Assurance:ජනාධිපති ගෝථාට බය නොවන්නැයි කියයි

  • අනුර දිසානායක ඒ කාලේ ගෝඨාභයට දුරකතනයෙන් කළ ඉල්ලීම මොකක්ද?
  • 2012 දී කුමාර් මහත්තයාගේ ජායාරූප ආරක්ෂක අංශවලට දුන්නේ කවුද ?
  • ලසන්ත ඝාතනය කළේ , එක්නැළිගොඩ අතුරුදහන් කළේ කාගේ උවමනාවටද?
  • ළඟදී ජනාධිපතිතුමාව මුණ ගැහුනේ ඇයි?
ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් හෙළිකළ ගෝඨාභය රාජපක්ෂ සමඟ සත්හඬ කළ විශේෂ සාකච්ඡාව.x පසුගිය දිනක ඔබතුමා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවුණා. ඇයි හදිස්සියෙම ජනාධිපතිතුමාව මුණගැහුණේ?

මමයි ආචාර්ය පී.බී. ජයසුන්දරයි, ලලිත් වීරතුංගයි තව කිහිප දෙනෙකුයි ජනාධිපතිවරයා හමුවුණේ වත්මන් තත්ත්වය ගැන කතා කරන්න. අපි එක් එක්කෙනා වෙන වෙනමයි කතා කළේ. මම විශේෂයෙන්ම කතා කළේ ජිනීවා ප‍්‍රශ්නය සම්බන්ධයෙන් හා කොමිසම් සභා වාර්තා සම්බන්ධයෙන්. මම වැඩි වෙලාවක් කතා කළේ නෑ.

x ජිනීවා ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔබේ අදහස ජනාධිපතිවරයාට දැනුම් දුන්නා?

ඔව්. යුද්ධය කරපු නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් ඇති වන ප‍්‍රශ්න, කරදරය ගැන. එතුමා කිව්වෙ ඒ ගැන කිසිදු බයක් ඇති කරගත යුතු නැති බව. බටහිර රටවල් කෙළින්ම ඉලක්ක කරල තියෙන්නේ හිටපු ජනාධිපතිතුමායි, මාවයි ඔය ප‍්‍රධානීන් කිහිප දෙනාවයි. එහි දී කතා කළේ හමුදාව තුළ යුද්ධය මෙහෙයවපු හමුදා ප‍්‍රධානීන් ගැන. ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියල ඉල්ලූවා.

GotabhayaRajapaksha 1

x ඒ කියන්න ඔබතුමා පිළිගන්නව යුද්ධයෙ දී යම් යම් යුද අපරාධ හෝ මානව හිමිකම් කඩවීම් මේ නිලධාරීන් අතින් සිදු වූ බව?

නෑ… මම කිව්වේ… දැන් ඉලක්ක කරගෙන තියෙන්නේ මේ අයනේ. ඒ අයගේ ජීවිත පරදුවට තියලා මේක කළේ. කොහොම වුණත් මම වැඩි විස්තර එතුමා එක්ක කතා කළේ නෑ.

x යම් ආකාරයකින් ඔය නිලධාරීන් වරදක් කර තිබෙන බව නීතිය හමුවේ ඔප්පු වුණොත් ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි කියල පිළිගන්නවද?

නෑ… මම දන්නවනේ වෙච්ච දේවල්. ඔවුන් අතින් කිසිදු වරදක් වුණේ නෑ. දැන් කොමිසම් වාර්තා කියෙව්වාමත් පැහැදිලි වෙන්නේ යම් යම් සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඕනම යුද්ධයක දී ඔය වගේ සිදුවීම් වෙන්න පුළුවන්. නමුත් මං සියයට සියයක් දන්නවා මේ නිලධාරීන් අතින් වරදක් සිදු වුණේ නැති බව. මට බය නැතුව ඔවුන් වෙනුවෙන් කතා කරන්න පුළුවන්. නමුත් ඕනම හමුදාවක විවිධ මානසික තත්ත්ව තිබෙන අය ඉන්න පුළුවන්. ඒක මම දන්නවා. මාත් අවුරුදු 20ක් හමුදාවේ හිටියනේ. තමන් සමඟ ඉන්න කෙනා වෙඩි වැදිල ඇස් ඉස්සරහ වැටුණාම ඇති වෙන මානසිකත්වය ගැන හිතන්න. නමුත් අපි කවදාවත් එල්ටිටීඊ ත‍්‍රස්තවාදීන්ව ඉලක්ක කළා මිස ඉන් ඔබ්බට ගියේ නෑ. දෙමළ ජනතාවට විරුද්ධව වැඩ කළේ නෑ. අපි උත්සාහ ගත්තේ සිවිල් වැසියන්ව රජයේ පාලන ප‍්‍රදේශවලට ගේන්න. එල්ටීටීඊය ඒක වැළැක්වූවා. නමුත් අපි ඒ ආපු අයට කන්න බොන්න දීලා ඉතාමත් හොඳින් සැලකුවා.

රාජපක්ෂ ජනාධිපතිවරයාට උවමනා වෙලා තිබුණේ සියලූ පහසුකම් සහිතව කඳවුරු හදන්න. යුද හමුදාව ඒ වෙනුවෙන් කඳවුරු හදාගෙන යනකොට බටහිර තානාපතිවරු ඒකත් වැරැදියට ගත්තා. ඔවුන් හිතුවේ මේ අයව විශාල කාලයක් රඳවාගෙන සිටීමට මේවා හදනවා කියලා. ඔවුන් අපිට එවැනි චෝදනා කළා. එක්සත් ජාතීන්ගේ අයත් කිව්ව ඒවා කරන්න එපා කියල. ඒ වැඬේ අඩාළ වුණා. අපි හැම තිස්සේම වැඩ කළේ සිවිල් වැසියන් කියන අයව මුදවා ගන්න. අපේ ඉලක්කය වුණේ එල්ටීටීඊ සංවිධානය විතරයි.

