Old gold:පරණ කෝට් මෙන්න ගෙනාවා

parana-kota

කොළඹ කොටුවේ ඉස්ටේසම ඉස්සරහින් බස්එකෙන් බැහැලා, ගුවන් පාලමෙනුත් නැගලා බැහැලා මල්වත්ත පාරේ ඊස්මීස් නැතුව ඒ පැත්තට මේ පැත්තට දුවගෙන යන මිනිස් ගංගාව අතරින් මගේ දෙපා මා කැඳවාගෙන යනවා. පාරේ පුංචි කඩයක් ළඟ බීඩියක් උරමින් හිටි හාදයෙකුගෙන් ‘කාපිරි මුඩුක්කුව තියෙන්නේ කොහේද’ කියලා ඇහුවා. බීඩි දුම් උගුරක් ඇදලා මගේ මූණ ළඟින්ම එළියට වීසි කළ ඒ හාදයා තත්පරේකින් භාගයක්වත් නාස්ති කරන්නේ නැතුව, ‘ඉස්සරහට ගිහිල්ලා දකුණු අතට තියෙන රෝහිණී පටුමගේ යන්න’ කියන වචන දමා ගහලා අනිත් පැත්තට හැරුණා.

ඉස්සර කාලේ කාපිරි මුඩුක්කුව හැටියට චිරප‍්‍රසිද්ධ වුණු මේ පැත්ත, පරණ මතකය තාමත් හිතේ නිදන් කරගෙන ඉන්න අය ඇරුණාම වෙන කිසි කෙනෙක් ඒ නමින් අද හඳුන්වන්නේ නෑ. අද ඒක රෝහිණී පටුමග. රෝහිණී පටුමගත්, එකයි දෙකයි වශයෙන් පටුමගවල් දෙකක් තියෙනවා. පටුමග දෙපැත්තේ පුංචි කඩ කාමරවල් දෙපේළියත්, ඒ කඩකාමර අස්සෙන් හැදුණු සිදුරු වගේ පෙනෙන ගුහා ඇතුළේ තියෙන කිසිම පිළිවෙළක් නැති පුංචි ගෙවල් පේළිත්, තවත් කඩ කාමරත් අතීතයේ තිබුණා කියලා කියන කාපිරි මුඩුක්කුව ආයෙත් මගේ මනස් කැන්වසයේ චිත‍්‍රණය කරන්න අසමත් වුනේ නෑ.

කාපිරි මුඩුක්කුව, නැතිනම් රෝහිණී පටුමග දශක ගණනාවක තිස්සේ පාවිච්චි කළ ඇඳුම් තොග ආයෙත් විකුණන මධ්‍යස්ථානයක් හැටියට චිරප‍්‍රසිද්ධයි. ඒ අතරේ කාපිරි මුඩුක්කුවේ කෙරෙන අනෙක් වෙළඳාම තමයි පාවිච්චි කළ පාවහන්.

පැරණි ඇඳුම් ගොඩවල්වලින් පිරුණු පුංචි කාමරවල හිරවෙලා, තොග ගැනුම්කරුවකු එන තුරා පාර දිහා කිසිම විශේෂ හැඟීමක් ලියවිලා නැති මූණත්තහඩු දික්කරගෙන බලා ඉන්න වෙළෙන්දන් බල බලා ඇවිද ගිය මගේ පළමු නැවතුම අබේවික‍්‍රම අයියා ළඟ. ඔහුගේ මන්දස්මිතයෙන් යුක්ත මුහුණ තමයි ඔහු හා කතාකරන්න නිරායාස යෙන්ම මාව පෙළඹවූයේ.

හැටතුන් හැවිරිදි අබේවික‍්‍රම අයියා පරණ ඇඳුම් විකුණන්නේ අවුරුදු විසිතුනේ ගැටයා කාලේ ඉඳන්. එයා කියන විදියට මේ බිස්නස් එක කොළඹ නගරයේ ආරම්භ වෙලා දැන් අවුරුදු සීයකටත් වැඩියි. ඉස්ඉස්සරින්ම මල්වත්ත පාරේ තමයි මේක තිබිලා තියෙන්නේ. පස්සේ කාලෙක මල්වත්තේ පාරේ උදවිය අලූත් අලූත් බිස්නස්වලට මාරු වෙනකොට පරණ ඇඳුම් වෙළෙඳාම අයිති කරගත්තේ රෝහිණී පටුමගේ උදවිය.
ආගිය කතා ඉවරවුණාම මගේ ප‍්‍රශ්න පත්තරේ තියෙන පළමුවැනි ප‍්‍රශ්නය අබේවික‍්‍රම අයියා ඉදිරියේ තිබ්බා. ‘කොහොමද මේ පරණ ඇඳුම් ලැබෙන්නේ?’

