මාස්ටර් නික්ම ගිහින් අට අවුරුද්දක්

Premasiri Kemadasaමීට අට අවූරුද්දකට පෙර ඔක්තෝබර් විසි හතරවෙනිදා කියන්නේ අශුභ පණිවිඩයක් දුරකතනය ඔස්සේ ගලා ගෙන ආපු දවස.

මාස්ටර් නැතිවෙලා

ඒ පණිවිඩය ඇති කළේ දුකක්ද උපේක්ෂා සහගත සිතුවිල්ලක්ද කියන්න අමාරුයි. මොකද ඒ වෙනකොට මාස්ටර් ශාරීරිකව සැහෙන වේදනාවකට පත්වෙලයි. ශරීර කුඩුවෙන් නික්ම යාමේ අභිලාෂය හිතේ කොනක තැවරිලා තිබුන බව හැමෝම දන ගෙන හිටිය.

ඒ එදා ඒත් සැබෑ දුක ඇතිවෙන්නේ අද.

මාස්ටර් පැතු වින්දනයේ මිහිරෙන් ජීවිතයේ සරතැස නිවා ගන්නා ලෝකයේ ඉසව්ව්ව ගොඩක් දුර බව දැනෙනවා.

මතක් වෙනවා මාස්ටර් කියපු කථාවක්

Premasiri Khemadasa“ලෝකයේ සංගීතඥයින් අතුරින් බාක් කියන සංගීතඥයා හරිම සුවිශේෂයි. එයාගෙ තමයි බොහෝ දුරට ඔය කැන්ටාටා වගේ ආවෙ. මේ ගීතයේ එක කොටසක් තියෙනවා සමූහ ගායනාව කරගෙන යනකොට ඒ අදහස ඊට වැඩිය ප‍්‍රබලව ප‍්‍රකාශ කරන්න තව ගායිකාවක් වෙනම ගමනක යෙදෙනවා. මේ වගේ දේවල් කරපු සංගීතඥයෙක් තමයි බාක්. ඒකට කියනවා ලතින් භාෂාවෙන් කොන්ට‍්‍රා පන්ට් කියලා. ඒ කියන්නෙ එක හඩක් මෙහෙම ගමන් කරනකොට අනිත් හඩ අනිත් පැත්තෙන් ගමන් කරනවා. මේවා හරි සුවිශේෂ දේවල්. ලංකාවෙ මම හිතන්නෙ නෑ තව අවුරුදු තුන් හාරසීයකටවත් මිනිහෙකුට අහන්න හම්බවෙයි කියලා මෙහෙම දේවල්…”

මාස්ටර් සමාවෙන්න ඔබ වැරදියි දැන් යන විදියට මේ වගේ සියුම් සංගීතයක් අවුරුදු තුන් හාරසීයකට නෙවේ තුන් හාරදාහකට වත් ඇති වෙන්නේ නැහැ.

විශ්ව මහා සංගීතය ලාංකීය පොළෝ තලයට ගෙන ආපු කේමදාසයන් එකක් තේරුම් ගත්තේ නැහැ. ඒ නැවුම් දේ හොයලා බලන්න තරම් සියුම් මිනිස්සු මේ දුපතේ හිඟ බව. ඇත්තම කියනවා නම් මාස්ටර් මේක දැනගෙන හිටියා එත් තත්වය මේ තරම් දරුණු බව දැනගෙන හිටියේ නැහැ.

