Film:ලෝකයේ හොඳම චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව

 

River-Road-by-Mr.-Li-Ruijun

 

 

අප උමතු කළ ඔබට ස්‌තුතියි….!

ඉස්‌සර මෙන් චිත්‍රපට බැලීමේ පිස්‌සුවක්‌ අපට දැන් නැත. ඉස්‌සර ගැලරි පෝළිමේ ගුටි බැට ඇන ගනිමින් චිත්‍රපට බැලූ සුන්දර අවදියක්‌ අපට තිබුණි. මක්‌නිසාද ගැලරියේ අරගල කරමින් කෙසේ හෝ බැලිය යුතු චිත්‍රපට එකල තිබුණු බැවිනි.

ඒ 70 දශකයට ඉහතදීය. දැන් චිත්‍රපට බලන්නට යාම ඕලාරික වැඩකි. හේතුව හොඳ චිත්‍රපට නැති කමය. අනික්‌ කරුණ චිත්‍රපටයක්‌ බලන්න නම් රුපියල් 350 ක්‌වත් අතේ තිබිය යුතුය.

එසේ නැති කල රුපියල් 80 වකට හොඳ චිත්‍රපට වීඩියෝ පටයක්‌ මිලදී ගත හැක. ඒ නිසා චිත්‍රපට බැලීමේ පිස්‌සුව දැන් ජනතාව අතර නැත.

එහෙත් හඳගමලා ප්‍රසන්නලා එකතුවී නැවත ඒ පිස්‌සුව අපට සාදා දෙනු ලැබීය. පසුගිය දිනවල කොළඹ චිත්‍රපට ශාලා පහක ලෝකයේ හොඳම චිත්‍රපට සමුච්චයක්‌ පෙන්වනු ලැබීය. එය අන්තර් ජාතික සිනමා උළෙලකි. ජර්මන් පෝලන්ත බල්ගේරියන් රුසියන් ඉන්දුනීසියන් ඉන්දියා ආදී ලොව නා නා ප්‍රකාර රටවල උසස්‌ම චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක්‌ මේ සිනමා ශාලා පහේ පෙන්වනු ලබයි.

මේවා ලෝකයේ හොඳම චිත්‍රපටය. දකින්නට ලැබෙන්නේ නැති තරම්ය.

හඳගමලා ප්‍රසන්නලා එකතුවී මේ චිත්‍රපට ගෙන්වා චිත්‍රපට සතියක්‌ සංවිධානය කොට ඇවිත් නරඹන්න යෑයි රසික ජන සමූහයට ඇරයුම් කළහ. එපමණක්‌ නොව “ඔබ ඇවිත් පිරෙන්න යෑයි” ඔවුන් කීවා පමණක්‌ නොව සතයකුදු අය නොකරන බවද කීහ.

එසැනින් අපේ යටපත්වී තිබුණු චිත්‍රපට පිස්‌සුව අලුත් විණි. තරංගනීයද රීගල් එකද, මැජෙස්‌ටික්‌ එකද ආකෙඩ්, එම්පයර් එකද අසල ජනයා පෝළිම් ගැසෙන්නට වූහ.

රීගල් එක ඉදිරිපිටින් බස්‌වල ගමන් කරන මගීහු මේ පෝළිම් ගැසී ඉන්නේ මන්දැයි විමතියෙන් බල බල ගියහ.

ඒ පෝලිම්වල සිටියේ විශ්වවිද්‍යාල සිසුන්ය. උසස්‌ පෙළ රංග කලාව හදාරන සිසුන්ය. උසස්‌ රසිකත්වය සොයා යන ප්‍රබුද්ධයන්ය. චිත්‍රපට ආශ්වාදයේ නොතිත් මහලු ගැහැනු පිරිමින්ය. එමෙන්ම කලා ක්‍ෂේත්‍රයේ නම් දැරූවන්ය.