මේ යුද්ධය අවුරුදු 30ක් තිස්සේ ඇදි ඇදී ගියා. විශාල දේපළ හානියක්, මනුෂ්‍ය හානියක් වුණා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ තමයි මේක ආරම්භ වුණේ. පසුව පේ‍්‍රමදාස ජනාධිපති කාලයේ දී ඉන්දියන් හමුදාව ආවා. ඔවුන්ව යැව්වා. ජවිපෙ විනාශයත් පටන් ගත්තා. මේක උග‍්‍ර වෙලා එතුමාත් මරණයට පත් වුණා. චන්ද්‍රිකා කුමාරණතුංග සටන් කරන්න ගත්තා. සාකච්ඡා කළා. සටන් විරාමවලට ආවා. මේ කාලය තුළ විවිධ දේවල් කළා. යුද්ධත් කළා. බැරි වෙනකොට කතා කරන්නත් ගත්තා. නමුත් එල්ටීටීඊය තර වුණා. අලිමංකඩ, මුලතිව් වගේ විශාල කඳවුරු කඩන් වැටුණා. උතුරේ නැගෙනහිර වැඩි ප‍්‍රදේශ ඔවුන්ගේ පාලනයට ගත්තා. අපි එනකොට තිබුණු තත්ත්වය ඒකයි. අපිට දේශීයවත් විදේශීයවත් කිව්වේ යුද්ධ කරන්න යන්න එපා කියලා. 2006 දී ඉන්දියාවේ ආරක්ෂක උපදේශක නාරායන් හමු වුණා. පැය එකහමාරක් කතා කළා. එයා එල්ටීටීඊ සංවිධානය ගැන වඩාත් දැනුමක් තිබුණ කෙනා. ඔහු කිව්වා ඔහු එල්ටීටීඊයට විරුද්ධයි. ඒත් මේක යුද්ධයෙන් පරාජය කළ නොහැකි බව ඔහු කිව්වා.

නමුත් මං එතුමත් එක්ක කිව්වේ අපේ ප‍්‍රශ්නයට විසඳුම ඕනෙ කියලා. මං කිව්වේ මේක සාකච්ඡා කරල විසඳ ගන්න ඕන තරම් අවස්ථා ඉතිහාසයේ තිබුණා කියලා. එහෙමයි එකඟ කර ගත්තේ.

x නමුත් ඉන්දියාව මේ යුද්ධයට උදව් කළේ නෑ?

අපිට හැකි වුණා ක‍්‍රමයෙන් ඉන්දියාව අපිත් එක්ක තියා ගන්න. ඉන්දියාවටත් අවශ්‍ය වුණා එල්ටීටීඊය පරාජය කරන්න. එයාල හිතුවේ ඒක කාටවත් කරන්න බෑ කියලා. නමුත් අපි කරන්න ආරම්භ කළා. අපි කරන දේත් එයාලත් එක්ක සාකච්ඡා කළා. අපි හරි මාර්ගයේ යන බව ඔවුන් දැක්කා. ඊට පස්සේ අපිට උදව් කළා. නමුත් එයාලට ආටිලරි වගේ දේවල් අපිට දෙන්න බැරි වුණා. මොකද තමිල්නාඩුවේ ප‍්‍රශ්න තිබුණා. නමුත් නැව් දුන්නා හෙලිකොප්ටර් දුන්නා. රේඩාර් දුන්නා.

GotabhayaRajapaksha 2x නමුත් ඉල්ලපු දේවල් නෙවෙයි ලැබුණේ. 3D රේඩාර් පද්ධතියක් ඉල්ලූවාම ලැබුණේ 2D පද්ධතියක්. චීනය 3D දෙන්න හැදුවාම ඒකටත් විරුද්ධ වුණා?

නෑ නෑ. එයාලට දෙන්න පුළුවන් දේවල් දුන්නා. 2D රේඩාර් ඇත්තටම ඉල්ලූවේ චන්ද්‍රිකා මැතිණිය කාලේ එල්ටීටීඊ ගුවන් තර්ජන නිසා. 3D රේඩාර් තමයි අවශ්‍ය වුණේ. චන්ද්‍රිකා මැතිණියත් චීනයෙන් ගන්න ගියා. ඉන්දියාව 2D දුන්නෙ නෑ. චීනෙන් ගන්න දුන්නෙත් නෑ. මම ආවට පස්සේ අපිට ලොකු තර්ජනයක් තිබෙන බව ගුවන් හමුදාව පෙන්නලා දුන්නා. 3D රේඩාර් අත්‍යවශ්‍ය වුණා. ඒ වාර්තාව කොමසාරිස් නිරූපමා රාඕට පෙන්නල කිව්වා, මේක දැන්මම ලබා නොදුන්නොත් චීනයෙන් ගේන්න වෙනවා කියලා. එතකොට එයා ගොඩක් කලබල වෙලා සුමාන 2ක් ඇතුළත 2D රේඩාර් 2ක් ගෙනල්ල දුන්නා. කටුනායක හා වවුනියාවේ ඒවා සවිකළා. මේක ගොඩක් ප‍්‍රයෝජනවත් වුණා. නමුත් පසුව අපි 3D රේඩාර් චීනෙන් ගෙනාවා.

x ඉන්දියාව අවංක සහයක් දුන්නද?

ඒ කාලේ ඇතුළත ශිව ශංකර් මෙනන්, නාරායන් අපිට එරෙහිව එල්ටීටීඊය පරාජය කිරීමට විරෝධයක් පළ කළේ නෑ. ප‍්‍රශ්න ඇති වුණේ යුද්දෙන් පස්සෙයි. ශංකර් හා නාරායන් අයින් වුණානේ. ඔවුන්ගේ උදව් නැතිනම් අපිට යුද්ධය අවසන් කර ගන්න ලැබෙන්නෙ නෑ.

x යුද ජයග‍්‍රහණයට ඇමෙරිකාවත් උදව් කළා?

මුල් කලයේ දී ඇමෙරිකාව සහාය දුන්නා. එල්ටීටීඊ නැව් සොයා ගන්න උදව් කළා. පස්සේ ඇමෙරිකාවේ දේශපාලන වෙනසක් ඇති වුණා. ඔබාමා බලයට ආවා. ඔබාමා එක්ක හිටියා සමන්තා පවර්, සූසන් රයිට්ස්. මේ දෙන්නා තනිකරම මානව හිමිකම් එක්ක ජීවත් වෙච්ච අය. එයාලගේ ප‍්‍රතිපත්තිවල මානව හිමිකම්වලට විශේෂ අවධානයක් යොමු කළා. බුෂ් පාලනය අවසානයේදීත් ඔබාමා එනකොටත් ඉරාක යුද්ධය සම්බන්ධයෙන් විශාල බලපෑමක් වෙලා තිබුණා. ඉරාකයට හමුදාව වැඩිපුර යොදවන්න කොංග‍්‍රසය ඉඩ දුන්නේ නෑ.

x රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ දි අනුගමනය කළේ චීනය ප‍්‍රමුඛස්ථානයේ තබාගෙන ඇමෙරිකානු විරෝධයකුත් ඉන්දියාව පැත්තකට දමා කටයුතු කිරීමේ ක‍්‍රමවේදයකුත් නෙවෙයිද?

නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. රොබට් බ්ලේක් තනාපතිතුමා මාව හමුවෙන්න ඇවිල්ලා නාවික ආරක්ෂක ගිවිසුමක් යෝජනා කළා. (ක්‍රොස් සර්විසර් අග‍්‍රීමෙන්ට්) ඇමෙරිකානු යුද නැවක් අපේ වරායට ආවාම තෙල් වතුර ලබා දෙනවා. අපේ එකක් ගියාම අපිට ලැබෙනවා. මේක අත්සන් කළොත් අපිට එල්ටීටීඊ සංවිධානයට පෙන්විය හැකියි ඇමෙරිකාව ඉන්නේ ඔබේ රජය සමඟ කියලා ඔහු පැවසුවා. මේක රනිල් වික‍්‍රමසිංහ අගමැති කාලයේදීත් ඉදිරිපත් කළා. මිලින්ද මොරගොඩ මහත්මයා තමයි මැදිහත් වුණේ. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඒකට කැමැති වුණේ නෑ, මේක අත්සන් කළොත් ප‍්‍රශ්නයක් ඇති වෙයි කියලා.

නමුත් පසුව මම ජනාධිපතිට, කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා අත්සන් කළා. ඇමෙරිකාවට ඕන වුණේ එල්ටීටීඊයට විරුද්ධව ඔවුන් අපි සමඟ ඉන්නව කියල පෙන්වන්න. මේක වුණේ බුෂ්ගේ කාලයේ දි. මේවා ගොඩක් අය දන්නේ නෑ. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ඉඳලම අපිට අවි ආයුධ යුද උපකරණ දුන්න ප‍්‍රධානම රට තමයි චීනය. පාකිස්තානයත් දුන්නා. මේ කට්ටිය විතරයි අපට ආයුධ දුන්නේ. ඉන්දියාව එදා ඉඳලම දුන්නෙ නෑ. බටහිර දුන්නෙත් නෑ. ඊශ‍්‍රායලයෙන් ගත්තු ඒවත් තිබුණා. ඒක ඇමෙරිකාවත් ඉන්දියාවත් තේරුම් අරගෙන තිබුණා. නමුත් පසුව අපි රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල වශයෙන් චීනය මත යැපීම මත ඇමෙරිකාවත් ඉන්දියාවත් මහින්ද රාජපක්ෂ රජයට විරුද්ධ වුණු බව මං පිළිගන්නවා. රාජපක්ෂ රජය පරද්දවන්න ඒක මූලික හේතුවක් වුණා.

x මං නැවතත් ජිනීවා ප‍්‍රශ්නයටම එන්නම්. ජිනීවා සහ අනෙකුත් කොමිසම් වාර්තා මඟින් මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් දේශීය යාන්ත‍්‍රණයක් යෝජනා කරනවා. ඔබ එයට එකඟද?

ඔව්… ඒකේ වරදක් නෑ. ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේත් ඒක අතහැරල දමල තිබුණේ නෑනේ. එල්.එල්.ආර්.සී. වාර්තාව අනුව වැඩ කරනකොට බටහිර රටවලූත් කැමැති වුණා. නමුත් ඔවුන් දිගටම පීඩනයක් යෙදෙව්වා. දැන් බලන්න යුද්දෙ ඉවර වුණාම තිබුණු විශාලම අභියෝගය මේ විමර්ශනයක් කරන එක නෙවෙයිනේ. මේ රජය ආවාම යුද්ධයක් නෑ, නැවත පදිංචි කිරීම් නෑ. උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්නවත් පුනරුත්ථාපනය කරන්නවත් මේ කිසි දෙයක් නෑනේ.

අපි යුද්ධය අවසන් කළ වහාම චෝදනා ගැන විමර්ශනය කරන්න ඉස්සෙල්ලා අපිට අභියෝග විශාල ප‍්‍රමාණයක් තිබුණා. ජාත්‍යන්තරයෙනුත් අපිට මුලින් දුන්නු අභියෝගය මේ විමර්ශනයන් කරන්න කියල නෙවෙයි. ලක්ෂ 3කට කඳවුරු හදන්න, මිනිස්සු පදිංචි කරන්න, බිම් බෝම්බ ඉවත් කරන්න, මේ පැත්ත සංවර්ධනය කරන්න. අපි ඒවා කිව්වට වැඩිය හොඳට කළා. මේවා මිනිස්සුන්ට අමතක වෙලා.

GotabhayaRajapaksha 3

x මෙහෙම ප‍්‍රශ්නයක් ඇහුවොත්. ඔය ජිනීවා යෝජනා ගේන රටවල් යුද්ධය කරන කාලේ බලපෑම් කළාද යුද්ධය නවත්වන්න කියලා?

යුද්ධය සම්බන්ධයෙන් බලපෑමක් නොකළත් එයාලට අවශ්‍ය වුණා ප‍්‍රභාකරන් බේරාගන්න.

x සිවිල් වැසියන් මිය යෑම ගැන කිසිම චෝදනාවක් ආවේ නැද්ද?

නෑ. සම සභාපතිවරුන්ගේ රැස්වීමේ දී ඒ අයත් එක්සත් ජාතීන්ගේ අයත් හැමදාම කතා කළේ උතුරට සීමා කරලා සිමෙන්ති යකඩ යැව්වෙ නැත්තේ ඇයි කියලා, කෑම බීම බෙහෙත් ගැන කතා කළේ නෑ. ඒවා අපි ඇති වෙන්න යවල තිබුණේ. ජන ඝාතන වුණා කියලා කියන්න සාධක තිබුණෙත් නෑ.
යුද්ධය අවසානයෙන් පසුව අපිට තිබුණු සියලූම අභියෝග ජය ගත්තා.

