novel’ කියන පොතේ සිංහල හා ඉංග්‍රිසි යනුවෙන් නවකතාව වර්ග කළා ම සිංහල නවකතාව කියලා එකක් තියෙනව ද කියලා බොහෝ අය එතුමාගෙන් විමසා තිබුණා.
මට මතකයි සරච්චන්ද්‍ර මහත්තයා මේ පොත අතින් වියදම් කරගෙන ද කොහේද මුද්‍රණය කළේ. පසුව ගුණසේන සමාගමෙන් මුද්‍රණය කළා. මුල් කාලේ එතුමා මේ පොත බෙදා දුන්නාලු කියවන්න කියලා. එහෙම කියවපු අය අහලා තියෙනවා සිංහල නවකතාව කියලා එකක් තියෙනව ද කියලා. ඒකෙන් අපට පේනවා මොන තරම් අධිරාජ්‍යවාදී මනසක් ද තිබුණේ කියලා. අන්න ඒ නිසා තමයි මම කියන්නේ, සරච්චන්ද්‍රයන් පුද්ගලයෙක් නොවෙයි, එක්තරා යුගයක්, එක්තරා සමාජ බලවේගයක් ප්‍රතිමූර්ති කළ ප්‍රාඥයෙක් හැටියට හැඳින්විය හැකියි කියා. එහෙම බිහිවුණු පළමු පුද්ගලයාත් සරච්චන්ද්‍රයන් කියලා මම කියන්නේ ඒකයි.
ඔබ මේ සඳහන් කරන කාරණා ඔබේ ජීවිතයට කළ බලපෑම ගැන කතා කළොත්.
ඔහු මගේ ජීවිතයට විශාල බලපෑමක් කළා. අපේ ජීවිතයේ පරමාර්ථය විය යුත්තේ අධිරාජ්‍යවාදී ගැතිවීම නොවේ ය, මේ රට වෙනුවෙන් සේවයක් කරන්න අපට පුළුවන් ය කියන අවධානය අප වෙත යොමු කළ පරමාදර්ශී චරිතයක් සරච්චන්ද්‍රයන්. ඒක මගේ ජීවිතයට හුඟක් බලපෑම් කළා. අපේ පරමාර්ථය ඉගෙන ගෙන ලොකු රස්සාවල් කරලා ලොකු පවුල් වලින් කසාද බැඳගෙන වැජඹෙන්න නොවේ ය ඊට වඩා උසස් පරමාර්ථ අපට තියෙනව ය කියන එක අපේ මනසට වැටුණේ ඔහු නිසා.
සරච්චන්ද්‍රයන් අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් හඳුන්වා දීමේ ප්‍රමුඛයා බවට පත් වෙනවා. මෙය ලාංකේය නාට්‍ය වංශකතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකියි.
එතුමා කළ විශිෂ්ට ම සේවය තමයි සිංහල නාට්‍ය කලාවක් බිහි කිරීම. ඒක ජාතික අවශ්‍යතාවක් වෙලා තිබුණේ. නොයෙක් නාට්‍යකරුවෝ ඒ කාලෙ හිටියා, ජෝන් ද සිල්වා ඇතුළු ව. මේ අය අතරින් සරච්චන්ද්‍රයන් තමයි අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් බිහි කළේ.
මෙතන්දි එක්තරා ප්‍රශ්නයක් මතු වෙනවා. ඔහු නාට්‍ය බිහි කළේ ගැමි නාට්‍ය ආශ්‍රයෙන්. අපේ ගැමි නාට්‍ය, තොවිල් පවිල්, නාඩගම් ආශ්‍රයෙන්. හැමෝම නඟන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපට නාට්‍ය කලාවක් තිබුණේ නැති ය, සරච්චන්ද්‍රයන් ගැමි නාට්‍ය ආශ්‍රයෙන් පළමුවෙන් ම නාට්‍ය කලාවක් බිහි කළා ය කියන එක. මම හිතන්නේ එහෙම දෙයක් කරන්න අමාරුයි කියලයි. ගැමි නාට්‍ය කියන එක බොහෝ විට බිහිවෙන්නේ විදග්ධ නාට්‍යයක් ඇසුරෙන්. විශේෂයෙන් ම අපේ ගැමි කවිය ගත්තොත් යශෝදරාවේ එහෙමත් නැත්නම් වෙස්සන්තර කතාවේ අපට පෙනෙනවා ඒවා අර කෝට්ටේ යුගයේ ‘ගුත්තිලය’ වගේ විදග්ධ කාව්‍යවලම දිගුවක් වගේ කියලා. නැත්නම් විදග්ධ කලාව ජනතාව අතට පත් වුණාම බිහිවුණු දෙයක් වගේ. ඒ දෙක අතරේ ලොකු වෙනසක් ඇත්තෙ නැහැ. ගැමි නාට්‍යයේ වුණත් තියෙනවනේ යම් යම් විදග්ධ ලක්ෂණ. අපිට කියලා විදග්ධ නාට්‍ය කලාවක් මේ නිසා නොතියෙන්න විදියක් නෑ. ඇත්ත වශයෙන් ම සරච්චන්ද්‍ර මහතා මේවා පාවිච්චි කළා, එහෙමත් නැත්නම් ප්‍රතිනිර්මාණයක් කළා. අලුතින් කළ දෙයක් නෑ. ප්‍රතිනිර්මාණයට අවශ්‍ය දේවල් ගැමියන් ලබන්න ඇත්තේ එදා සමාජයෙන්.
