Student Protest-පේරාදෙනි සටනක මතක

වීරසූරිය සහ රොනී ගුණසිංහ

 

 

 

සිසු සටන් අතර, සිදුවූ  පළමු සිසු ඝාතනය මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.  ඒ පේරාදෙනිය සරසවි භූමියේදී වීරසූරිය නම් සිසුවා මැරුම් කෑමය. ඔහු වෙඩි කෑවේ සටනක් අතර නොවේ. Bed Tea  එකද නැතිව හිස් බඩින් සිටි හිමිදිරි උදෑසනකය. පොලිස් වෙඩි පහර වැදුන අවස්ථාවේ වීරසුරියගේ සාක්කුවේ තිබී සොයා ගත්තේ අත් බෝම්බයක් හෝ  පිස්තෝලයක් නොවේ. පත්තර කෑල්ලක ඔතා ගත් සීනි ටිකකි. වීරසූරිය නේවාසිකව සිටි ශාලාවෙන් නික්ම ගමන් කරමින් සිටියේ  පාන්දර තේ කෝප්පය  හෙවත් Bed Tea එක ලබා ගැනීමටය. සීනි ටිකක් සාක්කුවේ දා ගෙන ආ විට තේ එකට දෙන සල්ලි ඉතිරි වේ. තේ කහට ටිකට  කැන්ටින් කාරයා සල්ලි ගත්තේ නැත. එය නොමිලේ ලැබෙයි. එ දවස සරසවියේ ඉගෙණ ගත් හැම වීරසුරියම දවස පටන් ගත්තේ එහෙමය. ඒ අර්ථයෙන් ගත් කළ වීරසුරියගේ මරණයේදී අර සීනි ටික බෝම්බයකට වඩා තියුණු විය. අද කාගේ හෝ සීනි කිරීමට පාරට බැස කෑ ගසන නූතන වීරසුරියලාගේ ජීවිතද තේරුම් ගත හැකිය. මේ දරු දැරියන් පාරට බැසීම සාධාරණය. සටන් පාඨ කියා කෑ ගැසීම සාධාරණය. එවිට කිසිවෙකුට මෙසේ ඇසිය හැකිය. ඔවුන්ට ඔළු කටු පොඩි වෙන්න පහර දීම සාධාරණද? නැත. කිසිසේත් සාධාරණ නැත. එහෙත් ඒ ගැහිල්ලටත් කතාවක් ඇත.

අපි නැවත වීරසූරියගේ ඛේදවාචකය  වෙත ගමන් කරමු. එදවස බොහෝ සරසවි සිසු සටන් කෙරුණේ මහ පාරේ නොවේ.  සරසවි භූමිය තුලය. එලෙස වීරසූරිය වෙඩි කෑ දවසේත් සටනක් දියත්ව තිබිණ. සිසුන් අඛණ්ඩව සරසවි බිමේ රැඳී දින කිහිපයක් ගෙවිණ. සිසු අරගලය නිසා  සරසවි උයනට පොලිසිය කැඳවනු ලැබීය. ඒ සරසවියේ පාලකයන් විසිනි. පැමිණි පොලිසියට කළ හැකි දෙයක් තිබුණේ නැත. එක් වරුවක් තුල පොලිස් භටයන්  සෙනෙට් ගොඩනැගිල්ලට කොටු කිරිමට සිසුහු සමත් වූහ. එසේ දවසක් ගතවිය. ඒ සමග පොලිස් ප්‍රධානීන්ට තම සාමාජිකයන් සම්බන්ධව ආරක‍්ෂක සහ සුභ සාධන ගැටළු පෙළ ගැසිණ. ඒ අතර, මාතලේ  මූලස්ථාන පෙලිස් පරීක‍්ෂක රොනී ගුණසිංහ  කැඳවීය. ඔහු පැමිණ ගෙවුනේ එක් රැයකි. වීරසුරිය වෙඩි වැදී මිය ගියේය. විවිධ හේතු නිසා අපහසුවට පත්ව සිටි සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවට මෙය හෙන ගෙඩියක්ම විය.