මේ කාලයේ දී ඊපීඞීපී, ප්ලොට්, කරුණා කණ්ඩායම වගේ අපේ මිත‍්‍ර කණ්ඩායම්වලට අපි ආයුධ දීලා තිබුණා. ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවලිනුත් ආයුධ දීලා තිබුණා. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ පැත්තට ගේන්න නම් මේ අයගේ ආයුධ ආපසු ගන්න ඕනෙ කියලා. ඒක නොගත්ත නම් අද ඉතිහාසය වෙනස් වෙලා. විග්නේශ්වරන් නෙවෙයි මහ ඇමැති ඩග්ලස්. ජනාධිපති අදත් මහින්ද රාජපක්ෂ. ඔය ඡන්ද හාර ලක්ෂයම වැටෙන්නේ මහින්ද රාජපක්ෂට. මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙක් නම් මේ වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩ කරයිද? අපි ඒ තීරණය ගත්තම ඩග්ලස් විරුද්ධ වුණා. ප්ලොට් සිද්ධාර්ථන් විරුද්ධ වුණා. මේක කළොත් ටීඑන්ඒ එක ඉස්සෙනවා. ටීඑන්ඒ කියන්නේ එල්ටීටීඊයමයි. ඒ නිසා මේක කරන්න එපා කිව්වා. මේ ඒකට වෙලාව නෙවෙයි කිව්වා.
නමුත් අපි මේක කළා. ආයුධ සේරම ගත්තා. මේක ටීඑන්ඒ එක දන්නවා. නමුත් කුහකකම නිසා මේක පිළිගන්නේ නෑ.

මේවා සේරම කළාට පස්සේ තමයි ජිනීවා එකෙන් කියන්නේ මේකත් කරන්න කියලා. වෙන අභියෝග කිසිවක් එයාලට නෑ. ඒවා ඔක්කොම අපි කළානේ. පළාත් සභාව පිහිටෙව්වා. මේවා කරන්න කලින් විමර්ශන කරන්න පුළුවන්ද?

GotabhayaRajapaksha 4

x නමුත් ආණ්ඩුව විමර්ශනයක් සඳහා ඇත්ත සූදානමක සිටින බවක්වත් පෙන්නුවේ නෑ?

ඇයි නැත්තේ. එල්.එල්.ආර්.සී. එක ගෙනාවා.

x ඒත් ඒ වාර්තාව අනුව ක‍්‍රියාත්මක වුණේ නෑනේ?

අපි ඒවයේ සෑහෙන ප‍්‍රමාණයක් ඉෂ්ට කළා. අතුරුදන් වූවන් ගැන හොයන්න පරණගම කොමිසම ගෙනාවා.

x ඒත් එළියට දැම්මෙ නෑ?

පරණගම වාර්තාව ඉදිරිපත් කරල තියෙන්නෙ දැන්. ඒත් ඒක රාජපක්ෂ ජනාධිපතිතුමානේ කළේ. මේ විමර්ශනයක අවශ්‍යතාව තියෙන්නේ ඊට පස්සෙ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ රජයට තිබුණු අභියෝගය කුමක්ද, ඒ රජය දිය යුතු ප‍්‍රමුඛත්වය කුමක්ද කියන එක අවබෝධ කර ගන්න ඕනේ. අපි ඉටු කළ කාර්යභාරය ගැන කාගෙන්වත් පිළිගැනීමක් ලැබුණේ නෑ.

x ඇමෙරිකාව, චීනය, ඉන්දියාව එල්ටීටීඊය විනාශ කරන්න රාජපක්ෂ රජය බළල් අතක් කර ගත්ත කියලා හිතෙන්නේ නැද්ද?

එහෙම අවශ්‍යතාවකුත් එයාලට තිබුණා. ඉන්දියාවට ප‍්‍රභාකරන් ලොකු ප‍්‍රශ්නයක් නිසා තමයි එයාල අපිට ඉඩ දුන්නේ. අද කවුරු මොනා කිව්වත් අපි අවුරුදු 30 ක් තිබුණු යුද්ධය සමාදාන කරලා මේ රට ගෙනා තැන ගැන හිතන්න ඕනෙ. යුද්ධයට කැමැති අකැමැති වෙන්න පුළුවන් විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් එදා සහ අද ගැන ඇත්ත තත්ත්වය කල්පනා කරල බලන්න. එදා සිවිල් වැසියෝ මැරුණා. හමුදාවේ අය මැරුණා. එල්ටීටීඊ අය මැරුණා. අද මේ එක්කෙනෙක්වත් මැරෙනවද? නෑ. එදා ගුවන්තොටුපළ සහ වරාය විනාශ වුණා. බෝම්බ පිපිරුණා. මේ තත්ත්වය අද නෑනේ. අද එක රටක් විදිහට තියෙනවා නේ.

GotabhayaRajapaksha 7

x ඔබතුමා පවසන ආකාරයට පසුගිය ආණ්ඩුවට තිබුණු අභියෝග ජය ගත්තා. එදා විමර්ශනයට සුදුසු කාලය නෙවෙයි. එහෙම නම් ඔබ හිතන්නෙ නැද්ද දැන් අර මානව හිමිකම් කඩවීම සම්බන්ධ පරීක්ෂණ පවත්වන්න උවමනා කාලය කියලා?

මම කියන්නේ යම්කිසි වැරැද්දක් වුණා කියලා කියනව නම් ඒවා සම්බන්ධ කරගෙන පරීක්ෂණයක් පැවැත්වූවාට කිසි ප‍්‍රශ්නයක් නෑ. නමුත් දරුස්මාන් වාර්තා වගේ ඒවා දැක්කාම මම දකින්නේ එතැනින් ඔබ්බට ගිය ඉලක්කයක් කරා මේ අය යන්න හදනවා කියලා. ඒකට තමයි මම විරුද්ධ. අපි සාමාන්‍ය දෙමළ වැසියන් ඉලක්ක කරලා මේ යුද්ධය කළේ නෑ. සීමාවක් නැතිව සිවිල් වැසියන් මරන්න ඉලක්ක කළේ නෑ.

එහෙම තියෙද්දී අපේ හමුදාවට එහි නායකත්වයට මේ චෝදනා ගේනවා. මේක වැරැදියිනෙ. මේ චෝදනා හදලා තියෙන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාවෙන් දීපු තොරතුරු අනුව. ඇත්ත තොරතුරු නෙවෙයි. ඔය කියන කිසිවක් සිදු වෙලා නෑ. එහෙම තියෙද්දි මේ චෝදනා කරන්නේ පදනම් විරහිතවයි.

