Sobitha Thero:අවසරයි ඉතින් හාමුදුරුවනේ

 

 

sooobi736900502269_n
යුගයක මෙහෙවර නිමා කරමින් අපේ ලොකු හාමුදුරුවෝ නික්ම ගොසිනි.

එබැව් සඳහන් ඊ-මේල් පුවතක් අද (08) උදෑසන මට ලැබී තිබිණි. පසුගිය දින කිහිපය තුළ, ඇසීමට අමිහිරි වූ එම පුවත කොයි මොහොතක හෝ අසන්නට සිදුවනු ඇතැයි යටිසිතෙහි සිතිවිල්ලක් විය. මුළු උදෑසනම මා වෙබ් අඩවිවලට පිවිස නොසිටියේ එම පුවත දරාගැනීමේ යම් අපහසුතාවයක් මතුළ ඇතිවූ හෙයිනි. නමුත් යථාර්ථයට අප මුහුණ දිය යුතුය.
නාග විහාරේ අපේ ලොකු හාමුදුරුවෝ, සෝභිත හිමියන් අපවත් වූ පුවත මුලින්ම මා සවන් පත්වූයේ මීට වසර 28 කට ප්‍රථම එනම්, 1987 ජූලි මස අගභාගයේදීය. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව උද්ඝෝෂණයකට සහභාගි වූ අපේ ලොකු හාමුදුරුවන් පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කරඇති බවට කෝට්ටේ ප්‍රදේශය පුරා ලැව්ගින්නක් මෙන් පැතිරෙන්නට විය. කෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේ ජීවත් වූ එවක සුහුඹුල් තරුණවියේ පසුවූ අප හැම එම පුවත කනවැකීමෙන් ගල් ගැසුනහ. එය ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ දින හෝ ඊට ආසන්න දිනක් වියයුතුය. රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ දිනයක් වුවද කෝට්ටේ රජමහා විහාරයට, අසල ගම්වලින් සෙනඟ හාර පන්දහසක් පමණ විනාඩි ගණනකදී එකතු වූයේ එම පුවතේ ඇත්ත නැත්ත සොයාබැලීමටය.

කෝට්ටේ රජමහා විහාර භූමිය මෙන්ම අසල ආනන්ද ශාස්ත්‍රාල ප්‍රාථමික අංශය පිහිටා තිබෙන භූමිභාගයද කෝට්ටේ, මිරිහාන, මාදිවෙල, තලවතුගොඩ, බැද්දගාන, මහරගම ආදී ප්‍රදේශවල ජනී ජනයාගෙන් අතුරු සිදුරු නැතිව පිරීයාමට ගතවූයේ කෙටි කාලයකි. බොහෝ ගම්වාසීන් එලෙස එක්රැස් වූයේ ගෙදරට හැඳසිටි ඇඳුමිනි. එය එසේ වූයේ සෝභිත හිමියන් පිළිබඳ පුවත සැමගේ හදවත් සසල කළ නිසාවෙනි.

එලෙස එක්රැස් වූ ජනතා විරෝධය මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ රජමහා විහාරයේ බෝධිය අසල විශාල පොලිස් බලඇණියක් යොදවා තිබිණි. ඔවුන් කෝට්ටේ නාග විහාරය වලල්ලක ආකාරයෙන් වටකරගෙන පන්සල කරා එන සියලුම මාර්ග අහුරා තිබිණි. ජනතාව පොදිකමින් නාගවිහාරය කරා යාමට උත්සාහ දරන ලද්දේ ‘සෝභිත සාදුට’ යම් උපද්‍රවයක් වී ඇද්දැයි සැකහැර දැනගැනීමටය. නමුත් මිරිහාන පොලීසිය ඇතුළු අවට පොලිසිවල නිළධාරීන්ගෙන් ඊට කිසිදු ඉඩක් නොවීය.

ජනතාවිරෝධය උග්‍රවත්ම පොලීසිය ක්‍රියාත්මක වී අහසට වෙඩි තැබුවේ එක්රැස් වූ ජනතාව විසුරුවාහැරීමටය. එම ස්ථානයේ සිටි පොලිස් ලොක්කා ඒ සඳහා දැඩි උත්සාහයක් ගත් අතර එය නතර වූයේ ජනතාව අතර සිටි කෙනෙකු හරියටම ඉලක්කය බලා එල්ල කළ ගඩොල් පහරක් ඔහුගේ හිසේ වැදී බෝධිය අසල හතරමුණින් ඇදවැටීමෙනි. ලේ පෙරාගෙන පොලිස් ලොක්කා ජනතාවට වෙඩි තබන ලෙස අණ කළේය.