පසු  දවසක මේ වෙඩි තැබීම ගැන මාධ්‍ය වේදියෙකු පොලිස් පරීකෝෂක රොනී ගුණසිංහ  ගෙන් විමසීය. වීරසුරිය ඝාතනය සරසවි සිසුන් සම්බන්ධව යම් සේද රොනී ගුණසිංහ  කී කතාවද වර්තමානයටද  වැදගත්ය.

 

 

 

‘ඕපන් ෆයර්‘ 

 

“මම යනකොට දවස් දෙකක් රාළහාමිලා එකම යුනිෆෝම් ඇඳගෙන හිටියේ. ඩියුටි මාරු වෙන්න විදියක් නැහැ. ඔවුන්ට කන්නත් නැහැ. තිබුණේ වතුර විතරයි. ඉහළ නිලධාරීන් බලා සිටියා පමණයි. අපේ කිසි කෙනෙක් තීරණ ගන්නේ නැහැ. විශ්ව විද්‍යාලය ඇතුලේ නිසා  බයෙන් හිටියේ. හිස් පරිසරයට ‘ඕපන් ෆයර්‘ කරලා මොකද වෙන්නේ කියලා බලන්න මම තීරණයක් ගත්තා. මම එහෙම කළේ පොලීසිය පැත්තෙන් කල්පනා කරලා. පොලිසියේ ඉන්නේත් මිනිස්සු. මේ කියන  වෙලාවේ සමහර සිසුන් ශාලාවල නිදි. එළියට ඇවිත් නැහැ.  අපේ ඇක්ෂන් එකට සිසුන්ගෙන් ලැබෙන  රිඇක්ෂන් අධ්‍යයනය කරන්න මම බලා පොරොත්තු වුනා. ඒත් ඒ සාධාරණ ක්‍රියාව අවාසනාවන්ත විදියට කනපිට හැරුණා.“

හැම කතාවකම දෙපැත්තක් ඇත. මෙවර සිද්ධියේත් එහෙම දෙයක් තිබිය හැකිය. පියදාස උඩුගම්පොලගේ අම්මා සහ පවුල විනාස කිරීමෙන් දේශප්‍රේමි ව්‍යාපාරය එදා අපේක‍්ෂා කළේ කුමක්ද? සටන උණුසුම් කිරීමය. එහෙත් එහෙම වුනාද? නැත. මේ වර පොලිස් ප්‍රහාරය මෙතරම් දරුණු වුනේ කාගේ උපදෙස් නිසාද?

වීරසුරිය මැරුනේ සරසවි සිසුන් ද කැපවී නිර්මානය කළ වාමාංශික ආණ්ඩුවක පාලනය තිබියදීය. 1977 ආණ්ඩුව වෙනස් විය. සරසවි සිසුන් වෙනුවෙන් මහපොල අරමුදල නිර්මානය වුනේ එජාප  ආණ්ඩුව යටතේය. මහපොල අරමුදල නිර්මානය කරන්න වීරසුරියගේ සාක්කුවේ තිබුණ සීනි ටික හේතුවූ බව ලලිත් ඇතුලත්මුදලි මේ ලියුම්කරු සමග කියා ඇත. එහෙත් මහපොල මුදල් දීමෙන් ශිෂ්‍ය ප්‍රශ්න විසඳුනේද?  නැත. සරසවි සිසුන්ට මහපොල දියව් යන්න අදටද අලුත් සටන් පාඨයකි.

මහපොල ආවේ වීරසූරිය මැරුම් කෑ  නිසාම නොවේ. ඒ සිද්ධියේ අතුරු ඵලයක් විය හැකිය. මෑතක පේරාදෙණිය සරසවියේ අලුතෙන් ශාලාවක් හෙවත්  ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදි විය. ඊට ‘අයිවෝර් ජෙනිංස්‘ ශාලාව යයි නම් තබන්නට පාලකයෝ තීරණය කළහ. සිසුහු එතැනදීත් අරගලයක් නිර්මානය කර ගත්හ. ඒ ශාලාවට තැබූ නමට එරෙහිවය. ඔවුන්ට අවශ්‍ය වුනේ මියගිය සිසුවෙකුගේ නමක් තියන්නටය. මා මේ ශාලාවේ සිද්ධිය සිහිපත් කෙළේ සිසුන් සවුත්තු කරන්නට නොවේ. කරන දෙයක දිග පළල ගැඹුර ගැන සිසුන් නො සිතන බව කියන්නටය.

