Sunanda’s Note :සරා ගොයිය හරි මිනිහා

සරා ගොයිය හරි මිනිහා,
තුවක්කුවක් කරේ තියන් දවසක් දඩයමේ ගියා
රාළහාමි කෙනෙක් එදා – සයිකලයක නැගී පදා
වෙළ අයිනේ පාර දිගේ – පැට්‍රොල් ගොස් එන අතරේ
සරා විහිලුවකට හිතන් – තුවක්කුවත් අතට අරං
වෙළ අයිනේ වැටට උඩින් – දුවන්ට විය බොහොම තදින්

 

[vsw id=”/UyeYc10N-f0″ source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

ඊට පස්සේ රාළහාමි සරාගේ පස්සෙන් පැන්නුවා. සරා මඩ කඩිති උඩින් දිව්වා. රාළහාමි වහු පැටියකුගේ ලනුවේ පැටලිලා වැටුනා. මූනේ මඩ ගෑවුනා. වෙස් මුහුණක් වගේ උනා. කොල්ලො හූ කියන්න ගත්තා. සරා හිනහ වෙවී වාඩි උනා. රළහමි සරා අල්ලගෙන ‘හා මගෙන් බේරෙන්න’ කියළ, දීපන් ලයිසම කිව්වා. සරා සරම අස්සෙන් තුවක්කුවේ ලයිසම පෙන්නුවා. ‘එහෙම නම් ඇයි යකෝ දිව්වේ’ කියළ රාළහාමි තරහෙන් ඇහුවා.

එත්කොට සරා ඇහුව ‘දුවන්නත් ලයිසොන් ගන්න ඕනැ ද රළහමි’ කියළ. රාළහාමි යන්න ගියා.

ටටට ටාං. සින්දුව ඉවරයි.

දෛව විපාකය (1959) සිනමා පටය සඳහා මේබල් බ්ලයිත් ගායනා කළ එම ගීතයේ සරා ගොයියාට අද ශ්‍රී ලංකාවේ පොලීසිය කෙසේ සළකනු ඇත්ද?

ඒ වගේ නොවන රාළහාමි ලොක්කෙක් හිටියා පසුගිය 02දා පාර්ලිමේන්තු හන්දියේ පාළම ‍‍ලඟ. මංත්‍රී ඇත්තො රුකගන්න යකඩ වැටවල් දාගෙන. එතකොට හිරු නාලිකාවෙ ජනමාධ්‍යවේදියෙක් එතැන ආවරණය කරන්න ආව. අර සාරා පස්සෙන් පන්නපු පොලිස් රළහාමිගේ වර්ථමාන අවතාරයක් වගේ පොලිස් ලොක්කෙක් ඇවිල්ල තර්ජනය කරා ‍‘යනව යන්න මෙතැන වීඩියෝ කරන්න බැහැ’ කියළ. ‘ඇයි බැරි රාළහාමි මේ මගේ වෘත්තියනෙ’ ජනමාධ්‍යවේදිය කිව්ව. රාළහාමි ගෙරව්ව. ‘රාජකාරියට බාධාකරා කියළ අල්ලල දානව’ කියළ තර්ජනය කරා.

සරාගේ කාලේ වගේ නෙවෙයි යන්න වුනේ රාලහාමිට නොවෙයි. ජනමාධ්‍යවේදියට. රාළහාමිලාගේ කෙරුවාව තමයි අද නීතිය.
මේ සිද්ධිය වුනේ පසුගිය ඔක්තෝබර් 29 දා කොළඹ මැද්දැවෙම සරසවි සිසුසිසුවියන්ට පොලිස් තඩිබෑම පාර්ලිමේන්තුවේ බහුතරයක් මංත්‍රීවරුන් හෙළා දකින බව කියැවෙත්දි. එදා බැටන් ප්‍රහාර සඳහා අණදුන් පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා තිබෙද්දි. මංගල සමරවිර ඇමැති ඇතුලු ආන්ඩුවේ ඇමැතිවරු ගණනාවක්ම එම තුච්ච තඩිබැම හෙළා දැකල දවසක් දෙකක් යන්නත් ඉස්සෙල්ල.

 

නමුත් පොලීසියට මහජනයාගේ අයිතිවාසිකම් කෙළෙසීම් ගැන බය වෙන්න කිසිම හේතුවක් තිබුනෙ නැහැ.

මේ ආණ්ඩුව පොලීසිය සුද්ධ කරන්න කිසිම පියවරක් අරගෙන නැති බව දන්න නිසා. පොලීසිය බාර ඇමැති තිලක් මාරපන ආණ්ඩුව වෙනුවෙන් දිර්ඝ ප්‍රකාශයක් කරමින් පොලීසියට කිසිදු වරදක් කිව්වේ නැති නිසා. ආණ්ඩුව වෙනුවෙන් ශිෂයින්ට වරද පටවන ව්‍යාපාරයක් ඒ වෙන කොටත් ආරම්භ වෙලා තිබුන නිසා. ඒ වෙනකොට පොලිස්පති විදිහට වැඩ බලමින් හිටියේ එම බැටන් පොලු ප්‍රහාරය මෙහෙය වූ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර නිසා.

