LTTE: සැකකරුවන් නිදහස් කිරීම ගැන හමුදා නිලධාරියෙකුගෙන්

 

 

 

 

channa

දෙමළ සැකකරුවන්ට කොන්දේසි සහිතව නිදහස දීම මේ දිනවල මහත් ආන්දෝලනයක් පවතී. මේ පිලිබදව යමක් ලිවීමට මහත් වුවමණාවකින් පසු වුවද, පල කිරීමෙන් පසුව එන අවලාද වලට මුහුණදීමට කාලය වෙන්කර නොගෙන වැඩේට අතගසන්නට නොහැකි නිසා එය ප්‍රමාද කළෙමි. අද මට ඒ පිලිබදව කාලය වෙන්කරගත හැකි බැවින් මෙම සටහන තැබීමට අදහස් කළෙමි.

මේ විවේචන එල්ල කරන අය අතර කොටස් දෙකක් සිටිති.
1.තමන් එල්ල කරන විවේචනය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව දැන ගෙනත් තම දේශපාලන ඉලක්කය සපුරාගැනීම සඳහා මෙය යොදාගන්නන්.
2. ඔවුන්ගේ අසත්‍ය ප්‍රචාරයන්ට අනියමින් ගොදුරු වූ අවංකවම රටට සහ ජාතියට ඇල්මක් ඇත්තන්,

මේ කොටස් දෙකෙන් මගේ කරුණු පැහැදිළි කිරීම යොමුගත කරන්නේ දෙවන කොටසටය. මන්ද ඉහත පළවෙනි වර්ගයට අයත් බොරුවට නිදාසිටින්නන් අවදි කිරීමට උත්සාහ කිරීම නිරර්ථක ක්‍රියාවක් බැවිනි. ඔවුන්ට දිගටම තමන් යෙදී සිටින භක්ත්‍යෝන්මාදී පුද්ගල වන්දනාවේ යෙදීමට ඇති අයිතියට ඉඩ හරිමි. එවැන්නන් මේ ලිපියට කලබල විය යුතුද නැත. මා ඔවුන් සමග පැටලීමටද අදහස් නොකරමි.

ඇත්තෙන්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මෙසේ නිදහස ඉල්ලා සිටින්නේ, යුද්ධය පැවති පසුගිය දශක ගනාවක් මුළුල්ලෙහිම ‘ත්‍රස්ථවාදය වැලැක්වීමේ පණත’ Prevention of Terrorism Act of 1978 යටතේ අත් අඩංගුවට ගෙන නඩුවක් පැවරීමට තරම් චෝදනා සොයාගත නොහැකිවූවන්ය. එවැන්නන් සිරගත කරගෙන සිටිය යුතුයයි යමෙක් සිතන්නේ නම් අනිවාර්යෙන්ම ඔහු හෝ ඇය ‘පරපීඩා කාමුකත්වය’ Sadism නමැති මානසික ව්‍යාධියෙන් පෙලෙන්නෙකි.karunamm

කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ නායක සහ අරන්තලා භික්ෂු ඝාතනය, මඩකළපුවේ පොලිස් නිලධාරීන් 700ක් ඝාතනය, පූනරීන්, මුලතිව් හමුදා සාමාජිකයින් දහස් ගණනක් යටත්වීමෙන් පසුව මරාදැමූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හිටපු ඇමති ගරු විනායමූර්ති මුරලිදරන් මැතිතුමා, ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යක් ගොඩ නැගීම පිණිස ජාත්‍යන්තරයේ අරමුදල් එක් රැස්කල කුමරන් පත්මනාදන් සහ දයා මාස්ටර් වැන්නන් කිසිදු නීතිමය පරීක්ෂණයකින් තොරව නිදහස ලබා සිටියදී මේ පාරේ ඉඳලා අල්ලගත් ‘හාල්මැස්සන්’ සිරකර තබාගත යුතු වන්නේ මන්දැයි මට නම් නොතේරෙයි.

