Change of thought:සෝබිත හිමි වෙනස් වූ හැටි

මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ කෘතියේ පිට කවරයේ සෝභිත හිමියන්.

මෙම සටහන ලියැවෙන අද (නොවැම්බර් 12)සන්ධ්‍යාවේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පෙනෙන මානයක ඉදි කෙරුණ චිතකයක් තුළ දැවී අළු බඳුනකට ශේෂගත වූහ.

සෝභිත හිමියන් රූපකායෙන් තව දුරටත් අප අතර නැතත් ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සිය නාමය නොමැකෙන පරිදි සනිටුහන් කරන ලද ආකාරයයි, උන්වහන්සේ අපවත් වීමේ පටන් මේ මොහොත තෙක් සතියකට ආසන්න කාල සීමාවක් ඇතුළත සිදු වෙමින් පැවති හැම කරුණකින් ම පෙනී ගියේ.

ඒ උන්වහන්සේ දායක වූ ආගමික සහ සමාජ හා දේශපාලන කාර්යභාරය හේතුවෙනි.

සෝභිත හිමියන් ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික ක්‍රියාවලිය තුළ කැපී පෙනෙන පළමු භික්ෂු චරිතය නොවන බව සඳහන් කිරීම උන්වහන්සේට කරන අගෞරවයක් නොවේ.

අධිරාජ්‍ය විරෝධී ජාතික අරගලයට සහ පොදු ජන සටනට දායක වීම අතින් මෙන්ම ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය හේතුවෙන් තවමත් සාකච්ඡාවට භාජනය වෙන භික්ෂු නාම ලේඛනයකින් ශ්‍රී ලංකාවේ මෑත කාලීන ශාසන ඉතිහාසය පොහොසත් වෙයි.

වයස අවුරුදු දහතුනේ දී සසුන් ගත වී නම් සෝභිත හිමියන්ගේ හැත්තෑ තුන් වියැති දිවියෙන් වසර හැටක් ම බුදු සසුන වෙනුවෙන් කැප කළේයැයි පැවසීම උන්වහන්සේ වෙනුවෙන් කරන උසස්ම ගෞරවය වෙයි.

සසුනේ වසර හැටක්

සෝභිත හිමියෝ සිය ජීවිත කාලය ශ්‍රී ලාංකික සමාජය බණ දහමින් දැනුවත් කිරීම සඳහා කැප කළ ආකාරය කිසිවකුට රහසක් නොවේ.

එම ආගමික මෙහෙයෙන් වෙන් කොට ගනිමින් උන්වහන්සේ ගේ ජාතික සමාජ දේශපාලන කතිකාව සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡාවක දී එකී වසර හැටෙහි අන්තිම වසර හතළිහයි වෙසෙසින්ම අවධානයට ලක් වන්නේ.

එම සාකච්ඡාව 1970 දශකයේ මැද භාගයෙන් ආරම්භ කළොත් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ 1970 න් ආරම්භ වෙන වසර දහය ඉන් පෙර වූ 1950 හෝ 1960 දශක වලින් වෙනස් වෙන ආකාරය හඳුනා ගැනීමේ වැදගත් වෙයි.

සෝභිත හිමියන් වයස අවුරුදු දාහතරේ පසු වෙද්දී සිදු වන 1956 ආණ්ඩු පෙරළිය, සිංහල බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධයක් සඳහා සරු පසක් තැන්පත් කිරීමක් ද එම සරු පස මත අධ්‍යාපන සාහිත්‍යය සහ සංස්කෘතික ප්‍රබෝධයක මූල බීජ රෝපණය වීමක් ද සහතික කළේය.

සෝභිත හිමියන්ගේ ද පළමු ජාතික දේශපාලන මතවාදය පුබුදු වන්නේ පනස් හයෙනි.

පනස් හයේ ආභාෂය

පනස් හයේ ප්‍රබෝධයේ ‘ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය’ සම්බන්ධයෙන් කෙනෙකුට ප්‍රශ්න කළ හැකි වුනත් පොත්පත් බිහි වෙන ඒවා කියවන එසේම කලාව සම්බන්ධයෙන් සංවාද සිදු වෙන එසේම ‘ප්‍රගතිශීලී’ බලවේග අවදි වෙමින් තිබුණ කාල පරාසයකි අනතුරුව එළැඹි හැටේ දශකය පුරා වැඩෙමින් තිබුණේ.