මං අහන්නේ එල්ටීටීඊ සංවිධානයෙන් වෙච්ච ක‍්‍රෑර ක‍්‍රියා පැත්තක තියලා ඒක නවත්තපු හමුදාවට එරෙහිව අනවශ්‍ය ලෙස ක‍්‍රියා කරන්න අවශ්‍යද කියලා. අද හැම ජන කොටසකටම සාමාන්‍ය ජීවිතයක් ඇති කරල දීලා තියෙනවා. සංහිඳියාව ඇති කරලා තියෙනවා. නමුත් මේ යන මාර්ගයේ තවදුරටත් ගියොත් මේ සංහිඳියාව බිඳ වැටෙනවා. අපි මේ මොකක්ද කරන්නේ? මේක කාගේ අවශ්‍යතාවක්ද? රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවක්ද?

x ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළේ මේ පිළිබඳවද?

අපිට වැඩි වෙලාවක් කතා කරන්න ලැබුණේ නෑ. ඒත් මම ආසයි මේ කතාව එතුමා සමඟ කියන්න. මම කිව්වෙ මේ හමුදා නිලධාරීන් රටට කළේ සේවයක් කියලා. ඔවුන් ගැන බලන්න කියලා. මොකද ඔවුන්වයි මේකෙදි ඉලක්ක කරලා තියෙන්නේ.

x එතුමා ඒක පිළිගත්තාද?

එතුමා කිව්වේ කිසි දෙයකට බය වෙන්න අවශ්‍යතාවක් නෑ කියලා. මම කියන්නේ මේ ජිනීවා ක‍්‍රියාවලිය ඉදිරියට ගියොත් කොතනින් අවසන් වේවිද කියලා මට සැකයක් තියෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ රජයට මෙය පාලනය කරගන්න පුළුවන්ද? මේ රජය මේක ගැන හරි වැරැදි මතයක් ප‍්‍රචාරය කළා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තිබුණනම් මීට වඩා ලොකු බලපෑමක් වෙනවා කියලා. නෑ මේකම තමයි එන්නේ. මෙතැනින් එහාට යන්න දෙයක් නෑ.

මේක මේ රජය පිළිගත්තා. අපි හිටිය නම් අපි මේකට විරුද්ධ වෙනවා. අපි අත්සන් කරන්නෙ නෑ. අපිට එදා සහයෝගය දුන්නු චීනය, රුසියාව, මැදපෙරදිග රටවල්, ආසියාවේ රටවල් වගේම ඉන්දියාවත් එහෙනම් අපිට සහයෝගය දෙනවා මේකට ඉඩ දෙන්න එපා කියලා. යෝජනාව සම්මත කර ගැනීමත් අසීරු වෙනවා. නමුත් මේ රජය අද මේකට එකඟ වෙලා තියෙනවා. මුලින් අගමැතිතුමත් පැහැදිලිවම කිව්වා පිටරට අය ගේන්නෙ නෑ කියලා. ඒත් ඒ අය ගෙන්වන්න වෙනවානේ. අපේ නීති වෙනස් කරන්න වෙනවා. තුනෙන් දෙකකට සම්මත කරන්න වෙනවා. ජනමත විචාරණ කරන්න වෙනවා. අපිට මේවා අවශ්‍යද?

අපි බලන්න ඕනේ සිංහල, දෙමළ, මුස්ලිම් අය අතර සංහිඳියාව හදන්න. දැන් මේ වගේ විමර්ශනයක් පටන් ගත්තොත් ආරම්භයේ දි ම වෙන්නේ සිංහල බහුතර ජනතාවක් තරහා වෙන එකනේ. දෙමළ හා සිංහල කොටස් එකතු කිරීමට තිබෙන අවස්ථාව ඈත් වෙන් නැද්ද?

x නමුත් යුද්ධය නිසා අගතියට පත් දෙමළ ජනතාවට යම් සාධාරණයක් ඉටු කිරීමට තිබෙන අවස්ථාව නැති කරන්න අපිට පුළුවන්ද?

අපිට දෙමළ ජනතාවට සාධාරණයක් කරන්න පුළුවන් කොහොමද? ඇත්ත වශයෙන්ම අපි මෙතන තමයි වරද්ද ගත්තේ. අපි දෙමළ ජනතාවට යුද්ධය අවසන් කිරීම නිසා විශාල සේවයක් කරලා තියෙනවනේ. ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ ප‍්‍රදේශ සංවර්ධනය කළා. ඒ ළමයි ඉස්කෝලේ යනවා. පළාත් සභාව ක‍්‍රියාත්මක කළා. අද දෙමළ ජනතාවට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. මේක නෙවෙයිද දෙමළ ජනතාවට අවශ්‍ය?

x නමුත්…?

ඉන්නකො පොඞ්ඩක්. ප‍්‍රභාකරන් දෙමළ ජනතාව පීඩාවට පත් කරමින් ගෙන ගිය වාතාවරණෙන් මුදවලා තියෙනවා. අද මේ ගැන කතා කරන්නේ දෙමළ ජනතාව නෙවෙයි දේශපාලකයන්. හොඳයි මම කිව්වොත් මැරිල තියෙන සිංහල ජනතාව වෙනුවෙනුත් මේකම කරන්න ඕනෙ කියලා.

x ඒක විය යුතුයි?

