Days bygone:ගලා බසී ගඟ අතීතයෙන් -චිත්‍රාංගනී විජේවීර

වසර විසි හයකට පෙර මතකය චිත්‍රාංගනී විජේවීර අවදි කරයි

* මැෂිමේ රිසිට්‌ එක කෝ
* සිවිල් ආපු දෙන්න දුවලා ගිහින් රෝහණව දෙපැත්තෙන් අල්ලා ගත්තා…
* එයාව දැක්‌ක මුල් දවසේ මටයි යාළුවන්ටයි හිනා ගියා

ස්‌ටෙප්ස්‌ තණ බිම් මත හිඳ, පොප්ලර් ගස්‌ අතරින්, තරු රටා සෙවූ දුයිෂෙන්, රසවතෙක්‌ නොවුණා නොවේ. ඇයගේ ආදරය ඔහුගේ හදවත මත මනරම් චිත්‍රයක්‌ ලකුණු නොකළා නොවේ. ඒ සියල්ල ඔහු හදවත ගැඹුරේ සටහන් තබා, දුරින් සිට අල්තීනායිට අකුරු ඉගැන්නුවේය. විප්ලවය වෙනුවෙන් කැපවුණ සිය ජීවිතය පුරාවට දුයිෂෙන් ඇයට ආදරය කරන්නට ඇත.

නමුත් එහි ප්‍රේමය සලකුණු වී තිබුණේ වෙනත් ආරකටය. ගුරු ගීතයේ විප්ලවය අතරින් ආදරය හඳුනාගන්නා සේ, විප්ලවවාදියෙකුගේ ජීවිතය තුළින් ආදරය හඳුනා ගැනීම අසීරු නැත. එහෙත් එය බොළඳ ප්‍රේමයක්‌ සේ මතු පිටට සියල්ල හෙළිකරන්නක්‌ නොවේ. විප්ලවය ඇරඹෙන්නේ ප්‍රේමයෙන් බව ෙච් ගුවේරා ප්‍රකාශ කළේය. මේ ලියවෙන්නේද එවන් ආදර කතාවකි.

සිංහල තරුණ පරපුර විප්ලවීය ආශ්වාදයෙන් කුල්මත් කළ දේශපාලන ව්‍යාපාරයේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ විප්ලවීය ජීවිතය පිළිබඳ ඕනෑතරම් කතා ලියවී තිබේ. වසර විසි හයකට පෙර ඉල් මහේ අඳුර අතරින් ඔහු නොපෙනී ගිය ද ලාංකේය විප්ලවයේ මතක අතර තවමත් ඔහු නොසැලී දිස්‌වෙමින් සිටියි.

ඉල් මහේ සීතල අතුරින් ඇසෙන රැහි නාදය තුළ තවමත් බියකරු බවක්‌ ලියෑවී ඇති සේය. ආක්‍රමණිකයා පාවඩ පිට කැඳවාගෙන විත්, මව්බිම ප්‍රාන්ත රාජ්‍යයක්‌ බවට පත් කරලීමේ වෑයම පරදවන්නට ඔවුහු කළ කැපකිරීම දේශය පවතින පුරාවටම, සෑම ඉල් මසකම මෙසේ නින්නාද වනු ඇත.

බිල්ලන් විත් ජාතිය වෙනුවෙන් සටන් වැදුණු දරුවන් ටයර් මාල පළඳා ගිනිසෑයේ දවා හලුකළ කාලය සැහැල්ලුවෙන් අමතක කළ නොහැකිය. සටනක නියමුවා ලෙස ඉතිහාසය විසින් ඔහුට ද වීර අසුනක්‌ පනවා තිබේ. එතැන් සිට ඔහු දෙස බලන්නට අපි කතානායිකාව කරගත්තේ, ඇයය.

මේ කතාව විප්ලවය ජීවිතය කර ගත් ඔහු පිළිබද එක්‌ පැතිකඩක්‌ පමණය. එහෙත්, ඔහු සිය ජීවිතය කර ගත්, ඇයගේ කතාව මෙයය.

