Three Wheel- රෝද තුනේ කවි

කරුමෙ ඩබල් – පින සිංගල්

හිරේ යන එකත් විශ්ව විද්‍යාලේ යනවා වගේ වැඩක් කියලා දවසක් කවුදෝ කිව්වම ඒක මාර කතාවක්නේ යකෝ කියලා තමයි මට ඉස්සෙල්ලම කියවුනේ . එත් පස්සේ කාලෙක හිතල බලද්දී ඇත්තටම ඒක එක අතකට හරි කියලා හිතුනා . ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ජීවිතය ගැන බොහෝ දුරට එකිනෙකාට වෙනස් අත්දැකීම් සමූහයක්  ඇති මිනිස්සු සමූහයක් එකතැනක ඉද්දි ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද කියන එක තමයි මුලින්ම හිතට නගාගන්න උත්සාහ කලේ.

නමුත් ඒ කිසිවක් සමාජ සම්මතයන්ට අනුකූල ඒවා නොවීම නිසයි ඔවුන්ට එතනට ගාල් වෙන්නට සිද්ධ වෙන්නේ . බහුතරයක් සිරකරුවන් තමුන් අතින් වන වරදට පසු තැවෙන බව හොඳාකාරවම පෙනෙනවා , මෙයින් අපගමනය වන කොටස්ද නැත්තේ නොවේ,

කොහොම වුනත් එකම සමාජ මට්ටමේ, එකම අධ්‍යාපන මට්ටමේ පිරිස්මෙන්ම එකම රැකියාවේ නියැලෙන පිරිස් අතර යම් යම් උප සංස්කෘතීන් ඇතිවීම සුලබ දෙයක් , ලංකාව තුල ජනප්‍රිය උපසංස්කෘතින් බොහොමයක් තිබෙනවා . මේ අතරින් විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ගැන බොහෝ දෙනා කතාවෙනවා , ඒ වගේම නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිත උපසංස්කෘතිය, කාර්යාල ගමනාගමන සේවා ආශ්‍රිත උපසංස්කෘතිය , පොදු වෙළඳපල ආශ්‍රිත උපසංස්කෘතිය , පෞද්ගලික බස් සේවක උපසංස්කෘතිය වැනි මෙකී නොකී බොහොමයක් උපසංස්කෘතින් බොහොමයක් ගැන කියවෙනවා ..

ඒ අතර මෑතකාලීනව ඉතා වේගයෙන් ප්‍රචලිත වූ උපසංස්කෘතියක් වන්නේ ත්‍රීරෝද රථ ආශ්‍රිත උපසංස්කෘතියයි. එමෙන්ම ත්‍රීරෝද රථ කී සැනින්ම මතකයට නැගෙන්නේ සුදු චිත්‍රයක් නම් නොවේ . මාර්ග නීති කඩකිරීම්, අවිචාරවත් රථ ධාවනය සමග මුසුවූ නොපහන් හැගීම් රැසක් මේ වචනය සමග මතකයට එනවා.

මේ වනවිට බොහෝ මධ්‍යම පාන්තික පවුල්වල පවුලේ වාහනය බවට පත්වන්න්ටත් ත්‍රී රෝද රථය සමත් වී තිබෙනවා . වසර 2013 ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාව තුල ත්‍රී රෝද රථ අටලක්ෂයක් (800,000)පමණ සැරිසරන බව වාර්තා වෙනවා. එයින් ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් (238,000) පමණ පවතින්නේ බස්නාහිර පළාත තුලයි . පොලිස් වාර්තා වලට අනුව මාර්ග අනතුරු වලින් 18% ක ප්‍රමාණයකට වගකිවයුත්තේ ත්‍රීවීල් රියදුරන්, එමෙන්ම ත්‍රීවීල් රියදුරන්ගෙන් 40% කට වලංගු රිය ධාවන බලපත්‍රයක් නොමැතිබව තමයි පොලිස් වාර්තා වල සටහන් වන්නේ .

ඒ සියල්ල පසෙකින් තැබූ විට ත්‍රීරෝද රථ වටා සැදුනු උපසංස්කෘතියේ විශේෂ ලක්ෂණ ගැනද සමාජයේ බොහෝසෙයින් කතාබහට ලක්වෙනවා .

ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ කවුද …..?   යාලුවෙක් මෙහෙම ඇහුවම මම කිව්වේ එක කොහොමද හොයන්නේ කියලයි. එත් මගේ මිත්‍රයා මට කියනවා

“ඇයි බං ඔය පෙන්නේ හොඳට ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ “බොබ් මාලෙයි , චේගුවේරයි ” දෙන්නනේ ..”

ත්‍රීරෝද රථවල පිටුපස කුමක් හෝ වැකියක් ලියා තැබීම ත්‍රීවීල් උපසංස්කෘතියේ අනිවාර්ය අංගයක් බවට පත්වෙලා . මේ වැකි වලින් බොහෝ විට නිරූපණය වන්නේ සමාජයේ බොහෝ අවස්ථාවල අපේම කතා බහට ප්‍රසිද්ධියේ ලක්නොවන කතිකාවන්මද කියා සමහරවිටෙක සිතේ .