සටන්කාමී සිසුවෙකු තමන් කළ දේ ආපසු හැරී කල්පනා කළොත් ඔහුට සිනහා පහල වෙනවාට සැක නැත. එහෙම කියන්නේ මේ ලේඛකයාද සරසවි සිසුවෙකුව සිටි හෙයිනි.

සිසුන් සාකච්ඡා කර දිනාගත් ඉල්ලීමක් තිබේද? උත්තරය, නැත..!

අප එකක් පිළිගත යුතුව ඇත. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන් ඉතිහාසයේ සිසුන් පාලකයන් සමග මුහුණට මුහුණ ලා සාකච්ඡා කර විසඳා ගත් ප්‍රශ්නයක් හෝ දිනාගත් ඉල්ලීමක් තිබේද? උත්තරය ‘නැත‘ යන්න ය. හේතුව සරසවි සිසුන් කිසිවක් සාමයෙන් සමාදානයෙන් ලබා ගැනීමට උත්සාහ නොකිරීමය. ඔවුන් තම ප්‍රශ්න යොමු කරන්නේ හිස් අවකාශයටය. කතා කරන්නේ සරසවි උයනේ ගස් වැල්  සමගය. තම රාවය පරිසරයට එක්වී ප්‍රතිරාව දෙන හැටි දැක ඔවුන් තෘප්තිමත් වෙති. ඒ  පණිවිඩය තම ගැටළුව  පාලකයා වෙත ගියාද නැද්ද යන්න ගැන ඔවුන්ට අදාල නැත.  ශිෂ්‍ය සටන් තුල ඇත්තේ තාරුණ්‍යයෙහි පවත්නා ආලෝලනීය නිදැල්ල විය හැකිය. එහෙත් මේ නිදැල්ල පවුලකට පරම්පරාවකට ගෙදරකට හුරතලයක් විය හැකිය. ඒ නිදැල්ල රංචු ගැසී  සමාජ ගතවූ විට  නම් හුරතලයක් නොවේ. ගෙදරට හොරෙන් රංචු ගැසී දිය කෙළියට ගිය සමහර දරුවන් ගෙදර එන්නේ පෙට්ටි වලිනි. සමහර සිද්ධි පොලිසියෙන් අධිකරණයන් සිර ගෙදරින් කෙළවර වේ.

පේරාදෙණි සරසවියේ සමහර සිසු අරගල මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙයි. එවැනි අවස්ථාවල සිසුන්ගේ දෙමාපියන් භාර කරුවන් ගෙන්වා මහේස්ත්‍රාත් වරයා අවවාද කරනු දැකිය හැකිය. සිසුන් පාරට බසින හේතු ඉල්ලීම් සහ ගැටළු මෙනවාද? ඒවා විසඳිය හැක්කේ දීර්ඝ කාලීනවද? කෙටි කාලීනවද? කිසිවෙකු කිසි දවසක මේ තත්වය විමසා බලා නැත. අද බොහෝ ශිෂ්‍ය සටන්වල අවංක භාවය ප්‍රශ්න කළ යුතුය.