නැත්නම් කොහොමද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බැටන් පොලු ප්‍රහාරය පිළිබඳ ‘පත්තරවල පළවූ ජයාරූප වැරදියි. එවායේ තියෙන්න මායාවක් කියළ.’ ජායාරූප පළ කරන්නත් අවසර ගන්න ඕනද රළහමි? එම ප්‍රකාශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරේ බය ගැන්වීමක්. රාජපක්ෂ කාලෙ වුනා නම් රාළහාමිල කියන්න තිබුණ පොලිස් ප්‍රහාරවල ජයාරූප පළ කිරීමට පෙර අවසර ගත යුතුයි කියළ.

ඔය පොලිස් මාධ්‍ය ප්‍රකාශකම තමයි ‘බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන සැකකකරුවන්ට නීති‍ඥයන් පෙනී ඉන්න එක වැරදියි’ කියළ පන්ගෝට් එකක් දැම්මේ. ස්වභාවික යුක්ති ධර්මය කියන නීතියේ පදනම් ව්‍යවහාරය අනුව ඕනෑම සැකකරුවෙකුට නීතිඥ සහාය ලබා ගැනීමට අයිතියක් තිබෙන බව මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉගෙන ගෙන නැත්ද?

ප්‍රකාශක රාළහාමි ඒ කතාව කිව්වේ සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංඟුවට ගත් දුනේශ් ප්‍රියශාන්ත වෙනුවෙන් පෙනි සිටි නීතිඥ උදුල් ප්‍රේමරත්නට විරුද්ධව. දුනේශ් සේයා ළැදැරිය උස්සාගෙන ගිය හැටිත් ඝාතනය කළ හැටිත් හෙළි වී තිබෙන බව උජාරුවෙන් කිව්වෙත් ඒ ප්‍රකාශක රාළහාමි ම යි. අන්තිමේ දී ඒ කතාව පහර දී ලබා ගත් කට උත්තරයක් වෙච්ච නිසා ආපහු ගිල ගන්න උනෙත් ඒ රාළහාමි ප්‍රකාශකට ම යි.

දුනේශ් වැරදිකාරයෙක් ද නැත්ද කියන එකටට වඩා මෙතැන තියෙන ප්‍රශ්ණය තමයි පොලීසිය අධිකරණය තමන්ය කියළ හිතාගෙන ඉන්න එක. තමන්ට උඩින් කපුටෙක්ටවත් පියාබන්න බැහැ කියළ හිතා ගෙන ඉන්න එක.

පොලීසිය සරසවි ශිෂ්‍යයනට පහරදීම සාධාරණ කරන්න ප්‍රසිද්ධියේ බොරු කිව්වා. ඒ බව කියන්නේ අපි නොවෙයි. විශ්ව විද්‍යාල සනාතන සභාව කියන්නේ එහි නිලධාරීන් එම අවස්ථාවේ කාර්යාලයේ නොසිටි බවට පොලීසිය කළ ප්‍රකාශය බොරුවක් කියළයි. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වෙත් එවැනිම කතාවක්.

පොලීසිය කියන්නේ නීතිය හා සාමය රැකීමට තියෙන ආයතනයක්නෙ. ඒ වුනාට හැම දවසකම පොලිස් ස්ථානවල නීතිය කඩන බව අප දන්නේ නැත් ද? මහජන මතයට අනුව ලංකාවේ දූෂිතම ආයතනය පොලීසිය බව ජනමත සමීක්ෂන ගණනාවකින් සනාථ වෙලා තියෙනවා. ඒ වගේම මෙරට එදිනෙදා ජිවිතයේ ප්‍රචණ්ඩතම ආයතනයත් පොලීසිය යි. පොලිස් අත්අඩංඟුවට පත් වන කී දෙනෙක් අම්බානකට ගුටි කනව ද? වොඩ් ප්ලේස් එකේ දී දැක්කේ ඇත්ත ගැහිල්ලේ ටේලරේ විතරයි!

 

 

නීතිය තමන්ය කියළ හිතන් ඉන්න නිසා, ඒ විදිහට දශක ගණනාවක් වැඩ කරන්න ආණ්ඩු අවස්ථාව දීපු නිසා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බය නැතුව බොරු කියන්නෙත් නීති විරෝධී ප්‍රකාශ කරන්නෙත්. කෙටියෙන් කීව්වොත් පොලීසිය භුක්ති විදින දණ්ඩ මුක්තිය තමයි මරහ.

පසුගිය සැප්තැම්බර් මාසයේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් යුද්ධයේ අවසාන කාලයේ සිදු වූ බවට කියැවෙන හිමිකම් කෙළෙසීම් ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා සාමකාමී පෙත්සම් ව්‍යාපාරයක් ගෙන ගියා. ඒක සම්පූර්නයෙන්ම මහජනයාගේ නීත්‍යනුකූල අයිතියක්. නමුත් පොලීසිය උතුරෙදි වගේම නැගෙනහිරදිත් එම ව්‍යාපාරයට තර්ජනය කරා. එය කඩාකප්පල් කරා.

