Media Corruption – හිසරදයක්

ලිපීනයේ ගැටුම්කාරී මුස්ලිම් මින්දනාවෝ ප‍්‍රදේශයේ සිදුවූ අපකීර්තිමත් ජන ඝාතනයේ හයවැනි සංවත්සරය නොවැම්බර් 23 වැනි දාට සැමරේ. ගැහැටට පත් මේ පළාතට අයත් දැකුම්කළු මැගුවින්ඩානෝ පෙදෙසේදී, බලවත් ගෝත‍්‍රයක් වන අම්පාතුවන් කල්ලියක් විසින් 2009 නොවැම්බර් 23 වැනි දා තිරිසන් ලෙසින් ඝාතනය කෙරුණු 58 දෙනා අතරේ මාධ්‍යවේදීහූ සහ මාධ්‍ය සේවකයෝ 32 ක් වූහ.


Andal Ampatuan Sr., center, in 2012. Mr. Ampatuan was accused of ordering an attack on a rival’s convoy that left 58 dead.
ඒ පසුපස ඇති කතාව අතිශය සංකීර්ණ ය. විවිධ පැතිමාණ ගන්නා විවිධ ස්වරූපයන් ඊට තිබේ. දිග් ගැස්සුණු ගැටුම්කාරී තත්වයක පවතින ගතිකයන්, රජයේ අදූරදර්ශී ප‍්‍රතිචාරයන්, බලගතු දේශපාලඥයන් සහ ගෝත‍්‍රිකයන් සතු පෞද්ගලික හමුදාවන්, දරිද්‍රතාව පාවිච්චියට ගැනීම්, ඊනියා ‘ආගමික ගැටුමක’ පවතින දේශපාලනික ආර්ථිකය වැනි ඊට අදාළ කරුණු වැළ ඉතා දීර්ඝ එකකි. එහෙත් මාධ්‍යවේදී ආරක්ෂාව පිළිබඳ කාරණය පමණක් සැළකිල්ලට ගැනීමේදී නිරාවරණය වන්නේ බියකරු කතාන්තරයකි.

පිලිපීන මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන සහ ඔවුන්ගේ ආරක්ෂාවට අදාළ ප‍්‍රශ්න දීර්ඝ කාලයක් තිස්සේ පැවත එයි. පිලිපීනය යනු, මාධ්‍යවේදීන්ට වඩාත් අනාරක්ෂිත රටවල් අතරින් එකකි. ලෝක අවධානයට නිරතුරුව ලක්වන සිරියාව හෝ වෙනත් එවැනි රටක් මෙන් නොව, මේ නැගෙනහිර කොදෙව් සමූහයේ සිදුවන බොහොමයක් දෑ ලෝකයාට වාර්තා නොවේ. එහෙත් සාමාන්‍ය වශයෙන් ගත් විට, මාසයකට එක් මාධ්‍යවේදියෙකු බැගින් මේ රටේ ඝාතනය වෙයි.

අම්පාතුවන් ඝාතනය පිළිබඳ සොයා බලන ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමේ මමද සාමාජිකයෙකු වීමි. අපරාධකරුවන්ගේ නිරන්තර තර්ජනයන් මැද, ඉලක්කයක් විය හැකි අවදානමින් යුත්, රැකවරණ ගමන් කණ්ඩායම්වලට අනුබද්ධව කටයුතු කළ අවාසනාවන්ත මාධ්‍යවේදීන්ගේ කතා පසුපස ඇති අපූරු කරුණු අපට දැන ගැනීමට ලැබුණි. දීර්ඝ කතාවක් කෙටියෙන් කියන්නේ නම්, ඒ වන විට නගරාධිපති තනතුර හොබවන ප‍්‍රතිවාදියෙකුගෙන් එල්ල විය හැකි ප‍්‍රහාරයකට ආරක්ෂණ වළල්ලක් වශයෙන් මාධ්‍යවේදීන්ව පිරිවරාගෙන යාමට එක් නගරාධිපති අපේක්ෂකුට අවශ්‍ය විය. මේ අපේක්ෂකයාට මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙස, නගරාධිපතිවරයාගෙන් විවිධ තර්ජන එල්ල වී තිබුණි. නාම යෝජනා භාර දීමට ගෙදරින් පිටවුණොත් ඔහුගේ සහපිරිවරට යම් ප‍්‍රහාරයකට ලක්විය හැකි බවටත් තර්ජන තිබුණි. මේ මාරක තර්ජනය ගැන මාධ්‍යවේදියෝ හොඳින්ම දැන සිටියහ. එසේ තිබියදීත් අර නගරාධිපති අපේක්ෂකයා සමග ඔහුගේ සහපිරිවර සමගින් යාමට ඔවුහූ ඉදිරිපත් වුහ. එය ඔවුන්ගේ ජීවිතවල අවසාන ගමන විය.