අපි හමුදාව පැත්තකින් තියමු. සිවිල් වැසියන් කී දෙනෙක් මැරුණද! බෝම්බවලින් කොච්චර මැරුණද ගම්මානවල! අමු අමුවේ මරපු සිංහල වැසියන්ගෙ පාර්ශ්ව – ඒ වැසියෝ කිව්වෙත් ඒවා ගැනත් පරීක්ෂණ කරන්න කියලා. එල්ටීටීඊය කියන්නේ ප‍්‍රභාකරන්ලා විතරක් නෙවෙයිනේ. සම්බන්දන්ලත් එතන හිටියනේ. එකට වාඩි වෙලා වැඩ කළානේ. මේවට වගකිව යුත්තන් ඉන්නවානේ. ඒ අය ගැනත් මේ පරීක්ෂණ පවත්වනවාද? අවුරුදු 30ක් තිස්සේ වැඩිපුර මැරුණේ මේ පැත්තේ සිවිල් වැසියන් නේද? හාමුදුරුවරු මැරුණේ නැද්ද? ඒ අය වෙනුවෙනුත් සාධාරණයක් වෙන්න ඕනේ. ප‍්‍රභාකරන් මැරුණයි කියලා සිංහල අයට සාධාරණයක් වුණා කියලා කියන්න පුළුවන්ද?

x හමුදා බුද්ධි අංශ යුද්ධයෙන් පසුවත් ව්‍යාජ එල්ටීටීඊ සංවිධාන සැදීම වැනි වෙනත් ක‍්‍රියාමාර්ගවල නියැළුණු බවට චෝදනා තියෙනවා. එය සිදු වූයේ හමුදාවේ අනුදැනුම යටතේද?

ව්‍යාජ එල්ටීටීඊ සංවිධාන අපි හැදුවේ නෑ. ඇත්ත වශයෙන්ම බුද්ධි අංශ යුද්ධය අවසන් කිරීම මෙන්ම නැවත වරක් ඒක මතු වෙන්න ඉඩ නොදී අවුරුදු 5ක් තිස්සේ පවත්වාගෙන යාමත් ලොකු දෙයක්. ඒව හින්ද තමයි දැන් මේ රජය ඕන කෙනකුට පාලනය කරගෙන යන්න පුළුවන් වුණේ.

x අපි උතුර පැත්තකින් තියමු. නමුත් පසුගිය කාලයේ දකුණේ සිදු වුණු දේශපාලන ඝාතන, මාධ්‍යවේදී ඝාතනවලට සෘජුවම බුද්ධි අංශ සම්බන්ධයි කියලා මේ වන විට තොරතුරු හෙළි වෙලා තියෙනවා?

ඇත්තටම මම එක්නැළිගොඩ සිද්ධිය ගැන මොනවත්ම දන්නේ නෑ. 2010 ඉඳලා 2015 වෙනකම් ඔය වගේ සිදුවීම් කිසිවක් සිදු වුණේ නෑ. ඔය සිද්ධීන් ගැන කතා කරනවා නම් මේවා සිද්ධ වුණේ යුද්ධ කාලයේ. ඇත්තටම ඕව පිටුපස තියෙන්නේ පෞද්ගලික හේතු.

x ඒ කියන්නේ බුද්ධි අංශ නිලධාරීන් මොවුන්ගේ පෞද්ගලික හේතු මත මේ ඝාතනය කළා?

බුද්ධි අංශවල අයට වඩා වෙනත් පුද්ගලයන්ගේ අවශ්‍යතාව අනුව තමයි මේවා කළේ.

x ඔබ දන්න මේ වෙනත් අය කවුද?

ඔය නොයෙක් නොයෙක් පුද්ගලයන්ගේ අවශ්‍යතා (ඔහු සිනාසෙයි) මතයි වෙලා තියෙන්නේ. රජයේ අවශ්‍යතාවකටවත් රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවකට නෙවෙයි මේවා වුණේ. මාධ්‍යවේදීන්ට ගහපු අය ගැන දැන් කවුරුත් දන්නවා.

x නමුත් මේ සිදුවීම වුණේ ඔබ ආරක්ෂක ලේකම් කාලේ. නමුත් මේ කිසි සිදුවීමක් ගැන පරීක්ෂණ කළේ නෑ?

ඇත්ත කතා කරනව නම් ඒ කාලේ පරීක්ෂණ කරන්න පුළුවන්කමක් නෑනේ. (ඔහු සිනාසෙයි)

x එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් ඔබතුමාගේ නම සහ රජයේ ඇමැතිවරයෙක් ගැන තොරතුරු තිබෙනවා?

මාව ගාවන එක හරිම අසාධාරණයි. මම එක්නැළිගොඩ කියන්නේ කවුද කියලවත් දැනගෙන හිටියේ නෑ. ඕන්නම් දැන් මේ ගැන පරීක්ෂණ කරන නිලධාරීන්ගෙන් අහන්න පුළුවන් මම කටයුතු කළේ කොහොමද කියලා. එදා හිටපු අයමනේ අදත් ඉන්නේ. මම හැම ආරක්ෂක අංශ රැස්වීමකදීම කිව්වා මේවා ගැන වහාම පරීක්ෂණ කරන්න කියලා. ඒක සීඅයිඞී එකේ නිලධාරීන් හොඳටම දන්නවා. මම තදින්ම අණ දීලා තිබුණා. මේ ගමනත් ඒ අයගේ වාසනාවකට අත්අඩංගුවට ගත්ත එල්ටීටීඊ කෙනාගෙන් තොරතුරු ලැබුණේ නැත්නම් මේ ගැන කවුරුවත් දන්නෙ නෑ. මොනවත්ම සීඅයිඞීය දැනගෙන හිටියේ නෑ.

x අපි මෙහෙම කිව්වොත්… ඔය සිදුවීම්වලට සම්බන්ධ අය ආණ්ඩුවේ ඉහළ තැන්වල හිටියා. ඒ නිසා මේ පරීක්ෂණ යට ගැහුවා?

එක්නැළිගොඩ ගැන නම් අපිට කිසිම අවබෝධයක් තිබුණෙ නෑ. කිසිම හෝඩුවාවක් තිබුණෙ නෑ. මම හැම තිස්සෙම කිව්වා මේ පරීක්ෂණය කරන්න කියලා. එහෙම මම නොකිව්ව කියලා පුළුවන්නම් පොලිස්පතිතුමාට අභියෝග කරනවා කියන්න කියලා. එයානේ එතකොටත් හිටපු පොලිස්පති.

x හරි. එතකොට යාපනයේ දී ලලිත් හා කූගන් දේශපාලන ක‍්‍රියාකාරීන් දෙදෙනා පැහැර ගැනීමකට ලක් වෙනවා. ඒ ඔබේ අණසක යටතේ දැඩි පාලනයක් සහිතව අධි ආරක්ෂාවක් සහිත ප‍්‍රදේශයක දී. ඒ දෙදෙනාට වුණේ මොකක්ද කියන එක ඔබට කියන්න දන්නේ නෑ කියන කාරණය පිළිගන්න බැහැ නේද?

