TNA හෙට දවස

නායක අර සම්පන්තන් මාවෙයි සෙනධිරජා සමඟ පක්ෂ රැස්වීමක

දෙමළ ජනතාව ප්‍රධාන වශයෙන් නියෝජනය කරන පක්ෂ කීපයකින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානය මෙවර යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල සහ වන්නි දිස්ත්‍රික්ක සඳහා තරඟ වදී.

දෙමළ ජාතික සන්ධානය මුහුණ දෙන ප්‍රධාන අභියෝග හතක් පිළිබඳව කෙරෙන විමසුමක් මේ.

ඡන්ද බෙදී යාම

මෙවර මැතිවරණය සඳහා දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක් ඉදිරිපත්ව සිටී.

ශ්‍රී ලංකාවේ දිගම ඡන්ද පත්‍රිකාව ලැබෙන්නේ මඩකලපුවේ ඡන්දදායකයින්ටයි.

ඔවුන්ට ලැබෙන ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් තරම් දික්වී ඇත්තේ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 46ක් දක්වා වැඩි වී ඇති නිසාය.

දකුණේ නායකයින් උතුරේ

යාපනයේ ස්වාධීන කණ්ඩායම් පහළොවක් පමණ ඉදිරිපත්වී සිටිති.

පසු ගිය උතුරු පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයට ආසන දහසයෙන්,දාහතරක් දිනාගත හැකි විය.

කෙසේ වෙතත් ඔවුන්ට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන දෙමළ ඡන්දදායකයින් ආමන්ත්‍රණය කරන සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් එල්ලවෙන අභියෝග හමුවේ අති විශාල ආසන බහුතරයක් දිනාගැනීමට හැකිවේද යන්න පැහැදිලි නැත.

ෆෙඩරල්වාදය සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත්,උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම තමන්ගේ ප්‍රාර්ථනය බවත් දෙමළ ජාතික සන්ධානය තම මැතිවරණ ප්‍රකාශනයෙන් කියා සිටී.

මෙම ෆෙඩරල් ඉල්ලීම දශක ගණනාවක් තිස්සේ දෙමළ දේශපාලකයින් විසින් ඉදිරිපත් කෙරුණු අතර උතුරු නැගෙනහිර ඡන්දදායකයාට ඒ තුළ අළුත් යමක් නැති බව කෙනෙකුට තර්ක කළ හැකිය.

jaffna_people

යාපනයේ ජනතාව

අනෙක් අතට ෆෙඩරල් ඉල්ලීමට එක්සත් ජාතික නිදහස් සන්ධානයෙන් හෝ එක්සත් ජාතික පෙරමුණෙන් අනුකූලතාවක් පළවී නැත.

ආනන්ද සංගරී නායකත්වය දෙන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණද ෆෙඩරල් ක්‍රමයකට එකඟ නැත.

උතුරු නැගෙනහිර පළාත් සභා ඒකාබද්ධ කිරීමේ යෝජනාවට මුස්ලිම් පක්ෂ වලින් පැන නගින්නේ විරෝධයකි.

මේ අනුව බලන කළ දෙමළ ජාතික සන්ධානය උතුරට ඇල් මරුන සේ දැනුන සහ දකුණේ විරෝධයට ලක්වුන ඉල්ලීමක් තමන්ගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය කරගෙන ඇති බව කෙනෙකුට තර්ක කළ හැකිය.

උතුරේ මන්ත්‍රී නියෝජනය අඩුවීම

පසු ගිය කාලය තුලදී උතුරු පළාතේ ජනගහණය අඩුවීමක් දක්නට ලැබෙන අතර ඒ අනුව යාපනය දිස්ත්‍රිකයෙන් පත්වන මන්ත්‍රීවරුන් ගේ ගණන නමයේ සිට හත දක්වා අඩු කොට ඇත.

මෙම සාධකය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු නියෝජනයට අහිතකර ලෙසින් බලපෑමට ඉඩ තිබේ.

විදේශගත ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවේ අපේක්ෂා

ශ්‍රී ලංකාවේ විදේශගත දෙමළ ප්‍රජාව ශ්‍රි ලංකාවේ දේශපාලනය කෙරේ දැඩි බලපෑමක් එල්ල කරන අතර දෙමළ ජාතික සංධානයට ද මෙම බලපෑම් සමග ගනුදෙනු කිරීමට සිදුව ඇත.

tamil _protest_london

ලන්ඩන් හි දෙමළ ජන විරෝධයක්

විදේශගත දෙමළ ප්‍රජාවෙන් කොටසක් කියා සිටින්නේ බලය බෙදා ගැනීමේ ගනුදෙනුවක් තුළින් ජාතික ගැටළුවට පිළියමක් සොයාගත යුතුව ඇති බවයි.

