Wives poetry: අහංකාර ඉංග්‍රීසියට අමරකීර්ති ගෙන් බැට

විවීගේ විශිෂ්ට කවිය හෙවත් ඉංග්‍රීසියෙන් ලියවෙන අපේ කවිය
මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිවර්තන න්‍යාය සහ භාවිතය උගන්වමි. එම ශිෂ්‍ය පිරිස ඉංග්‍රීසි බසින් කියවන්නට ඉගෙන ගන්නේ ද විශ්වවිද්‍යාලයේදී බැවින් ඉංග්‍රීසිය ගැන ඔවුන්ගේ බය පළවා හැරීමේ කාර්ය ද මටම කරන්නට සිදු වේ. ඒ නිසා ඔවුන්ට සමීප විය හැකි සාහිත්‍ය නිර්මාණ තෝරමින් ඒවා පරිවර්තනය කිරීමට ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොළඹවමි. මා නිතර පාහේ පරිවර්තන අභ්‍යාස උදෙසා භාවිත කරන කවි කිහිපයක් ඇත. ඒවා ලියා ඇත්තේ මගේ ප්‍රියතම කිවිඳියක වන විවිමරී වැන්ඩර්පූට්න්ය. මෑතකදී මගේ පන්තියකට ආචාර්ය වැන්ඩර්පූට්න්ගේ කවි දෙකක් ලබා දුන් මා ඇය කවර රටකට අයිතිදැයි ඇසුවේ ඒ ශිෂ්‍යයන්ගේ සංස්කෘතික සාක්ෂරතාව පරීක්ෂා කිරීමටය.ජර්මනිය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව ආදී රටවල් කියවිණි. ඇය ලංකාවේ කිවිඳියක බව ඔවුන් පුදුම කරමින් මම කීවෙමි. ඇය මගේ මිතුරියක වන බවද හෙළි කළෙමි. ලංකාවේ දැන් සිටින හොඳම කිවිඳියක- ඇතැම් ලක්ෂණ අතින් සිංහල කිවිඳියන් පවා ඉක්මවන- විවිමරී හෙවත් විවීගේ නම සහ නිර්මාණ සිංහල විශේෂ උපාධිය හදාරණ අය පවා නොදැන සිටීම මගින් පෙනන්නේ අපේ උපාධි පාඨමාලා අතර අන්තර්ක්‍රියාවක් නැති බව ද විය හැකිය. ලංකාවේ සාහිත්‍ය භාෂා තුනකින් ලියවෙන්නේය යන කාරණය අපේ සංස්කෘතික සාක්ෂරතාවේ කොටසක් නොවීම ද එක හේතුවකි. මේ දැනුමේ හිඩැස පිළිබඳ අපමණ විස්තර කිරීම් තිබෙන්නට පුළුවන. සිංහල සාහිත්‍ය උගන්වන කථිකාචාර්යවරුන් අතර ද ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය ගැන වත් දන්නෝ දුලභෝය. නියම ද්වීභාෂික උගතුන් විශ්ව විද්‍යාලවල සිටි කාලයේ නම් මේ සාහිත්‍ය ලෝක දෙක අතර මීට වඩා සම්බන්ධතා තිබෙන්නට ඇත.

විවිමරී වැන්ඩර්පූටන් ග්‍රේෂන් සම්මානයරාජ්‍ය සම්මානය ද දිනූ කිවිඳියකි. ඇය ලියන්නේ අනවශ්‍ය ලෙස බර කරන ලද ඉංග්‍රීසියකින් නොවේ. සිංහල ජාතිකවාදයේ ඉංග්‍රීසි කසකාරයා ලෙස සියලු අධිරාජ්‍යවාදීන්ට දුවන්නට ගහනමාලින්ද සෙනෙවිරත්න පවා ලියන්නේ එක්තරා අහංකාර ඉංග්‍රීසියකිනි. බර්ගර් වාසගමක් ඇති විවිමරි ලියන්නේ ටිකක් ඉංග්‍රීසි දන්නා සිංහල කෙනෙකුට පවා තේරෙන විදියටය. ඒ නිසා ඇගේ කවියේ අපූරු නිර්ප්‍රභූ ගුණයක් ඇත. අනික් කිසිම ඉංග්‍රීසි කවියකින් නොදැනෙන දයාබර බවක් ඈ දැනට පළ කර ඇති කවි පොත් දෙකේම මා දැක ඇත. ඇය ලියන්නේ ද අපේම කවියකියි ඒ කවි කියවන අපට සිතේ.