ඔහු වඩාත් සුමට ලෙස භාවිතයේ යෙදුණේ කාව්‍යකරණයේ බව ඔබ නිතර අවධාරණය කරන්නක්. ඔබේ ‘සිංහල කාව්‍ය සම්ප්‍රදාය’ කෘතියේ එදා මෙදාතුර පහළ වූ කවීන් තිදෙනා ලෙස තොටගමුවේ රාහුල හිමි, මුනිදාස කුමාරතුංගයන් හා සරච්චන්ද්‍රයන් නම් කිරීමට තරම් එතුමාගේ කාව්‍යකරණය පිළිබඳ ඔබට ඇල්මක් තිබෙනවා.
ඇත්ත වශයෙන් ම ඔහුට පුදුම කවි ශක්තියක් තිබුණා. ඔහුගේ නාට්‍යවල තියෙන්නෙත් ඒ කාව්‍යාත්මක ආභාසය. ඒකට බලපෑම් කළ දෙයක් තමයි එතුමාට තිබුණු සිංහල භාෂාවේ කාව්‍යයට අදාළ ව්‍යංජන ශක්තිය පිළිබඳ ගැඹුරු අවබෝධය. ඔහුගේ නාට්‍ය ගීත අරන් බැලුවම පේනවා ඒවා මොන තරම් විශිෂ්ට කාව්‍ය නිර්මාණ ද කියන එක. මුනිදාස කුමාරතුංගයන්ටවත් තිබුණේ නැහැ, සරච්චන්ද්‍රයන්ට තරම් සිංහල භාෂාවේ ව්‍යංජන ශක්තිය පිළිබඳ අවබෝධයක්. ඒ නිසා මූලික වශයෙන් සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ අතරින් අප වඩාත් අවධානයට ලක්කළ යුතුයි, ඔහු දෘෂ්‍ය කාව්‍ය රචකයෙක් ලෙස.
සරච්චන්ද්‍රයන්ට නාට්‍යකරණයේ දී බටහිර නාට්‍ය ආභාසයක් තිබුණා යැයි ඔබ සිතනව ද?
මට එහෙම හිතෙන්නෙ නැහැ. මම හොඳට දන්නවා බටහිර නාට්‍ය ඇසුරෙන් තමයි සිංහල නාට්‍ය ගොඩනැඟිය යුතු කියලා ඔහු මුල් කාලෙ සිතුවා. දෙබස් නාට්‍යයෙන් අපේ නාට්‍ය බිහි කරන්න පුළුවන් කියලයි ඔහු සිතුවෙ. ඔය දෙබස් නාටකය කියන එක ඇත්ත වශයෙන් මෑත යුගයේදී විශේෂයෙන් බටහිර නවකතාව බිහිවීමෙන් පසුව ඇතිවුණු ආකෘතිකයක්. දෙබස් නාට්‍ය කියන්නේ නවකතාවේ ම දිගුවක්. නාට්‍ය කලාව ජාතියක සංස්කෘතික මූලයන් එක්ක සම්බන්ධ වෙච්ච ඊට වඩා බොහොම ඈතට දිවයන කලාවක්. බොහොම ඉතිහාසයක්, සංස්කෘතියක් තියෙන රටවල බිහිවෙන්නේ අතීතයේ ඉඳන් සම්ප්‍රදාය මඟින් ආභාසය ලැබු නාට්‍යය. ජපානය, චීනය, ග්‍රීක නාට්‍ය එහෙමයි. සරච්චන්ද්‍රයන් ඒ විදියේ නිර්මාණ කාර්යයක නිරත වීම ඉතාම වැදගත්. අපේ ගැමියන් අතර තිබුණු දෙයින් අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් බිහිකර ගත හැකි ය කියලා කල්පනා කිරීම ම වැදගත්.
