වහල්ලු

Slave2-1වහල්ලු කිව්වම මුලින්ම මතකයට එන්නේ මොන වගේ රූපයක් ද? ඔබ පොත පතට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ ඔය නමින් තියෙන කෙටිකතා සංග්‍රහයේ පිටකවරය එක සැරේම මතකයට නැගේවි.

ලෝක යුද්ධය කාලේ අපේ රට පාලනය කරපු සුදු මිනිස්සුන්ගේ අණසක යටතේ කාපිරි මිනිසුන් සිය ගණනක් දම්වැලකින් එකිනෙක සම්බන්ධ කරලා ලංකාවේ ගම්වල පාරවල් දිගේ ඇදගෙන ගිය හැටි ගැන පුංචි කාලේ අම්මා කිව්ව කතාවක් තමයි වහල්ලු කිව්වම මගේ මතකයට මුලින්ම එන්නේ. (ඒ වෙනකොට මං වහල්ලු කෙටිකතා සංග්‍රහය කියවලා තිබුණේ නැහැ). පස්සෙන් පස්සේ ඉස්කෝලෙන් ඉගෙන ගත්ත පාඩම්වලින්, ඒ වගේම හොලිවුඩ් සිනමා පටවලින් අහන්නට දකින්නට ලැබුණු වහල්ලු ගැන විස්තර වලින් තරමක වෙනත් චිත්‍රයක් මැවෙන්නට පටන් ගත්තා. සුදු ජාතික මිනිසුන්ගේ මිනිස් වෙළෙද පොලේ පවුමට ඩොලරයට වෙන්දේසි කෙරුණු අසරණ කළු ජාතික ගැහැණු පිරිමි ළමා ළපටි මුහුණු පෙළක් ඒ චිත්‍රයට අරක් ගෙන තිබුණා. ඒත් මොකක්දෝ හේතුවක් නිසා වහල්ලු කිව්වාම දැන් නම් එක සැරේම මතකයට එන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා එදා හඳුන්වපු ඒත් දැන් නම් අමුතුම ඇටයක් බවට පත්වෙලා තියෙන දිවයිනක් ගැන සිතියම් රූපයක්. මේ රූපය හිතින් අත්හැර ගන්න කොයි තරම් උත්සාහ කළත් හැමදාමත් අහන්න දකින්න ලැබෙන දේවල් දිහා බැලුවාම වහල්ලු කියන වචනයට පර්යාය පදයක් විදියට තමයි මේ දූපත්වාසීන් මතකයට නැගෙන්නේ.

මේ කතාව මොහාතකට අමතක කරලා පාලමක් ගැන වෙනත් පුංචි කතාවකට යන්න මට අවසර දෙන්න. වහල්ලුත්, පාලමකුත් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා සමහර විට ඔබට හිතෙන්නට පුළුවන්. කතාව මේකයි. වැඩිම මංතීරු ගණනක් තියෙන ලෝකයේ පළල්ම පාලමට හිමි ගිනස් වාර්තාව තියෙන්නේ මීට අවුරුදු දෙක තුනකට කලින් කැනඩාවේ බ්‍රිටිෂ් කොළම්බියා ප්‍රාන්තයේ ඉඳිකෙරුණු පෝර්ට් මෑන් බ්‍රිජ් කියන පාලම. 1932 වසරේ ඉඳන් ඔය වාර්තාවට හිමිකම් කිව්ව ඕස්ට්‍රේලියාවේ ලෝක ප්‍රකට සිඩ්නි හාබර් පාලමේ ඒ වාර්තාව බිඳ දමමින්තමයි මේ සුවිසල් පාලම ඉඳි වුණේ. ගිනස් ලෝක වාර්තාවක් පවා පිහිටවපු මේ පාලමේ කොතැනකවත් සමරු ඵලකයක්වත්, පාලම විවෘත කිරීමට අදාළ කිසිම විස්තරයක්වත් නැහැ. ඒ ඇයි? ඒකට හේතුව පාලම විවෘත කරන්න කිසිම උත්සවයක් තියා අඩුම තරමින් කිසිම මිනිස් පුළුටක්වත් ආවේ නැති නිසයි. පාලම ඉඳිකරන අතරේ එහි කොටසින් කොටස වැඩ නිමවෙද්දී ඒ කොටස් මහජනතාව වෙනුවෙන් විවෘත ‍කෙරුණා විතරක් නෙමෙයි, පාලමේ වැඩ නිම වෙච්ච රාත්‍රියේ ඒ තත්පරයේ ඉඳන්ම සමස්ත පාලමම මහජනතාව වෙනුවෙන් විවර වුණා. පාලමේ වැඩ නිම වෙච්ච සතුටට ඒකට සහභාගි වෙච්ච ඉංජිනේරුවරුන්, කම්කරුවන් එකතු වෙලා පීසා ගෙනල්ලා තමන්ගේ සතුට භුක්ති විඳිද්දි ඒ ආරංචියට එතැනට පැමිණ ප්‍රාදේශීය ගමනාගමන ඇමතිනියත් ඔවුන් එක්කම පීසා භෝජනයට එකතු වුණා. ඒත් ඒ කිසිම දෙයක් පුවත්පතක පිංතූරයක් විදියටවත් පළ වුණේ නැහැ. ඒකට හේතුව ගිනස් වාර්තාවක් පවා පිහිටෙව්ව මේ දැවැන්ත පාලම විවෘත කරන්නට අඩුම තරමේ චාම් උත්සවයක්වත් නොතිබුණු නිසයි.