ලොක්කාගේ අණ පරිදි පොලිස් භටයන් වියරුවෙන් මෙන් වෙඩි තබන්නට විය. ජනතාව සතු එකම ආයුධය වූයේ පන්සල් වත්තෙන් කඩාගත් වැටඉනි සහ යම් ඉදිකිරීමකට ගෙනැවිත් ගොඩගසා තිබූ ගඩොල් සමූහයයි. පන්සල් වත්තේ ගඩොල් සහ වෙනත් අතට හසුවන ගල් කාන්තාවන් විසින් එක්රැස් කර තාච්චි හා විල්බැරැක්කවල දමා තරුණයන් වෙත ගෙනැවිත් දුන් අතර විවිධ ගොඩනැගිලිවලට මුවාවූ තරුණයන් හා මැදිවියේ පුද්ගලයන් පොලීසියට නොනවත්වා ගල්පහර දෙන්නට වූහ. මුළු ප්‍රදේශයම සංග්‍රාම භූමියක් සේ දිස්විය.
12227169_1651563551787722_5931982668937506810_n
එකී සංග්‍රාම භූමියේ පෙරමුණේ සිටි බැද්දගාන ප්‍රදේශයේ සුප්‍රකට ‘වලේ කඩේ උපුල්’ පොලිස් වෙඩි උණ්ඩයකට ගොදුරු වූයේ ඒ අතරතුරදීය. වාසනාවකට මෙන් වලේකඩේ උපුල්ගේ මූණිස්සම වැදී තිබුණේ ඔහුගේ අතේ බාහුවකටය. ක්ෂණයකින් ඔහුව අසල නිවසක රථයකින් පන්සල පිටුපසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල කරා රැගෙන යාමට කටයුතු කරන ලදී. පසුව කිහිපදෙනෙකුට වෙඩි වැදී එයාකාරයෙන්ම රෝහල්ගත කෙරිණි.

සටන මදකට සංසුන් වූයේ වෙඩි තැබීම අඛණ්ඩව සිදුවූ හෙයිනි. නිරායුධ ජනතාව තුළ පොලීසිය කෙරෙහි ක්‍රෝධය කැකෑරෙන්නට විය. 88 – 89 බියකරු ධවල භීෂණයේ බිජුවට සමාජය තුළ පැල කෙරුණු තවත් එක් සිදුවීමක් එලෙස ඇරඹිණි. මේ අතරතුර එක්තරා මැදිවයසේ කාන්තාවක් ගෙදරට හැඳසිටි වතෙන්ම එහි පැමිණ උමතු වූ තැනැත්තියක් මෙන් ගල් පහරවල් හා වෙඩි උණ්ඩ මැද්දෙන් නාග විහාරය කරා සක්මනට වන්නීය. දෙපැත්තෙන්ම ඇයට එලෙස නොකරන ලෙස දැන්වුවද ඇය කිසිවෙකුගේ කීම ගණන් නොගෙන ඉදිරියටම ගියාය.

පොලීසිය මරහඬ තලමින් පැවසූයේ තව ඉදිරියට එක පියවරක් හෝ තැබුවහොත් වෙඩි තබන බවය. එවිට ඇය උමතුවෙන් මෙන් කෑගසා පැවසූයේ ‘යකෝ තොපි දැන් කීදෙනෙකුට වෙඩි තිබ්බද ? තොපි තොපේ අම්මලාට වෙඩි තියනවා කියල හිතාගෙන මට වෙඩි තියපියව්. මං මැරෙන්න බය නෑ. මගේ අතේ පොලු කෑල්ලක්වත් නෑ. තොපි මව්කිරි බීල නැත්තං මට වෙඩි තියපියව්’ කියමින් පොලිස් මුරකාවල්වලින් බේරී නාගවිහාරය කරා පියමැනි ආකාරයට අවුරුදු 28 කට පසුව වුවද මගේ මතකයේ විචිත්‍ර ලෙස සනිටුහන් වී ඇත්තේ එය අද ඊයේ සිදුවූ ආකාරයටය. එසේ ගමන් කළ කාන්තාව මා සමග සිටි මගේ මිතුරා ජගත්ගේ මවයි. ඔහු තුෂ්නීම්භූතව බලාසිටියේ සිය මවගේ හිතුවක්කාරකම් පිළිබඳව හොඳින් දන්නා නිසාවෙනි. බොහෝදෙනෙකු ජගත්ව වටකර ගත්තේ මොනවායින් මොනවා වේදෝයි සිතාගන්නට නොහැකි වූ හෙයිනි.

රැකවල් ලා සිටි පොලිස් නිලධාරීන් ඇයගේ ධෛර්යය හමුවේ පසුබා ඇයට පන්සල වෙතට යාමට අවසර දුන්හ. නාග විහාරයට ගිය ගුණසේකර ඇන්ටි ටික වේලාවකින් සිනහමුසු මුහුණින් නැවත පන්සලේ සිට පැමිණියේ පොලීසිය වෙතය. ‘තොපි පොලිස් බූරුවො. බලපං තොපි කී දෙනෙකුට වෙඩි තිබ්බද ? සෝභිත හාමුදුරුවන්ට කිසිදෙයක් වෙලා නෑ. උන්නාන්සෙ යහතින් පන්සලේ ඉන්නවා. මිනිස්සුන්ට පන්සලට යන්න දුන්න නම් තව ජීවිත කීයක් බේරෙනවද. මේ මිනිස්සු මෙතන්ට එක්රස්වුනේ සෝභිත හාමුදුරුවන්ට වෙඩි තියල මරල කියල කටකතාවක් ගිය නිසා. උඹල ඒක වැඩිකළා. මොළේ පාවිච්චි කරල වැඩ කරපියව්’ කියමින් පොලීසියටද අවවාද කරමින් රැස්ව සිටි ජනතාව වෙත පැමිණි බැද්දගානේ ගුණසේකර ඇන්ටි ජනතාවට ඇත්ත පහදා දී ඔවුන්ව විසුරුවා හැරීමට කටයුතු කළාය.