විවිමරී වැන්ඩර්පූට්න් ලංකාවේ කිවිඳියකියි සිතා ගන්නට වත් බැරි මගේ ශිෂ්‍යශිෂ්‍යාවෝ ඇගේ කවිය ලංකාවේ මිස අන් කොතැනකවත් නොලියවිය හැකි කවියකියි වහා වටහා ගත්හ. ලංකාවේ ජීවත්වෙමින් ලාංකිකයෙකු ලෙස සිතීමටත්, ලංකාවේ අත්දැකීම හද බඳින සේ කවියට නගන්නටත් දැන සිටිය යුත්තේ සිංහල භාෂාව පමණකියි සිතිය යුතු නැත. එහෙත් ඉතා හොඳින් සිංහල කතා කරන්නා වූ ද සිංහල මවකගේ දියණියක වූ ද විවී හොඳින් සිංහල දැන සිටීම ඇගේ කවියට මහත් එළියකි. පහතින් මා පරිවර්තනය කර දක්වා ඇත්තේ විවිමරීගේ පළමු කවි පොත වූ Nothing Prepares you කෘතියෙහි එන ‘Suddenly, in a Public Place’ කවියයි.

‘හිටිවනම ප්‍රසිද්ධ තැනක’ යනුවෙන් එය නම් කළ හැකිය.

ඔයා මට කියනව පොරොන්දු වෙන්න
මම මේ රටෙන් යනවැයි
යුද්දෙ පැන නැංගොත්.

ඒ්ත් දැනටමත් මෙහෙ යුද්දෙ
මුළු ජීවිතේම මං මෙහෙ උන්නෙ
මේ මගේ රට.

එහෙම කියනෙක
අතිසුලබ ලාබ කියමනක් නම්
කොහොමද මේක:

යුද්දෙ මට අලූත් දෙයක් නෙමේ
ඒක අවුරුද්දෙ රතිඤ්ඤා වගේ පුරුදුයි මට
අව්ව සැර දවස්වල පොඩ්ඩක් දිගා උනාම
පේන හීනවල තියෙන්නෙ
ගංගාවල පාවෙන මළ කඳන්
කාර් බෝම්බවල පිච්චුණ වැස්ම
කාලෙකට ඉස්සර මැරුණු
මිතුරන්ගෙ දුරස්ථ කටහඬ
භීතියේ සුවඳ

මං එක සැරයක් ඔයාට කිව්ව,
හිනාවෙවී හැබැයි,
මගෙ හඳහන කියන හැටි
මං මැරෙන බව
හිටිවනම ප‍්‍රසිද්ධ තැනක
ඉතිං ඔයා දැන් කියනව මේ වගේ එව්වා:

“මට ඔයාව අරගෙන යන්න ඕනෙ
ඔය රටෙන් ඈතට
දෙන්නෙම නෑ ඔයාට ආපහු යන්න
එතකොට ඔයා මැරෙන්නෙ නෑ
හිටිවනම ප‍්‍රසිද්ධ තැනක”

ඔයා හිතනවා මම මැරෙන්නෙ ඉතිහාසෙ නිසා මිස
කර්මෙ නිසා නොවන බව
මොකද ඔයාට කර්මෙ විස්වාස නෑ

කොහොම හරි-
මට බෑ කිසි දෙයක් පොරොන්දු වෙන්න
ඔයා සිතිය යුතුව තිබුණා මීට වඩා
ආදරෙන් බැඳෙන්න ඉස්සර
කෙල්ලෙක් එක්ක
හොඳටම ඉඩතියෙන
මැරෙන්නට හිටිවනම
ප‍්‍රසිද්ධ තැනක

