heights of rakwana-සඳවතියට තුරුල් වූ රැය

Cover photoතාරක ගමගේ රක්වාන කඳු මුදුනට

කිසි හැලහොල්මනක් නැත. දැඩි නිහඬතාවයකි. වෙඩි හඬ ඇසුණේ කුමන දෙසින් දැයි සිතාගත නො හැකි ය. එය ‘බඳින තුවක්කුවක්’ විය නොහැක්කේ එක පිට හඬ තුනක් ම ඇසුණ නිසාවෙනි. “මේක අලි පන්නන්න දාපු රතිඤ්ඤා වෙන්නත් පුළුවන්” මම කීවේ සිත අස්වසා ගැනීමට මෙනි. එසේ නම් අලියා ගමට ගිහිං විය යුතු ය. එය අපට සුබාරංචියකි. මන්ද, මෙහි අලි ඇත්තේ තිදෙනකු පමණි. උන් ගම්වැදී ඇත්නම් තවත් දින ගණනාවක් යන තුරු කැලෑ නො වදිනු ඇත. එය අපේ ආරක්ෂාවට හේතුකි.

වැසිබර ගතිය පහව ගොස් ඇති සෙයකි. එහෙත් තවමත් තදින් සුළං හමා යයි. කූඩාරම ගැල වී නොයන්නේ ලණුවලින් එය බරැති ගල්ගෙඩිවල දවටා ඇති බැවිනි. තවත් ටික වේලාවක් පරිසරයේ හඬට මම කන්දිහාගෙන සිටියෙමි. සුළ‍ඟේ හෝ හඬ නිසාවෙන් අන් සියලු හඬ යටපත් වූවා සේ ය.

IMG_7641[1]මා අවදි වූයේ මුලු පරිසරය ම නිසොල්මන් විටෙක ය. පිටත හොඳින් ආලෝකවත් වී ඇති බැව් කූඩාරම තුළට වුව ද හොඳ හැටි පෙනේ. “එළි වෙලා ද? වෙන්න බෑ” මම කවුළු පියන්පත් විවර කළෙමි. සීතල වාතය ඇතුළට ගලා එයි. සඳ අහසේ මුදුන් වී ඇත. එය වටකොට පුළුන් වලා රොදකි. වලාකැටි මත සඳමඬල දිස් වනුයේ දේදුනු පැහැය ද මඳක් මුසු කරමිනි.

නැගෙනහිර අහස ආලෝකවත් වෙත්දී මම පිටතට පැමිණියෙමි. හිස් වැසුම හා ජැකට්ටුව
නිසා කිලිපොලා යන සීතලෙන් වහන්වීමට පුළුවන. අහසේ රෝස පැහැය දිය දහරේ ජලතලයෙන් ද මතු වේ. තණ මත රැඳි පිණි කැට මිණි මෙන් දිස් වන්නේ ඒ පැහැයෙනි. සැඟවුණු මිණි සොයා මිනිසුන් වනසන්නේ මෙවන් වූ පාරාදීසයක් නොවේ දැයි මම කල්පනා කරමි.

“තේ වත්කරන්න ද?” රශ්මි විමසූයෙන්, මම කරබාගෙන මඳින් මඳ මතුව එන කුරුලු කූජනයට කන් දුනෙමි. තුරුලතාතුරින් හිරු ඉහළ නැගෙන්නට කලියෙන් ම අපි පිටත් වුණෙමු. සියලු දෑ කූඩාරම තුළ තබා අවැසි උපකරණ කිහිපයක් පමණෙකි අප රැගෙන ගියේ. මේ ගමන් අරඹන්නේ රක්වාන කඳුවැටියේ මුදුන සොයා ය. අප ඉහළට යන්නේ හඳපාන් ඇල්ල දොළ මගේ දකුණු දෙසට විහිදුණු දිය දහර ඔස්සේ ය. එය මේ ඉසව්වෙන් දෙණිය වටා කවාකාරව විහිදී ගිය හෙයින් දෙණිය ‍මැදින් ගොස් ඒ වෙත පිවිසීම පහසු විය. දණක් උසට වැඩුණු තණ පීරමින් අපි ඉදිරියට ගියෙමු. නැවතත් කුඩා ලන්දකි. එය පසු කළ අපට දක්නට ලැබුණේ ඇස්මානය තෙක් විහිදී යන වඩා පුළුල් දෙණියකි. එහි එක් තැණෙක ගල්තලාවක් වුයෙන් එදෙස යෑමට පය ඉක්මන් කළෙමු. එහෙත් ‘ඉක්මන් කොට’ වීමට පුළුවන. බැලූ බැලූ සෑම තැනක ම වල ගොඩැලි ය. ඒ මත තණ වැවී ඇති හෙයින් වතුර පිරී ඇති වල පමණි පහසුවෙන් හඳුනාගත හැකි වූයේ. අක්වක් ලෙසින් ගමන් කරමින් ගල්තලාව වෙත පිවිසුනෙමු.