 

0b1299b7c3ff4221b2db693f9d25d153_18

 

 

මාධ්‍යවේදීන් මෙසේ ජීවිත පරදුවට තබමින් එකී අපේක්ෂකයාගේ ගමනට එක් වීමට බලපෑ හේතු සෙවීම සඳහා, මේ සිද්ධියෙන් මාස කිහිපයකට පසු, මැනිලා සහ මින්දනාවෝ පෙදෙසේ තවත් මාධ්‍ය සගයන් කිහිප දෙනෙකු සමග මම විමර්ශනයක් දියත් කෙළෙමි. එක් මාධ්‍යකරුවෙක් සැබෑ කතාව එහිදී අපට කීවේය.

නගරාධිපති ධුරය සඳහා තරග වදින අළුත් අපේක්ෂකයා තම රැකවරණීය සහපිරිවරට එක් වන්නැයි මාධ්‍යවේදීන්ට ආරාධනා කොට ඇත්තේ, මුදල් දිරිගැන්වීම් සමගිනි. අපේ ක්ෂේත‍්‍රයේ කටවහරින් හැඳින්වෙන පරිදි, ‘‘ලියුම් කවර මාධ්‍යවේදය’’ හරහා ය. ‘‘නත්තල අත ළඟ නිසා අමතර ගතමනාවක් හොයාගන්න  ඕන කම තිබුණා’’ යැයි, එම ප‍්‍රහාරයෙන් අනූනවයෙන් බේරී ආ එක් මාධ්‍යවේදියෙක් කීය. ඇත්තෙන්ම මේ ගමනට ආරාධනා කොට තිබුණේ මාධ්‍යවේදීන් 18 දෙනෙකුට පමණි. එහෙත් ‘‘ලියුම් කවර’’ කතාව දැන ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් 32 ක්ම ඊට එක් වූහ. මෙසේ අනාරාධිතව පැමිණි මාධ්‍යවේදීන්ට ගෙවීම සඳහා අමතර මුදල් රැගෙන ඒමට අපේක්ෂකයාගේ නිලධාරීන්ට ආපසු ඔවුන්ගේ කාර්යාලයටත් යන්නට සිදුවූ බව, තවත් මාධ්‍යවේදියෙක් කීය. මේ සියල්ලන්ම ගමනට සහභාගී වුණේ, ඒ ‘‘ලියුම් කවර’’ ලැබුණු පසුවයි. ඒ සමගම, පවතින අවදානම ගැනත් හොඳින් දැනුවත්වයි.

වෙනත් කිසි වෘත්තිකයෙකුට වඩා මාධ්‍යවේදියෙකුට, දූෂණය නිසාම, ආරක්ෂාව පිළිබඳ දරුණු අවදානමකට මුහුණදීමට සිදුවිය හැකිය. එබැවින් මාධ්‍යවේදීන් සඳහා පැවැත්වෙන සෑම පුහුණු පාඨමාලාවකම- එය ආචාර ධර්ම පිළිබඳව වේවා, ආරක්ෂාව පිළිබඳව වේවා- දූෂණය පිළිබඳ ගැටළුව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කෙරේ. එවැනි අක‍්‍රමිකතාවන්ගෙන් වැළැකී, සිය සුපිළිපන් භාවය ආරක්ෂා කරගන්නැයි ඔවුන්ට එම පුහුණුවේදී තදින්ම උපදෙස් දෙනු ලැබේ.