මේ කවියෙහි කථකාව ලංකාවේ තරුණියකි. ඇය පෙමින් වෙලී සිටින්නේ විදේශිකයෙකු සමග විය හැකිය. මේ යුද්ධය පැවති කාලයයි. ඇය මේ ආදරවන්තයාට කියන්නේ ලංකාව තම මව් රට වූ කෙල්ලකට ආදරය කරන්නේ නම් ඇය හදිසියේ සිදු වන බෝම්බ පිපිරීමකින් මිය යාම නමැති යථාර්ථය ද බාර ගන්නා ලෙසයි. සිංහල බෞද්ධයන් හැර ලංකාවේ වසන කිසිවෙකු ලංකාව තමන්ගේ මව් රට යැයි නොසලකන බව ඇතැම් සිංහල ජාතිවාදියෝ විටෙක ලියති. ඒ අය පොඩි වෙනසකටත් එක්ක මේ වැන්ඩර්පූට්න් කෙල්ලගේ කවිය කියෙව්වොත් කොහොමද? එහෙත් එවැනි දෑ ලියන්නෝ කවි විඳිය නොහැකි ගොරහැඩියෝ වෙති.

විවිමරී හැටේ දශකයේ උපන්නියකි. ඇගේ කෙළි වයස ගෙවුණේ 87-9 කැරලි සමයේය. එකල කුරුණෑගල ජීවත් වූ ඇය ඒ ග්‍රාමීය කැරලිකරුවන්ගේ පසුබිම හොඳින් දැන සිටියාය. ඒ නිසා ඒ තරුණ කැරැල්ල ආශ්‍රිත අත්දැකීම් ඇගේ කවි පොත් දෙකේම විසිර ඇත. මිනිස් ජීවිතයේ ස්වභාවය, ආදරය, ආදරය අහිමි වීම, ආදරය සන්නිවේදනය කර ගැනීම දුෂ්කරවීමේ වේදනාව ඇගේ සමහර මිහිරි කවිවල හමුවේ. ජීවිතයේ නොවැලැක්විය හැකි දුක්ඛය ගැන ඇගේ ඇතැම් කවිවල පසුබිමින් එන සිහින් විලාපය ලංකාවේ සංස්කෘතික පසුබිමින්ම ආවක්යැයි මට සිතේ. “ශෝකය යනු තිළිණයකි” යි ඇය එක් කවියක් අවසන් කරයි.

“ඔවුහු කීහ” නම් ඇගේ කවියක හදිසි පරිවර්තනයක් මෙසේය:

එයා විහින්මයි මේක කරගත්තෙ
තාත්තා මැරුණ දා
අම්මා කිව්වාය.

ඒක වලක්කන්නම බෑ
හෙදියෝ කියා සිටියහ.
අපි පුළුවන් උපරිමේ කෙරුවා‍
ලේ බැංකුවෙන් කියවිණ.
නොවෙයි මයි හිතපු දේකුත් නෙමේනෙ
වෛද්‍යවරු කීහ
ඕනැ වෙලාවක පණ උනත් දෙයි
තාත්තගෙ යාලුවෝ කිව්වහ
අය්යෝ මොන අපාරාධයක්ද
තාම හැටක් වත් උනායැ!
නෑදෑයෝ කීහ.

ඔහුගේ දියණියෝ
කිසිවක්ම
නොකීහ.

ශෝකයට වචන නැත.

ඇතැම් කවිවලට විවීමරී සංකල්ප රූප උකහා ගන්නේ දකුණු ආසියාවේ අපට ඉතා හුරුපුරුදු සාම්ප්‍රදායික ප්‍රඥාවේ කෝෂ්ඨාගාරය වෙතනි. “ආශාව” නම් කවිය මෙසේය:

ආශාව පළගැටියෙකි
ගිනි දැල්ලටම
ඇදෙතියි ඉගැන්වේ
පළගැටියා
මුග්ධ ලෙස ගින්නට ඇදී
පිහාටු දැවී
විනාශ වෙයි
මේ සනාතන දහම එපරිදි නමුත්
නවතා ගත නොහැක මට මේ ලෙස සිතීමත්:

ඒ සියුමැලි පියාපත් විනාශෙට
වගකිව යුතු නැද්ද?
ගින්නද බින්දුවක්වත්

විවීමරීගේ කවි ගැඹුරු ශාන්ත ශෝකාලාපයක කවියකියි මම කීවෙමි. තමාගේම කවියේ ශෝක ස්වරය ගැන ඇයම කල්පනා කරන අවස්ථා ඇගේ කවියෙන් හමුවේ. “ශෝකයට පමණක් කටහඬක් ඇත්තේ ඇයි? වසර ගණනක් නොසලකා හරින ලද සතුට ගොළුවී ගොස් ද?” විවී එක් කවියක අසයි.