මෙතැන කඳවුරු සංකීර්ණයක නටබුන් ය. මෙහි වාඩි ලා ගෙන දෙණිය පුරා මැණික් ගරා ඇති සෙයකි. දැන් එහි ඉතිරිව ඇත්තේ වාඩි ඉදිකිරීමට ගත් ඒ මේ අත විසිරී ගිය දැව දඬු කිහිපයක් පමණෙකි. ගල්තලාව පසෙකින් ගල්කුළු හා පතුරුවලින් ගොඩ නැඟූ අපූරු පහන් පැලකි. එය දෙවියන් යැදීමට ඉදිකරවූවක් විය යුතු ය.

දෙණියෙන් ඉහළ දෙසට දොළ මගකි. අප ඉහළ ඇදෙන්නේ ඒ ඔස්සේ ය. උදා හිරුගේ රන් පැහැ කිරණ තුරු ලතා තුරින් පෙරී විත් ගල්කුළු මතින් නලියමින් දිවෙන දිය දහර මත පතිත වේ. දිය බුබුළු මතු නොව ආලෝකය ද බුබුළු දමන්නාක් සේය එදෙස බලන විට දිස් වන්නේ. අවට සිරිය මෙන්ම සුවය ද සිත් සේ විඳ ගනිමින් අපි සෙමින් සෙමින් ඉදිරියට ඇදුණෙමු. හරහට වැටී තිබූ දැව කඳක් මතින් එගොඩ වන අපට වරෙක එවැන්නක් යටින් රිංගා යෑමට ද සිදු වේ.

IMG_7700[1]“ස්ෂ්… මෙන්න කොටි අඩි..”

දොළ මගේ වැළි පිරිණු ඉවුරක අපූරුවට සටහන් වූ කොටි අඩි රැසකි. හොඳින් පිරීක්සූ විට පෙනී යන්නේ ඒවා මේ දැන් තැබූ අඩි බව ය. ඌ මොහොතකට පෙර මෙතැනින් පැණ ගොස් ඇත. ඇතැම් විට සැඟවී බලා සිටිනවා ද විය හැකි ය. ශබ්ද නො නඟා ගමන් කිරීමට ඌ රුසියෙකි. අප විපරම් කිරීමට නො රැඳුනෙමු. වම් දෙසට කන්දකි. දොළ මග ඒ වටා ගමන් කරන්නා සේ ය. ගොඩින් ගමන් කිරීම කෙටිමගක් විය හැකි ය. එදෙසට මිනිසුන් ගමන් කළ ළකුණු තිබේ. අපි ඒ ඔස්සේ ගියෙමු. සෑහෙන පැරැණි මුත් අතු ඉති කපා දමා මිනිසුන් ගිය මගක ලකුණු පැහැදිව ඇත. හිටි වන ම මං සලකුණු අතුරුදන් විය. අපි වල්මත්ව ඉදිරියට ඇදුනත් එය ඉතා දුෂ්කර ය. කටුපඳුරු ගහණ ය. දැන් කුමක් කරම් ද? එකම විසඳුම ඇත්තේ නැවත දොළ මගට පිවිසීම ය. එහෙත් ආපසු යා නොහැක. ජීපීඑස් උපකරණයේ ආ මග සලකුණු වී ඇත. ඒ අනුව යා යුතු මග මේ යැයි සිතා අප එක් දෙසකට ගියෙමු. එය කටුකොහොලින් පිරුණු දුෂ්කර ඉසව්වක් වුව ද වැඩිවේලාවක් යෑමට මත්තෙන් නැවත දොළ මගට පිවිසිය හැකි විය. වල්මත් වූ ඉසව්වේ කූඩැල්ලෝ ද අපට සලකා ඇති සැටියෙකි. තවමත් දෙපා ඔස්සේ ඉහළ නගින්නට තතනන කූඩලු රොත්ත අල්ලා දොළට හළෙමු. දණකට වඩා වතුරේ ගිලී අප ඉදිරියට ගියෙමු. මේ ඉසව්වේ දොළ මගෙහි බෑවුමක් නැති තරම් ය. එබැවින් එය මදක් ගැඹුරු ය. එසේ වුවත් ඒ ඔස්සේ ගමන් කිරීම කැලේ රිංගීමට වඩා සැපයකි.  තවත් ඉදිරියට යද්දී දොළ මග හරස් කළ ගල් වැටියකි. එය මිනිසුන් තැනූවක් බව බැලූ බැල්මටම පෙනේ. මම අවට විපරම් කළෙමි. දොළ ඉවුරෙන් මදක් ඔබ්බේ පුළුල් ලෙස හෑරූ වල කිහිපයකි. දොළ මග හරස් කොට ඇත්තේ ඉන් ලබා ගන්නා ඉල්ලම් පස් සෝදා ගැනීමට ය. ගැරුම්වල පසු කොට අප එතරම් දුරක් ඉදිරියට ගියේ නැත. දොළ මගේ වම්පසින් තුරු මත ඉදි කළ තවත් වාඩියකි. එය පෙර හමු වූ ඒවා තරම් පැරැණි නොවේ. හෙවිලි කළ ඉටිරෙදි කැබලි පවා තවමත් දක්නට ඇත. එතැන් සිට දොළ මගේ අතු දෙකකි. අපි වඩා පුළුල් මග ඔස්සේ ඉදිරියට ගියෙමු. දැන් නැග්මට ඇත්තේ දළ බෑවුමකි. වරෙක ගල් මුල් අල්ලාගෙන ඉහළ නගින අපට විටෙක දියකඳුරක් ඔස්සේ ඉහළ නැගීමට ද සිදු වේ. ගල්තලාවක් ඔස්සේ පහළට රූරා යන දිය දහරක් හැඳින්වෙන්නේ ‘දියකඳුරක්’ ලෙස ය. ගල්තලයේ නොගෑවී පහළට ඇද වැටෙන්නේ නම් එය ඇල්ලකි.