“හැම මාසයකම මුල, සතියක්‌ විතර රෝහණ ගෙදරින් පිට වෙලා තමයි, ඉන්නේ. ඒ යනකොට මට කියන්නේ බණ්‌ඩාරවෙල යනවයි කියලා. පක්‌ෂයේ කවුරුහරි ඇවිල්ලා රෝහණව එහෙ එක්‌කගෙන යනවා. පස්‌සේ තමයි මම දන්නේ, ඒ අය ගලහට ගිහිල්ලා තමයි, බණ්‌ඩාරවෙලට යන්නේ කියලා. සෝමවංශ හිටපු ලෙව්වේගොඩ ස්‌ටේට්‌ එකේ තමයි, මේ අය ඉන්නේ. නොවැම්බර් නම වෙනිදා, රෝහණ පිටත්වෙන්න ලැහැස්‌ති වුණා.

 

වෙනත් නම්

මම මුලදී එයාට කිව්වේ රෝහණ කියලා. මට කිව්වේ, ශ්‍රීමති කියලා. පස්‌සේ, අම්මේ තාත්තේ කියලා කතා කරගන්න පටන් ගත්තා. ආරක්‌ෂක හේතු නිසා මේ වෙන කොට වෙනත් නම් වලින් තමයි, පක්‌ෂයේ අයව පවා හඳුන්වන්න පටන් ගෙන තිබුණේ. සමහර වෙලාවට මට අමතක වෙලා රෝහණ කියන නම කියවෙනවා. එහෙම කියලා බැණුම් අහපු අවස්‌ථා පවා තියෙනවා. පක්‌ෂයේ අය එනකොට, මම කාමරයට වෙලා තමයි ඉන්නේ. ගමනක්‌ යන කොටත් එහෙමයි. එදා ආවේ ගමනායක කියලා මම දැන ගත්තේ, ගෙදර වැඩ කරන අය කිව්වා, කළු අයියා ආවා කියලා. කළු අයියා කියන්නේ ගමනායකට. අපේ ගෙදර වැඩ කරන අය වගේ හිටියේ පක්‌ෂයේම අය. එදා මම ඇඳුම් ටික ලැහැස්‌ති කරලා දුන්නා.

එදා පිටත් වෙලා ගිහිල්ලා, දවස්‌ දෙකක්‌ විතර යනකොට ආපහු රෝහණ ආවා. වොචර් වගේ පේන්න හිටපු කෙනා, “…අන්න මහත්තයා එනවා” කියලා, ගේට්‌ටුව අරින යතුරත් අරගෙන ගියා. ආවයි කිව්වට ගෙදර ඇතුලට, රෝහණ ආවේ නැති නිසා, මම කාමරයෙන් එළියට ගිහිල්ලා බැලුවා. මම දැක්‌කා එළියේ ඉඳන් පොඩි මාමායි, ගමනායක එක්‌ක රෝහණ ලොකු කතාවක්‌. එහෙම එළියේ කතා කර කර කිසි දවසක රෝහණ ඉන්නේ නැහැ. පැය භාගයක්‌ විතර මේගොල්ලෝ කතා කර කර හිටියා. එදා ගෙදරට එනකොටම ගෙදර හිටිය ගැණු ළමයි දෙන්නටයි, වොචර්ටයි රෝහණ කියාගෙන ආවේ “කියපු කිසිම තැනකට රෙජි ඇවිල්ලා නැහැ” කියලා. රෝහණ එහෙම කියාගෙන ගෙට ආවේ කේන්තියෙන්. “රෙජී හිටපු ලෙව්වේගොඩ වත්තට ආමි එකෙන් පැනලා, එතැන හිටපු සේරම මරලා දාලා…” කියලත් රෝහණ කිව්වා. රෙජී කියන්නේ සෝමවංශ අමරසිංහට.

ගමනායකයි, අපි පොඩි මාමා කියන සමන් පියසිරි ප්‍රනාන්දුයි, රෝහණට කියලා තියෙනවා “අද ගෙදර ඉන්න එපා, අපිත් එක්‌ක යං…” කියලා තදින්ම ඒ අය කතා කළත්, “මම ගෙදර ඉන්නවා කියලා හැරිලා ආවා” කියලා රෝහණ කිව්වා.

ඔයිට ඉස්‌සෙල්ලා ඔය වගේ සිද්ධියක්‌ වුණා අපි හල්දුම්මුල්ලේ ගෙදර ඉන්න කොට.