වසර 6 ක් ගතව ඇති මේ සිද්ධිය කීමට මට සිදුවුණේ, පසුගිය සති දෙකක කාලය තුළ නැගෙනහිර සහ උතුරුමැද පළාතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග කටයුතු කිරීමට සිදුවූ අවස්ථාවේ ඇසීමට ලැබුණු ඉතා පිළිකුල් සහගත කතා සමහරක් නිසා ය. ඒ ගැන තවදුරටත් සොයා බැලීමේදී, වෙනත් පළාත්වල තත්වයත් ඊට වෙනස් නැති බව දැනගත හැකි විය. ප‍්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමේද මාධ්‍යකරුවන් අතර පවතින දූෂණය, අදාළ සියලූ පාර්ශ්වයන්ගේ හදිසි අවධානය අවශ්‍ය කරන තරමේ වසංගතයක් බවට අද පත්ව තිබේ.

 

ammpathu
ජාතික මාධ්‍ය තුළ වාර්තා වන අන්තර්ගතයෙන් සියයට 60 කට වැඩි ප‍්‍රතිශතයක් සැපයෙන්නේ ප‍්‍රාදේශීය වාර්තාකරුවන් හරහා බව, සරළ විමසුමක් කිරීමෙන් දැනගත හැකි කාරණයකි. මුද්‍රිත මාධ්‍ය අංශයේ කටයුතු කරන අයවළුන් ලබන ගෙවීම සොච්චමකි. එහෙත් විකාශන මාධ්‍ය තුළ තත්වය ඊට වෙනස් ය. අනිත් අතට, ලිඛිත මාධ්‍යයේ නිරත ප‍්‍රාදේශීය මාධ්‍යකරුවන් පූර්ණ කාලීනයන් නොවේ. එයින් බොහොමයක් දෙනෙකු වෙනත් ජීවිකා වෘත්තියක නිරත වන අතර මාධ්‍ය වාර්තාකරණය ඔවුන්ගේ අමතර රාජකාරියකි. එහෙත් එයින් බොහොමයකට එය වැදගත් ආදායම් මාර්ගයක් වන බව සමහර මාධ්‍යවේදීහූ කීහ.

‘‘ප‍්‍රධානම වැඬේ තමයි, මොකක් හරි කතාවක් වාර්තා නොකරන බව කියලා කප්පම් ගන්න එක.’’ යි එක් මාධ්‍යවේදියෙක් කීය. ඇතැම් අවස්ථාවක මොවුන්ගේ අනුග‍්‍රාහකයන් සතුටු කිරීම පිණිස රජයේ අවංක නිලධාරීන්ට, තමන්ගේ වාර්තාවන් හරහා මඩ ගසා අපවාද කරනු ලැබේ. මෙවැනි අභූත චෝදනාවන්ට ප‍්‍රතිඋත්තර බැඳීමේ අවස්ථාවක් එකී වින්දිත රාජ්‍ය නිලධාරීන්ට කවදාවත් නොලැබෙන බව කියැවේ. තවත් අවස්ථාවක, බුරුලක් නොදක්වන නිලධාරීන්ව වරදේ පැටලැවීම සඳහා, ඊනියා විමර්ශන කතා මාධ්‍ය තුළ ගොතනු ලැබේ. ඒ, තවත් පාර්ශ්වයකින් ලැබෙන, කලින් එකඟ වූ ගාස්තුවක් වෙනුවෙනි. තවත් අවස්ථාවකදී, තමන්ගේ විකාශන කාලයේ ප‍්‍රචාරණය කෙරෙන ‘විමර්ශනයක්’ තුළින්, පරිසර ආරක්ෂාවට අනුගත නැති එක් වාණිජ ව්‍යාපෘතියක් ගැන වාර්තා නොකර සිටීමට නම්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන හතරක් එක් මාධ්‍යවේදියෙක් ඉල්ලා තිබේ. මේ මුදල, කොළඹ මාධ්‍ය කාර්යාලයේ ප‍්‍රවෘත්ති මේසයේ සිටින තවත් කෙනෙකු සමග බෙදා ගැනෙන බව ඔහු සිය සේවාදායකයාට කියා තිබේ.

