Nimalarajan:නික්ම ගොසින් 15 වසරක් ගෙවුණු තැන

nimalarajan_cropped

නිමලරාජන් මරා දමා දැන් පහළොස් වසක් ඉක්ම ගොස් ය. උතුරේත්,  දකුණේත් ජනමාධ්‍යවේදීන්ගේ කුළුපග මිතුරෙකු වූ නිමලරාජන් අති දුෂ්කර සීමාවන් මැද වුවද  දෙමළ ජනයා අත් විඳි දුක් වේදනාවන් දකුණේ සිංහලයා හමුවේ පමණක් නොව, බාහිර ලෝකයා හමුවට ගෙනෙන්නට දිවි පරදුවට තබා ක්‍රියා කළ මාධ්‍යවේදියෙකි. නිමලරාජන්ට එරෙහිව  ඔහුගේ සතුරන් එක් පෙළකට ගොනු වන්නට වූ පසුබිම නිර්මාණය වූයේ ඒ මගිනි. අවසානයේ එහි ප්‍රතිඵලයක් ලෙසින්, රජයේ අධි ආරක්ෂක කලාපයක් වූ  යාපනයේ කච්චේරිය ප්‍රත්‍යන්තයේ වූ නිමලරාජන්ගේ නිවෙසටම පැමිණි අවි ගත් ඝාතකයන් වෙඩි තබා, අත් බෝම්බ ප්‍රහාර ද  එල්ල කොට ඔහු මරාදැමීය.

ඒ පහළොස් වසරකට පෙර අද වැනි දවසකදී ය.

2000 වසරේ ඔක්තෝබර් 19 වැනිදා රාත්‍රී 10.00ට ආසන්න වෙමින් ඇති විට නිමලරාජන් සිටියේ  යුද්ධයෙන් පිඩාවට පත් යාපනේ ජනයා ගැන ‘වීරකේසරී’ පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් ය‍. ඔහු මරා දැමුණේ ඒ කාර්යය නිමා කරන්නට පෙර ය.

නිමලරාජන්ගේ දුෂ්කර දිවි සැරිය දෙමළ විරෝධී ම්ලේච්ඡත්වය පිළිබඳ අපේ ඉතිහාසය හා බැඳී පවතී.

කළු ජූලියෙන් යාපනයට

1983 ජූලි මාසයේ වර්ගවාදීන්ගේ ප්‍රහාරයට ලක්වුණු,  අගනුවර දෙමළ ජනයා අතරේ නිමලරාජන්ගේ දෙමාපියන් ඇතුළු  සොයුරු සොයුරියන් හත් දෙනාද  ද විය. රජයේ මුද්‍රණාලයේ සේවය කළ  සන්ගරපිල්ලෛයි මයිල්වාගනම් – නිමලරාජන්ගේ පියා – වාම දේශපාලනයේ නිරත වූ වෘත්තීය සමිති ක්‍රියාධරයෙකි. නිමලරාජන්ලා රාජගිරියේ පදිංචි නිවෙස අත්හැර යාපනේ පදිංචියට යන්නේ අනාථ කඳවුරුවල සති කීපයක් ගෙවා දැමීමෙන් අනතුරුව ය.  ඒ 1983 ජූලි ජාතිවාදී   ප්‍රහාරයන්ගෙන්, ජීවිත රැකගත් දෙමළ මිනිසුන් බොහෝ දෙනා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පිටත් කර යැවීමේ රාජ්‍ය සැළැස්මට යටත් වෙමිනි.

යාපනයට පැමිණි සන්ගරපිලෛ මයිල්වාගනම්ට රජයේ මුද්‍රණාලයේ රැකියාව අහිමි වුවද, එවකට යාපනේ මුද්‍රණය කර බෙදාහැරුණු ‘මුරසෝලී’ පුවත්පතේ මුද්‍රණ අංශයේ රැකියාවක් ලබා ගැනීම එතරම් දුෂ්කර නොවූයේ ඔහු සතු වෘත්තීය පරිචය නිසා ය. තරුණ වියට එළඹෙමින් සිටි නිමලරාජන් ද සිය පියා සමගින් ‘මුරසෝලී’ මුද්‍රණ කටයුතුවලට එක් වූ නමුත් සති කිහිපයක් ඉක්මයාමටත් මත්තෙන් ඔහුව බෙදාහැරීම් අංශයට බඳවා ගනු ලැබුයේ නිමලරාජන් සතු සිංහල බස හැසිරීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැළකීමේ ප්‍රතිඵලයක් වශයෙනි. සිය බෙදාහැරීමේ රාජකාරියට අමතරව ඔහු විසින් දිනපතා රැස්කරගන්නා තොරතුරු ‘මුරසෝලී’ සංස්කාරක මණ්ඩලය හමුවට තැබුණු අතර කලක් ඈවෑමෙන් පුවත් පතේ මාණ්ඩලික වාර්තාකරුවෙක් ලෙස බඳවා ගන්නට පසුබිම නිර්මාණය වූයේ ඒ යටතේ ය.