khemadasa masterඅපි කසුන් ක්ල්හාරට සවන් දෙමු

“කේමදාස මාස්ටර් මියුසික් ගැන කතා කරනවා පමණයි මට ඇහිලා තිබෙන්නෙ. ඔහු සෑම මොහොතකම සකලවිධ කලාව වෙනුවෙන් පෙනී සිටිනවා. මාස්ටර්ට ෆිසිකල් තියටර් පිළිබදවත් විශාල අවබෝධයක් තිබුණා. ස්ත‍්‍රී සහ පුරුෂ ශරීර වල ලාලිත්‍යය සම්බන්ධයෙන් ඉතා හොද අදහසක් ඔහුට තිබුණා. එහෙම අදහසක් නොමැති කෙනෙකුට ඔපෙරාවක් නිර්මාණය කරන්නට බැහැ. හුදු සංගීතඥයෙක් වූ පළියට ඔපෙරාවක් කරන්න බැහැ. මාස්ටර් වැඩ කරන්නෙ නැති වෙලාවට ඉතාම සැහැල්ලූයි. නමුත් වැඩ කරන වෙලාවට ඉතාම සීරියස්. නිර්මාණයට අනුගත වුණාම මාස්ටර් ඒක අතඅරින්නෙම නැහැ. පුදුමාකාර උවමනාවක් තියෙන්නෙ. ඇතැම් වෙලාවට බය හිතෙනවා ඒ උවමනාවට. කාටද පුළුවන් මුලූ සතියෙම උදේ හතේ ඉදලා හවස හය හත වෙනකල් ළමයි එක්ක ප‍්‍රැක්ටිස්ම කර කර ඉන්න. කාටද පුලූවන්? හැබැයි මාස්ටර්ට පුළුවන්. ඔහු දන්නවා එහෙම ප‍්‍රැක්ටිස් කළොත් පමණයි ඔවුට අවශ්‍ය අවුට් පුට් එක ගන්න පුළුවන් කියළා. ඒ වෙනුවෙන් මාස්ටර් මහන්සි වෙනවා. අන්න ඒ කැපවීම මම වෙන කිසිදු සංගීතඥයෙක්ගෙන් දැක නැහැ. මාස්ටර්ගෙ නිර්මාණ සමග සංසන්දය කරළා හිතුවාම වැඩියෙන් මහන්සි වුනේ කවුද කියන කාරණය පැහැදිළි වෙනවා.”

ඔබ මාස්ටර් තුළින් දැකපු විශේෂ ලක්ෂණ මොනවද ? කසුන් කල්හාරයන්ට තවත් අතුරු ප‍්‍රශ්නයක් මේ මුල් සටහන තැබූ භාතිය ගුණසේන ගෙන්

“මම හිතන්නෙ මාස්ටර්ගෙ ඇ‍ගේ යක්ෂයෙක් හිටියා. මම ඒක දැකලා තියෙනවා. ඔහුගෙ කතා විලාශය, අත පය හසුරවන විධිහ, ගායකයෙක්ට හෝ වාදකයෙක්ට මේ ඉමෝෂන් එක දෙන්න කියළා කියන ආකාරය දෙස බලාගෙන ඉන්නකොට පුදුමාකාර අවංකත්වයක් ඒක ඇතුළෙ තිබෙන්නෙ. මාස්ටර්ගෙ ඇගට සහ ඔහුගෙ හදවතට මාස්ටර් බොහෝම අවංකයි. අපි අසා තිබෙනවා බීතෝවන් ගැන. ඔහු ගැන කෙරුණු නොයෙක් කෘති ගැන. මාස්ටර්ගෙ සමස්ත හැසිරීම බීතෝවන්ගෙ චරිත ලක්ෂණ වලට බෙහෙවින්ම සමානයි. මාස්ටර් සෑහෙන්න තරුණයි. ඩික් ඩික් ඩික් ගාලා ඇවිදන් යන්නෙ. හෙමින් ගමනක් නැහැ. මම දන්න විදිහට මාස්ටර්ගෙ ලිංගිකත්වය පවා තිබුණෙ පිරිපුන් සුන්දර තැනක. අන්තිම කාලෙ වෙනකල්ම ඔහුට තිබුණා විශාල තරුණ ජවයක්. මම ඒ තරම් ස්පිරිට් එකක් ලංකාවෙ වෙන කිසිෙදු සංගීතඥයෙකුගෙන් දැක නැහැ. ඒ තරම් ආවේගයක්, ඒ තරම් තරුණ කමක්, ඒ තරම් දැගලිල්ලක් කිසිම සංගීතඥයෙකුගෙන් දැක්කෙ නැහැ. කොටින්ම කියනවනම් අපිටවත් නැහැ.”

ඒ සියල්ල දැන් අතීතයයි ඒ කිසිත් යළිත් ප්‍රතිනිර්මාණය නොවනු ඇත. මන්දයත් මාස්ටර් යනු මාස්ටර්මය ලංකාව යනු ලංකාවමය.

යා දෙක නොරත රත

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.