සරච්චන්ද්‍රයන් ශෛලිගත නාට්‍යයේ සිරකරුවකු වුණා ද?
කොහොම ද එහෙම කියන්නේ. නාට්‍ය කියලා මම මූලික වශයෙන් හඳුනාගත්තේ ශෛලිගත නාට්‍යයයි. දෙබස් නාට්‍ය මේ මෑත කාලයේ ආව දෙයක්. දෙබස් නාට්‍යවලින් කළ හැකි මෙහෙය ඉතා සීමිතයි. ශෛලිගත, සාම්ප්‍රදායික නාට්‍ය කලාව බොහොම ගැඹුරු, රටක සංස්කෘතියත් එක්ක බද්ධ වුණු, හර පද්ධති උකහා ගත්, ජාතියේ අධ්‍යාත්මය හා බැඳුණු නාට්‍ය ක්‍රමවේදයක්.
සමාජ, ආර්ථික, දේශපාලන කියැවීමකට වඩාත් උචිත මාධ්‍ය වශයෙන් ඔබ සලකන්නේ කුමන මාධ්‍යය ද?
නවකතාවෙන් කරන්නේ මොකද්ද, කවියෙන් මොකද්ද කරන්නේ, දෘෂ්‍ය කාව්‍යයෙන් කරන්නේ මොකද්ද කියලා අප මෙහිදී සිතිය යුතු වෙනවා. දැන් නවකතාවෙන් විශේෂයෙන් ම දේශපාලන, සමාජ ප්‍රශ්න මුල්කර ගත් කියැවීමක්නෙ කරන්නේ. නවකතාව මූලික වශයෙන් පාඨකයාගේ බුද්ධිය මුල්කර ගෙනයි බිහි වෙන්නේ. බටහිර පුනරුදයෙන් පසුව බිහිවුණු බටහිර නවකතාවත් එහෙමයි. කවියයි නාට්‍යයි ඊට වඩා වෙනස් දෙයක්. ඒවායෙන් මූලික වශයෙන් කරන්නේ අපේ හදවතට ආමන්ත්‍රණය කිරීම. හදවතට ආමන්ත්‍රණය කිරීමෙන් තමයි කවියා වර්තමාන තත්ත්ව ගැන වුණත් කතා කරන්නේ. නවකතාකරුවා බුද්ධියෙන් තමයි හදවතට ආමන්ත්‍රණය කරන්නේ. රසභාව මැව්වට මූලික වන්නේ බුද්ධිය. දෘෂ්‍ය කාව්‍යකරුවාගේ මූලික අරමුණත් හදවතට ඇමතීම.
ඔබ මේ කියන නවකතාව හා කවිය අතර පැවතිය යුතු මූලික අරමුණ වත්මනෙහි මාරුවී ඇතැයි මට සිතෙනවා. කවියෙන් බුද්ධියටත්, නවකතාවෙන් හදවතටත් වශයෙන්.
ඒ දෙක නම් හරියන්නේ නෑ. නවකතාව මූලික වශයෙන් බුද්ධිය හරහා රසභාව නිර්මාණය කරන්නක්. කවියෙත්, දෘෂ්‍ය කාව්‍යයෙත් අදහස් කියා දෙයක් නැහැ. රස බවට පත්වීමක් තියෙන්නේ. නවකතාව ඊට වෙනස්.
සරච්චන්ද්‍රයන් නවකතාකරණයේ දී ඔබ කියන ක්‍රමවේදයට වඩා එනම් බුද්ධියට වඩා හදවතටයි ආමන්ත්‍රණය කළේ.