තොරතුරු වාර්තාකරණයට ඔහු සතු නිසඟ හැකියාව අවබෝධ කරගත්  ‘මුරසෝලී’ ප්‍රධාන සංස්කාරක එන්.එස්. තිරුචෙල්වම් විසින් කරන ලද යෝජනාව නිමලරාජන් නමැති පත්‍ර කලාවේදියාගේ උත්පත්තියට නිමිති වූයේ මේ අනුව ය.

ඉන්දීය හමුදා සමය

1987 ජූලි මාසයේ දී අත්සන් කෙරුණු ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ පැමිණි ඉන්දීය හමුදාවන් කෙරෙහි දැඩි  විවේචනාත්මක ස්ථාවරයක් ගත් යාපනයේ පළ කළ පුවත්පත් අතර  ‘මුරසෝලී’ හා ‘ඊළමුරසු’ පත්‍ර ප්‍රධාන තැනක් ගත්හ. ඉන්දීය හමුදා ප්‍රධානීන්ගේ දැඩි වෛරයට ලක් වීමට මෙම පුවත්පත්වලට සහ එහි සේවය කළ මාධ්‍යවේදීන්ට සිදුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ’87 ඔක්තෝබර් 10 වැනිදා පුවත්පත් මුද්‍රණය කෙරෙමින් තිබු රෑ මැදියමේ පැමිණි ඉන්දීය හමුදා භටයෝ විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව මුද්‍රණ සේවකයන් අත්අඩංගුවට ගෙන බෝම්බ ප්‍රහාර එල්ල කරමින්  මුද්‍රණාලය පුපුරුවා හැරියහ. කාර්යාල ‍දෙකම ඉලක්ක කොට මෙම ප්‍රහාරයන් එකවර එල්ල කිරීමට ඉන්දීය හමුදාව සුක්‍ෂම විය.

ප්‍රහාරයෙන් පසු මෙකී පුවත්වත්වල සේවය කළ මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගැනුණු අතර බොහෝ දෙනා යාපනයෙන් වෙනත් ප්‍රදේශවලට පලා ගියහ.  අත්අඩංගුවට ගත් ‘ඊළමුරසු’  ප්‍රධාන සංස්කාරක වී.ගෝපාලරත්නම් දින 180 ක් හමුදා භාරයේ රඳවාගෙන සිටි අතර පුවත්පත මුද්‍රණය සපුරා අත්හිටුවිණ. ප්‍රහාරයෙන් පසු කෙටිකලකින් යළි  මුද්‍රණය අරඹන්නට සමත් වූ  ‘මුරසෝලී’ 1999 වනතෙක් පවත්වාගෙන විත් පසුව වසා දැමුණි. ඉන්දීය රහස් ඔත්තු සේවා උපදෙස් යටතේ කටයුතු කළ ඉන්දීය හිතවාදී සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් විසින් නිමලරාජන්ව ද ඉන්දීය හමුදා බලධාරීන්ට කොටුකර දීමට නොයෙක් වර වෙර දැරූ මුත් නිමලරාජන් ඒ අනතුරෙන් ගැළවී ගන්නට සමත් විය.

‘ඊළනාදම්’ උත්පත්තිය

‘ඊළමුරසු’  පුවත්පත අකර්මන්‍ය වීමෙන් ඇතිවූ රික්තය පිරවීමේ අභිලාෂයෙන් නව පුවත්පතක් ඇරඹීමේ මුලික සාකච්ජා ඇරඹෙන්නේ ’90 දශකය උදාවීමත් සමගිනි. ‘ඊළමුරසු’ ප්‍රධාන සංස්කාරකවරයා ව සිටි ගෝපාලරත්නම් යළිත් මුල් පුටුවට පත් කරමින් ‘ඊළනාදම්’ පුවත්පත ඇරඹෙන්නේ ඒ අනුව ය. යාපනයේ පළ කෙරෙන අනෙක් පුවත්පත් අභියෝගයට ලක් කරමින් දියත් කෙරුණු ‘ඊළනාදම්’ පත්‍රයේ බෙදාහැරීම් අංශයට නිමලරාජන් යළිත් සම්බන්ධ වුවද ඉතාමත් කෙටි කලකින් මාණ්ඩලික වාර්තාකරුවෙකු ලෙස සංස්කාරක මණ්ඩලයට එක්වීමට ඔහු සමත් වූයේ මේ සමයේ ය.

2009 මුල්ලිවෛක්කාල් සංහාරයෙන් දිවි ගළවා ගෙන පිටුවහළේ සිටින ‘ඊළනාදම්’ පත්‍රයේ පුරෝගාමී  නියමුවෙකු වූ පොන්නයියා ජෙයරාජ්  නිමලරාජන් ගැන දැනුදු සිහිපත් කරන්නේ ආදරයෙනි.

“නිමලරාජන් කියන්නේ ඕනෑම දුෂ්කර තත්වයන් යටතේ වැඩ කරන්න ධාරිතාවක් තිබුණු කෙනෙක්” ඔහු කියයි.