එහා ගෙදරට හොරු ඇවිල්ලා, ඒ ගෙදර නංගි මටත් එහෙට එන්න කියලා කතා කළා. මම එහෙ ගිහිල්ලා ඉන්න කොට කට උත්තර ගන්න පොලීසිය ආවා. මගෙනුත් විස්‌තර අහන්න පටන් ගත්තා. මම ටිකක්‌ බය වෙලා ඉන්න කොට, එහා ගෙදර අක්‌කා මටත් කලින් පැනලා උත්තර දුන්නා.

එහෙම ටික දවසක්‌ යනකොට පොලීසියෙන් ඇවිල්ලා එකපාරටම අපේ ගේ වට කළා. එතකොට පොඩි දුව ඉපදිච්ච අලුත. අපේ කාමරේ ඇරෙන්න මුළු ගේම චෙක්‌ කළා.

පොලීසිය ඉන්නකොටම ගමනායකයි, රෝහණයි ගෙදර ආවා. පොලීසිය ගියාට පස්‌සේ රෝහණ කිව්වා, බඩු ලැහැස්‌ති කර ගන්න අපි මෙහෙන් යමු කියලා. ඒ ගියේ, සෝමවංශ හිටපු බණ්‌ඩාරවෙල ලෙව්වේගොඩ වත්තට. එදා අපි එහේ ගියේ, ගමනායකයි, නියන් මාමත් එක්‌කයි. නියන් මාමා කියන්නේ, එච්. බී. හේරත්ට. ඒ සේරටම අපේ දරුවෝ කිව්වේ, මාමා කියලා. ඒ අය හිතන්නේ මේ මගේ මල්ලිලා කියලයි. කවුරු හරි ආවාම අඳුන්වලා දුන්නේ මගේ මල්ලිලා කියලයි. එදා එහෙම ගෙදර අත ඇරලා ආවාට, මේ පාර එහෙම යන්න රෝහණ කැමැති වුණේ නැහැ. රෝහණ ගෙදර හිටපු අයත් එක්‌ක තවත් විස්‌තර කිව්වා.

එදා නුවරට එනවා කිව්වත් සෝමවංශ එහෙටත් ඇවිල්ලා ඉඳලා නැහැ. ඒපාර මේගොල්ලෝ බණ්‌ඩාරවෙල ගිහිල්ලා තියෙනවා. එතැනට යනකොට, සෝමවංශ හිටපු ලෙව්වේගොඩ වත්ත සම්පූර්ණයෙන්ම විනාශ කරලා. මේගොල්ලෝ ඒපාර ගිහිල්ලා එහා වත්තේ මැනේජර් හම්බුවෙලා.

එයා බර්ගර් කෙනෙක්‌. සෝමවංශත්, රෙජිනෝල්ඩ් පැටි්‍රක්‌ කියලා බර්ගර් කෙනෙක්‌ විදිහට තමයි, පෙනී ඉදලා තියෙන්නේ. ඒ නිසා එයා සෝමවංශට බොහොම කැමතියි. එයා කියලා තියෙනවා “බොහෝම කනගාටුයි. ඡේවීපී එකෙන් ආයුධ අරගෙන ඔක්‌කොම මරලා දාලා…” කියලා. එයා හමුදාව පැනපු එක තේරුම් අරන් තිබ්බෙ ඡේ.වී.පී. වැඩක්‌ විදියට. ඒ පාර තමයි මේගොල්ලෝ ආයිත් ඇවිල්ලා තියෙන්නේ. කොහොමටත් සෝමවංශ සතියක විතර ඉඳන් හම්බු වුණේ නැහැ කියලා, රෝහණ කතා වුණා.

ඉස්‌කොලේ නිවාඩු කාලවලට අපිවත් ලෙව්වේගොඩ වත්තට එක්‌කගෙන යනවා. අගෝස්‌තු නිවාඩුවට ගියාම, එහේ ඇනෙක්‌ස්‌ එකක තමයි අපි ඉන්නේ. පක්‌ෂයේ අයත් එක්‌ක කිසිම සම්බන්ධයක්‌ නැහැ.