‘අර සින්දුවක් තියෙන්නේ ‘පරණ කෝට්, පරණ කෝට්, පිත්තල බොත්තං කැඩිච්ච පරණ කෝට්’ කියලා. අන්න ඒ වගේ කට්ටියක් මෙහේ ඉන්නවා. ඒ අය ගම්වලට ගිහින් පරණ කෝට්, පරණ ඇඳුම්, සාරි ගන්නවා කියලා කෑගහලා ගෙවල් ගානේ ගිහින් පරණ ඇඳුම් එකතු කරගෙන එනවා. මේ අය ඒ ඇඳුම් වෙනුවට අද දෙන්නේ ප්ලාස්ටික් බේසම් වාගේ දේවල්.’

මේ ව්‍යාපාරේ මුල්ම අවදියේදී නම් පරණ ඇඳුම් වෙනුවට දීලා තියෙන්නේ පිඟන් කෝප්ප වාගේ භාණ්ඩ. රවුම් වේවැල් කූඩවල පිඟන්, පීරිසි කෝප්ප, පළඟාන වාගේ බඩු අහුරාගෙන ඒවා හුවමාරුවට රට පුරා ඇවිදලා පරණ ඇඳුම් එකතු කරගෙන එන අය, ඒවා ගෙනල්ලා දෙන්නේ රෝහිණී පටුමගේ තියෙන මේ තොග කඩවල්වලටයි. මේ වෙනකොට රට පුරා ගිහින් රෙදි එකතු කරන අය හැට හැත්තෑ දෙනෙක් විතර ඉන්න බවයි අබේවික‍්‍රම අයියා කියන්නේ.

අබේවික‍්‍රම අයියාට දෙවැනි ප‍්‍රශ්නෙත් ඉදිරිපත් කරන්න වෙලාව ආවාම ඒකත් ඉදිරිපත් කළා.
‘මේ රෙදි අරන් ආවාම සල්ලි දීලා ගන්නේ කොහොමද?’
‘අරන් එන රෙදි තොගේටම අපි ගාණක් ගහනවා. ඒ ගහපු ගාණ වැදුණේ නැත්නම් එයා වෙන තැනකට අදිනවා.’ ඒක තමයි අබේවික‍්‍රම අයියාගේ සරල පැහැදිලි කිරීම.

ගාණ කීවාට ඒක රුපියල් ලක්ෂ ගාණක් නෙවෙයි. අඩුතරමේ විසි තිස් දාහකුත් නෙවෙයි. හුඟාක් වෙලාවට උපරිම ගාණ රුපියල් හය හත්දාහක් විතර තමයි. සමහර දවස්වලට මේ අය ගෙනෙන රෙදිවලට මිල වදින්නේ රුපියල් හය හත්සීය, දාහ දෙදාහ වාගේ වෙන්නත් පුළුවන්.
මේ ඇඳුම් ගොඩටම ගාණක් ගහලා මිලදී අරගෙන ඒවා වර්ග කරනවා. දිරාගිය ඉරුණු ඒවා අයින් කරනවා. මැහුම් ලෙහුණ ඒවා තියනවා නම් ඒවා ආයෙමත් පිළිවෙළට මහනවා. ඊට පස්සේ ලොන්ඩරි දාන්න ඕනෑ ඒවා තියෙනවා නම් ඒවා ලොන්ඩරි දානවා. ඊට පස්සේ තමයි මේවා හරි පිළිවෙළට වර්ග කරන්නේ. එහෙම වර්ග කරලා ඊට පස්සේ මිල අනුවත් ඒවා වර්ග කරනවා. මේ මිල අනුව වර්ග කළ ඒවා තිහේ කෑලි පනහෙ කෑලි වශයෙන් නම් කරලා ඒවා වෙනම ගොඩවල් ගහනවා. පනහට ඉහළ මිලක් වෙන කෑලි තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒවායේ මිල රුපියල් හැත්තෑවක් විතර වෙනවා. ඒ නිසා ඒවට කියන්නේ සුපිරි ඒවා කියලායි.

ජවාහිර් අවුරුදු දහ අටක්ම කළේ රෝහිණී ලේන් එකෙන් බඩු අරගෙන ගිහින් පොළවල්වල විකිණීම. හැබැයි මේ වෙනකොට ජවාහිර් රෝහිණී ලේන් එකේ තොග වෙළෙන්දෙක්. මගේ ප‍්‍රශ්න පත්තරේ තිබුණ ඊළඟ ප‍්‍රශ්නයේ වගඋත්තරකාරයා වුණේ ජවාහිර්. ජවාහිර් මම යනකොටත් හදිසි ගමනක් යන්න සූදානමින් හිටියේ. මගේ කීමට ටිකක් නතරවෙලා දිග උත්තරයක් දීලා ටක් ගාලා මාරුවෙච්ච හින්දා එයාගේ ෆොටෝ එකක්වත් ගහගන්න බැරිවුණා.