“විශේෂයෙන් ප්‍රවෘත්තිවලට වැදගත් තොරතුරු කඩිනමින් ලබා ගන්න හැකියාවක් නිමලරාජන්ට තිබුණා. සිංහල භාෂාවෙන් ඉගෙන ගෙන තිබුණු නිසා ආණ්ඩුවේ කාර්යාලවලින්, පොලීසියෙන්, හමුදාවෙන් එහෙම තොරතුරු දැනගන්න එක ඔහුට පහසු වුණා. ඒ වගේම වෘත්තීය අවශ්‍යතාවයන්ට උදව්කර ගත හැකි පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමේදීත් ඔහු ඉතාමත්ම සමත්කම් පෙන්නුම් කළා. ගොඩාක් දවස්වලට නිමලරාජන් පැය 24 ම වැඩ. බොහෝ රාත්‍රී ඔහු ගත කරන්නේ පත්තර කන්තෝරුවේ මේසයක් උඩ. පුදුමාකාර කැපවීමක් ඔහුට තිබුණා”, ජෙයරාජ් පවසයි.

නිමලරාජන් හා කුගනාදන්

රජයේ හමුදාවන්ගේ මෙහෙයුම් උත්සන්න වෙමින් පැවති ඒ වකවානුවේ ඔවුන්ට වාර්තා කිරීමට බොහෝ විට සිදුවුයේ බෝම්බ ප්‍රහාරවලින් මරා දැමුවන් හා තුවාලකරුවන් පිළිබඳ තොරතුරු, ඉදිරියේ ඇතිවිය හැකි රජයේ හමුදා ප්‍රහාරයන්, අතුරුදහන් කිරීම් වැනි අතොරක් නැති කටුක සිදුවීම් ය. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පුවත්පත් අතර පැවති නොවැළැක්විය හැකි තරඟයේ ප්‍රමුඛයන් දෙදෙනා වුයේ  ‘ඊළනාදම්’ හා ‘උදයන්’ පුවත්පත් ය. සිය දිවියේ විසිපස් වසක් ඊළනාදම් වෙනුවෙන් වැයකළ ජෙයරාජ්ට අනුව එක් අවස්ථාවක ඒ තරඟයෙන් ‘ඊළනාදම්’ පෙරමුණ ගන්නා අතර අනෙක් අවස්ථාවේදී ‘උදයන්’ පෙරමුණ ගැනීම සාමාන්‍ය රටාවක්ව පැවතියේය.

“ඊළනාදම්වලට හිටිය හොඳම වාර්තාකාරයා නිමලරාජන්. ‘උදයන්’ එකට හිටියේ කුගනාදන්. මේ දෙන්න අතර තමයි ප්‍රවෘත්තිවලට තරඟය තිබුනේ. ඒක පසු කාලෙක ඊළනාදම් යාපනෙන් පිටවෙලා යනකම්ම තිබුණා”, ඔහු කියයි.

මේ අතර දකුණේ සිට පැමිණි පිරිස්වලට මග පෙන්වන්නෙක් හා භාෂා පරිවර්තකයෙක් ලෙස ද බොහෝ අවස්ථාවන්හි නිමලරාජන් කටයුතු කළේ සිංහල භාෂාව හැසිරවීමට ඔහු සතු හැකියාව නිසා ය.

“යාල්දේවි හමුදා මෙහෙයුම වෙලාවේ කිළාලී කළපුව හරහා යාපනයට ආපු ‘රාවය’ පත්තරේ මාධ්‍යවේදීන් තුන්දෙනාගේ සම්බන්ධීකරණ කටයුතු කලේ නිමලරාජන්. ඔවුන් දින දහයක් විතර ‘ඊළනාදම්’ කාර්යාලයේ නැවතිලා හිටියා. නිමලරාජන්ට පසු කාලෙකදී  බීබීසී සංදේශයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ, ඒ ආපු මාධ්‍යවේදියෙක් පසුව බීබීසියට සම්බන්ධ වූ නිසායි.”

වන්නි ‘ඊළනාදම්’

1995 වෙනකොට උත්සන්න කෙරුණු රජයේ හමුදා මෙහෙයුම් නිසා ‘ඊළනාදම්’ පුවත්පත යාපන නගර මධ්‍යයේ පවත්වාගෙන යාම දුෂ්කර වන්නට විය. ඔක්තෝබරය වන විට සකළවිධ කළමනාත් රැගෙන චාවකච්චේරියට පසු බැස සිටි ‘ඊළනාදම්’ මාධ්‍ය කණ්ඩායම එතනින් වන්නිය දක්වාම ගමන් කළහ. චාවකච්චේරියේදී නැවතුනු නිමලරාජන් පුවත්පත සඳහා යාපනේ සිට වාර්තා සපයන්නට ක්‍රියා කළේය. අවසන් වරට නිමලරාජන් සමග වූ හමුවීම පිළිබඳ ජෙයරාජ්ගේ මතකය තවමත් නොනැසී පවතී.