IMG_7736[1]කැලේ තැලෙන හඩක්! වහා නවතින්නයි මම රශ්මිට සන් කළෙමි. “අලිය ද?” අප සිටින්නේ දළ බෑවුම් සහිත ගල්තලාව මතින් ගලන දොළ මගහි ය. දෙපසම ඝනට වැවුණු බට පදුරු ය. හඬ නැඟුණේ වම් පස වූ බට පඳුරු අතරිනි. අලියෙක් මතු වුව ද දොළ මගේ පහළට විනා අන් දිව යා හැකි තැනක් නොමැත. දැන් කිසිත් හා හූවක් නැත. සතා මොකෙකු වුවත් අපගේ පැමිණීම ඉව වැටී නිසොල්මන් වී ඇත. අලිකොටි මතු නොව ගෝනුන්, මීමින්නන් ඈ තවත් ලොකු කුඩා ක්ෂීරපායීන් රැසක් ම මෙහි වෙසේ. මොහොතක් පොරොත්තු වූ අප සෝදිසියෙන් ඉදිරියට ඇදුනෙමු. දොළ මග දෙපස බට පඳුරු ඒ මතට නැවී ඇත. අපට සිදු වූයේ ඒ ඔස්සේ රිංගා යෑමට ය. දැන් දොළ මග කුඩා දිය සීරාවක් පමණි. ඉදිරියේ එළිමහනක් දිස් වූයෙන් දිය සීරාවෙන් ඉවත්ව අප ඒ දෙසට ගියෙමු. ගල්තලාවකි. ඉන් ඔබ්බේ කන්ද තවත් ඈතට විහි දී යයි. කැලෑ රොදක් පසු කළ අප නැවතත් ඉහළ නැඟුණේ බෑවුම් සහිත ගල්තලාවක් මතිනි. දියකඳුර අමාරුවෙන් තරණය කරමින් ඉහළට නැගි අපට හඳපාන් ඇල්ල දෙසින් තැන්නත්, ඉන් ඔබ්බේ වූ නිල්පැහැ කඳු වලල්ලේ කොටසකුත් දිස් වේ. ඉන් අප කුල්මත් වූයේ එහි ඇති අපූර්වත්වයට වඩා දැන් අපි මුදුනට සේන්දු වෙමින් ඇති බව හැඟී ගිය බැවිනි. අප පෙළෙන්නේ ශිකරය මුදුනට ගොස් නිල් පැහැ කඳු වැටි ඔස්සේ අනන්තය තෙක් විහිදී යන දසුන දැකීමේ නොතිත් ලෝලයෙනි. ඒ මොහොත උදාවන තුරු ඉවසුම් නොදේ. දැන් තවත් ජවසම්පනව ගිරිකුළ නැගිය හැකි ය.

ගිරිහිස දැන් පෙනෙන තෙක් මානයේ ය. ඒ වෙත ළඟාවන තුරු ඉවසුමක් නැත. කෙතරම් විඩා බර වුව ද අපගේ වේගය අඩුවක් නො වී ය. තවත් කුඩා කැලෑ රොද කිහිපයක් පසු කළ අප පිළිපන්නේ විසල් තැන්නකට ය. එහි තැන තැන ගල් තලය මතු වී ඇත. එක් පසෙක නිල් පැහැ කඳු වැටි පෙළ අනන්තය තෙක් විහි දී යයි. සූරියකන්ද සම්ප්‍රේෂණ කුළුණු දැන් මොනවට දිස් වේ. හාත්පස තුරුලතා මොන්ටානේ වනයක ලක්ෂණ දරයි. පතන තෘණ මතින් අපි මුදුන කරා ඇවිද ගියෙමු. මේ පරිසරය මට සිගිගන්වන්නේ හෝර්ටන් තැන්නය. අප දැන් ඇදී යන්නේ කර මත්තට උස් වූ හීන් කුරු බට යායක් මැදිනි.

http://www.naturetraveller.net

climbing to the heights of rakwana

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.