අනතුරුව ,1971 කැරැල්ල වුවද ඉහත කී ඥාන ප්‍රබෝධයේ වැඩෙමින් තිබුණ සමාජ පුෂ්පය බලහත්කාරයෙන් අකලට විකසිත කිරීමට යාමේ අනිටු ප්‍රතිවිපාකයක් මිස එය සිදු වෙමින් පැවති සමාජ සංවාදයේ වරදකින් සිදු වූවක් නොවේ.

කැරැල්ල මර්දනය කොට අනතුරුව ඉක්මනින් රට ජනරජයක් බවට පත් කළත් 1970 දශකය පුරාම දක්නට ලැබෙන්නේ ‘බලය’ අනිසි සහ අත්තනෝමතික ආකාරයට පාලකයන් අත මැටි පිඩක තත්වයට පත්වීමයි.

සමාජ ප්‍රබෝධයක්

1975 දී විසුරුවා හැරිය යුතුව තිබුණ ආණ්ඩුව තවත් වසර දෙකකින් සිය කාලය දිගු කර ගැනීම,1977 දී බලයට පත් පාලකයන් ආඥාදායක ආණ්ඩුක්‍රමයක් ලේඛන ගත කර ගනිමින් මැතිවරණ වලින් තොරව එක දිගට වසර දොළහක පමණ කාලයක් අත්තනෝමතික මට්ටමින් රට සිය ග්‍රහණයේ තබා ගැනීම ආදියයි හැත්තෑවේ දශකයේ දේශපාලන ඉතිහාසයේ අඳුරු පැතිකඩ වන්නේ.

බලයට පැමිණි සැණින් සුළු ජන ප්‍රහාරයකින් වැඩ ඇල්ලූ 1977 පාලකයන් ‘අත්තනෝමතික බලයේ කෲරත්වය’ පියවර දෙකකින් ප්‍රදර්ශනය කළ අතර ඉන් එකක් 1980 වැඩ වර්ජනයයි. දෙවැන්න වඩාත් සාහසික වූ අතර, එය 1983 කළු ජූලියයි.

දේශපාලන සිදුවීම් අතරින් එකක් එකකට වඩා සාහසික යයි තක්සේරු කරනු ලැබීම අවිද්‍යාත්මක විය හැකි වුනත් කළු ජූලිය,අසූවේ වැඩ වර්ජනය මර්දනය කරන ලද ප්‍රචණ්ඩ ආකාරයටත් වඩා සාහසික වන්නේ එය ඇත්තෙන්ම ‘සාහසික භාවය’ සිතාමතා ම මුදා හරිමින් සමස්ත සමාජය එහි සදාකාලික ගොදුරක් බවට පත් කරන ලද හෙයිනි.

එම පසුබිම අප සාකච්ඡාවට ගනු ලබන සෝභිත හිමියන්ට සම්බන්ධ වන්නේ කෙසේද?

මෙහි මුලින් ද සඳහන් කළ පරිදි සෝභිත හිමියන්ගේ සමාජ දේශපාලන දේශපාලන දිවියේ මුල්කාලීන ආශ්වාදය වූයේ 1956 පෙරළිය නියෝජනය කරන සිංහල ජාතිකවාදී මත දහරාවයි.

ජාතිකවාදය

සිය සරසවි ජීවිතයේ දී උන්වහන්සේ පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ කරා ආකර්ෂණය වන්නේ ප්‍රගතිශීලී මුහුණුවරක් ගත් පනස් හයේ ජාතිකවාදී මතවාදය කෙරෙහි වූ භක්තියෙනි.

අප මෙහි මුලින් කී ආකාරයට 1956 න් අනතුරුව 1970 දශකයේ මැද භාගය තෙක්ම රට තුළ ප්‍රධාන වශයෙන් සංවිධානය වෙමින් තිබුණේ සාහිත්‍ය සමිති,කලා සංවිධාන ,ශිෂ්‍ය සහ තරුණ සමිති, ආදී දැනුම සොයා යන තරුණ සංවිධාන සම්මේලන ආදියයි.