‘අපි අවසන් වතාවට හමුවුනේ චාවකච්චේරියේදී – එතනින් පස්සේ අපි වන්නි වලට ආවා. නිමලරාජන් ‘වැර්ලස්’ මගින් යාපනේ තොරතුරු අපට ලබා දුන්නා. 1997 අවුරුද්දේ අපි පුදුකුඩියිරුප්පුවල ඉන්න කොට නිමලරාජන් ලියා එවලා තිබුණා එයා බීබීසී සංදේශයට වැඩ කරනවා කියලා. නිමලරාජන්ව වෙඩි තියල මරා දාල කියන ප්‍රවෘත්තිය දැන ගන්න ලැබුණේ අවුරුදු කිහිපයකට පස්සේයි. ඒත් අපේ අනෙක් මාධ්‍ය සගයන්ට වගේම නිමලරාජන්ටත් අවසන් ගෞරව දක්වන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ”, හේ සෝකාකූලව කියයි.

නිමලරාජන් මාධ්‍යවේදියෙකු ලෙස සිංහල ජනයා අතරට මුලින්ම පැමිණියේ බීබීසී ගුවන් විදුලියේ සිංහල සේවය වූ ‘සංදේශය’ ඔස්සේ ය. යාපනයේ සිදුවෙන අතුරුදන්වීම්, ඝාතනයන්, අත්අඩංගුවට ගැනීම්, යුද්ධය නිසා පීඩාවට පත් ජනයා විඳි දුක් සියල්ලම ඔහුගේම හඬින් සිංහල අසන්නන් වෙත ගෙන එන්නට ඔහු සමත් විය. පීඩාවට පාත්‍ර දෙමළ ජනයාගේ දුක්ඛ දෝමනස්සයන් සිංහලෙන් ගෙන ආ නිමලරාජන් උතුරේ ජනයා පිළිබඳවත්, එහි සිදුවූ හා සිදුවෙමින් පවතින සිදුවීම් පිළිබඳවත් ප්‍රබල මූලාශ්‍රයක් බවට නිතැතින්ම පත් විය.

කලක් නිමලරාජන්ගේ තරඟකාරී මාධ්‍ය සගයා වූ, පසුකාලීනව උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරකවරයාව සිටියදී ප්‍රහාරයකට ලක්ව දිවි ගලවාගෙන පිටුවහල් දිවියක් ගත කරන ඥානසුන්දරම් කුගනාදන්  නිමලරාජන්ට එල්ල වූ තර්ජන ගැනත් ,ඔවුන් අතර පැවති මිත්‍රත්වය ගැනත් කතා කරන්නේ කණාගාටුවෙනි.

“ඒ කාලේ ඇත්තටම අපි අතරේ ප්‍රවෘත්ති පළ කිරීමේදී තරඟයක් තිබුණා. ඒක පසමිතුරු කමින් කළ දෙයක් නෙවෙයි, හරිම සුහද තරඟයක්. නිමලරාජන්ට සිංහල හොඳට පුළුවන් නිසා එයාට විශේෂ වාසියක් තිබ්බා. කොහොම වුණත් පසු කාලේ බීබීසී සංදේශය එක්ක එයා වැඩ කරද්දී අපි නිතරම හමුවුණා. තොරතුරු හුවමාරු කරගත්තා. නිමලරාජන් මරා දමන්න දවස් දෙකකට කලින් අපි පැය දෙකක් විතර බැස්ටියන් බාර් එකේ හම්බවෙලා කතා කරකර හිටියා. එදා නිමලරාජන් මට කිව්වා එයාට ඇත්තම තර්ජනය තිබුනේ ඩග්ලස්ගේ ඊපීඩිපී එකෙන් කියලා. නමුත් ඒ කාලේ ඩග්ලස් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්‍. නිමලරාජන්ගේ වාර්තාවලින් ඩග්ලස්ට හොඳටම රිදුණු බවට සැකයක් නැහැ.”

මාධ්‍ය හැඳුනුම්පත

නමුත් ‘සංදේශය’ට අමතරව රාවය, වීරකේසරී, සූරියන් එෆ්.එම්, ශ්‍රී එෆ්.එම්, හිරු එෆ්.එම් හා ආදවන් වැනි දකුණේ සිංහල හා දෙමළ මාධ්‍යයන්ට ද නිමලරාජන් මහානර්ඝ සම්පතක් විය. තමන් දන්නා සියලු තොරතුරු නොසඟවා ලබාදීම නිමලරාජන්ගේ සිරිත විය. ඒ වෙනුවෙන් මුදල් ලැබුණද, නොලැබුණද ඔහුගේ මාධ්‍යකරණය අඛණ්ඩව සිදු කළේ යුද්ධයෙන් පීඩාවට පත් සිය ජනයා වෙනුවෙන් භාරගත් වගකීමක් ඉටු කිරීමේ ආධ්‍යාශයෙන් බව ඔහු ඇසුරු කළ සියල්ලෝ දැන සිටියහ. සෑම මොහොතකම නිවැරදි තොරතුරු ලබා දෙන මාධ්‍යවේදියෙක් ලෙසත් දුෂ්කර අවස්ථාවන් ඉවසා දරා වැඩ කිරීමට ඇති හැකියාවත් නිසා නිමලරාජන් දකුණේ ජනමාධ්‍යවේදීන් අතර පවා පිළිගැනීමට ලක්වූයේ නිතැතිනි.