පළාත්බදව හෝ වෙනත් තැන්වල බොහෝ මාධ්‍යවේදීන් සිටින්නේ දේශපාලඥයන්ගේ සාක්කුවේ ය. මෙය ශ‍්‍රී ලංකාවට පමණක් විශේෂිත තත්වයක් නොවේ. එහෙත් එම කාරණය මෙහිදී අවසරයක් වශයෙන් ගත යුතු නැත. මාධ්‍ය යනු සමාජයේ ‘සිව්වැනි පර්ෂදය’ නම්, එහි ස්වාධීනත්වය, වගවීම සහ අභිමානය උපරිමයෙන් ආරක්ෂා කරගත යුතුව තිබේ. දූෂිත මාධ්‍යවේදීන් සහ කතුවරුන් කරනු ඇත්තේ ඔවුන්ම වෙසෙන සමාජයේ මිනී වළ හෑරීමයි.

 

press-report-on-reporters-cartoon-chris-madden

 

මෑතකදී ඉස්ලාමාබාද් නුවර පැවති මාධ්‍ය කටයුත්තකදී, ඇතැම් මාධ්‍යවේදීන් ප‍්‍රසිද්ධියේම සංවිධායකයන්ගෙන් මුදල් ඉල්ලන අයුරු මම දුටුවෙමි. එම ඉල්ලීම එකහෙලා ප‍්‍රතික්ෂේප කෙරුණි. ශ‍්‍රී ලංකාව එම තත්වයට පැමිණීමට තව දුර යා යුතුය. එහෙත් විවිධ තැන්වලින් අසන්නට ලැබෙන විවිධ කතා ගැන සිතෙන විට, අපේ සමාජයේ අනාගතය ගැන ඇති වන්නේ බියකි.

යහපාලනය යනු ආණ්ඩුවට පමණක් බලපවත්වන්නක් නොවේ. මාධ්‍ය වැනි වෙනත් අංශත් යහපාලනික රීතීන් අකුරටම පිළිපැදිය යුතුය. එහෙත් අද මේ ක්ෂේත‍්‍රයන් හසුරුවනු ලබන්නේ ආර්ථික කාරණා සහ දේශපාලනික කාරණාවලින් මිස, මාධ්‍යවේදයේ බයිබලය වන පොදු සුභසිද්ධිය පිළිබඳ උවමනාවන් විසින් නොවේ. මුරබල්ලන්වත් මුර කෙරෙන ශක්තිමත් යාන්ත‍්‍රණයක් අපට අවශ්‍ය කෙරේ. එය සැපයිය යුත්තේ මාධ්‍ය අංශයේම ක‍්‍රියාකාරිකයන්ගෙනි. මීට කලකට ඉහත පැවති ‘‘කොළඹ ප‍්‍රකාශනය’’ වැනි සහයෝගී කථිකාවක්, වෙන දාටත් වඩා, අද අවශ්‍ය කෙරේ.-රංග කලන්සුරිය

2015 ඔක්තෝබර් 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  Corruption in Media: A Social Epidemic නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Yahapalanaya is not only for the government. Sectors like media, too, should follow the rules of good governance to the letter. But now it is mostly governed by economic or political interests – not by public interest which is the bible of journalism. We need a sound system to watch the watchdog and it should be derived from the industry players themselves. A collaborative discourse such as “Colombo Declaration” which took place sometime ago, is the need of the hour.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.