ඔහු නවකතාකරුවෙක් විදියට ඒ තරම් වැදගත් මෙහෙයක් කළා යැයි මට හැ‍ඟෙන්නේ නැහැ. ඔහු නියම වශයෙන් නවකතාකරුවෙක් කියලා කියන්නත් බෑ. මාර්ටින් වික්‍රමසිංහ වගේ නවකතාකරුවෙක් එක්ක ගත්තම ඔහු දුර්වල නවකතාකරුවෙක්. හේතුව ඔහුගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, විලාසිනියකගේ ප්‍රේමය වගේ හැම එකක් ම ගද්‍ය නොවේ පද්‍ය ගීත. නවකතාවෙන් අප බලාපොරොත්තු වෙන දේවල් ඒකෙන් ලැබෙන්නේ නෑ. ඒ දුර්වලකම සරච්චන්ද්‍රයන්ගේ නවකතා විචාරයේත් තිබුණා. විචාරයේදීත් ඔහු නවකතාවෙන් කෙරෙන කාර්යය කුමක් ද කියලා අවබෝධ කරගත්තේ නැහැ. නවකතා වශයෙන් ඔහුගේ නවකතාවල ඒ තරම් වැදගත් දෙයක් නැහැ. නවකතාවේදී කරන්නේ ඒ යුගය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරලා, ඒ යුගය පිළිබඳ ව කැඩපතක් නිර්මාණය කිරීමයි. එහෙම නවකතාවක් සරච්චන්ද්‍රයන් අතින් ලියවුණේ නැහැ. ඔහු තමන්ගේ ඒ දුර්වලතාව ටිකක් විතර හදාගත්තා ‘වල්මත් වී හසරක් නොදිටිමි’ කියන නවකතාවෙන්. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ.
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය, නවකතා ආදි කලා භාවිත ගොඩනැඟුණේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් සංසිද්ධීන් හරහා යැයි ඔබට සිතෙනව ද?
ඒක අනිවාර්යයෙන් වෙන දෙයක්. ඕනෑම නිර්මාණකරු‍වකු නිර්මාණකරණයේ දී පුද්ගලබද්ධ වීමක් සිදු වෙනවා. තමන්ගේ අත්දැකීම් තමයි නිර්මාණයට බලපාන්නේ. ඔහුගේ ශ්‍රේෂ්ඨ ම නිර්මාණය ‘සිංහබාහු’ පුද්ගලික ඛේදවාචක මුල්කරගෙන බිහි වූ බවයි බොහෝ දෙනා පවසන්නේ.
සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ වගේ නාට්‍යයක් ගත්තොත් එය ලෝකයේ අග්‍රගණ්‍ය ම නාට්‍යවලින් එකක්. මනමේට වඩා මෙය බොහොම ගැඹුරුයි. එය කේරලයේ හා ඉන්දියාවේත් පෙන්නුවා.
නවකතාකරණයේ දී සරච්චන්ද්‍රයන්ට ඔබ මතු කළ සමාජ, ආර්ථික දේශපාලන විඥානය ආගන්තුකයි කියලා හිතෙනවා.
ඒක ඇත්ත. නවකතාකරණයේ දී විතරක් නොවෙයි, සාහිත්‍ය විචාරයේදීත් ඒක වුණා. ඔහු පරිකල්පනීය ඉසව්වක ඉඳලයි නිර්මාණකරණයේ නිරත වුණේ.
සරච්චන්ද්‍රයන් විශ්වාස කළේ අපිට ස්වාධීන සාහිත්‍යයක් නැති බව නොවේ ද? ඔහු ලංකාවේ සංස්කෘතිය දුටුවේ භාරතීය සංස්කෘතියේ කොටසක් විදියටයි.
ඔහු එසේ සිතීම සම්පූර්ණයෙන් ම වැරදියි. ඒක එක හේතුවක්. වික්‍රමසිංහ එහෙම හිතුවෙ නැහැ.
ඔහු නිතර ම හිතුවෙ අපට අනන්‍යතාවක්, විචාරයක්, කලා නිර්මාණයක් තියෙනවා කියලයි. සරච්චන්ද්‍රයන් මේක අමතක කළා. ඔහු සිතුවේ අප භාරතීය සංස්කෘතියේ ම කොටසක් විදියටයි. ඒ වගේම ඔහුට දේශපාලනමය වශයෙන් දැනුමක්, අවබෝධයක් තිබුණෙත් නැහැ. බෞද්ධ දර්ශනය පිළිබඳවත් ඔහුට එහෙම බැඳීමක් තිබුණේ නැහැ.
නමුත් ඔහු තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධයට කරන්නේ බෞද්ධ දර්ශනය. ඔහු බෞද්ධ දර්ශනය වැලඳ ගත්තේ බුද්ධියෙන් මිසක් හදවතෙන් නොවේ යැයි මට සිතෙනවා.