එහෙත් යුද්ධය උත්සන්න වීමත් සමඟ අසූව දශකයේ මුල පටන් සමාජගත වෙමින් තිබුණේ ‘රට ජාතිය රැකීමේ’ සංවිධානයි.

ඒ වන විට ව්‍යක්ත ධර්ම දේශකයකු වශයෙන් නමක් දිනා සිටි සෝභිත හිමියන් ද සිය සමාජ දේශපාලන දැක්මේ මූල පදනම වූ 1956 ජාතික ආගමික සමාජ දේශපාලන ප්‍රවාහය අනුව යමින් සංගත වන්නේ බහු ජනයා අතර ජනප්‍රිය වෙමින් පැවති එවැනි ‘දේශප්‍රේමී’ සංවිධාන දහරාවත් සමඟයි.

1980 දශකයේ මුලදී ම සංවිධානය කෙරුණ ‘සිංහල බල මණ්ඩලයේ’ මහා ප්‍රතිරූපය වූයේ සෝභිත හිමියන්ය.

සිංහල බල මණ්ඩලය

ඉන් අනතුරුව උන්වහන්සේගේ කථිකත්වය දිදුලන්නේ සිංහල බල මණ්ඩලය, මව්බිම සුරැකීමේ ව්‍යාපාරය සහ සිංහල වීර විදහන සහ ජාතික සංඝ සභාව වැනි සංවිධානවල වේදිකා මතයි. එවකට සෝභිත හිමියන් දුටු දර්ශනය වූයේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් සිංහල ජාතිය මුහුණ දී සිටින මහා ව්‍යසනයයි.

ඒ අනුව මව්බිම සුරැකීමේ ව්‍යාපාරය පමණක් නොව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේත් මතවාද සමඟත් අනුගත වීමට එදා උන්වහන්සේට ගැටළුවක් නොවුණි.

එම වකවානුවේ කවුරුන් විසින් හෝ ශ්‍රී ලංකාවේ ‘සිංහල ජාතිවාදී’ දේශකයන්ගේ නාම ලේඛනයක් පිළියෙළ කර ඇත්නම් ,(එසේම මේ වන විටත් එය සංශෝධනය කර නැත්නම්) එහි ඉදිරියෙන්ම ‘මාදුළුවාවේ සෝභිත හිමි’ යන නමත් සටහන්ව තිබෙනු ඇත.

මහාචාර්ය ස්ටැන්ලි තම්බයියා ගේ විවාදයට ලක් වූ ‘බුදුසමය පාවා දීද? (Buddhism betrayed ? religion,politics and violence in sri lanka) කෘතියේ පිට කවරය සරසන ඒ භික්ෂූ රුව සංකේතවත් කරන්නේ සෝභිත හිමියන් එදා නියෝජනය කළ එම ස්ථානයයි.

‘අතීතය කණගාටු වීමට කාරණයක් නොවන බව’ බුදුන් වහන්සේ වරක් දේශනා කළහ.

වැදගත් වන්නේ අතීතය නොව වර්තමානයයි. සෝභිත හිමියෝ ජාතික සංහිඳියා මාවතට ප්‍රවිෂ්ඨ වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට ජාති ආගම් වර්ග ආදී වශයෙන් බෙදුන සමාජයකින් කිසිදා විසඳුමක් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට උන්වහන්සේ ඍජු වූහ.

ජාතික සංහිඳියාව

ජීවත් වූ හිමියන්ට වඩා අපවත් වූ හිමියෝ බලවත් සෙයකි.

අපවත් වී වදාළ සෝභිත හිමියන් වෙනුවෙන් පන්සලේ මෙන් ම සියලු පල්ලියේත් කෝවිලේත් දුක් ගී ගැයෙති.

සිංහලයන් පමණක් නොව දමිළ සහ මුස්ලිම් ඇතුළු සියලු ‘මිනිස්සු’ උන්වහන්සේ පැතූ නිවන ප්‍රාර්ථනා කිරීමට එක්ව සිටිති.