එහෙම ඉඳලා එනකොට, අර ගෙදර හිටපු ළමයි දෙන්නට කියලා තියෙන්නේ බඩු ගත්ත තුන්ඩුවක්‌වත් තියන්න එපා කියලයි. ඒ දෙන්නා හොඳ උගත්, පක්‌ෂයේ අය. එදා ගෙදර ආවම ඒ දෙන්නගෙන් ඇහැව්වා ‘මැෂින් එක ගත්ත, රිසිට්‌ දෙක විනාශ කරාද” කියලා. “…අයියේ අපි විනාශ කළේ එක කොළයයි” කියලා ඒ දෙන්නා කිව්වා.

“එතැන කොළ දෙකක්‌ තිබ්බා” කියලා රෝහණ කිව්වා. පස්‌සේ මගෙනුත් ඇහැව්වා “ඔයාවත් ඒක දැක්‌කේ නැද්ද” කියලා. “මම දකින්නේ කොහොමද, මට ඒ පැත්තටවත් යන්න දෙනවද?…” කියලා, මම එතකොට කිව්වා.

“බණ්‌ඩාරවෙලදි මහන මැෂිමක්‌ අරගෙන තිබ්බා, පක්‍ෂයෙ කෙනෙකුගේ නංගිට. ඒක ගත්ත කෙනා, දීලා තියෙන්නේ උලපනේ ගෙදර ඇඩ්්‍රස්‌ එක”

ඇය සහ දරුවන් විඳි දුක්‌ ගැහැට හමුවේ, අවිනිශ්චිතතාවය ඔවුන්ගේ ජීවන හුරුව බවට පත් වී තිබේ. මේ නිසා කිසිවෙකු සමඟ ඇයි හොඳයියක්‌ නොපවත්වාම ඔවුහු තම ජීවිතය ගෙවා දමමින් පසු වෙති.

කොළඹ නගරය සඳහා ඔවුන් පැමිණි මොහොතක එක්‌තරා රාත්‍රියක, පන්සල් බිමක වාඩි ලාගෙන අප කතා බහ කළේ, මාධ්‍ය ආයතනයකට හෝ වෙනයම් තැනකට පැමිණීම සඳහා චිත්‍රාංගනී විජේවීර මහත්මිය දැක්‌වූ නොකැමැත්ත හේතුවෙනි.

ඇයම කියන පරිදි, ඇය ජීවිතයේ සියලු ගැහැට විඳ, දැන් පැමිණ තිබෙන්නේ එහි අවසන් අදියරටය. නමුත් දරුවන්ගේ ඉරණම එසේ විසඳෙන්නට ඉඩ හරින්නට ඇය බලාපොරොත්තු නොවුණාය. හව්හරණ අහිමි වී ගිය, ඔවුන්ගේ ජීවිත එළිමහන් සිර මැදිරියක ගෙවෙනවා සේ පෙනේ. ඇය අපට පවසමින් සිටින්නේ, රෝහණ විජේවීරයන් ඇය සමග ගත කළ අවසන් දින කිහිපය සහ ඉන් පසු ඔවුන්ගේ ජීවිතය පිළිබඳ කතාවය.

සදාතනික ව ගැහැණියට උරුම කඳුළු බින්දු ඇයට උරුම වූවේ, කඳුළු සයුරු ලෙසය. මවක්‌ දරුවෙකු වෙනුවෙන් විඳිනා දුක්‌ ගැහැට සම්ප්‍රදායික වෙද්දී, ඇය දරුවන් සය දෙනෙකු සමග වින්දේ අසම්ප්‍රදායික වේදනා පොදියකි.

මධ්‍යම පාන්තික පවුලක අයියලා හතරදෙනෙකු අතරේ සුරතලයට හැදුනු ශ්‍රීමති, විප්ලවවාදියෙකුට බිරිඳක්‌ වීම නිසා ඇයගේ ජීවිතය ද විප්ලවයකට භාජනය විය.

අනේක විඳ දුක්‌ මැද්දේ ඇය ගෙවූ ජීවිතය, විප්ලවයේ අතුරු පලයක්‌දැයි නොදනිමි. එහි විප්ලවීය ජීව ගුණය ඇත්දැයි ඇයගෙන් නොඅසමි. එහෙත් එය කුවේණිය සේ දුක්‌ පීඩා ඉසිලූ, අවමන් විඳි, ගැහැනියකගේ බවනම් නොවළහා කිව හැකිය. මෙය විජේවීරයන් පිළිබඳ ඇගේ කතාව ලෙස කියවනවාට වඩා ඇගේ කතාව ලෙසම ගන්නේ නම් මැනවි බව කිව යුතුය.