තවද මේ යුද්ධය පැවති සමස්ථ කාලය පුරාවටම සටනෙහි යෙදී සිටියදී අවියත් සමග අල්ලාගත් සහ යටත්වූවන් ද පුනරුත්ථාපනය කර නිදහස් කොට ඇත. එසේ නිදහස ලැබූවන් සංඛ්‍යාවද දහස් ගණනකි. තත්වය එසේ තිබියදී චෝදනාවක් ගොනුකරගත නොහැක්කන් සිරගෙවල්වල පුරවාගෙන කන්න දීමෙන් ඇත්තටම රටට සිදුවන වාසිය කුමක්ද?

පසුගිය දිනෙක කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නැයි ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්වූ පෙත්සමක් ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ඉවත දැමූයේ ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තරම් සාක්ෂි නොමැති බව නීතිපති විසින් දැනුම් දීමත් සමගය. ඉතින් මේ නිදහස් කරන්නන්ටත් අදාල වන්නේ එම කොන්දේසියම නොවේද? යුද්ධය නිමාවීමෙන් පසු ඇතිවී තිබෙන සාමකාමී තත්වය රටේ එක් පලාතක එක් ජන කොටසකට පමණක් නොව දෙමළ ජන කොටසටද හිමිවිය යුතු නොවන්නේද?

මෙවැනි ගැටුමක් නිමාවීමෙන් පසුව ජාතිය ගොඩ නැගීමේදී සන්හිඳියා ක්‍රියාමාර්ග Reconciliation Adaptations ඉක්මනින්ම ගත යුතුව තිබුණි. ඒ සඳහා හොඳම පූර්වාදර්ශය ලෙස දකුණු අප්‍රිකාව ගත හැකිය. එම රටෙහි ගැටුමට සම්බන්ධ වූ සියළු පාර්ශ්වයන් හට තමන් කල වැරදි පවසා නිවැරදිවීමට නොබෙල් සාම ත්‍යාගලභී රදගුරු ඩෙස්මන්ඩ් ටුටූගේ ප්‍රධානත්වයෙන් ‘සත්‍ය කොමිසමක්’ Truth Commission ඇති කරන ලදී. ඒ පිලිබඳව කදිම විස්තරයක් ඩෙස්මන්ඩ් ටුටූ පිලිබඳව ලියා ඇති The Rainbow People of God පොතෙහි අඩංගුය. අවාසනාවකට යුද්ධය ජයගැනීමෙන් පසුව අප රටෙහි සිදුවූයේ එම ජයග්‍රහණය යොදාගනිමින් පලාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ ජයගැනීමට ක්‍රියා කිරීමය.

මේ තත්වය මෙතරම් විවේචනයට ලක්වීමට බල පෑ තවත් එක් ප්‍රබල සාධකයක් වන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රයෙහි ඇති අකාර්යක්ෂම භාවයයි. ආණ්ඩුවේ බලධාරීන් කාලීන වශයෙන් වැදගත් විෂයයන්ට අදාලව ජනතාව නිවැරදි තොරතුරුවලින් දැනුවත් කරන්නේනම් මෙවැනි විෂයයන්ගෙන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන්නන් පරාජය කල හැකිය. මේ විෂය භාර දේශපාලකයින් සහ රජයේ නිලධාරීන් දැන්වත් මේ සඳහා ඵලදායී මැදිහත්වීමක් කළ යුතුය.

අපවැනි කුඩා ජාතියකට උසුලාගත නොහැකි තරම් දුක් වේදනාවන්ට මේ ගැටුම නිසා අපේ රටේ සියළුම ජනකොටස් ගොදුරු වූහ. එබැවින් කරුනාකර මේ සිල්ලර දේශපාලනයේ නොයෙදී අප සියල්ලන්ටම සාමයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනගා ගැනීමට සැබෑ ‘දේශප්‍රේමීන්’ එක් විය යුතුය. අවසන් වශයෙන් එක් දෙයක් කියමින් මේ සටහන අවසන් කරමි. “අනෙකා සිරගත කර අපේ ආරක්ෂාව තහවුරු කරගත හැකියැයි” විශ්වාස කරන තෙක් අපේ රටට කිසිදු යහපතක් සිදු නොවනු ඇත.

(යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙකු මෙන්ම මානව සම්පත් සංවර්ධන උපදේශකයෙකුද වන ලුතිනන් කර්නල් චන්න කරුනාරත්න මහතා සිය ෆේස් බුක් අඩවියේ තබන ලද සටහනකි)

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.