විශ්මිත ඉංජිනේරු තාක්ෂණය හෙළි කළ port mann පාලම
විශ්මිත ඉංජිනේරු තාක්ෂණය හෙළි කළ port mann පාලම

දැන් හිතන්න මේ වගේ පාලමක් ලංකාවේ ඉඳි වුණා නම් මොන වගේ දෙයක් වේවිද කියලා. එහෙනම් පාලමේ වියදමින් භාගයක්ම යන්නේ විවෘත කිරීමේ උත්සවයට. අතිගරු, ශ්‍රීමත් වගේ සරුව පිත්තල නම් කෑලි එල්ලපු රත්තරන් වැඩ දාපු දැවැන්ත සමරු ඵලකයකුත් එහෙම නම් පාලමට තියෙනවාම තමයි. (රතු රෙද්දෙන් සුදු රෙද්දට මාරු වෙලා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මාක්ස්වාදයෙන් අනිවාර්ය විශ්‍රාම ගෙන ස්වේච්ඡාවෙන්ම ධනවාදී කඳවුරට පැන ගත්ත කඩුවෙල පැත්තේ මන්ත්‍රී හාදයෙක්, ඒ කාලයේ ඇමති හාදයෙක් ලක්ෂ දහහතක් වියදම් කරලා කෙහෙල් කොලේ හැඩයට බස් නැවතුමක් හදලා කරපු විකාරය සරලම උදාහරණයක් විතරයි). පහුගිය කාලයේ අධිවේගී මාවත්, වරාය, ගුවන් තොටුපළ (මේ ගුවන් තොටුපළත් ගිනස් වාර්තාවක් තමයි, ගුවන් යානා නොපැමිණෙන ලෝකයේ එකම ගුවන් තොටුපළ) මෙකී නොකී හැම දෙයක්ම විවෘත කරන්න පවත්වපු උත්සව, නටපු නැටුම්, කරපු සෙල්ලම් ටිකට වියදම් කළ මුදලින් පහසුවෙන්ම ඉස්කෝල හය හතක්ම හදන්න තිබුණා. මං කලින් කිව්ව ගිනස් වාර්තාවක් වෙච්ච පාලම විතරක් නෙමෙයි ලංකාවේ අපේ රටේ ඉඳි වෙන ඔය කියන හැම ඉඳි කිරීමක්ම නිර්මාණය වුණේ දේශපාලකයන් තමන්ගේ ගේ දොර විකුණලා ගෙනාපු මුදල් හදල්වත්, තමන්ගේ පඩි පතින් කොටසක් පරිත්‍යාග කරලා කරපු පරිත්‍යාගවලින්වත් නෙමෙයි. ඒ හැම සතයක්ම ජනතාවගේ බදු මුදල්. අපේ රටේ නම් ඒ වෙනුවෙන් ගන්න හැම ණයක්ම ගෙවන්නේ අපේම රටේ මහජනතාව. ඒ කියන්නේ අපි අපිම මිසක් ඔය සමරු ඵලක විවෘත කරන දේශපාළුවන් නෙමෙයි. ඉතින් ඒ වෙනුවෙන් නටන හැම නැටුමකටම, කියන හැම සිංදුවකටම, අල්ලන හැම කස්තිරමකටම වැය වෙන හැම සතේම ගෙවා දමන්නේත් ඔබේත් මගේත් සාක්කුවෙන් මිසක් ඔය කියන දේශපාළුවන්ගේවත් ඒ අයගේ බේබිලාගෙන්වත් නෙමෙයි. ඒත් මේ සරල සත්‍ය්‍ය තේරුම් ගන්වන්න අපේ ජනතාවට කොයි තරම් අසීරු ද කියනවා නම් නුවරඑළියේ වරායක් හදලා ඒකට නැව් ගෙන්වන එක ඊට වඩා ලේසි පහසු දෙයක්. ආයුබෝ වේවා මහ රජාණෙනි කියලා සිංදුවක් කිව්ව තනි සිංදුවේ ගායිකාවක් වෙනුවෙන් පාරවල් නම් කෙරෙන, ලංකාවේ නම ලෝකයට ගෙන ගිය ලෝක ප්‍රකට විද්වතෙක් වෙච්ච ආනන්ද කුමාරස්වාමිගේ නම ගලවලා දමලා තමන්ගේ නම ගහගන්න තරමටම බංකොලොත් දේශපාලකයන් සිටින රටක මේ නිරුවත් දේශපාලන රංගන හඳුනාගන්න බැරි අපි ඇත්තටම වහල්ලු කියලා මොහොතකටවත් ඔබට හිතෙන්නේම නැද්ද?

