A note; ගමාච්චි ගේ පුදුම ඉස්කෝලේ

ලීලානන්ද ගමාච්චි මෑත කාලයේ අපේ රටේ යොවුන් සහ ළමා සාහිත්‍යය නව මානයකට ගෙන යෑමට මෙන් ම එහි භාෂාව පෝෂණයට ද, ජීවිත සංවර්ධන සාහිත්‍යය විවිධ ඉසවු කරා ගෙන යෑමට ද මහත් සේ දායක වූ විද්වතෙක්. එතුමා පහුගිය දාසය වැනි දා පාන්දර මිය ගියා. ඒ සිය ජීවිතයේ අසූ වැනි වසර ආරම්භයත් සමඟ. දාහත් වැනි දා දවල් එතුමාගේ කඩවත ඇල්දෙණියේ ගෙදරට මං ගියේ මගේ තාත්තාටත් ටිකක් අමාරුයි කියලා අම්මා දුන්නු පණිවිඩේට අනුව මාවතගමට යන ගමන්. කිරිබත්ගොඩ සදාකාලික ට්‍රැෆික් එකේ ඉඳලා කඩවතට යන කොට අනෝරා වැස්ස. කුඩයක් යටින් මායි දුවයි එතුමාගේ ගෙදරට පාරෙන් ඇතුළු වෙන කොටම මළගෙදර ඉඳලා ආපහු යන්න එළියට බැහැපු සරත් විජේසූරිය මහාචාර්යතුමා අපිත් එක්ක ආපහු හැරුණේ ‘එහෙනං තව ටිකක් ඉඳලා යන්නං’ කියාගෙන.

මට කලින් ආපහු ගෙට ඇතුළු වුණු එතුමාමයි, මාවයි මලිතිවයි ගමාච්චි මැතිනියට හඳුන්වලා දුන්නෙත්. මායි දුවයි ඇතුළුවෙන කොට ම ගෙදර ලයිට් ගියා. ගමාච්චි මහත්තයාගේ දේහය අපිට දකින්ඩ ලැබුණෙ පහන් එළියෙන්. තත්පර කීපයක් බලාගෙන ඉඳලා දේහයට ආචාර කෙරුවට ගමාච්චි මහත්තයාගේ මූණ හරියටම දැක්කෙ නෑ. කළුවර වෙලා නොතිබුණාට වැහි අඳුර හින්දා ගේ ඇතුළෙ අඳුරු ගතියක් තමයි තිබුණෙ. එතනම තිබුණ පුටුවක වාඩි වෙලා විනාඩියකින් ඔන්න ආපහු ලයිට් ආවා. එතකොටම තමයි මං මිය ගිය ගමාච්චි මහත්තයාගෙ මූණ දැක්කෙ. මට මුණ ගැහිලා අවුරුදු පහළොවක් තිස්සෙම වෙනස් නොවී එක විදිහටම තිබුණ එතුමාගෙ මුහු‍ණේ ශාන්ත විලාසය ඒ මොහොතෙත් එහෙමම තිබු‍ණා. මිනිස් ජීවිතයේ පරමායුෂ විඳපු එතුමාගේ ශරීර ස්වභාවය අසූ වැනි අවුරුද්දෙදිත් වැහැරුණේ නෑ. ‘හැට පැනපු තරුණයෝ’ හුඟ දෙනෙකුට තියෙන ෂුගර්, ප්‍රෙෂර් තිබුණට, එතුමාට භයානක මාරාන්තික ලෙඩ තිබුණේ නෑ.