ඒක ඇත්ත. ඔහු ඒ නිරත වුණේ ශාස්ත්‍රීය කටයුත්තකනේ. ඇත්ත වශයෙන් සරච්චන්ද්‍රයන් සියලුම විශිෂ්ට ගතිගුණත් ඔක්කොම එක්ක අපේ සිංහල, බෞද්ධ, ගැමි සංස්කෘතියෙන් බිහිවුණු චරිතයක් ය කියලා කියන්න අමාරුයි. ඒ දුර්වලතාව ඔහුගේ සියලු ම දේට බලපෑවා. දේශපාලනය, විචාරය, නිර්මාණකරණය වගේ මේ හැම දෙයකට ම බලපෑවා. වික්‍රමසිංහ වගේ චරිතයක් ගත්තොත් ඔහු ගමෙන් ඇවිත්, ගමේ ජීවත්වුණු චරිතයක්. සරච්චන්ද්‍රයන්ට එහෙම දෙයක් තිබුණේ නැහැ. අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබාගන්න ඔහු උත්සාහ කළේ බුද්ධියෙන් නොවේ, හදවතෙන්.
‘මනමේ’ වගේ නාට්‍යයක් ගත්ත ම සිංහල සංස්කෘතික ආභාසය යම් මට්ටමකට හෝ ඔහුට තිබුණා යැයි කියාත් සිතෙනවා.
ඔහුට ඒ පිළිබඳ බුද්ධිමය වශයෙන් පරිචයක් තිබුණා. හදවතෙන් ආව එකක් නොවෙයි. ඒ නිසා තමයි අපට ආගන්තුක බවක් දැනෙන්නේ.
මුල් කාලයේ පටන් තිබුණු ඔබගේ දේශපාලන නැඹුරුවත්, සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය නැඹුරුවත් ගළපා ගන්නේ කෙසේ ද?
මුල් කාලයේ මම ඔහු ළඟින් ම ඇසුරු කළා. ඒ නිසා මම ඔහුගේ අනුගාමිකයෙක් හැටියට කටයුතු කළා කියන්නත් පුළුවන්. සරච්චන්ද්‍රයන් හා වික්‍රමසිංහයන් අතරේ ලොකු වාද විවාද යද්දි මම මුලින් හිටියේ සරච්චන්ද්‍රගේ පැත්තේ. ඒත් පසුව මට තේරුණා සරච්චන්ද්‍රයන්ගේ ආකල්ප හා දෘෂ්ටිය බොහොම සීමා සහිත බව. කොටින් ම කියනවනම් එක්තරා අවදියක දී මට තේරුණා සරච්චන්ද්‍ර මහතා මූලික වුණු පේරාදෙණි සාහිත්‍යයේ කිසිම හරයක් නෑ කියලා. මේ සමාජයේ බොහොම සුළු පිරිසක් මූලික කරගෙන බිහිවෙච්ච, සෙසු මාධ්‍යයෙන් වියෝ වුණු සාහිත්‍යයක් හැටියට මට මේක දැනෙන්න පටන් ගත්තා. මේක මුළුමහත් ජනතාවගෙන් බිහිවුණු සාහිත්‍යයක් නොවේ ය කියන මට වැටහුණා. මීට වඩා සමාජයට, සාහිත්‍යයට වැඩක් කළ යුතුයි කියලා මට සිතුණා.
ඔබ පේරාදෙණි ගුරු කුලයෙන් ඈත් වීමත් එක්ක සරච්චන්ද්‍රයන් ඔබ කෙරේ දැක්වූවේ කවරාකාර ප්‍රතිචාරයක් ද?
සරච්චන්ද්‍රයන්ට පස්සෙ කාලෙදි මම එහෙම කළේ ඇයි කියලා වැටහුණා. පස්සෙ කාලෙ සරච්චන්ද්‍ර මහත්තයා ධර්මිෂ්ට සමාජය එහෙම ලියන කොට ඒ ගැන අවබෝධයෙන් හිටියේ. මුලින් ඔහු හිතුවෙ මගේ ආස්ථානය පුද්ගලික එකක් කියලයි. සරච්චන්ද්‍රයන්ට මේක තේරෙන්න කාලයක් ගියා.
ඔහු විචාරයේ දී ඉතා අවංක විචාරකයෙක්. එයට පේරාදෙණි ගුරුකුලය බලපෑවේ නැහැ.