ආදරය සහ යුවතියන් ,කාන්තාවන් දෙස සමාජයේ බොහෝ පිරිස් සෝපාහසයෙන් කතා කිරීමට පෙළඹුනද ,ප්‍රසිද්ධියේ එසේ කිරීමට උත්සුක වන්නේ නැත. කෙටියෙන් කියනවානම් සිටින්නේ සිංහ හම් පොරවාගත් වෘකයන් ලෙසය. ත්‍රීවීල් වල ලියා ඇති මේ වදන් මගින් ඇත්තෙන්ම උපහාසයට ලක් කරන්නේ කාන්තාවන් හෝ ප්‍රේමයට වඩා, මේ අදහස් දරන නමුත් පිටතට සාධු මුහුණ පෙන්වන අපේම සමහරුන්දැයි කියා විටෙක සිතේ

මේ ඉන් කීපයක්

” කෙල්ලෝ හරියට චයිනීස් ෆෝන් වගේ , ගැරන්ටි නෑ , වොරන්ටි නෑ , ඒ මදිවට ඩුවල් සිම් ”

“අපි තව දුර නොයා යුතුයි ඔබ ඒ ගැන හිතන්න , අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න”

“සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි ”

++++

පාරේ රිය ධාවනයේදී අවධානයෙන් පැදවිය යුතු බවත් , අවධානය බිඳීමට ලලනාවන්ද හේතුවන බවත් කෙනෙක් පවසන්නේ මෙසේය

“සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්.”

++++

තමුන් සේවයටම කැපවී සිටින බව තවකෙකු සන්නිවේදනය කරන්නේ මෙලෙසින්

“කොහේටද යන්නේ  අපිත් යන්නේ එහෙට තමයි ”

++++

එමෙන්ම තමන් ගමන් කරන්නේ අනවශ්‍ය හදිසියකින් බව පිලිගන්නටද ඔවුන් නොපැකිලෙයි.

“බත බාලා හොද්ද ලිපේ ”

” දඟ කලාට පුංචි අපට එපා බනින්න , පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න ”

++++


කොහොම රිය පැදෙව්වත් අනතුරුවලට අපිත් බයයි කියලා ඔවුන් කීපදෙනක් කියලා තිබ්බේ මේ ආකාරයට, ඒ සමගින්ම ඒ අතරට අපේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ගැනද හීන් සරදමක් කරන්නේ මේ ලෙසින්

“බුදු මල්ලියේ ඈතින් වරෙන් , ලීස් එක ඉවර වුනාම රේස් යමන් ”

“ලංවුනාට කමක් නෑ ,ඉඹින්න නම් එපා ”

“වද්දන්න එපා රෝහලේ සීලිම අපිරිසිදුයි ”

“සම්බුදු සරණයි , එංජිම පරණයි ”

++++

සමාජය බොහෝ විෂම බවත්, ඇති නැති පරතරය, පන්තිභේදය වැනි සියල්ලම ඔව්න් අවබෝධ කරගෙන සිටින බව ඔවුන් සරලවම කියා සිටින්නේ මෙලෙසින්

“හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?”

” අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් ”

“අපේම නයි අපේම කයි ”

“ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි ”

“රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව ”

“සැපේදී ළඟ ඉන්න මාමාට වඩා දුකේදී ළඟ ඉන්න මීමා හොඳයි ”

++++

නමුත් මේ කිසිවකින් තමුන් නොසැලෙන බවත් මෙලෙස කියනවා

“ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා ”

++++

කොහොම වුනත් අවසානයේ සියල්ල තීරණය වන්නේ මුදල් මත, ආර්ථිකය මත , තමුන් මේ රැකියාව කරන්නේ හුදෙක් විනෝදාස්වාදය නිසා නොව ජීවත් වීම උදෙසා ,තමුගේ සිහින සැබෑ කරගන්නට උත්සාහ කිරීම උදෙසා බව ඔවුන්ම කියන්නේ මෙලෙසින්

” රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත”

“කරුමේ ඩබල් පින සිංගල්”

“රුපියල් සත නිසාද අපිට මේ දුක ”

++++

වරක් කළුබෝවිල රෝහල අසලින් මම ත්‍රීරෝද රථයකට නැග්ගේ කාර්යාලයට පැමිණීමට , ආයතනයේ නම සඳහන් කල විට ඔහු කිව්වේ මෙවැන්නක් …

” සර් මමත් A/L කලේ මැත්ස් වලින් ,  කැම්පස් තේරුනා ,හැබැයි අහුවුනේ ෆිසිකල් සයන්ස් . ඔය අතරේදී තාත්තා නැතිවුනා ඇක්සිඩන්ට් වෙලා , ඊට පස්සේ නංගියි අම්මයි බලාගන්න වුනේ මට , රස්සා කීපයක්ම කලත් හිතට ෆිට් වුනේ නෑ , පස්සේ ඉතුරු කරගත්ත සල්ලි ටිකකින් මේක ගත්තේ , දෙයියනේ කියලා රස්සාවක් කරනවට වඩා හොඳට හම්බ කරන්න පුළුවන්, ඒත් දවසේ පැය විස්සක් විතර පාරේම ඉන්න ඕන . ”

මෙවැනි කතා සාමන්‍යයෙන් බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙන නිසා මේ කතාව ඇත්තක් කියා ගැඹුරින් හිතන්න මට ඕන වුනේ නෑ . එත් මාව කාර්යාලය අසලින් බස්සවා ඔහු ආපසු යනවිට මට දකින්නට ලැබුනේ රථයේ පිටුපස තිබු මේ වාක්‍යය .

“අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති ,ගණන් හදන්නැති ඒ කාලේ ..කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තාමත් මහපාරේ ”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.