‘මහත්තයා, මේ ලේන් එකෙන් රෙදි අරගෙන විකුණන අපිත් එක්ක ගනුදෙනු කරන කට්ටියක් ඉන්නවා. ඒ අය සතියකට දෙපාරක් විතර ඇවිත් තිහේ පනහේ කෑලි දෙතුන් සීයක් අරගෙන යනවා. අපේ ලේ්න් එකේ අය ඒ කට්ටියට කියලා දීලා තියෙන්නේ, පොලිතින්වල පැක් කරලා අලූත් ඇඳුම් වාගේ පේන විදියට මේවා විකුණන්න එපා කියලායි. මොකද, පරණ ඇඳුම් විකුණනවා වෙලත් ආයේ වංචා බොරු කරන්න හොඳ නෑනේ.’
හදිස්සියෙන් නමුත් ජවාහිර් මගෙත් එක්ක තවත් අපූරු කතාවක් කීවා. රෝහිණී ලේන් එකේ තොග වෙළෙන්දෝ යන සුපිරි පොළවල් තුනක් තියෙනවා. ඒ තමයි පුත්තලම, මීගමුව, ජාඇළ කියන පොළවල්.

හැබැයි මේ වැඬේ විශේෂඥයෙක් තමයි අබේවික‍්‍රම අයියා. එයා කියන්නේ මේ රෙදි ඉස්සර අලෙවි කළේ උඩරට වතු ආශ‍්‍රිතව කියලායි. දැන් ඒ වෙළෙඳපොළ වෙනස් වෙලා. දැන් ටාගට් ඒරියා වෙලා තියෙන්නේ මොනරාගල, අනුරාධපුර, පොළොන්නරුව, හම්බන් තොට, කුරුණෑගල වගේ ප‍්‍රදේශ. අබේවික‍්‍රම අයියාගේ මේ වෙළෙඳපොළ වෙනස්වීම ගැන කතාව අස්සේ තවත් අතුරු කතාවක් වාගේ අපේ රටේ මේ කියන ප‍්‍රදේශවල සමාජ ආර්ථික ලක්‍ෂණ ගැන කතාවකුත් ගැබ්වෙලා තියෙනවා නේද කියලා මට හිතෙනවා.

පරණ ඇඳුම් විකිණිල්ලේදී හොර වංචා නෑ කියලායි අබේවික‍්‍රම අයියා නම් කියන්නේ. මොකද බැරිවීමකින් හරි ඉරුණු, දිරපු ඇඳුමක් විකුණලා තිබුණොත් අනිවාර්යයෙන්ම ගුටිකන්න වෙනවාලූ. එවැනි ඇඳුම් නොදැන විකුණලා ඇතිපදම් අපි ගුටි කාපු අයත් මේ බජාර් එකේ ඉන්නවා කියලායි අබේවික‍්‍රම අයියා කීවේ.

වැල්ලම්පිටියේ ප‍්‍රභාත් මේ ඇඳුම් පොළවල්වලට අරගෙන ගිහින් විකුණන කෙනෙක්. එයා මාත් එක්ක කතා කළේ රෙදි තෝරන ගමන්මයි.
‘මම සතියකට දෙපාරක් විතර රෝහිණී ලේන් එකට ඇවිත් ඇඳුම් අරන් යනවා. තිහේ කෑල්ලක් පනහටත්, පනහේ කෑල්ලක් හැත්තෑ පහටත්, හැත්තෑවේ සුපිරි කෑල්ලක් සීයටත් තමයි විකුණන්නේ. සමහරක් අවස්ථාවලදී පනහේ කෑලි ගොඩවල්වල සීයට විකුණන්න පුළුවන් කෑලි හත අට තියෙන වෙලාවලූත් තියෙනවා. බිස්නස් එක නරකම නෑ. ඒ වුණත් කොච්චර තෝරලා ගත්තත් සමහර වෙලාවට ඒවායේත් දිරපු ඇඳුම් අහුවෙනවා. එහෙම වුණොත් ඉතින් අපි අමාරුවේ.’

ඕනෑම බිස්නස් එකක ලාභ අලාභ එහෙමත් තිබෙන නිසා හතළිස් වසරකට වැඩිය අත්දැකීම් තිබෙන අබේවික‍්‍රම අයියාගෙන්ම ඒ ගැනත් ඇහැව්වා.
‘හැත්තෑහතෙන් ඉස්සර කාලේ තමයි හොඳම කාලේ. ඒ කාලේ අපි හොඳට හම්බ කළා. ඉඩම් ගත්තා. ගෙවල් හැදුවා. දරුවන්ට ඉගැන්නුවා. ඒ කාලේ හම්බ කරපුවායෙන් තමයි දැන් බැලන්ස් කරගන්නේ. සමහර දවසට රුපියල් තුන්හාර සීයක්වත් ලාබ හිටින්නේ නෑ. දැන් ඉතින් සීයට හමාරට අලූත් ඇඳුම් පවා තියෙනවානේ. තව ටික කාලයක් යනකොට මේ බිස්නස් නතර වේවි. ආයෙ ඉතින් අපිට අලූත් බිස්නස් එකකට යන්නත් කාලයක් නැ. අපේ වයසත් එක්ක. කෙනෙකුට ඉතින් හිතෙන්න පුළුවන් මේක තමයි ලෝක ස්වභාවය කියලා.’

නිමල් අබේසිංහ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.