Left:වම නිරුවත් කිරීම

redss

ඈත හද්ද පිටිසර ගම්වලින් දහදුක් විඳගෙන සරසවි වරම් ලබන කොල්ලන්ට,කෙල්ලන්ට විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය දේශපාලනය අමුතු රහක් එහෙමත් නැතිනම් ඊටත් එහා ගිය ආශ්වාදයක් වන්නේ නිරායාසයෙන්මය. අවුරුදු 18ක් තිස්සේ දිව නොගෑ දේශපාලනික පැණි හට්ටිය තුල ඇද වැටී හොල්මන්වීමට අතිශ්‍යය බහුතරයක් විශ්වවිද්‍යාල දරුවන්ට සිදුවන්නේ දේශපාලනය යනු කුමක්ද සහ “ලාංකේය“ දේශපාලනය තුල තමන්ගේ භූමිකාව කුමක්ද යන්න හරියාකාරව තෝරා බේරා ගැනීම සිදු නොකරන නිසාවෙන්ය. ඒ පිළිබඳ තර්ක තිබිය හැක. නමුත් එකසේ පිළිගත යුතු පරම සත්‍යය වන්නේ විශ්වවිද්‍යාල තුල ඇති දේශපාලනය රටේ සංවර්ධනයටවත්, අධ්‍යාපනයේ ආරක්ෂාවට වත් ඔය කියන තරම් දායකත්වයක් නොදන්වන බවයි.

වාමවාදී ව්‍යාපාර වල පොත්ත ඝන රතුය, දකින දකින පැත්තෙන් පෙන්නේ දෑකැති, කුළු ගෙඩි, ලේ, දහඩිය සහ ප්‍රතිපත්ති පමණක්මය. ඒ පොත්ත ඇතුලේ කුණුවී පණුවන් ගැසූ ගන්දස්කාර ලෝකයක් ඇති බව මෑතකාලීනව දරුණුවටම කියාපාන්නේ සුරේකා සමරසේන නම් කාලෝචිත මාධ්‍යවේදිනිය විසින් ලියා පලකරන “මේ කතාව“ නම් කුළුදුල් පොත තුලින්ය. ඇයගේ ඒ කතාව තුලින් පෙරකී වාමවාදී ව්‍යාපාරවල ඝන රතු පොත්ත හිල්වෙන්නට අනින කිණිස පහර නිසාවෙන් ඒ අභ්‍යන්තරයේ ඇති කුණු ටික ටික එළියට එන්නේ සාහත්‍යයටද කොකා පෙන්වමින්ය. පොත ආරම්භයේම “පොත පුම්බන්නා“ ට අනුව ( සාමාන්‍යයෙන් පොතක මුල්පිටු අතර පොත ගැන පෙරවදන් සපයන කර්තෘ නොවන පුද්ගලයන් සියල්ල සිදුකරන්නේ පොත පිමිබීමය) සුරේකා එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්ය. “මේ කතාවේ“ එන ගාමක චරිතය අරුන්දතී බණ්ඩාර ලවා සුරේඛා එල්ල කරන මරාගෙන මැරෙන ප්‍රහාරය අතීතය,වර්තමානය, අනාගතය යන තුන්කල්හිම මහා විනාශයක් සිදුකරන “බංකර් බ්ලාස්ට්“ මාදිලියේ ප්‍රකාශනයක් ලෙස හැඳින්වීම වඩාත් උචිතය. ඒ මන්දයත් වාමවාදී දේශපාලනික ව්‍යාපාර ප්‍රතිපත්ති,විප්ලවය, රතු ස්මාරක වැනි සුන්දර වදන් පෙන්වා ගොඩනගාගෙන සිටින කුණු බංකර් බිඳවැට්ටීමට සුරේඛාගේ බෝම්බ ප්‍රමාණවත් බැවින්ය.

විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය නායකයින් වශයෙන් අති බහුතරයක් තේරී පත්වන්නේ හීනමානය පෙරටු කරගෙන ලිංගික ඊරිසියාවකින් පෙලෙන පුද්ගලයන්ය. පසුකලෙක වාමාංශික ව්‍යාපාරවල මුල් චරිත වන්නේද මොවුන් බැවින් එවැනි ව්‍යාපාරවලට හදවතින්ම කාර්යභාරයක් සිදුකරන ශිෂ්‍යාවන් හෝ සාමාජිකාවන්ට ඔවුන්ගේ අසංවර පුර්ෂලිඟු මොහොතකට හෝ සංවරකර තබන්නට සිදුවීම සත්‍යයකි. සුරේඛාගේ කෘතියේ එය අදාල ව්‍යාපාර වෙනුවෙන් තරුණියන් සිදුකරන තවත් කැපකිරීමක් ලෙස පෙන්වා තිබුණද ඇය විසින්ම එහි අවසන් ප්‍රතිඵලය පෙන්වා ඇත.

අත්පත්‍රිකා නැවීම, පත්තර නැවීම, පාප්ප සෑදීම, කොඩිවැල් කැපීමෙන් පටන් ගන්නා සාමාජිකාවන්ගේ ක්‍රියාකාරකම් සමූහය අදාල ව්‍යාපාර තුල මුඛරි නායකයන්ගේ නග්න ශරීරයන්ට යටවී විප්ලවීය ආශ්වාදයක් ලබන්නට හෝ එයට යටවී ඉකිබිඳින්නට සිදුවීම ඛේදවාචකයකි. “මේ කතාව“ කෘතියේ සමන්තා බණ්ඩාර මෙන්ම අරුන්දතී බණ්ඩාර යන චරිත තුලින් සුරේඛා මෙරට ජීවත් වූ සහ ජීවත් වන දහස් ගණනක් තරුණියන්ට කියාගන්නට බැරිව ලතවෙන කතාව එක හුස්මට කියන්නට අවස්ථාව ලබාදේ. නිහාල් අමරතුංග වැනි චරිත ගණනාවක් ශ්‍රී ලාංකේය දේශපාලනයේද ලාහට ගෙම්බන් එකතු කරනවා වැනි අයුරින් එකතු කරගත හැක. සුරේඛා සමරසේනලා ජීවත් වූ වාමවාදී ව්‍යාපාරවල අභ්‍යන්තරයේ ඕජස් ගලන සත්‍යය හෙලිකිරීම තුලින් නිරුවත් වන වර්තමානයක් ඇත. අදටත් අහිංසක කොල්ලන්,කෙල්ලන්ගේ ශ්‍රමය, ශක්තිය තුලින් ලෝකෙට පොරවල් වෙන සංවිධාන නායකයින් ඇත. සුරේඛා සපයන නිදර්ශන තුලින් ඔවුන් සත්‍යය සොයාගැනීමට උත්සහ කරයිද යන්න ගැටළුවකි, එහෙත් දශක පහකට වැඩි කාලයක් ඔද්දල් වුනු තුවාල ලෙහෙසියෙන් සුවපත් කරගත නොහැකිවනු ඇත.

 

ලංකාවේ වාමාංශික ව්‍යාපාර වලින් එලියට බැස රිසිසේ තමන්ගේම ජීවිතයක් ගතකරන ජීවීන් ඇත. ඔවුන් එසේ එලියට බැස්සේ ඔවුන් සොයන සහ ඔවුන්ට පෙන්වූ සැබෑ දර්ශනය ඒවා තුල නොතිබුණු නිසාත්, ඒ වෙනුවට ලිංගිකත්වය, කුහකත්වය සහ බලය පදනම් කරගලත් ශිෂ්ටාචාරයක් ඒවාතුල බින්නබැස තිබීමත් යන සමගාමී සාධක නිසාවෙන්ය. නමුත් ඔවුන් එලෙස එලියට බැස සිදුකරන ආත්ම ප්‍රකාශන තුලින් වදින කිණිසි පහරවල්, බෝම්බ පහරවල් නිසාවෙන් තවදුරටත් වාමවාදී ව්‍යාපාරවල රතු පොත්ත රැකගැනීම ඉතා අසීරුවනු ඇත.

political nudity of the left

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.