තමන්ට අහිමි වෙච්ච කොමිස් කුට්ටි, රස මසවුළු ආපහු ඩැහැ ගන්න පාද යාත්‍රා යන නන්නත්තාර දේශපාලකයන් දිහා බැලුවාම ඒ මූනත් තහඩු හැම එකකම හැම මාංශ පේශියකින්ම මතුවෙලා පෙනෙන්නේ මහජන මුදල් සූරා කෑමේ වෘත්තිමය ප්‍රවීණත්වය, චෞරභාවය, මහජනතාව මුළා කිරීමේ පළපුරුද්ද වගේම අශ්ලීල දේශපාලනයේ ප්‍රතිමූර්තියයි. ඒත් තමන්ට අහිමි වෙච්ච සැප සම්පත්, ඒ කියන්නේ ඔබටත් මටත්, ඔබේ දරුවාටත්, මගේ දරුවාටත් උරුම වෙච්ච ඒ මහජන දේපළ කොල්ල කන්නට තතනන දේශපාලකයන්ගේ විතරක් නෙමෙයි ඔවුන්ගේ බේබිලාගේ පවා අපුල දනවන මුහුණු පොඩි සානුකම්පාවෙන් අතපත ගාන මහජනතාව දැක්කම අනේ මේ කොදෙව්වේ ඉන්න දූපත්වාසී අපි කොයි තරම් වහල්ලු ද කියලා හිතෙන වාර අනන්තයි; අප්‍රමාණයි. (අමතක කරන්න එපා ඔබ කැමැති වුණත් අකමැති වුණත් ඔබත් මේ පාද යාත්‍රාවේ ගමන් කළ බව. ඒකට හේතුව මේ යාත්‍රාවට සහභාගි වෙච්ච පිරිස අපේ දූපතේ ජනගහනයටත් වඩා වැඩියි කියලා ඒ අය හොයා ගෙන තියෙන නිසා. – පුදුම වෙන්න දෙයකුත් නැහැ. මිලියනයකට තියෙන බිංදු ගණන වගේ දේවල් ඉස්කෝලේ උගන්වන්නේ මං හිතන්නේ අඩුම තරමින් දහය පංතියවත් පාස් කරන්න ඕනේ කියලයි). අනේ අපිව පාලනය කරන්නකෝ, අපේ බදු මුදල් සූරා කන්නකෝ, රට උකසට තියලා ඔයාලා සුර සැප විඳන්නකෝ කියලා දොහොත් මුදුන් තබා ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවන්නේ අඩුම තරමින් රටේ ජනගහනයවත් දන්නේ නැති නුගතුන් රැළක් නේද කියලා වටහා ගන්නවත් බැරි තරමටම අපි වහල්ලු.