එතුමා අපේ හොස්ටල් එකේ හිටියෙ නැති බව ඇත්ත. ඒ වුණාට හොස්ටල් කොලම මුල ඉඳන් හැමදාම කියවපු – ඒ ගැන අදහස් දක්වපු කෙනෙක් එයා. එදා අපේ හොස්ටල් චරිත අද සජීවී ව පවතින ආකාරයකියාපෑම කොලමට ජීවයක් ගෙනෙන බව මට මුලින් ම කිවුවෙ එතුමා. කොහොමත් එතුමා මට හම්බ වුණු දවසේ ඉඳන්ම මං එතුමාගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා. මගේ කාර්යාලයට මාසයකට සැරයක්වත් එතුමා ආවා. ඒ කාලය මාස දෙක තුනක් වුණු අවස්ථා තිබුණෙ කීපයයි. ඒ හුඟක් දිග පොතක් ලියපු වෙලාවට. එතුමා මිය යන්න හරියටම සතියකට කලින් ඉවර කර ගෙන ආපු පොත අපි තවම සෝදුපත් බලනවා. ඒ ඔහුගේ එකසිය දහ අටවැනි පොත. විශ්‍රාම ගියාට පස්සෙ ලේඛකයෙක් වෙලා මේ තරම් පොත් සංඛ්‍යාවක් ලියන්නේ කොහොමද? මං කියන්නේ සමහරු එක සැරේට එළියට දාන ‘පොත් දශකය’ වගේ විකාර ගැන නෙමෙයි.

 

 

ඒ වගේ තොග නිෂ්පාදනවල ගමාච්චි මහත්තයාගෙ එකම එක පොතක තියෙන තරම් නිර්මාණාත්මක – භාෂාත්මක ගුණයක් ඇද්ද? එතුමා එක වාක්‍යයක් – වචනයක් හෑල්ලුවට ගත්තෙ නෑ. පොතක වස්තු බීජයේ ඉඳන් අන්තර්ගතයේ භාෂාත්මක ඉදිරිපත් කිරීම, අවසානයේ පොතේ නිමාව ගැන පවා සැලකිලිමත් වුණා. අර මං කිවුව පොත් සංඛ්‍යාවේ කාරණයට එතුමාගේ විශේෂ ගුණයක් බලපෑවා. ඒ තමයි ඉතා ඉක්මනින් තාක්ෂණයට බද්ධ වීම. එතුමා අපි ළඟට ගෙනාපු මුල් ම පොත විතරයි අතින් ලියාගෙන ආවේ. ඒ මීට අවුරුදු පහළොවකට ඉස්සර. ඊළඟ පොත ලියන්න එතුමා ටයිප්රයිටරයක් ගත්තා. ඒකෙන් ලිවුවෙත් පොත් තුනයි. අපේ ආශ්‍රය හින්දා එතුමා වහාම පරිගණකයට එකතු වුණා. ඒ කාලේ මං එතුමාගේ ගෙදර ගිහින් පරිගණකයට අකුරු දාලා දුන්නා. මාස හයක් යන කොට එතුමාගේ ලේඛන වේගය හතර ගුණයකින් වැඩි වුණා.

පෑනෙන් ලියමින් හිටිය හුඟක් ලේඛකයෝ මේ අනුවර්තනයට නැඹුරු වුණේ නෑ. සමහරු පහුවෙලා හෙමින් හෙමින් එකතු වුණා. සමහරු අදටත් අතින් ලියනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ගමාච්චි මහත්තයා තමන්ගේ ජීවිතයේ අවුරුදු හැටක් තිස්සේ ස්ටොක් කර ගත්තු අත්දැකීම් – දැනුම – භාෂා ඥානය ඊළඟ අවුරුදු විස්ස ඇතුළත සම්පූර්ණයෙන්ම නිර්මාණාත්මකව එළියට දැම්මේ තාක්ෂණය හා බද්ධ වීමේ හෙවත් අනුවර්තනය වීමේ ප්‍රායෝගික ගුණය හින්දා කියලයි මං හිතන්නෙ. ගුරුවරයෙක් හැටියට දුෂ්කර පළාත්වල සේවයෙන් රාජකාරි ආරම්භ කරපු, මිය යන තෙක්ම සාම්ප්‍රදායික සිංහල ජාතික ඇඳුම ඇඳපු එතුමා වැනි කෙනෙකු සතු වූ මේ ප්‍රායෝගික වීමේ ගුණය මාත්, මගේ දරුවොත්, අනාගතයේ මගේ දරුවන්ගෙ දරුවොත් වගේ ම රටේ කොයි දරුවොත් ආදර්ශයට ගන්න වටිනවා.