වර්තමානයේ හැම සිද්ධියක් පසුපසම දේශපාලනයක් ඇත. සරසවි සිසුන් කරන අරගල පසුපසද මේ කියන දේශපාලනය ඇත්තේ විවෘතව නොවේ. සැඟවීලාය. එය එසේ නොවේ යයි කිසිවෙකු කියයි නම් එය මහා විහිළුවකි. මේ දේශපාලනය නිසා ආසන්න වසර 50 ක කාලය තුල විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිත බෙහෙවින් වෙනස් විය. වර්තමානයේද මේ සිද්ධ වෙන්නේ එයමය. එය තේරුම් ගැනීමට අපහසු  නැත. එක් යුගයක විශ්ව විද්‍යාල යනු වාම දේශපාලන කඳවුරුව පැවතිණ. ඒ යුගයේ හැම සිසුවාම වාමවාදි දේශපාලනයකට අනුගතව සිටියහ. හේතුව සරසවියේ ජනප්‍රියකම, සමාජ වටිනාකම ලැබෙන සරල ක්‍රමය එය බැවිනි.  ශිෂ්‍ය සභාවකට තේරීමට එසේ විය යුතුමය.

ජනාධිපති නීතිඥ “පොල් වික්කා“ සහ “ඒ ඒ කාලෙනේ“-විජය වික්‍රමරත්න

 

 

සරසවියෙන් පිටව ගිය වහා ඒ සිසුන් විවිධ වගකීම් දරමින් රටට උචිත ලෙස වෙනස් වෙති. ඔවුන්ගේ ශිෂ්‍ය යුගය ගැන ප්‍රශ්න කළ විට ලැබෙන්නේ සරල  උත්තරයකි. බොහෝ දෙනා කීවේ  “ඒ ඒ කාලෙනේ…..“ කියාය. අප මේ මුහුණ දෙමින් සිටින්නේ මනෝ මූලික සීමිත කාල පරාසයක දඟ කැවෙන “ඒ ඒ කාලෙනේ…..“ නම්  හිතලු අභියෝගයට විය හැකිය. මේ කියන අභියෝගාත්මක කාලය සමග ගැටෙන්න කිසිවෙකු කැමති නැත. ඇත්ත තත්වය අකමැතිකම නොවේ. ඒ පසුපස සැඟවී පවත්නා විවිධ බලවේගයන්ගේ අතාර්කික භාවයට බියෙනි. මෙහිදී රොනී ගුණසිංහගේ ප්‍රකාශය වැදගත්ය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක රොනී ගුණසිංහ කී පරිදි, පොලිසිය සිසුන්ට බියෙන් ගුලි ගැසී සිටියහ. දින කිහිපයක් එක් තැනකට සිරවුන පොලිස් නිලධාරීන් තුල ඇති වූ පීඩනය සිසුන්ට එරෙහි බලවේගයක් බවට පත්විය. ප්‍රතික්‍රියාව ආරම්භ වන්නේ එහෙමය. ප්‍රතික්‍රියාවේ ප්‍රතිපලය ආණ්ඩු විරෝධි කැරැල්ලකි. මේ තත්වය අපේක‍්ෂාවෙන්ම බලා සිටින්නෝ වෙති. ඒ  කණ්ඩායම් බොහෝ විට සරසවි සිසුන් නොවේ. හැම විටෙකම

 

 

නැතත්  සිසුන් බලල් අත් බවට පත්වූ අවස්ථා බොහෝය. ප්‍රශ්නය ඔඩු දුවන තෙක් එදා පොලිසිය බලා නො සිටියා නම් වීරසුරිය අදත් ජීවතුන් අතරය. වසර පනහකින් මෙපිට වර්තමානයෙහිද ශිෂ්‍ය ප්‍රශ්න අප තේරුම් ගැනීමට මේ ආකාරයෙන් උත්සාහ කරයි නම් එය නිවැරදි ප්‍රවේශයක් විය හැකිය.

ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්න ප්‍රකට ශිෂ්‍ය  සටන් කාරයෙකි. ඒ නිසාම අදත් ඔහු “පොල් වික්කා“ යන උප පද  නාමයෙන් හඳුන්වති.  මහනුවර මහ මළුවේ තිබුණු හෙන්රි වෝඩ් ප්‍රතිමාව මහනුවර කටුගෙට ගියේ දියවඩන නිලමේගේ උවමනාවට නොවේ. පේරාදෙණි සරසවි සිසුන් කළ සටනක ප්‍රතිපලයක් හැටියටය. එදා ඒ සටන් බිමේ ඉදිරියෙන්ම සිටි කිහිප දෙනා අතර “පොල් වික්කාද“ විය. සත්තකින්ම හෙන්රි වෝඩ්ට එරෙහිව සිසුන් සටන් කළාද යන්න ඇසිය යුත්තේ ඒ සටන මෙහෙයවූ “පොල් වික්කා“ ඇතුළු අයගෙනි. පෙර කී ශාලාවට අයිවෝර් ජෙනිංස්ගේ නම තබන්ට එපා කීම සමග මේ සිද්ධිය ගලපා ගත හැකිය.

සිසුන් පාර බැස්ස විට එදා එහෙම  සිදු විය. අද සිදුවන්නේ  ඊට හාත්පසින්ම වෙනස් දේය. 1971ට පසුව සිසු සටන් ගැන ඇත්තේ සුන්දර අත්දැකීම් නොවේ.  ඒ සටන් ඉතිහාසය ලේ කඳුළු සමග මිශ්‍ර වූ බොහෝ අමිහිරි එකකි. එදා හෙන්රි වෝඩ් කටු ගෙට ඇරියාට අද එසේ සිද්ධ නොවේ. අද සිදුවන්නේ කුමක්දැයි ඇස් වාට්ටුවේ සිද්ධියෙන් පැහැදිලිය. බ්‍රහස්පතින්දා සිසු විරෝධතාව ආරම්භ වුනේ කොටුව දුම්රිය පොල අසලිනි. ඒ නිසා ඇස් වාට්ටුවට එන තෙක් මාර්ගය අවහිර විය. ඒ අවහිරවීම මගීහු සතුටෙන් හෝ අසතුටෙන් විඳ දරා ගත්තාට සැක නැත. සිසු විරෝධතා පෙළපාලිය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ළඟ නතර විය. ඒ පොලිසිය කොමිෂන් සභාව තුලට යන්ට ඉඩ නොදුන් හෙයිනි. ප්‍රතිපාදන කොමිෂමට ඇතුල විය නොහැකි වන සේ මාර්ග බාධක දමා තිබිණ. සිසුන් රැස් කකා සිටියේ මහ පාරේය. සිදුවූ සියල්ල රටම බලා සිටියහ. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පොලිස් ප්‍රහාර එල්ල විය. සිසුන් සිය ඉල්ලීම හිස මත තබාගෙන සිටියහ. පොලිසිය ආණ්ඩුවේ කන්තෝරුවක් රැකීමේ වගකීමෙන් පෙළ ගැසී සිටියහ. කොටුවේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම තෙක් නිර්බාධිතව පැමිණි සිසු පෙළපාලියට එතනදී එහෙම වුනේ ඇයි? මාර්ග බාධක දමා තිබිණ. සිසුන් පැමිණියහ. පොලිසිය බලා සිටියහ. නැවත මාධ්‍ය රූප රාමු නරඹන්න. බාධක වැටට සිසුන් අත තැබූ විගස පොලිසිය ක්‍රියාත්මක විය. ජල පහර නොකියා කීවේ “පලයව්“ කියාය. සිසුන් එක පොදියට මිරිකී ජල පහරට අභියෝග කළහ. ජන රාශිය විසුරුවා හැරීමට කඳුළු ගෑස් විද්දාහ. ඒ සමග සිසුන් දුවන්නට විය. පළා යන සිසුන්ට පහර දුන්නා නම් වැරදිය.

මෙතැනට වීරසුරිය සිද්ධිය ආදේශ කරන්න. ආණ්ඩුවේ කන්තෝරුවක් රැකීමේ වගකීමට අවහිර කිරීම රටේ නීතිය කැඩීමකි. දුවන සිසුන්ට පහර දීම ද නීත්‍යානුකූල නැත. නීතියට පිටින් ගිය කවුරුත් ඊට වගකිව යුතු තැනකට රටම පැමිණිය යුතුවේ.

different aspects of student struggles -remembering peradeniya

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.