හඳගමලා ප්‍රසන්නලා නිර්මාණය කළ පිස්‌සුව ඉතා යහපත් පිස්‌සුවකි. එක්‌ දිනක්‌ තුළ චිත්‍රපට 4 ක්‌ නැරඹීම යනු යකාගේ වැඩකි. නමුත් වැඩිදෙනෙක්‌ එකම ශාලාවක ප්‍රදර්ශනය කළ චිත්‍රපට හතරම නැරඹූහ.

දවසක්‌ තුළ චිත්‍රපට හතරක්‌ නරඹන පිස්‌සෝ කවරහුද? නමුත් එබඳු චිත්‍රපට පිපාසිත පිස්‌සන් පිරිසක්‌ මේ සතිය තුල නිර්මාණය වී සිටියහ.

ඔවුහු දෙකයි පනහේ පිස්‌සන් නොවීය. හොඳ දෙයට ආසා කළ පිස්‌සන් විය. ඉන්දියාවේ අදුර් ගෝපාල ක්‍රිෂ්ණන්ගේ, බංගලාදේශයේ මොර්ෂෙඩුම් ඉස්‌ලම්ගේ, චීනයේ හිංග් තායිගේ, ඉරානයේ මොර්ටෙයා පාර්ස්‌බාගේ ආදීන්ගේ හොඳම චිත්‍රපට බලන්නට ප්‍රේක්‍ෂකයා වාසනාවන්ත විය.

උදේ 10.00 වන විට තරංගනී ශාලාවට පැමිණෙන “පිස්‌සෝ” එක චිත්‍රපටයක්‌ නරඹා අසල කඩයකින් රොටියක්‌ කා තේ එකක්‌ බී ප.ව.1.00 වනතුරු දෙවන චිත්‍රපටය බලන්නට සිටගෙන සිටීම ඉතා සුන්දර පිස්‌සුවක්‌ නොවන්නේද?

 

mosaicmmm

 

ඒ හැම දෙනාම ශාලාවලින් පිටව ගියේ අලුත් අත්දැකීමක්‌ රැගෙනය. අලුත් අදහසකින් හිත පුරවාගෙනය. මේ පෘථිවියේ අප නොදත් අප මුණ නොගැසුණු මිනිසුන් ගැහැනුන්ගේ ජීවිතවල බර රැගෙනය.

අප මේ චිත්‍රපට දවස පුරා බැලුවේ බඩගින්න හා වෙහෙස මැදය. නමුත් ලැබූ අත්දැකීම් සහ ආශ්වාදය විසල්ය.

සංවිධානය ප්‍රශංසනීයය. කාර්ය මණ්‌ඩලයේ තරුණ කණ්‌ඩායම විනීත ලෙස නරඹන්නන්ට සැලකූහ. නරඹන්නට පැමිණි රැවුල්කාරයෝ කොණ්‌ඩකාරයෝ පෝලිම්වල අතර මගින් රිංගා ගත්තේ හඳගමලාගේ යාළුවන් බව පෙන්වන්නට විය යුතුය.

සැප්තැම්බර් මාසයේ සාහිත්‍ය වසන්තයක්‌ තිබෙන්නාසේම අපට සිනමා වසන්තයක්‌ද තිබිය යුතුය. මේ සිනමා වසන්තය නොවන්නට අපට කැන්ස්‌ සම්මානය ලැබුණු “දීපන්” බලන්නට නොලැබෙනු ඇත.

කනගාටුවට කරුණ නම් රටෙහි ඈත ගම් නියම් ගම්හි සිටින චිත්‍රපට ආශ්වාදයට සිතැති රසිකයනට මේ අවස්‌ථාව නොලැබීමය.

කෙසේ වෙතත් මේ උදාකර දුන් සිනමා වසන්තය වෙනුවෙන් අසෝක හඳගමට – ප්‍රසන්න විතානගේ ඇතුළු සම්භාවනීය අධ්‍යක්‍ෂවරුන්ට හැම ප්‍රේක්‍ෂකයෙක්‌ම හිස නමා ආචාර කරනු නිසැකය.

– චන්ද්‍රසිරි දොඩන්ගොඩ

a note on the colombo film festival

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.