එහි රහස ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රශ්නය හඳුනා ගැනීමට උන්වහන්සේ සමත් වීමයි. එය සෝභිත හිමියන්ගේ සමාජ දේශපාලන කතිකාවේ හරය මූර්තිමත් කරන එහි ඉතා පොහොසත් අන්තිම පරිච්ඡේදයයි.

පසුගිය දශක එක හමාරකට ආසන්න කාලය තුළ උන්වහන්සේගේ ලේඛනයේ සහ දේශනයේ හරය වූයේ ‘මිනිසකු දමිළ හෝ මුස්ලිම් වීම ඔහු හෝ ඇය වසලයකු වීමට හේතුවක් නොවන’ බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රශ්න විසඳා ගැනීමට නම් සියලු ජාතීන් එකමුතු විය යුතු බවයි උන්වහන්සේගේ ‘දහම් පණිවුඩය’ බවට පත් වුණේ.

එපමණක් නොව ඒකාධිපති පන්නයේ පාලන ආකෘතිය බිඳ හෙළමින් සියලු ජාතීන්ට සමාජ සාධාරණත්වය ඉටු කිරීම ‘සිය ජීවිතයේ අන්තිම සටන’ බවට පත් කර ගැනීමට තරම් උන්වහන්සේ සවිඥානික වූහ.

නොවැම්බර් 12 වෙනිදා සන්ධ්‍යාවේ පාර්ලිමේන්තුව පෙනෙන මානයේ චිතකයක් ඉදිරිපිට සිටිමින් විවිධ ආගමික නායකයන්, දේශපාලන නායකයන් මෙන්ම විවිධ සංවිධාන නියෝජනය කරන කථිකයන් විසින් කියවන ලද්දේ සෝභිත හිමියන්ගේ ජීවිත කතාවේ එම අන්තිම පරිච්ඡේදයයි.

sobitha_thera_SLGmmm

 

 

යහපාලනයක් දෙසට

මෙම වෘත්තාන්තයෙහි සදය සරදමක් නොමැත්තේ ද නොවේ.

එනම් 1980 දශකයේ සෝභිත හිමියන් ‘ජාතිවාදී භික්ෂුවක්’ හැටියට ලේබල් කරමින් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඉල්ලා සිටි වමේ පැරණි දේශපාලන පක්ෂ කීපයක් සහ එහි නායකයන් සෝභිත හිමියන් විසින් ද බැහැර කරනු ලැබ ඇති වර්ගවාදී සහ ඒකාධිපති පන්නයේ පාලකයන්ගේ රැකවරණයට පෙනී සිටිමින් ඔවුන්ගේ සුරතලුන්ගේ තත්වයට පත්ව සිටීමයි.

ඉතිහාසය තුළ පුද්ගලයකුට හිමි සැබෑ ස්ථානය තීන්දු කෙරෙන්නේ කවර සාධක අනුව ද යන්න වටහා ගැනීමට ‘මාදුළුවාවේ සෝභිත භික්ෂු චරිතාපදානය’ හොඳ කැඩපතකි.

උන්වහන්සේ අසූවේ දශකයේ සිටි ස්ථානයේම දිගටම රැඳී සිටියේ නම්, ජාති ආගම් භේදයෙන් තොරව අද ලබන මේ මහා පොදු ජන ගෞරවයේ උරුමය උන්වහන්සේට හිමි වනු ඇද්ද?.

එසේම සමාජ ප්‍රගමනය නිවැරදිව හඳුනා ගනිමින් වර්ගවාදයට සහ බලවාදයට එරෙහිව නව පෙරමුණක් නිර්මාණය කිරීමට පුරෝගාමී වූ උන්වහන්සේ අනුගමනය නොකර තවමත් එදා සිටි තැනම සිටින්නවුන් ද,පසු කාලයේ මැති ඇමති තනතුරු සහ වෙනත් විවිධ ලාභ අපේක්ෂාවෙන් දේශපාලන පිළිවෙත් පාවා දී වර්ගවාදී සහ බලවාදී මඩ ගොහුරට පැන ගත්තවුන් ද සෝභිත හිමියන් පුද ලබන මේ මහා පොදු ජන ගෞරවය කිසිදාක ලබනු ඇද්ද?

 

Change of thought of Sobitha thero

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.