වඩාත් දැඩි මතධාරීන් කියා සිටින්නේ බලය බෙදා හැරීමෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ දෙන්නේ නැති බවත් එකම විසඳුම වෙනම රජ්‍යයක් පිහිටුවා ගත යුතු බවත්ය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්තන් සහ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ජාතික නිදහස් උත්සවයට සහභාගී වූ අවස්ථාවේ දී ඇතැම් විදෙස් ගත ප්‍රජාවන් ඊට දැඩිව විරෝධය පළ කළහ.

නායකත්වයේ දෙවන පෙළ

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පෙළේ නායකයින් වැඩිදෙනා වියපත් දේශපලකයින්ය.

නායක ආර් සම්පන්තන් ගේ වයස අවුරුදු අසු දෙකකි.

නායක ආර් සම්පන්තන් සමඟ හිටපු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්

සෙසු නායකයින්ට සාපේක්ෂව තරුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්ට නායකත්ව භූමිකාවක් ලබාදීමට ආර් සම්පන්තන් උත්සාහ දරමින් සිටින බවට මත පළවී ඇති අතර දෙවන පෙළ නායකත්වයක් පිළිබඳව හිඩැසක් තිබෙන බව පෙනෙන්නට තිබේ.

මේ හේතුවන් මැතිවරණ ප්‍රචාරණ වැඩ පිළිවෙලකට අවශ්‍ය තරුණ ජවය දෙමළ ජාතික සන්ධානය සතුව තිබේද යන්න ප්‍රශ්නයකි.

කොටි සංවිධානයේ සාමාජිකත්වය දරා පසුව පුනරුත්ථාපනය වූ පිරිසකට දෙමළ ජාතික සන්ධානය තුළින් නාම යෝජනා ලබාගැනීමට නොහැකිවීමත් සමඟ විකල්ප අදහස් දරන අළුත් පරපුරකට තිබෙන ඉඩකඩ පිළිබඳව ප්‍රශ්න මතුවී ඇත.

ප්‍රධාන පක්ෂ වෙත ඇදී යන ඡන්දදායකයින්

රැකියා අවස්ථා, ආයෝජන අවස්ථා, ඉඩම් නිදහස් කර ගැනීම ආදී එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමේදී දෙමළ ජාතික සන්ධානයට වඩා ආණ්ඩු බලය හිමි කරගත හැකි ප්‍රධාන පෙරමුණු දෙක වන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බව සිතන ඡන්දදායකයින් ගේ ප්‍රමාණය වැඩිවීමේ ප්‍රවනතාවක් අතිවී තිබෙන බව ප්‍රාදේශීය වාර්තාකරුවන් කියා සිටිති.

මේ තත්ත්වය හමුවේ මීට තමන්ගේ ඡන්ද පදනම රැක ගැනීමේ අභියෝගය දෙමළ ජාතික සන්ධානය හමුවේ මතු වෙනු ඇත.

දෙමළ ජනතාව වෙනුවෙන් යමක්

යුද්දය හමාර වී අවුරුදු හයක් ගතවී ඇතත් දෙමළ ජනතාවගේ ඉඩම්, රැකියා අධ්‍යාපන ආදී තවත් නොවිසඳුණු ගැටළු රැසක් ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ද පිළිගෙන ඇත.

අතුරුදහන් වුවන් හොයන උතුරේ වැසියන්

මේ තත්වය හමුවේ දෙමළ ජාතික සන්ධානය උතුර නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙසින් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වුවත් දෙමළ ජනතාවගේ ගැටළු විසඳා ගැනීමට අනුගමනය කරන ප්‍රවේශය පිළිබඳව දෙමළ ඡන්දදායකයින් ප්‍රශ්න මතු කරන බව වර්තාකරුවන් පවසති.

අනෙක් අතට බලයට පත්වෙන ආණ්ඩුවක් තුළ ඇමති කම් භාර නොගත යුතු බව උතුරු පළාතේ මහා ඇමති සී වී විග්නේෂ්වරන් කියාසිටී.

දෙමළ ජාතික සන්ධානයට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවුනත් මීළඟ පාර්ලිමේන්තුව තුළ තීරණාත්මක බලවේගයක් වීමට තිබෙන ඉඩකඩ බැහැර කළ නොහැක.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.