පරිගණකය හා සිංහල භාෂාව බද්ධ වීමේ දී ඇති විය හැකි ගැටලු ගැන මීට අවුරුදු හත අටකට උඩ දී මං පත්තරවලට ලියපු ලිපි පෙළක් පොතක් හැටියට පළ කරපු වෙලාවෙ, පොතට නමක් ගැන හිත හිතා ඉන්න කොට ගමාච්චි මහත්තයා ආවා. මං කාරණය විස්තර කරන්න ගන්න කොටම එතුමා එක සැරේටම කිවුවෙ ‘ඕකට හොඳයි පරිගණක සිංහලය වගේ නමක්’ කියලා. මං තවම වැඩේ විස්තර කරලා ඉවරත් නෑ. එතුමා ක්ෂණිකව ම නම කියලත් ඉවරයි. ඒ වෙන කොට අවුරුදු හැත්තෑවත් පැනලා තිබුණුඑතුමාගේ මෙමරි කාඩ් එකේ තත්පරෙන් එහෙම වචන ගළපන්න කොයි තරම් කරුණු එකතුවක් තියෙන්න ඇද්ද? ලෝකේ එක එක පුද්ගලයාට තම තමන්ට ගැළපෙන ‘ආදර්ශ පාඨ’ තියෙනවා. අපේ ඉස්කෝලෙ ආදර්ශ පාඨය තමයි ‘අත්තාහි අත්තනෝ නාථෝ’. ඒ කියන්නෙ ‘තමන් හිසට තම අතමය’ කියන එක. ඒ වාගේ මට මතක විදිහට සරත් විජේසූරිය මහත්තයා කැමති ‘මිනිසා විනාශ කළ හැකිය. එහෙත් කිසිදා පරාජය කළ නොහැකිය.’ යන කියමනට. ඒ විදිහට මට, මගේ හිතේ වැඩ කරපු හැඟීම ආදර්ශ පාඨයක් හැටියට ඇස ගැටුණේ ගමාච්චි මහත්තයාගේ මුල් කාලේ පොතකින්. ඒ පොතේ මුල් ම පරිච්ඡේදයට එතුමා දාලා තිබුණ මාතෘකාව තමයි මගේ ආදර්ශ පාඨය. ඒ තමයි ‘හොඳටම හොඳ වීම හොඳම නැත’ කියන එක.

 

මේ මොන බම්බුවක් ද කියලා හුඟ දෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේක හොඳට කල්පනා කරලා බැලුවහම ඉතා ම වටිනා ප්‍රායෝගික ආදර්ශයක් තමයි මේකේ තියෙන්නෙ. මේ වැකියේ ‘හොඳ’ කියන වචනේ තුන් සැරයක්ම තියෙනවා. ඒ වුණාට මේකෙන් අන්තිමට කියන්නෙ මොකද්ද? සරලව ගත්තහම පේන්නෙ ‘හොඳ වෙන එක හොඳ නෑ’ වගේ. හොඳ නෑ තමයි. ඒත් ඒ ‘හොඳ’ වෙන එක නෙමෙයි. ‘හොඳටම හොඳ’ වෙන එකයි හොඳ නැත්තෙ. ඒ කියන්නෙ ‘පමණට වඩා හොඳ වීම’ තමයි හොඳ නැත්තෙ. ඊළඟට එහෙම වෙන එක ‘හොඳ නෑ’ කියන්නෙ ‘නරකයි’ කියන එකනේ. ඒ කියන්නෙ ‘පමණට වඩා හොඳ වීම නරකයි’. හැබැයි මේ වැකියේ තියෙන්නෙ ‘හොඳ නැත’ කියලා නෙමෙයි. ‘හොඳ ම නැත’ කියලා. ඒ කියන්නෙ ‘අන්තිම නරකයි’ කියන එක. එතකොට අන්තිමට ගත්තහම මේකෙ තියෙන්නෙ ‘පමණට වඩා හොඳ වෙන එක අන්තිම නරකයි’ කියන එකයි. ඉතින් මේක ආදර්ශ පාඨයක් වෙන්නෙ කොහොමද? නරක වැඩ කරන අයට මේකේ ඇති මඟුලක් නෑ තමයි. ඒ වුණාට හොඳ වැඩ කරන හොඳ මිනිහෙක් හැටියට ඉන්න කොට ඒ හොඳ වීමේ සීමාව පවත්වා ගැනීමේ ප්‍රායෝගික වැදගත්කම මේකෙන් කියවෙනවා. ඉතින් ඒක මට හොඳටම හරියනවා.සියේට සීයක් ම ප්‍රායෝගිකයි.