“රෝහණ දිගටම “ඒ ගැන කල්පනා කළා. ගෙනාපු කෙනා එකට දීලා තිබ්බේ, සෙන්ට්‌ මේරිස්‌ ස්‌ටේට්‌, උලපනේ කියන ඇඩ්‍රස්‌ එක. එතැනට හමුදාව ඇවිල්ලා නිසා, ඒ කොළය අහුවෙයිද කියන එක එයාගේ හිතේ වැඩ කළා. එදා රෑ අපි සාමාන්‍ය විදිහට කෑම කෑවා. “අද රෑට ඕගොල්ලෝ මාරුවෙන් මාරුවට නිදාගන්න කියලා, අර ළමයි දෙන්නට රෝහණ කිව්වා.”

පහුවදා දොළොස්‌ වෙනිදා… එදා ඉරිදා දවසක්‌. අපි සාමාන්‍ය විදිහට වැඩ කරගෙන හිටියා. එදා දවල්ට කෑම කාලා, රෝහණ ඉරිදා පත්තර කියවන්න ගත්තා. එයා ඉරිදා පත්තර ඔක්‌කොම කියවනවා. එයා පත්තර කියෙව්වේ ඉස්‌තෝප්පුවේ ඉඳගෙන. මම පොඩි පුතාටයි, දුවටයි බත් කව කව හිටියේ. එක පාරටම අර අංකල්, වොචර් වගේ හිටපු කෙනා, සුදු මහත්තයා එනවා කියලා, ගේට්‌ටුව අරින්න පැන්ටි්‍ර කබඩ් එක උඩ එල්ලලා තිබ්බ ගේට්‌ටුවේ යතුර ගත්තා. එතකොට වෙලාව දවල් එකට විතර ඇති.

මං බලනකොට කාර් එකත් එක්‌කම, තව ඩෙලිකා වෑන් එකක්‌ පස්‌සෙන් එනවා මං දැක්‌කා, ඒ එක්‌කම මං දැක්‌කා වෑන් එකෙන් ආමි යුනිෙෆෝම්  ඇඳපු හතර දෙනෙක්‌ පනිනවා. එතකොටම කාර් එකේ ආපු තුන් දෙනා දුවනවත් මං දැක්‌කා. ඒ තුන් දෙනා හිටියේ සිවිල්. කන තැනම අපිත් ගල්වෙලා වගේ මොනවා කර ගන්නද කියලා දන්නැතුව බලාගෙන හිටියා. අපි ටික ටික කෑම කන කෑල්ලේ ඉඳලා සාලෙට ආවා. එතකොට රෝහණව දෙපැත්තෙන් අල්ලාගෙන අර දෙන්නා කතා කර කර හිටියා. ටික වෙලාවකින් රෝහණත් එක්‌ක අර දෙන්නා ගෙදරට ආවා. ගෙට ඇතුල් වෙනකොටම රෝහණ කිව්වේ “මේ ගොල්ලෝ අහිංසකයි, මේ ගොල්ලන්ට මොකුත් කරන්න එපා” කියලයි. එහෙම කිව්වේ මාවයි දරුවොයි පෙන්නලා.

ඒ ආවේ බ්‍රිගේඩියර් ජානක පෙරේරයි, බ්‍රිගේඩියර් ගාමිණි හෙට්‌ටිආරච්චියි, කරුණාරත්නයි කියලා, පස්‌සේ මං දැන ගත්තා. ඇතුල් වෙච්ච ගමන්ම බ්‍රිගේඩියර් ජානක පෙරේරා කිව්වා “ඔයා ස්‌පෙක්‌ස්‌ අඳින්න” කියලා. ටීවී ස්‌ටෑන්ඩ් එක උඩ තමයි, රෝහණගේ කණ්‌නාඩි දෙක තිබ්බේ. රෝහණ කණ්‌නාඩි දෙක දා ගත්තා.”