 

 

 

sobithatheroii

අද මෙන් එදා ජංගම දුරකතන හෝ ගෘහස්ත දුරකතන පවා විරල යුගයක සෝභිත හාමුදුරුවන්ට තමා නිදුකින් විහරණ බවට අසල තිබෙන රජමහා විහාරයට හෝ දුරකතන පණිවුඩයක් දීමට නොහැකි වූයේ පන්සල් දෙකට පවා දුරකතන නොමැති වූ හෙයිනි.
ඉන්දු-ලංකා ගිවිසුම
පොදු මහජනතාව එවක නාගවිහාරේ අපේ ලොකු හාමුදුරුවන්ට එසේ ආකර්ශනය වී සිටියේ එවක උන්වහන්සේ ජාතිය සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති පදවිය දැරූ නිසාවෙනි. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රටපුරා පැවැත්වූ රැස්වීම්වල විචිත්‍රවත්ම කතිකයා වූයේ සෝභිත හිමිපාණන්ය. රැස්වීම්වලට පැමිණි ජනයා පොලිස් අත්අඩංගුවට පත්වූ විට කෙලින්ම මයික්‍රපෝනය වෙත යන අපේ හාමුදුරුවෝ ආවේගශීලීව කියාසිටිනුයේ ‘පොලිස් මහත්වරුනේ, කරුණාකරලා ඔය කොල්ලොටික එලියට දාන්න. තමුන්නාන්සෙල උතුරට ගිහිල්ල බිම් බෝම්බවලට අහුවෙලා පෝර බෑග්වල කෑලිකෑලිවලට කැඩිල එනවා දකින්න බැරි හින්දයි අපි මේ රැස්වීම් තියන්නෙ. ඔය දරුවො අත්පත්‍රිකා බෙදන්නෙ තමුන්නාන්සෙලට පක්ෂව. එහෙව් එකේ තමුන්ට මේ දරුවො කරන සේවය ගැන හිතල මේ දරුවන්ව වහාම නිදහස් කරන්න’ කී සැණින් ජනතාව පොලිස් ජීප්රථ වටකර ගනිත්ම අත්පත්‍රිකා බෙදූ ජවිපෙ විශ්වවිද්‍යාල සිසුන් පොලීසිය විසින් නිදහස් කරනු ලබයි. උන්වහන්සේගේ තිබුනේ අසමසම, විචිත්‍ර කතිකත්වයකි.

 

 

 

419462039e6c0e52c639a94a4db17847_XL
‘දියණියනි’
බියකරු අඳුරු භීෂණ යුගයක් නිමා කරමින් 1994 වසරේ චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිනිය ලෙස දිවුරුම් දී පළමුවෙන්ම පැමිණියේ සෝභිත හිමියන්ගේ කෝට්ටේ ශ්‍රී නාගවිහාරය වෙතය. එදා චන්ද්‍රිකාවන්ට ‘දියණියනි’ කියමින් උන්වහන්සේ සිදුකළ කතාව අතිවිශිෂ්ටය. සෝභිත හාමුදරුවෝ කවදත් සිටියේ රාජරාජ මහාමාත්‍යාදීන් සමග නොව පොදු මහජනතාව සමගය. සාධාණය සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයද උන්වහන්සේ ගොඩනැගුවේ එම අරමුණෙනි. ඒ සැම නොනිමි කර්තව්‍යයක්ම නවතා දමා උන්වහන්සේට නික්මයාමට සිදුව ඇත්තේ ලොව ධර්මතාවයන් පරිදිය.

වඑය එසේ සිදුවිය යුතුයැයි අපට සිතේ. මන්ද යත් 73 හැවිරිදි උන්වහන්සේගේ ජීවිතය අඛණ්ඩ සටන් සමූහයක ගොනුවකි. එකී සටන්වලින් මිදී උන්වහන්සේ දැන්වත් ඉසිඹුලියයුතු වේ. මන්ද යත් තව අවුරුදු සියයක් ගියත් අපේ රටේ උන්වහන්සේ පැතූ ‘සාධාරණ, යුක්තිසහගත සමාජය’ බිහි නොවන නිසාය.

අපි උන්වහන්සේට නිවන් සුව නොපතමු. මන්දයත් නිවන සාක්ෂාත් කරගත හැක්කේ මියගිය පසුව නොව ජීවත්ව සිටියදී වන බැවිනි. එය කළහැක්කේ ජීවත්ව සිටිනා සමයේ සිත අත්හැරීම මගින් පමණකි.

දැනට විදෙස්ගතව සිටින කෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේ ප්‍රදේශවාසියෙක්

 

 

 

Reflections of the life of  sobitha thero

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.