සාහිත්‍යකරුවකු, බුද්ධිමතකු වශයෙන් ඔහු බොහෝ දුරට අවංක පුද්ගලයෙක්. සාහිත්‍ය කලා මතවාද, ප්‍රවණතා ගැන නිර්භයව අදහස් ප්‍රකාශ කිරීමේ දැඩි උවමනාව ඔහුට තිබුණා. 86, 87 ජේ වී පී කලබල තියෙන කාලෙ ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු’ කියන පොත මම ලිව්වෙ. ඔහු ඒ පොත ඉතාම ඉහළින් අගය කළා. ඔහු එය දශක ගණනාවකින් ලියවුණු හොඳ ම පොතක් කියලා වර්ණනා කළා. ඔහුගේ සාහිත්‍ය මතවාද පිළිබඳ ව තිබු අවංක භාවය හැරෙන්නට ඔහුට එහෙම ලියන්න හේතුවක් නෑ. අපේ අදහස් මතවාද නොගැළපීම වෙනම ම දෙයක්. ඒත් සාහිත්‍ය මතවාද, නිර්මාණකරණය වගේ දේවල් ඉතා අවංකව කළ යුතුයි කියලා ඔහු විශ්වාස කළා. ඒක විශිෂ්ට ගුණයක්.
ඔහුගේ අවංක සාහිත්‍ය විචාරයත්, නිර්මාණකරණයේ දී පොදු ජනතාවගෙන් වියුක්ත කලා සේවනයකුත් ඇතිවීමට බලපෑම් කළේ සරච්චන්ද්‍රයන් පෙර කී සංස්කෘතීන් දෙකේ අතරමැදියකු වීම ද?
සරච්චන්ද්‍රයන් හිතුවෙ ස්වාධීන සංස්කෘතියක් අපට නෑ කියලනේ. එතුමාට ඒ සංස්කෘතික විඥානය තිබුණේ නැහැ. සංස්කෘතික විඥානයක් නැති කෙනාට දේශපාලන විඥානයක් ඇතිවෙන්නෙත් නෑ. ඒ දෙක එකට යන්නේ. සරච්චන්ද්‍රයි, වික්‍රමසිංහයි සන්සන්දනය කරද්දී මේක හොඳට වටහාගන්න පුළුවන්. මාර්ටින් වික්‍රමසිංහ වැනි කෙනෙක් පොළොවේ මුල් එක්ක බිහිවුණු සමාජ, ආර්ථික, දේශපාලන දැනුමක් තියෙන, විඥානයක් තියෙන නිර්මාණකරුවෙක් විදියටයි අප හඳුනා ගන්නේ. සරච්චන්ද්‍ර එහෙම නැහැ. ගැඹුරු සංස්කෘතික, දේශපාලන විඥානයක් ඇතිව නොවෙයි නිර්මාණකරණයේ නිරත වුණේ. ඔබ කියන කරුණට හේතුව එයයි. ඔහුට උවමනාව තිබුණා අපේ සංස්කෘතිය හඳුනාගන්න.
හැබැයි ඔහුට ඒක හදවතින් කරන්න බැරිව ගියා. ඔහු නිරත වුණු නිර්මාණ මාධ්‍යයටත් ඒක ඒ තරම් වලංගු වුණේ නැහැ. නවකතාකරුවෙක් විදියට ඔහු දුර්වල වී සිටින්නේ ඒ නිසයි. කවියෙක්, දෘෂ්‍ය කාව්‍ය නිර්මාණකරුවෙක් විදියට ඔහු සාර්ථක වෙන්නෙත් ඒ නිසා. එයයි අප වටහා ගත යුතු වෙන්නේ. ඔහු කවියේ රස නිෂ්පාදනය වෙන හැටි හොඳට දැනගෙන හිටියා. අනෙක ඔහු විස්මය උපදවන කාව්‍ය විචාරකයෙක්. මම ලියපු කවිවලට හිටපු හොඳම රසිකයා සරච්චන්ද්‍රයි. එකම දේ ඔහු කාව්‍ය විචාරයේ ඒ හැටි නිරත වුණේ නැහැ. ඒක ඉතාමත් අභාග්‍යයක්.

 

86 විය සපූරන ඔබ තරුණයි අපට වැඩිය

 

(2015 නොවෙමිබර් 12 වැනි දා ට යෙදෙන ගුණදාස අමරසේකර ශූරීන්ගේ 86 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.