Maldives :හදිසිය ඉවත් කළත් භීතිය හමාර නොවේ

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් ගණනාවක් විසින් සිදු කරන ලද බලපෑම් හේතුවෙන් හදිසි නීතිය ඉවත් කළත් රටේ පවතින අස්ථාවර බව වෙනස් වී නැති බව ලංකා නිව්ස්  ලයින් වෙත මලේ සිට කථා කළ ශ්‍රී ලාංකිකයෙක් පැවසීය.

උම්බලකඩ ගෙන ඒම සඳහා මාලදිවයිනට ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමට ආ ස්නයිපර් වෙඩික්කරුවෙකු යැයි ව්‍යාජ චෝදනා නගමින් එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමත් ශ්‍රී ලංකාවේ වලංගු වීසා මත සිටි මාලදිවයින් ජාතික සමාජ ජාල ක්‍රියාකාරිනියක් පිටුවහල් කරවා ගෙන අත් අඩංගුවට ගැනීමත් ඇතුළු මාලදිවයිනේ පැන නැගෙමින් එන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලවත් කනස්සල්ල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ප්‍රකාශ කර තිබේ.

 

අත්අඩංගුවට ගත් ආයුධ

 

ස්නයිපර් වෙඩික්කරුවක්

 

අබ්දුල්ලා යමීන් ගමන් කීරීමට සූදානම් වූ අධිවේගී බෝට්ටුවක පිපිරුමක් ඇති වීම පාදක කරගෙන ජනාධිපති ඝාතනයට තැත් කළා යයි කියමින් එරට 33 හැවිරිදි උප ජනාධිපති වරයා අත් අඩංගුවට ගෙන තිබෙන අතර මාලදිවයින් පුරා දින 30 කාලයක් දක්වා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපතිවරණයේදී අබ්දුල් යමීන් විසින් පරාජයට පත් කළ හිටපු ජනාධිපති අබ්දුල් නෂීඩ් මේ වන විට සිටින්නේ ද ත්‍රස්තවාදී චෝදනා නගා අත් අඩංගුවේය. මාළාබේ පදිංචි තරුණ ව්‍යාපාරිකයෙකු උම්බලකඩ ගෙන ඒමට මාලදිවයිනට ගොස් ඇත්තේ ඒ අතර තුරදීය. ඔහු ජනාධිපති ඝාතන තැතට සම්බන්ධ ස්නයිපර් වෙඩික්කරුවක් කියා එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතත් එකී තරුණයා කෙදිනක හෝ ස්නයිපර් අවියක් නොව කිසිදු ගිනි අවියක් පිලිබඳ පුහුණුවක් ලද්දෙක් නොවේ. ඔහුගේ පියාද කොළඹ කරවල ව්‍යාපාරිකයෙකි.

වර්ධනය වෙමින් ඇති තත්ත්වය ගැන කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මාලදිවයින් ව්‍යවස්ථාවෙන් ද පිලිගෙන තිබෙන මූලික මානව හිමිකම් වලට ගරුකරමින් කටයුතු කරන ලෙසත් පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තීන්ට අත්සන් තබන ලද රටක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය ට ගරුකරන ලෙසත් එරට පනවා ඇති හදිසි නීතිය ගැන කනස්සල්ල පලකරන බවත් ශ්‍රී ලංකාව මාලදිවයින් රජය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. වර්තමානයේ මාලදිවයිනේ නැගී එන තත්ත්වය කලාපීය අස්ථාවරයක් ඇති කරනු ඇති බවත් මාලදිවයින් ජනතාව අමාරුවෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් ආපසු හැරවීමට ඉඩ නොදෙන ලෙසත් ශ්‍රී ලංකාව මාලදිවයිනෙන් ඉල්ලා තිබේ.

 

බෝට්ටුවේ පිපිරුම

මේ අතර ඇමරිකානු FBI බුද්ධි අංශ පවසන්නේ මාලදිවයින් ජනාධිපතිවරයා ගමන් ගැනීමට සූදානම් වූ බෝට්ටුවක ඇති වූ පිපිරුමට පුපුරණ ද්‍රව්‍ය යොදා ගත්තා යැයි කිසිදු සාක්ෂියක් ලැබී නැති බවයි. එවැනි අධිවේගී බෝට්ටු වල විවිධ පිපිරීම් ශබ්ද සමග අධික දුමක් නැගී ඒම සාමාන්‍යයෙන් ඇති වන බව මාලදිවයිනේ වසර 20 ක පමණ කාලයක් වෙසෙන අයෙක් පැවසීය. මාලදිවයිනේ දිවයින් අතර ගමනා ගමනය සඳහා අධිවේගී බෝට්ටු භාවිතා කිරීම සුලභ දෙයකි. පෙර කී පිපිරුමෙන් පසු ඇති වූ කලබලය නිසා බිරිඳට සුළු තුවාලයක් වූවා මිස අබ්දුල් යමීන්ට සීරීමක්වත් වූයේද නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.