නමුත් ඒ ගැන සිංහල මිනිස්සු වන අප දන්නේ නැහැ. ඒ නිති විරෝධී ක්‍රියාවල යෙදුනු පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගත්ත කිසිදු ක්‍රියා මාර්ගයකුත් නැහැ. අද සරසිවි ශිෂ්‍යයින්ට බැටන් පොලු පහර දීම ගැන කිඹුල් කඳුලු හෙළන රාජපක්ෂ මායියන් එදා මාස දෙකකට පෙර දෙමළ ජන කණ්ඩායම්වලට පොලීසියේ රාළහාමිලා දැක්වූ හයිරම් වලට කටක් ඇරලා විරුද්ධ වුනෙත් නැහැ. අන්තරේ ළමයිවත් ඒක දන්නේ නැතිව ඇති.

අනෙකාගේ අයිතිවාසිකම් ආරක්ෂා නොකරන අපේ අයිතිවාසිකම් ආරක්ෂා නොවන බව මාටින් නිමොලර්ගේ පටන් කී දෙනෙක් කියළ තියෙනව ද?

රාජපක්ෂ සමයේ පොලීසිය පාතාලයේ යැයි සැක පිට අත්අඩං‍ගුවට ගත් බොහෝ දෙනෙකුට වෙඩි තබා මරා දැමූ බව අප දන්නේ නැත් ද? එතකොට රාළහාමිලා කිව්වේ ‘පැනල යන්න හැදුවා එතකොට වෙඩි තිබ්බා, නැත්නම් මංචු පිටන්ම ගගට පැනල මැරුනා, අපට බෝම්බයක් ගහන්න හැදුවා එතකොට වෙඩි තියන්න වුණා’ වගේ ගල් පැලෙන බොරු. ඒ සැකකරුවන්ට වෙඩි තබා ඝාතනය කළ මිනීමරුවන් අදත් පොලිස් නිල ඇදුම අස්සේ නැත් ද? එම මිනී මැරුම් සහ ඊට අණදුන් බලවතුන් ගැන විධිමත් පරීක්ෂණයක් අප ඉල්ලන්නේ නැත්තේ ඇයි? ඊනියා පාතාලයින් මැරුවාට මගේ මොකෝ යැයි සිතන නිසා ද?

කොලඹ දී සරසිවි සිසුවියන්ට බැටන් පොලු ප්‍රහාර දීම හෙළා දැකීම වැදගත්. නමුත් ඒ හෙළා දැකීම හුදෙක් මෙම සිදුවීමට පමණක් සීමා කිරීමෙන් වෙන වැඩක් නැහැ. රාළහාමිලා දෙතුන් දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තට ඇතිවෙන වැඩකුත් නැහැ.

අප ඉල්ලන්න ඕනෙ සම්පූර්ණ පොලිස් ප්‍රතිසංස්කරණයක්. පොලීසිය නිර්-දේශපාලන කිරීමක්. පොලිස් නිලධාරීන්ගේ සුභ සාධනය ඉහළ නැංවීමක්. පොලිස් මහජන සම්බන්ධතා ඉහළ දැමීමක්. විරෝධතා පා ගමනකට කලින් පොලීසිය හා එක්ව සම්බන්ධීකරනයට ක්‍රමයක් වගේ. පොලිස් ස්ථාන පරීක්ෂාවට පුරවැසි කමිටු වලට අයිතියක්.

 

 

ඒ කියන්නේ සමෝධාන ප්‍රවිශ්ධයක්.

ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමට නම් පොලීසිය උඩියටිකුර ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය යි. ඇත්තෙන්ම කියනවා නම් පොලිස් සේවයේ යෙදී සිටින මහත්ම මහත්මීන්ගේ ගෞරවය රැක ගත හැකි වන්නේත් ඒ මගින් ම පමණයි. ඒ නිසා ම මෙවැනි ප්‍රතිසංස්කරනයක් සිවිල් ජනයා වන අපේ වාගේ ම නිල ඇදුම් ලූ යහපත් පොලිස් නිලධාරීන්ගේ ද අවශ්‍යතාවයක්.

එහෙම නුනොත්? පොලිස් ඇමැති මාරපන දූෂිත ඇවන්ට්ගාඩ් වෙනුවෙන් මුදලට උසාවිට ගෙන ආ තර්කම මහජන නියෝජිතයෙක් විදිහට පාර්ලිමේන්තුවේ දෙසා බාන්නා සේ දිගටම පොලිස් අවනීතිය රැක්කොත්?

මේ රාළහාමිලාට එදා අහිංසක සරා අද අහුවුනොත් පොලීසියට වෙඩි තබා රාජ්‍ය ආරක්ෂාවට බාධා කළ බවට කට උත්තරයකුත් අරගෙන නඩුවකුත් දාල හිරෙත් යවාවි. සිසු සිසුවියන්ට වෙන්නෙත් ඒකයි. ජනමාධ්‍යවේදීන්ට වෙන්නෙත් ඒකයි.

සාරා ගොයිය හරි මිනිහා……

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.