මේ සනිටුහන් වන්නේ විප්ලවීය නායකයෙකුගේ අවසන් හෝරා කිහිපයය. එක්‌ වරක්‌ නොව දෙවරක්‌ම කැරලි සඳහා නායකත්වය ලබාදුන් විජේවීරයන් ඒ වන විට රට තුළ වෙනම පාලනයක්‌ ඇතිකර ගැනීමට තරම් සමර්ථභාවයක්‌ දක්‌වන දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය ලබා දෙමින් සිටියේය. කැරළිකාරී නායකයෙකුගේ අත්දැකීම් සමුදාය අවසන් වනවා පමණක්‌ නොව විප්ලවීය ව්‍යාපාරයක අවසානය ද මේ සමඟ සනිටුහන් වන්නට නියමිතව තිබුණි.

ඒ සියල්ල අතරේ සදාතනිකව තැලී පෑගී, දුක්‌ විඳින ස්‌ත්‍රී ආත්මයක්‌ සිය දරු පිරිවර සමඟ, ගත් හුස්‌ම පහළට නොදා වික්‌ෂිප්තව බලා සිටියි. ඇයගේ ඉරණම් තීන්දුව ද ඒ සමඟ කරළියට පිවිසෙන්නට බලා සිටියි. වසර ගණනාවක්‌ පුරා ඇය කූඩු ගතවී සිටියේ, සිර ගෙයක නොවේ. විප්ලවය සිය ජීවිතය කර ගත් සැමියෙකු සමඟ දිවිගෙවීම විසින් ඇයට ජීවිතය තුළම කූඩු වන්නට සිදුවූවාය.

ඇය, ඔහුගේ යෝධ සෙවනැල්ල නොවූවාය. විප්ලවයේ හතර මායිමක්‌වත් ඇය දැන හඳුනා නොසිටියාය. ඇගේ ජීවිතයම විප්ලවයකට භාජනයවී තිබුණු සැටි පමණක්‌ ඇය තේරුම් ගෙන සිටින්නට ඇත.

බිරිදක්‌ විසින් මේ කියනු ලබන්නේ සිය සැමියාගේ වියෝවට හොරා කිහිපයකට පෙර කතාවය. එසේම එය විප්ලවීය නායකයෙකුගේ අවසන් හෝරා කිහිපයය. ඔහුට විප්ලවය හමුවී, බොහෝ කලකට පසුව ඇයට, ඔහු හමුවූවාය. එය සොඳුරු ආදර බර හමුවක්‌ නොවේ. විප්‍රයෝගයක කතාව ඇරඹෙන්නේ සම්ප්‍රයෝගයක ඇරඹුමෙන් පසුවය.

“මම මුලින්ම රෝහණව දැක්‌කේ, එයා ’76 නිදහස්‌ වෙලා අපේ ගෙදරට ආපු වෙලාවක. එදා පල්ලියේ මංගල්‍යයක්‌ තිබුණා. මමයි යාළුවොයි ඒකට යන්න ලැහැස්‌ති වෙලා හිටියේ. එදා රෝහණ කාර් එකෙන් බැස්‌සා. රැවුල වවාගෙන රෝහණ කාර් එකෙන් බහිනවා දැකපුවාම මමයි යාළුවොයි, රැවුල එහෙම දැකලා, හිනාත් වුණා. එදා රෝහණ අපේ ගෙදර ආවේ, හොඳ ලෝයර් කෙනෙක්‌ හිටියා, එම්.ඩී. රත්නායක කියලා, එයත් එක්‌කයි.

මගේ ගම මොරටුවේ විල්ලෝරාවත්ත ප්‍රදේශයයි. අපේ තාත්තා ගුරුවරයෙක්‌. තාත්තා ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ගිහින් උපාධිය ගත්ත කෙනෙක්‌. එයා දේශපාලනයට උනන්දුවක්‌ තිබුණා.

සමසමාජ දේශපාලනය කරලා තාත්තා උප නගරාධිපති කෙනෙක්‌ විදිහටත් වැඩ කළා. පස්‌සේ කාලෙක තාත්තා දෙවතාවක්‌ පිට පිට පැරදුනාලු. අම්මා ඒ දවස්‌වල කියනවා, අපේ ගෙදරට ලැබිච්ච ලොකුම දේව ආශිර්වාදය ඒක කියලා.