අපේ පරම්පරාවේ ස්ත්‍රී අත්දැකීම විවී තරම් හොඳට කාව්‍ය ගත කළ කිවිඳියක් ඇත්දැයි විටෙක මට සිතේ. 60 දශකයෙන් පසුව උපන් ලංකාවේ කිවිඳියන් අතර විවිමරීට වඩා ඉහළ යැයි මට සිතෙන කිවිඳියක සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියන අය අතර නැත.

විවීමරී ලියන ඉංග්‍රීසි කවියට ඇගේ පරම්පරාවේ සිංහල කවීන් ලියන විෂයයන්ම ඇතැම් විට හසු වේ. ඇය ඉංග්‍රීසි කතා කරන පන්ති පසුබිමකින් එන නිසා එකී විෂයන් වෙතින් යම් දුරස්ථභාවයක් ද ඈට ඇත. මේ දුරස්ථභාවය කිවිඳියක ලෙස ඇයට එක්තරා වාසියක් ද අත් කර දෙතියි මට සිතේ. ලාංකික අත්දැකීම යනු භාෂා තුනකින් අත්දකින්නකි. ඒවා කියවීමෙන් අපේ විඥානය ප්‍රසාරණය වේ. එපමණක් යුරෝපීය සම්භවයක් ඇති විවීගේ වාසගම පවා සියයක් සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හුරුකිරීම පවා අපේ සංස්කෘතික සාක්ෂරතාව වර්ධනය කිරීමකි. එවැනි නම්වලින් ද ශ්‍රී ලාංකික මනුෂ්‍යයාට ලෝකය හමුවේ පෙනී සිටීමට හැකි බව ද එහිලා අයිතියක් ඇති බව ද අප අමතක නොකළ යුතුය.

විවීගේ එක කවියක් ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය සිහි කරයි. ඒ කවියේ නම Vadani in our Hostel ය. එය එන්නේ විවීගේ දෙවැනි කවි පොත වූ Stich your eyelids shut දෙවැනි පොතේය. කවි පරිවර්තනය කිරීම ඉතා දුෂ්කර වුවත් විවීගේ කවියේ ගතිසොබා දක්වනු පිණිස මට හැකි පමණින් එය සිංහලට නගා දක්වමි.

වදනි කොච්චරවත්
කොල්ලො දිහා බලන් ඉන්නව
කැන්ටිමේදි
උදේ කෑම කන වෙලාවෙදි
කලවා දිගේ ඉහළ පහළ අත් දෙක දුවවනවා

වදිනිට දාහතයි
වදනි ඕනැ දෙයක්
කරයි අවධානෙ ගන්න
ඒ නිසා කට්ටිය කිව්ව වදිනි වේසියක් කියල
අප කීපදෙනෙක් විතරක් දැනගෙන උන්නත්
වදනිව සමූහ දූෂණේට ලක් උනා කියල
සාමසාධකයන් අතින් යාපනේදී

වදනිට පුරුද්දක් තිබුණා
ඇඳුම් ඉරාගෙන වීදියට බැහැල
ගාලු පාර දිහාට දුවන.
සිකිරියුටිලා එතකොට
එලවගෙන ගිහින්
වදනිව ඇතුළට ගෙනාව.

දවසක් වදනි වම්බට්ටක් සහ දෙහි ගෙඩි දෙකක්
කෝර්නෙල්ස් පුපර්මාකට් එකෙන් ගෙනැවිත්,
එකට බැඳලා හොස්ටල් බැල්කනියට
පරවියො එන එක වලක්කන්නට එල්ලූ
දැල් පැලැල්ලේ එල්ලුවා

ඒත් ‘අහිංසකව පාරෙ ඇවිදින,
නිකමට කෙල්ලන්ගෙ හොස්ටල් බැල්කනිය දිහා බලන’ පිරිමි
සිකියුරිලාට දැන්නුවා
එතකොටම අපි දැන ගත්තා
වදනිත් සීමාව ඉක්මවා ඇති බව.

හොස්ටල් බලධාරි කිව්වා
වදනි පිටව යායුතු බව.