වරක් නිමලරාජන් මාධ්‍ය හැඳුනුම්පතක් ලබාගැනීම පිළිබඳ බරපතළ අර්බුදයක පැටලී සිටියේය. එවකට යාපන අර්ධද්වීපයේ පැවති භීෂණකාර මර්දනකාරී වටපිටාව හේතුවෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයකින් නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පතක් සතුව තිබීම අතිශයින් වැදගත් විය. ඒ මගින් යම් තරමකට හෝ බාධාවකින් තොරව තොරතුරු සොයා  ගැනීමේ කාර්යය සඵල කර ගත හැකි බව නිමලරාජන්ගේ අදහස විය.

මාධ්‍ය හැදුනුම්පතක් ඉල්ලා නිමලරාජන් විසින් බීබීසී සංදේශයට කළ ඉල්ලීම නොතකා හැරුණු අතර, එහි දෙමළ අංශය වන ‘තමිල් ඕසෛ’ ප්‍රධානියා නිමලරාජන්ට මාධ්‍ය හැදුනුම්පතක් ලබා දීම කෙසේ වෙතත් නිමලරාජන්ගේ දෙමළ උච්චාරණයේ දෝෂ ඇති බව පවසා ඔහුගේ වාර්තා විකාශය කිරීම ප්‍රතික්ෂේප කළාය. බීබීසී හැඳුනුම්පතක් ලබා ගැනීමට අපොහොසත් වූ නිමලරාජන්, දිගු කලක සිට ඇසුරු කළ ඔහුගේ බොහෝ සිංහල මිතුරන් සිටි ‘රාවය’ පුවත්පත් පතෙන්  මාධ්‍ය හැඳුම්පතක් ඉල්ලා සිටියේ මහත් අපේක්ෂාවන් ඇතිව ය. එහෙත් ‘රාවයෙන්’ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.

“නිමලරාජන් එක්ක කතා කරපු පළමු වතාවෙම අතුල අයියා (වික්ටර් අයිවන්) මට කිව්වේ මිනිහා මුව්මන්ට් එකේ කෙනෙක්, ඇසුරු කරද්දී පරිස්සම් වෙන්න ඕනේ කියලායි” කලක් රාවය සංස්කාරක මණ්ඩලය නියෝජනය කළ,Colombo Telegraph වෙබ් අඩවියේ සංස්කාරක උවිඳු කුරුකුලසූරිය පවසන්නේ කළකිරීමෙනි.

“ඊට පස්සේ නිමලරාජන්ට මාධ්‍ය හැඳුනුම්පතක් රාවයෙන් අරන් දෙන්න මැදිහත් වෙන්න කියල නන්දන වීරරත්න මගෙන් ඉල්ලනකොට, මම ටෙලිපෝන් එක අතුල අයියාගේ අතටම දුන්නා නන්දනට කෙලින්ම එයාට කියන්න කියල. මගේ ඉදිරියේම තමයි එයා කිව්වේ ‘එහෙම හැඳුනුම් පත් දෙන්න බැහැනේ නන්දන, මිනිහා මුව්මන්ට් එකට සම්බන්ධ කෙනෙක් නේ’ කියලා. හැබැයි ඔහු ඝාතනය කළාට පස්සේ රාවයේ ගිය හැම ලිපියකම කිව්වේ නිමලරාජන් රාවයේ යාපන වාර්තාකරු කියලා. මම මේ කතාව කියන්නේ වගකීමෙන්. නිමලරාජන් ඝාතනය කරලා පහළොස් අවුරුද්දක් පිරෙන මේ මොහොතේ හෝ වික්ටර් අයිවන් පැහැදිලිව කියන්න ඕනේ නිමලරාජන් කොටි සාමාජිකයෙක් ද නැද්ද කියලා”  ඔහු කියයි.

නමුත් නිමලරාජන්ට මේ කුඩම්මාගේ සැළකිලි එල්ල වූයේ රාවයේ ප්‍රධානියාගෙන් පමණක් නොවේ. ඔහුගේ සේවය ලද, හිරු එෆ් එම් හා සූරියන් එෆ් එම් ගුවන් විදුලි ප්‍රධානීහු ද එකී ඉල්ලීම ඉටු කිරීමට අල්ප මාත්‍රයක හෝ උනන්දුවක් නොදැක්වූහ. අවසානයේදී නිමලරාජන්ට මාධ්‍ය හැඳුනුම්පතක් ලැබුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයකින් නොව, නව සම සමාජ පක්ෂය විසින් පවත්වා ගෙන ගිය පක්‍ෂ පුවත්පත වූ  ‘හරය’ පුවත්පතෙනි. ඒ එවකට බීබීසී සංදේශයේ  චන්දන කීර්ති බණ්ඩාර ගේ පෞද්ගලික මැදිහත් වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙත් නිමලරාජන්ගේ මාධ්‍ය වාර්තාවලට සෑම මාධ්‍ය ආයතනයකින්ම අධික ඉල්ලුමක් තිබුණි. ඔහු ඝාතනයට ලක් වීමෙන් පසු, රාවය මෙන්ම, බීබීසී සංදේශයද තමන්ගේ යාපන වාර්තාකරු නිමලරාජන් බවට අයිතිය ප්‍රකාශ කරන්නට වූ අතර හිරු සහ සූරියන් ගුවන් විදුලි සේවා පවත්වාගෙන ගිය ඒබීසී මාධ්‍ය ජාලයේ ප්‍රධානීන් උත්සාහ කරනු ලැබුවේ සිය මුල්‍ය අනුග්‍රහය ඇතිව නිමලරාජන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට ය. මේ සියල්ලන්ට නිමලරාජන්ගේ මරණය වූ කලී ස්වකීය ආයතනයේ  මාධ්‍ය භාවිතාවේ ධීරත්වය පිළිබඳ ප්‍රචාරක වටයකට ලැබුණු අවස්ථාවකට වැඩිමනත් දෙයක් නොවුණි.