ගමාච්චි මහත්තයාගෙ ජීවිතේ ඉතා ම සරලයි. ජාතික ඇඳුම ඇඳලා, සෙරෙප්පු දෙකක් දාලා බස් එකේ තමයි ගමන් බිමන් ගියේ. වෙලාව ඉතාම පරිස්සමින් කළමනාකරණය කළා. අපේ කාර්යාලයට එන දවසට කලින් දවසේ බෑග් එක ලෑස්ති කරලා තියනවා. අලුත් ම පරිවර්තන පොතක් ගේනවා නම් ඒ ගොනුව සහිත පෙන්ඩ්‍රයිව් එක සහ ඒකේ මුල් පොත, බලපුසෝදුපතක් ගේනවානම් ඒ පිටපත, කලින් දවසේම බෑග් එකට දානවා. පහුවදා අඳින ඇඳුම් කලින් දවසේ මැදලා තියනවා. එන දවසේ උදේට කාලා, දවල් කෑම එක, වතුර බෝතලය, දවල්ට අවශ්‍ය බෙහෙත් පෙති බෑග් එකට දාගන්නවා. කුඩයත් අනිවාර්යයි. උදේ නියමිත වෙලාවට ම එතුමා පිටත් වෙනවා. දහයයි තිහ එකොළහ වෙන කොට අපේ කාර්යාලයට එනවා. දවල් කෑම වෙලාව එනකම් අපි කතා කරනවා. මං එතුමාගෙන් එක එක දේවල් අහනවා. එතුමා කියනවා. මං අහගෙන ඉන්නවා. අසා සිටීමේ ගුණය මට කොහොමත් තියෙනවා. දවල් කෑම එතුමා ගන්නේ මාත් එක්ක. සැහැල්ලු – පිළිවෙළ ආහාරයක් තමයි එතුමා ගන්නෙ.

බොහෝ විට මං කලින් කාලා ඉවර වෙනවා. මං වතුර බීලා ඉවර වෙන කොටම එතුමා බෑග් එකෙන්, මං කලින් සඳහන් නොකළ දෙයක් එළියට ගන්නවා. ඒ කෙසෙල් ගෙඩි දෙකක්! ‘කන්න, ඔයාටත් එක්ක ගෙනාවෙ.’ එතුමා හැම වාරයකම එහෙම කියනවා. මට එතුමාව අන්තිමට හම්බ වුණ දවසේ එතුමා කාර්යාලයට එනකොට මං එළියට යන්න ලෑස්ති වෙලා හිටියෙ. දුවගෙ ඉන්ටර්විව් එකකට එයාව එක්ක යන්න මට සිද්ද වෙලා තිබුණා. එතුමාට කනගාටුව පළ කරලා මං මගේ ගමන ගියා. පහුවදා මං කාර්යාලයට ඇවිත් කෑම මේසය ළඟට ගියාම මං වාඩි වෙන පුටුව ඉස්සරහ කවරයක දාපු කෙසෙල් ගෙඩියක් තිබුණා. එතුමාගෙ යහගුණය මතක් කරමින් මං ඒක අනුභව කළා. අනාගතයේ දී එක එක්කෙනාට එක එක ආකාරයෙන් ගමාච්චි මහත්තයාව මතක් වෙයි. මටත් ඒ ආකාරවලිනුත් එහෙම වෙයි. ඒ වුණාට ඊට අමතරව කෙසෙල් ගෙඩියක් කන හැම වෙලාවකමත් මට ගමාච්චි මහත්තයාවත්එතුමාගෙ යහගුණයත් මගේ ඉදිරි ජීවිත කාලය පුරාම මතක් වෙයි.

A note on writer leelananda Gammachi who passed awayy

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.