“අපි ළග වැදගත් ගෑනු ළමයි ඉන්නෙ
වදනි කියන්නෙ අපිටත් ලජ්ජාවක්.”
ඔවුන්ටත් ලජ්ජාවත් වූ වදනි
ඒ නිසා පිටත් කර යැවුණා.

ඒ පාසැල් නේවාසිකාගාර බලධාරීන්ට ලජ්ජාවක් වී ඇත්තේ භද්‍ර යෞවනියක කාලයේම ඉන්දියානු සාමසාධක හමුදාවේ ලිංගික හිංසනයට ලක්වීමෙන් මානසිකව අසමබර තත්ත්වයට පත්ව සිටින තාමත් 17 හැවිරිදි වදනිගේ හැසිරීමය. ඇය පිටත් කර හැරෙන්නේ කිසිවෙකු නොදන්නා ඉරණමක් වෙතය. මෙවැනි අත්දැකීමක් මෙතරම් අනුවේදනීය ලෙස සිංහල කවියක ලියැවී තිබුණ අවස්ථාවක් මට මතක නැත.

60 දශකයේ අවසාන කොටසේ උපන් විවිමරී වැන්ඩර්පූටන් ඒ දශකයේම උපන් මා සේම ලංකාවේ හිංසක දේශපාලන ඉතිහාසය අත්දැක්කාය. නිර්ධන පාන්තික ග්‍රාමීය පවුලක සිංහල කතා කරමින් හැදුණවැඩුණ මට වඩා වෙනස් තලයකින් අර කී දේශපාලන-සංස්කෘතික ඉතිහාසය අත්දකින්නට ඇයට හැකි විය. එහෙත් ඇය ලියන්නේ අප කාටත් සමීප විය හැකි ජීවිතයක් ගැනය යන අදහස ඇගේ කවි කියවන විට මට ඇති වේ. ඇගේ ඇතැම් කවි විටෙක හඬ නගමින් ද බොහෝ විට නිහඬව ද කියවමි. මේ විවීගේ දෙවැනි පොතේ එන Changing your name- Sri Lanka, September 2000 නම් කවියෙහි දළ පරිවර්තනයකි.

ඒ අවුරුද්දෙ අපි
හරියට හිනා උනා.

ජේවීපී ඇඳිරි නීතිවලින්,
උතුරෙ යුද්දෙන්, සාමසාධක හමුදාවෙන් හෝ
ඉන්දියන් බෙහෙත් තහනමෙන්
දුර්මුඛ වෙන්න තරම්
ඒ කාලෙ අපිට වයසක් නෑ.

එතකොට දවසක් හිටිගමන්
ඔයා කිවවා ඔයාට විසි එක උනාම මට ඔයාව බඳින්න කියල.
ඔයාට ආදරේ කළ බව වටහා ගන්න තරම් මම මෝරලා නෑ.
ඒවගෙම “හරි” කියන්නට තරම් නිර්භීතත් නෑ.

ඒ නිසා මාව පොළඹවන්නට ඔයා කිව්වා:
අපිට පුළුවන් මේ රටෙන් යන්න.
මමත් තවදුරටත් නිහඬ හින්දා ඔයා අයෙත් කිව්වා:
මම මගෙ නම වෙනස් කරන්නම්
ඒක නම් ඔයාට තියෙන ප්‍රශ්නෙ.

දැන් අවුරුදු ගාණකට පස්සෙ මේ නගරෙ
නවාතැන්වලින් ලැගුම්හල්වලින්
ඔයාලගෙ මිනිස්සු පිටකරල බස්වල ලොරිවල
පටවගෙන යද්දි එයාලගෙ වික්ශිප්ත ඇස්
පැරණි චිත්‍රපටිවල අවතාර
නාසි සමූහ ඝාතන කෝච්චි
මම දකිනවා.
ඒ නිසා මම හිතනවා ඔයා ගැන.
බලන කාටත් බෝ වෙන ඔබේ මඳසිනහව
අදහගන්නට බැරි බුද්ධිමත් ඇස්
ඔබේ බරපතල කළුවර මුහුණ.

මම මටම කියනවා මෙහෙම:
මම ප්‍රාර්ථනා කරනවා එයා රට අත්ඇරලා ගියා කියලා
මම ප්‍රාර්ථනා කරනවා එයා නම වෙනස් කෙරුවා කියලා
මම ප්‍රාර්ථනා කරනවා එයා මේ ජූනි මාසෙ 37 වැනි උපන්දිනේ සමරාවි කියලා.