‘කැපවීමෙන් වැඩ කළ සංවේදී මිනිසෙක්’

කුඩා දරුවන් ඇතුළු යුද අනාථයන් රැඳී සිටි නවාලි දේවස්ථානයට රජයේ ගුවන් හමුදා එල්ල කළ ප්‍රහාරයෙන් මරා දැමුවන් ගැනත්, යාපනේ කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයට රජයේ හමුදා එල්ල කළ මල්ටි බැරල් ප්‍රහාරවලින් මියගිය අසරණ වැඩිහිටියන් 150 දෙනා ගැනත්,  චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳවත් සවිස්තර වාර්තා මෙන්ම, 2000 වසරේ පැවති මැතිවරණයේදී ඩෙල්ෆ්ට් හා කයිට්ස් දූපත්වල සිදුවූ අක්‍රමිකතා පිළිබඳවත් සාක්‍ෂි සහිත වාර්තා දකුණු ලංකාවට සහ ඉන් බැහැර අවශේෂ ලෝකයට වාර්තා කිරීමට නිමලරාජන් පුරෝගාමී මෙහෙයක් සිදු කළේය. මේ වාර්තා බොහොමයක් ඔහුට බරපතල අවදානම් නිර්මාණය කරන ලද බව ඔහු ඇසුරු කළ මිතුරෝ දනිති.

“නිමලරාජන් හරිම සංවේදී කෙනෙක්. කයිතඩි වැඩිහිටි නිවාසයට හමුදාවේ මල්ටි බැරල් ප්‍රහාරය එල්ල වුනු වෙලාවේ නිමලරාජන් වාර්තාකරුවාගේ සීමාවෙන් ඔබ්බට ගිහින් තුවාළ වුනු වැඩිහිටියන්ට උපකාර කරන්න ජාත්‍යන්තර රතු කුරුසෙත් එක්ක කඩිසරව වැඩ කළා මට මතකයි”,  නිමලරාජන් සමඟ ඊළනාදම් පුවත් පතේ එක්ව කටයුතු කර පසුව ‘නමදු ඊළනාඩු’ ප්‍රධාන සංස්කාරක ධූරය හෙබවූ කන්නන් නවරත්නම් ස්මරණය කරයි.‍

‘හැම මොහොතකදීම මිනිස්සුන්ට උදව් කරන්න ඔහු පැකිලුණේ නැහැ,” ඔහු කියයි.

“නිමලරාජන් මට මුණගැහුනේ 1995 දී විතර. එතකොට මම ඊළනාදම් පත්තරේ උප සංස්කාරක කෙනෙක් විදිහට වැඩ කලේ. ඔහුගේ බොහෝ වාර්තා මගේ අතින් සංස්කරණය වුණා. නිමලරාජන් බොහෝ දේ ඉගෙන ගන්න කැමති කෙනෙක්. ඒ වගේම ගවේෂණය කරන්නත් හැකියාවක් තිබුණු කෙනෙක්,” වසර අටකට ආසන්න කාලයක් පිටුවහල් දිවියක් ගෙවන නවරත්නම් නිමල් පිළිබඳ ස්මරණය කරන්නේ සොවිනි.

නිමලරාජන්ට එල්ල වූ තර්ජන ගැන බොහෝ මාධ්‍ය සගයන් දැනුවත්ව සිටි අතර කන්නන් නවරත්නම් පවසන පරිදි නිමලරාජන් ඝාතනයට සති කිහිපයක පෙර සිටම ඔහුගේ ඝාතකයෝ සිය සැළැස්ම දියත් කිරීමට කිහිප වරක් වෑයම් කර තිබේ.