විපක්ෂයේ විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂයේ වුණත් මේ හැම දේශපාලකයාම තමන්ගේ නිරුවත පෙන්වමින් කරන අජූව රංගනය හිරිකිතයකින් තොරව බලාගෙන අත් පොළසන් දෙන්නට අපි පුරුදු පුහුණු වෙලා ඉන්න හැටි දැක්කම නම් මාක්ස්ගේ කියමන කොයි තරම් සත්‍යයක් ද කියලා හිතෙනවා. වහල් භාවයෙන් මිදෙන්න නම් අඩුම තරමින් මුලින්ම අපි වහල්ලු කියලා තේරුම් ‍අරගෙන ඉන්න ඕනේය කියන කාරණය මාක්ස් කිව්වේ අපේ මේ දූපත් වාසීන් ගැන හිතලාම ද කියලා හිතෙනවා. නැතිනම් මේ දේශපාලකයන් කරන නිරුවත් රංගනය මේ තරම් උපේක්ෂාවෙන් විඳ දරා ගන්න විතරක් නෙමෙයි ඒ දේශපාලකයන් වෙනුවෙන් තමන්ගේ ජීවිත වුණත් පුජා කරන්න සූදානම් වෙච්ච වහල්ලු පිරිසක් මේ ලෝක සිතියමේ වෙන කොහෙන් හොයන්න ද?

ඔබට හිතෙන්න පුළුවන් මම වහලෙක් නෙමෙයි, ඇයි මගේ අත්වල දම්වැල් දාලා නැහැනේ කියලා. වෙන කාටවත්ම කියන්නට ඕනේ නැහැ. තමන් ඇත්තටම දහ නව වැනි සියවසට ඔබ්බෙන් ජීවත් වෙච්ච වහලෙක් ද, එහෙමත් නැතිනම් නූතන ලෝකයත් එක්ක යන නිදහස් මිනිහෙක් ද කියලා හොයලා බලන්න හරිම සරල පරීක්ෂණයකින් ඔබටම පුළුවන්. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඔබ ඡන්දය දුන් හෝ නොදුන් ඕනෑම දේශපාලකයෙකුගේ අමන ක්‍රියාවක් විවේචනය වෙද්දී, එහෙමත් නැතිනම් ඒ දේශපාලකයාගේ දූෂිත ක්‍රියාකාරකමක් එළිදරවු වෙද්දී ඒක පිළිගන්න අමාරු ගතියක් වගේ දෙයක් ඔබට දැනෙනවාද? තමන්ගේ සිත් ගත්ත දේශපාලකයාගේ තකතීරු කමක් එළියට ඇදෙද්දී ඇයි එහෙනම් ඒ කාලයේ මෙහෙම වුණේ කියලා කියන්න හිතෙනවා ද? නිල්, කොළ රතු භේදයක් නැතිව වැරැද්ද වැරැද්ද විදියටත්, නිවැරුදි දේ නිවැරදි විදියටත් භාර ගන්න බැහැ බැහැ වගේ හිතෙනවා ද? අම්මේ, තාත්තේ, අයියේ අක්කේ, නංගී මල්ලී අනේ එහෙනම් ඔබත් තවමත් ඉන්නේ දහ නම වැනි සියවසෙන් ඔබ්බෙන් හිටිය ඒ වහල්ලුන්ගේ ගොඩේ. එහෙමත් නැතිනම් ප්‍රවේණි දාසයන්ගේ ගොඩේ. ඔබ තවමත් කඩේ යන්නේ දේශපාලකයන් වෙනුවෙන් මිසක් රට වෙනුවෙන් නෙමෙයි. ඔබ පාද යාත්‍රා කරන්නේ දේශපාලකයන් දිනවන්නට මිසක් රට දිනවන්නට නෙමෙයි.

ඔය විලංගු ගලවා දමන්නට වෙන කාටවත්ම බැහැ. ඔබට විතරමයි පුළුවන්. ඉතින් විලංගු බිඳ දමා නිදහස් මිනිසෙකු ලෙසින් නිදහස් ලෝකයක සැරි සරන්නට ඔබ කැමැතියි ද? එහෙමත් නැතිනම් ඔය විලංගුවල බර ඔය විදියටම තියාගෙන මේ අමන දේශපාලන යන්ත්‍රයේ දැති රෝද කරවන්නට ඔබේ දූ දරුවන්ගේ පරපුරටත් උරුම කර දෙනවාද? අමතක කරන්නට එපා… ඔබ ජීවත් වන සියවස රැඳිලා තියෙන්නේ ඔබේ තීරණය මත බව.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.