මට අයියලා හතර දෙනෙකුයි, අක්‌කා කෙනෙකුයි හිටියා. වැඩිමල් අයියා, එච්.එන්. ප්‍රනාන්දු. එයා මට තාත්තා කෙනෙක්‌ වගේ. එයයි මමයි අතර වයස පරතරය වැඩි නිසා එයා මට හුඟක්‌ ආදරය කළේ, නංගි කෙනෙකුටත් වඩා දුවෙකුට වගේ. එයා ගුරු සංගම් නායකයෙක්‌. එයා ජවිපෙ ගුරු සංගමයේ තමයි, මුලදී හිටියේ.

1969 කාලේ රෝහණ හිටියේ, ඩොක්‌ටර් තිස්‌ස නමින්. ලොකු අයියා ඒ කාලේ තමයි, පක්‌ෂෙට සම්බන්ධ වෙලා ඉඳලා තියෙන්නේ. අයියා හොරෙන් තමයි, දේශපාලනය කළේ. ’71 කැරැල්ලට අයියා අහුවුනාහම තමයි, ගෙදරත් මේ වැඩ ගැන දැනගත්තේ.

අනිත් අයියා එංගලන්තේ හිටියේ, එයා සරත් සුසන්ත ප්‍රනාන්දු, ඉංජිනියර් කෙනෙක්‌. ’88 – ’89 කාලේ එයාව ඝාතනය කරලා තියෙනවා. අනෙක්‌ අයියා භෞතික විද්‍යා උපාධිධාරියෙක්‌. බාල අයියා දොස්‌තර චන්ද්‍ර ප්‍රනාන්දු.

අපේ තාත්තා ’71 මහ නඩුව බලන්න හැමදාම උසාවි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා බැණව, තාත්තා කලින්ම දැකලා තියෙනවා. අයියා ලන්ඩන් හිටපු නිසා අයියා උත්සාහ කළේ මාව එහෙ ගෙන්න ගන්න. මමත් හැමදාම හීන මැවුවේ ලන්ඩන් යන්න තමයි. චුටි අයිය, චන්ද්‍ර ප්‍රනාන්දුත් එතකොට හිටියේ එහෙ.

අපි ක්‍රිස්‌තියානි ආගම අදහපු පවුලක්‌. 1979 අවුරුද්දේ, අම්මත් ලන්ඩන් ගිහිල්ලා හිටියේ. ඒ අවුරුද්දේ නත්තලට, කට්‌ටියම එකතු වෙලා තියෙනවා. එතකොට රෝහණ හිටියෙත් ලන්ඩන්. චන්ද්‍ර ප්‍රනාන්දු අයියත්, රෝහණව අඳුරන නිසා, රෝහණ එහේ ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ පවුල ගැන කතාව ඇවිල්ලා තියෙනවා. “පවුලේ කට්‌ටිය බැඳලා, තව බඳින්න ඉන්නේ පොඩි නංගි විතරයි,එයාවත් අපි ලගදී මෙහෙ එක්‌කන් එනවා. ඊට පස්‌සේ එයාව බන්දලා දෙනවා” කියලා චන්ද්‍ර අයියා කියලා තියෙනවා. එතකොට රෝහණ කියලා තියෙනවා, මං ගැන එයාට අදහසක්‌ තියෙනවා කියලා. ඒ කියපු ගමන්ම චන්ද්‍රd අයියා උඩ පැනලා, වැඩේට කැමති වෙලත් ඉවරයිලු…”

මේ ඇයගේ ජීවිතයේ සන්ධිස්‌ථානයට මුල පිරෙනා තැනය. විප්ලවවාදියෙකුගේ විවාහ තීන්දුව දැන් නිකුත් වී තිබේ. එය ඇරඹෙන්නේ 1979 වසරේ උඳුවප් ශීතල මැද්දේය. එහි අවසානය සනිටුහන් වන්නේ ’89 ඉල් මාසයේ උණුසුම් දහවලකය. එතෙක්‌ ඇය විදි සතුට, වේදනා සියල්ල ඇය කියාපාන්නී, ඉතිහාසයේ ද එක්‌ පරිච්ඡේදයක්‌ වෙමිනි.

jvp leader rohana wijewera’s wife speak’s of bygone days

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.