ඊපීඩීපී කෝපය

නිමලරාජන්ගේ මාධ්‍ය වාර්තා හේතුවෙන් මහත් ලෙස කෝපයට පත්වූවන් අතර ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) නායකත්වය ප්‍රමුඛස්ථානයක් ගත්තේය. විශේෂයෙන්ම, එවකට පැවති පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබල හවුල්කරුවෙකු වශයෙන් පුනරුත්ථාපන අමාත්‍ය ධුරය හෙබවූ ඩග්ලස් දේවානන්දගේ ඇතැම්  ක්‍රියාකාරකම් නිමලරාජන්ගේ වාර්තා මගින් හෙළිදරව් කෙරිණි. රජයේ හමුදා සමඟ ක්‍රියාත්මක වූ අතුරු හමුදා කණ්ඩායමක් ලෙස ද කටයුතු කළ EPDP ය විසින් 2000 මැතිවරණයේදී  කයිට්ස් දුපතේ සිදු කළ මැතිවරණ අක්‍රමිකතා පිළිබඳ නිමලරාජන් සැපයු සවිස්තර වාර්තාවෙන් දින කිහිපයකට පසු ඔහුට මරණීය තර්ජන එල්ල කරමින් නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙන්නට පටන්ගෙන තිබිණ. ඒ ආසන්න දිනකදී නිමලරාජන්ගේ බිරිඳ සර්මිලාදේවීට දුරකථන ඇමතුමකින් තර්ජනය කළ අයෙක් “උඹ සුදු ඇඳගෙන ඉන්න ලැහැස්ති වෙලා හිටපන්” යි කියා තිබූ බව වරක් නිමලරාජන් මා සමඟ කීය.

පරිස්සම් වෙන්නැයි මම කීමි.

“මේ තර්ජන කරන්නේ ඊපීඩිපී එකෙන් බව මම දන්නවා. මම දිගටම රිපෝට් කරනවා” –  නිමලරාජන් පිළිතුරු දුන්නේය.

නිමලරාජන්ගේ ඝාතනය දේශීය මෙන්ම ජාත්‍යන්තරවද බලවත් කැළඹීමට හේතු විණි.දෙස් විදෙස් මාධ්‍ය සංවිධානයන්ගේ ඇඟිල්ල දිගු වුයේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට හා එහි කොටස්කාර පාර්ශවයක් වූ ඩග්ලස් දේවානන්දගේ ඊපීඩිපී සංවිධානයට ය. 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැති කාලය තුළ යාපනයේ සිදුවූ මැතිවරණ දූෂණ ක්‍රියා පිළිබඳව වාර්තා කිරීම නිමලරාජන්ව ඝාතනය කිරීමට හේතු වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ. මේ ඝාතනයේ වගකීම ඊපීඩීපී වෙත එල්ල කරමින් පළමුව පුවත්පත් නිවේදනයක් නිකුත් කළේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසිනි. ඒ, ආනන්ද සංගරීගේ අත්සනින් යුතුව ය. මේ අතර ‘ජනතාව පුනරුත්ථාපනය කිරීමට සැරසෙන අය ජනතාව මරා දමමින් සිටින බව’ට ඩග්ලස් දේවානන්ද වෙත චෝදනා  කරමින් අත් පත්‍රිකාවක් බෙදාහළ යාපන සරසවි ශිෂ්‍ය සංගමය ද නිමලරාජන්ගේ ඝාතනයට විරෝධය දැක්විය. එල්ලවූ චෝදනා සියල්ලම ප්‍රතික්‍ෂේප කළ ඊපීඩීපී සංවිධානය කියා සිටියේ නිමලරාජන් කොටි සාමාජිකයෙකු බවත්, කොටි සංවිධානය විසින්ම ඔහුව ඝාතනය කර ඇති බවත් ය.

අපරාධ පරීක්‍ෂණය

දේශීය හා ජාත්‍යන්තරව පැන නැගි විරෝධය හමුවේ පොදු පෙරමුණු ආණ්ඩුව නිමලරාජන්ගේ ඝාතකයන් සෙවීම අරඹුනු ලැබුණි. ඒ යාපන පොලිසියේ අපරාධ අංශ ප්‍රධානියාව සිටි රංජිත් ද සිල්වාගේ ප්‍රධානත්වයෙනි. ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දස දෙනෙකු පමණ විටින් විට අත් අඩංගුවට ගැණුනි. ඔවුන් සියලු දෙනාම ඊපීඩීපී සාමාජිකයන් හෝ කලක් එහි ක්‍රියාකාරිවුවන් වීම විශේෂත්වයකි. කයිට්ස් ප්‍රාදේශීය සභාවේ එවකට හිටපු සභාපතිවරයා ද ඔවුන් අතර විය. ඝාතනයට යොදාගන්නට ඇතැයි සැක කෙරෙන සියළු ආයුධ හා භාණ්ඩ සොයා ගත් බවට පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබිණි. එහෙත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත ඝාතනයේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් විය. ඊපීඩීපී සංවිධානයේ ප්‍රබලයෙකු වූ සෙබස්තියන් පිල්ලෛ රමේෂ් නොහොත් නැපෝලියන් නමැත්තා ආණ්ඩුවේ දේශපාලඥනයන්ගේ සහාය ඇතිව රටින් පලා ගියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරන්නට සැරසෙමින් සිටියදී ය. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් ද විටින් විට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.

නිමලරාජන් විසින් මාධ්‍යය ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන් රත්නම් දයාපරන් අද වන විට යාපන මාධ්‍ය සමාජය නියෝජනය කරමින් දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් හා මාධ්‍ය නිදහස වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින මාධ්‍යවේදියෙකි. නිමලරාජන්ගේ ඝාතනය පිලිබඳ කෙරෙන පරීක්‍ෂණ ගැන කිසිදු ප්‍රසාදයක් පල නොකරන ඔහු එම පරීක්ෂණ යළි අරඹන ලෙස යාපන මාධ්‍ය සමාජය මගින් වත්මන් යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව JDS සමඟ පැවසීය.