ඒ ආදරවන්ත දෙමළ තරුණයා නම වෙනස් කරගෙන හෝ ජීවත් වේවායි මේ ආදරවන්තිය බිඳුණු හදින් කරන පැතුම අපගේ ද හදබිඳියි.

මේ රචනයේ අරමුණ ආචාර්ය විවිමරී වැන්ඩර්පූට්න්ගේ කවියෙහි ස්වභාවය සැකෙවින් හෝ සිංහල පාඨකයාට හඳුන්වාදීම නිසා අපි තවත් කවියක් අපට හැකි පරිදි සිංහලට නගා බලමු. මේ කවිය එන්නේ ද ඇගේ දෙවන පොතෙහිය. කවියේ නම Grandmother Died වේ.

ඇය තනිව මිය ගියාය

කලෙක දරුවන්
-ඔක්කොම ඇගේ නොවුණත්
ඔහුගේ වූ දරුවන් – දහ අටදෙනෙකුගේම
සිනා සහ කඳුළුවලින් පිරුණු
විශාල නිවසක
ඇය තනිව මිය ගියාය.

ඔහුට- ඇය මහත්තයායි කී ඔහුට
සුදු හමක්ද, නිල් ඇස් ද දුඹුරු කෙස් ද විය.
හෘදය සාක්ෂිය වඩා ඔහුට තිබුණේ ඉඩම්ය.

ඇය ඔහුගේ
සියලු චපලකම් වංකකම් ඉවසූ
මහගෙදර
දරුවන් නම දෙනෙකු වැදූ මහගෙදර
ඇය මිය ගියේ
වේදනාව සමග සටන් කරමිනි

ඇය මිය ගියේ
කොමියුනිස්ට් කැරලිකාරයන්
ඇගේ රන් ආභරණ පොදි බඳින හැටි දැක දැක
පපුව මිරිකා ගෙනය.
ඒ සටන්කාමින් ඇත්තටම සොයන්නට ආවේ
තුවක්කුවය.

සමාජ පන්තිමය වශයෙන් මා නියෝජනය කළේ තුවක්කුව ගන්නට පැමිණ රත්තරන් පොදි බඳින කැරලිකරුවන්ය. මම වරක් මේ කවිය ගැන විවීගෙන් ඇසුවෙමි. මෙය සැබවින්ම සිදුවූ දෙයක් ගැන කවියකියි ඇය කීවාය.

87-89 කැරල්ල සමයේ ලයිට් කණුවල එල්ලා මරන ලද, ටයර්සෑයවල පුළුස්සන ලද තරුණයන් ගැන ද විවිමරී ලියා ඇත. අතුරුදහන් වූ පුතෙකු වෙනුවෙන් වැළපෙන මවක ගැන විවිමරී ලියා ඇති lost, not found යනු එවැනි කවියකි. විවී විවිධ ආකාරයෙන් කවි ලියයි. ඇගේ ඇතැම් කවි පරිවර්තනය කිරීම ද දුෂ්කරය. සිංහල භාෂාවෙන් හොඳ කවීන් වීමට කැමති අය සාහිත්‍ය හැදෑරීම පිණිස පරිවර්තන මත රඳා නොසිට හොඳ සාහිත්‍ය කෘතියක් රස විඳිය හැකි මට්ටමට ඉංග්‍රීසිය ඉගැනීම නම් කළ යුතු දෙයකි. එනම් හොඳටම ඉංග්‍රීසි ඉගෙනීමයි. විවී ලියූ හයිකු කවියකින් මේ සටහන නිමා කරමි.

ඔබ මා සිතේ විසූ කාලයට
කුලියක් ගෙව්වා නම් මම
මෙලහකට පුදුම පෝසත්

මේ සටහන යනු මගේ මිතුරියගේ කවි ආදරයෙන් කියවීම නිසා මගේ විඥානය අපමණ පොහොසත් වී ඇති බව ඇයට දන්වා යවන හසුනක් ද වේ.

බූන්දි වෙතින්
wivis poetry and Amarakeerhi’s call for a Sri Lankan English

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.