ඒක මෙහෙමයි. මම එන්න ඉස්සෙල්ලා, ඔය එල්ටීටීඊ සංවිධානයෙන් මරපු ඒවායෙන් කීයෙන් කීයද හොයා ගන්න පුළුවන් වුණේ. දැන් අර ළමයෙක්ව දූෂණය කරල මැරුවනේ. ඔය කියන විදිහට පොලීසියට අල්ලන්න පුළුවන් වුණාද වැරැදි මිනිස්සු? පොලීසිය 5 දෙනෙක්ව ඇල්ලූවානේ. ඔයා කල්පනා කරල බලන්න මේ වගේ දෙයක් හොයා ගන්න ඔච්චරටම අමාරු නම් ලලිත්-කූගන් සිද්ධිය හොයා ගන්න කොච්චර අමාරුද කියලා. මේ හැම එකකම මොකක් හරි වාසනාවක් තිබිලා තොරතුරක් ලැබුණොත් තමයි ඒක පස්සේ යන්න වෙන්නේ. හරි ලේසියි කියන්න තමන්ගේ පාලනය බලය තියෙද්දි මේවා කරන්න පුළුවන් කියලා. මම ඔය එක පරීක්ෂණයකටවත් මැදිහත් වෙලා පරීක්ෂණ කරන්න එපා කියලා නෑ.

x අපි කිව්වොත් ලසන්ත වික‍්‍රමතුංගගේ සිදුවීම වැනි ඒවාට සම්බන්ධ අය එදා හමුදාවේ ඉහළ නිලවල හිටිය නිසා මේ පරීක්ෂණ කිසිවක් සිදු කළේ නෑ. ඔවුන්ව ආරක්ෂා කරන්න වුවමනා නිසා කියලා?

ඒව ගැන නෙවෙයි මං කතා කරන්නේ. මං කතා කරන්නේ එක්නැළිගොඩ, ලලිත්, කූගන් ගැන. ඒවා කවුරු කරාද කවුරුවත් දන්නේ නෑ.

GotabhayaRajapaksha 5

x ඒත් ඔබතුමාට පුළුවන් වුණා අර හැංගිලාම හිටපු ගුණරත්නම්ව හොයලා අත්අඩංගුවට ගන්න. ඇයි එහෙම කළේ?

ඔව්. අපිට වාසනාවක් තිබුණා ඒකට. අපිට හොඳ තොරතුරක් ලැබෙන්න ඕනෙ හොයන්න.

x එදා ඇයි ලොකු මෙහෙයුමක් කරලා ගුණරත්නම්ව අත්අඩංගුවට ගත්තේ?

අපි ලොකු මෙහෙයුමක් කළේ නෑ. අපිට එයා හිටපු තැන ළඟපාත කෙනෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා, එයා හැමදාම රෑට මෙතනට එනවා කියලා. එයා ගුණරත්නම්ගේ දේශපාලන විරුද්ධ පිලේ කෙනෙක්. අපිට ලැබිලා තිබුණු තොරතුරු අනුව අර හැත්තෑව කාලේ දි වගේ තැනින් තැන රැස්වීම් තියෙනව වගේ දේවල්.

x මම කිව්වොත් ඔහු කලින් සම්බන්ධ වෙලා හිටපු පක්ෂයෙ කෙනෙක් මේ තොරතුරු දුන්නා කියලා?

ඔව් එහෙම වෙන්නත් පුළුවන්. මොකද ජේවීපී එකට තදින්ම ඕනකම තිබ්බා මෙයා අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න.

x ඒගොල්ලන්ට තිබුණු උවමනාව මොකක්ද?

අනුර කුමාරලාට මේක මහා ලොකු තර්ජනයක් වුණා. මටත් හරියට අනුර කුමාර කියනව අන්න අරහේ ඉන්නවා මෙහෙ ඉන්නවා කියලා. පින්තූර ගෙනත් දෙනවා. ලොකු උත්සාහයක් ගත්තා අනුර කුමාරත්.

x ඔබතුමා මේක වගකීමෙන්ද කියන්නේ?

ඔව් ඔව්. එයා මට ඕනතරම් කතා කරලා තියෙනවානේ. මොකටද බොරු කියන්නේ? අනුර කුමාරට අවශ්‍ය වුණා ගුණරත්නම්ව අත්අඩංගුවට අරගෙන පිටුවහල් කරන්න. ඒ සම්බන්ධයෙන් එයා කිහිප වතාවක්ම කතා කළා. අපි දැනගෙන හිටියේ නෑ මෙයාගේ හැඩරුවවත්. මට මතකයි අපිට හමුවුණ පින්තූර එයාට යැව්වා මේවා හරිද කියලා බලාගන්න.

x මිනිස් ජාවාරම්, සුදු වෑන් සිද්ධි, ඉඩම් කොල්ල කෑම්, මිනීමැරුම් වැනි සිදුවීම් රැසක් ගැනම පසුගිය කාලයේ චෝදනා එල්ල වුණා?

මේවා පදනම් විරහිත චෝදනා. මට මෙහෙම චෝදනා කිරීම අසාධාරණයි. මං අවංකව වැඩ කරපු කෙනෙක්. මං අවි ජාවාරම් පවා නැවැත්තුවා. මේවා නවත්වන්න මම කටයුතු කළා.

x නමුත් ඔබ යටතේ සිටි නිලධාරීන් රැසක් මේ සිදුවීම් සමඟ සම්බන්ධයි නේද?

ඔව්. ඒක මං දන්නවා. සමහර අය මේවාට සම්බන්ධයි. ඒ ලොකු නිලධාරීන් නෙවෙයි පහළ අය.

x ඈවන්ට්ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඔබටත් චෝදනා එල්ල වෙනවා?

මට තියෙන ප‍්‍රශ්නය මොකක්ද එකේ තියෙන වැරැද්ද කියලා. රටට රස්සාවල් විදේශ විනිමය ලබල දීල තියෙනවා.

x එම සමාගමට විතරක් විශේෂ සැලකිල්ලක් දැක්වීම ගැනයි අපි අහන්නේ?

ඒක තමයි වැරැද්ද. ඔයා දන්නවද මේ රටේ ඔය ව්‍යාපාරය කරන සමාගම් 27 ක් තියෙනවා.

x මම අහන්නේ සී මාෂල්ලා ලබා දීම ගැන නෙවෙයි. පාවෙන අවි ගබඩාවක් ලබා දීම ගැන?