“නිමලරාජන් ඝාතනයේ මුලික අපරාධකාරයා අල්ලා ගන්න දැන් අවුරුදු පහළොවක් ගත වෙලත් පොලිසියට පුළුවන් වුනේ නැහැ. මෙච්චර කාලයක් ගිහිල්ලත් තවම නීතී උපදෙස් ඇවිත් නැහැ. මෙතෙක් මේ ගැන කරපු පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. චන්ද්‍රිකාගේ කාලේ , රනිල් හිටිය කාලේ මේ ගැන හොයන්න පරීක්‍ෂණ කණ්ඩායම් පත් කළා. ඒත් මාසෙකින් දෙකකින් පස්සේ ඒ පරීක්ෂණ හැම එකක්ම අත්හැරලා දානවා”

නිමලරාජන් ඝාතනයෙන් ඇරඹි උතුරේ මාධ්‍ය ඝාතන රැල්ලට පසු කාලීනව මාධ්‍යවේදීන් ඇතුළු අවශේෂ මාධ්‍ය සේවකයන් සහ  හිමිකරුවන් ද ගොදුරු විය. ඔවුන් බොහෝ දෙනා ඝාතනය වූයේ එක්කෝ අධි ආරක්‍ෂිත කලාපයක හෝ හමුදා මුරපොලක් ආසන්නයේය. නැතහොත් හමුදා කඳවුරු පෙනෙන නො‍පෙනෙන මානයකදී ය.

නිමලරාජන්ගේ ඝාතනයත් සමඟම ඔහුගේ බිරිඳ සහ දියණියන් තිදෙනා රටින් පිටුවහල් වුයේ ජීවිතාරක්ෂාව පතා ය. ඒ මීට පහළොස් වසරකට පෙරය. ඔවුහු තවදුරටත් ශ්‍රී ලංකා රජයෙන්  යුක්තියක් අපේක්‍ෂා කරනු ඇතැයි සිතිය නොහැක. එහෙත් ඝාතනයට ලක්වූ සිය මාධ්‍ය සගයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට වසර පහළොවකට පසුවත් බලාපොරොත්තු සහගත වන යාපන මාධ්‍ය සමාජය මේ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක වැදගත්කම ආණ්ඩුවට දන්වා ඇති බව දයාපරන් පැවසීය.

“නිමලරාජන් ඇතුළු උතුරේ මාධ්‍යවේදීන්ගේ ඝාතන ගැන පරීක්ෂණයක් කරන්න අලුත් ආණ්ඩුවත් දක්වන්නේ මැලිකමක්. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ වගේ සිංහල මාධ්‍යවේදීන්ගේ ඝාතන ගැන බැලූ බැල්මට ආණ්ඩුව උනන්දුවක් පෙන්නුම් කරනවා. එත් ඒ උනන්දුව නිමලරාජන් හෝ සිවරාම් වගේ දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් නැහැ,” ඔහු කියයි.

උතුරේත් – දකුණේත් මිතුරන් ‘නිමල්’ යැයි ආදරයෙන් ඇමතූ චාම් සුන්දර මිනිසා – නිමලරාජන් – අමතකව යන ඝාතන වැලක එක් ගොදුරක් පමණි. ආණ්ඩුවේ අනුග්‍රහ ලත් අතුරු හමුදා කණ්ඩායම් රකිනු වස් පහළොස් වසරක් තිස්සේ නිමලරාජන්ට යුක්තිය ප්‍රතික්‍ෂේප කළ පාලක පිරිස් දැන් සමස්ත දෙමළ ජනයාට සිදුකරන ලද සාහසික අපරාධ සම්බන්ධයෙන් රාජ්‍ය හමුදාවන්ගේ වගකීම ‘අපිම සොයා බලන්නෙමු’යි ප්‍රතිඥා දෙති. ‘අපරාධ පරීක්‍ෂණයට අපේ නීති ආයතන පද්ධතිය බලවත් නැතැයි කියන්නේ’ කවුරුන්දැයි වහසි බස් දොඩති.

නමුත් යුක්තිය කිසි කලෙක ඉටු නොවුණද, නිමලරාජන් අමතකව නොයන මිනිසෙකි. ඔහුගේ වෘත්තීය කැපවීමෙන් ස්වකීය පාඨක – ශ්‍රාවක පිරිස් නඩත්තු කොටගත්තවුන්ට ඔහු ‘කොටියෙක්’ වන්නට ඉඩ තිබේ. නමුත් ඔහුගේ මිත්‍රශීලී මදහසත්, කුළුපග කටහඬත්, මිතුරු උණුසුමත් එක් වරක් හෝ විඳ ඇති අයෙකුට නිමලරාජන් වනාහී කිසි කලෙක අමතක ‍කළ නොහැකි දුලබ එඩිතර මිනිසෙකි.☐

අතුල විතානගේ


© JDS

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.