අවි ගබඩාවක් කරන්න වෙන කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒ වෙනකොට පාවෙන අවි ගබඩා කළේ ඇවන්ට්ගාඞ් විතරයි. රතු මුහුදේ පාවෙන අවි ගබඩා 2ක් එයාලට තිබුණා. රක්නා ලංකා සමාගමත් එක්කයි ඒක කළේ. වෙන කවුරුවත් පාවෙන අවි ගබඩාවක් කරන්න අවසර ඉල්ලූවේ නෑ. අද ඕනෙම කෙනෙකුට හැකියාවක් තියෙනව නම් ජාත්‍යන්තර මුහුදේ පාවෙන අවි ගබඩාවක් කරන්න පුළුවන්. කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නෑ. ගාල්ලෙ අවි ගබඩාව පටන් ගන්න කොට ඒ ජාත්‍යන්තර මුහුදු සීමාවේ අපේ අවසරයක් නැති තවත් අවි ගබඩා 5ක් තිබුණා. මේක දැම්මට පස්සේ ඒ අය ඉවත් වුණා. මේක අලූත් ව්‍යාපාරයක්. මේක කළේ ඇවන්ට්ගාඞ් පමණයි. අපිට පුළුවන්කමක් නෑ මේ වගේ දෙයක් දන්නෙ නැති කෙනෙකුට දෙන්න. ඒක කරන්න බෑ. ඒගොල්ලන්ගේ හැකියාව නිසා රක්නා ලංකා එකට කිව්ව මේක ගාල්ලෙ කරන්න දෙන්න කියලා. මේකෙන් රජයට වාසියක් මිසක් අවාසියක් වෙලා නෑ.

මේක ගැන බොරු මතයක්නේ ප‍්‍රචාරය කරල තියෙන්නේ. අසාධාරණයක් දුෂණයක් වෙලා නෑ. පාඩුවක් වෙලා නෑ. මිලියන 5ක ණයකින් පටන් ගත්තු රක්නා ලංකා සමාගම අද බිලියන 4ක් වටින සමාගමක්. මිලියන ගාණක් රජයට බදු ගෙව්වා, ලාබ හොයලා දුන්නා, 3800 ගාණක් වැඩ කළා. එහෙම වැඩක් කළ දක්ෂ නිලධාරීන්ට විරුද්ධව තමයි මේ චෝදනා කරන්නේ. කෙටි කාලයක් ඇතුළත විශාල ලාබයක් ලබපු රාජ්‍ය සමාගම මේක පමණයි. සාධක නැතුවයි සැක කරන්නේ.

x ජාතික සංහිඳියාව ගැන කතා කරන ඔබ බොදු බල සේනාව වගේ සංවිධානයක් පෝෂණය කළේ?

ඒකත් වැරැදියිනේ. මම ඒ සංවිධානය හැදුවේ නෑ. අපේ කිරම විමලජෝති හාමුදුරුවන්ගෙන් අහන්න, අර පැපිලියානේ සිද්ධිය වෙලාවේ මම රෑ දොළහයි මිලින්ද මොරගොඩ මහත්මයා සමඟ විමලජෝති හාමුදුරුවන්ව මුණ ගැහෙන්න යනකොට. මම ඇහුවා ඇයි මෙහෙම දේවල් කරන්නෙ කියලා.
එහෙම ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ඡන්ද ටික ලැබෙන එක නවත්වල පරාජය කරන්නයි මේක කරන්නෙ කියා මම කිව්වා. හාමුදුරුවො කීවේ මේවට කතා කරන්න එපා. මේක ජාතික ප‍්‍රශ්නයක්. මුස්ලිම් ප‍්‍රශ්නය බැරෑරුම්. ඔබතුමා බය වෙන්න එපා. ජනාධිපතිවරණයේ දී සිංහල බෞද්ධ ඡන්ද සියල්ල රාජපක්ෂ ජනාධිපතිතුමාට අරන් දෙනවා කියලයි.

නමුත් මගේ පිටටයි මේක ආවේ. අපේ කැබිනට් එකේ හිටපු මුස්ලිම් ඇමැතිවරුත් කිව්වෙ, නෑ මේක මගේ නෙවෙයි කියලා. නමුත් මේක මගේ පිට දැමුවා.

x බොදු බල සේනාවට නෝර්වේ මුදල් ආධාර ලැබුණා?

ඒක නම් මම කියන්න දන්නේ නෑ. නමුත් ඒක ගැන හොයන්න වෙලා තියෙනවා. දැන් මට සැකයක් හිතෙනවා මේ හාමුදුරුවරු දන්නේ නැති වුණාට අපිට මුස්ලිම් ඡන්ද නැති වෙනවා කියලා. මං එදා තේරුම් ගත්තා.

x ඒක දැනගෙන හිටියනම් ඒ තත්ත්ව වළක්වා ගන්න තිබුණනේ?

කොහොමද ඒක අපි කරන්නේ? එදා ඥානසාර හාමුදුරුවන්ව හිරේ දැම්මනම් මොකද වෙන්නේ? එදා බොදු බල සේනාව ලොකු බලවේගයක්.

x නමුත් ඒක උපක‍්‍රමිකව පරාජය කරන්න තිබුණා?

අපි උපක‍්‍රමිකව ඒක කරන්න උත්සාහ කළා. නමුත් දෛවය හේතු කොටගෙන ඒක සිදු වුණේ නෑ.

සාකච්ඡාව : සුභාෂ් ජයවර්ධන
ජායාරූප : අජිත් සෙනවිරත්න

GotabhayaRajapaksha 6

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පේ‍්‍රම්කුමාර් ගුණරත්නම් මහතා 2012 වසරේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු ඒකපාර්ශවික ප‍්‍රකාශයක් වීම හා එය ආන්දෝලනාත්මක විය හැකි බැවින් අප මේ සම්බන්දව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කල නමුදු එය අසාර්ථක විය. එහෙත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් ප‍්‍රකාශයක් කිරීමට ඔහු පියවර ගන්නේ නම් එය සම්පූර්ණයෙන්ම පළ කිරීමට අප පුවත්පත සූදානම්ය.

– සත්හඬ කර්තෘ මණ්ඩලය

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.