අන්දමන් දූපතෙන් හමුවුණු හඳුනා නොගත් මානවයා…

Andaman 1-2මීට බොහෝ කලකට පෙරදී, පෘථිවි තලය මත පහල වූ මානවයන්ගේ පරිණාමය මහා වෘක්‌ෂයක අනුශාඛ බඳු යෑයි අප දැන් හොඳින්ම දනිමු. මේ දක්‌වා විද්‍යාඥයන් මානව පරිණාමය මෙලෙස යෑයි, විස්‌තර කර තිබුණද, කාලයෙන් කාලයට අණාවරණය කරගන්නා කරුණුත්, මීට බොහෝ කලකට පෙර වැළලී ගිය සාක්‌ෂිත් නැවත ගොඩගන්නා විට මානව පරිණාමය පිළිබඳ පැහැදිලිව මෙලෙස යෑයි කීම ඉතා දුෂ්කරය. එය පැටලුණු නූල් බෝලයක්‌ මෙනි. මානව පරිණාමය පිළිබඳ සිතන සංස්‌කෘතික රාමුවෙන් මෙහා තවත් නොසිතන පැතිකඩ තිබේදැයි සිතීමට සිතෙන පුවතක්‌ මෙන්ම පරිණාමය තවත් අවුල් ජාලයක්‌ බවට පත්කරන පුවතක්‌ මෑත දිනකදී, “අන්දමන් දූපතෙන්” වාර්තා විය.

බෙංගාල වරායත්, ඉන්දියාවත් අතර පිහිටි මෙම දූපතේ දී සිදු කළ කැණීම් කටයුත්තකින් පර්යේෂකයන් පිරිසකට මීට කලකට ඉහතදී, වැළලී ගිය මානව සිරුරු කිහිපයක්‌ හමුවිය. මේ තාක්‌ අන්දමන් දූපත තුළ වාසය කළේ, ස්‌වදේශීය වැසියන්ය. නමුත් මේ හමු වූ මානව සිරුරු ඔවුන්ට අයිති ඒවා නොවේ. එසේ නම් ඔවුහු කවරහුද? එය දැන් විද්‍යාඥයන්ටත්, ගැටලුවකි. හමු වූ දිරාගිය සිරුරු තුළින්, ලබාගත් DNA සාම්පල මූලිකවම පර්යේෂණයන්ට ලක්‌කළ නමුදු ඒවා කිසිදු අයුරකින් වර්තමාන මානවයන්ගේ, DNA හා නොසැසඳෙන බවට හෙළි වී තිබේ. වර්තමාන අන්දමන්, දූපතෙහි වෙසෙන ස්‌වදේශීය ජනතාවට ප්‍රවේණියෙන් උරුම වූ සංජානමය ලක්‍ෂණ, මීට කලකට ඉහතදී පහල වූ සොයාගන්නා ලද මේ මානවයෙන් DNA හා මිශ්‍ර වී තිබේදැයි ඊළඟට මතුවන ප්‍රධානම ගැටලුවයි. නමුත් මේ මානවයන්, පහල වූයේ, පැමිණියේ කෙසේද? මීට වසර මිලියන 1.8 කට පෙර වර්තමාන අප්‍රිකානු ප්‍රදේශයෙන් ආසියාව කරා සංක්‍රමණය වූ “හෝමෝ ඉරෙක්‌ටස්‌” මානවයාගේ, ප්‍රවේණි ගතිලක්‍ෂණ අද ආසියානු මිනිසුන්ගේ, ප්‍රවේණි හා සැසඳෙන බව සනාථ වන කරුණකි. මේ සොයාගන්නා ලද මානව සිරුරුවලට අයත් DNA වර්තමාන මානවයා අයත්, “හොමිනිඩායි” පවුලට අයත් නැති, වෙනස්‌ම කොට්‌ඨාසයක්‌ බව පර්යේෂණකයන්ගේ, අදහසයි. එනම් ඔවුහු නැඟෙනහිර ආසියානු හෝ පැසිµsක්‌ කලාපයේ, මානව පරපුරට අයත් නොවේ. පර්යේෂකයන්, මේ වනවිටත් තවදුරටත් කැණීම් කටයුතු සිදු කරන අතරම අන්දමන් දූපතේ, වැසියන්ගේ DNA නියෑඳි පර්යේෂණයට ලක්‌ කෙරේ. ඒ හඳුනානොගත් මානව වර්ගයාගේ, DNA අන්දමන් දූපතේ වැසියන් හා සම්මිශ්‍රණය වී තිබේදැයිවත් සොයා බැලීමටය. ඕස්‌ටේ්‍රලියාවේ, “ඇඩලයිඩ්” විශ්වවිද්‍යාලයේ, පර්යේෂකයකු වන ඇලන් කූපර් සඳහන් කරන්නේ මේ සොයා ගැනීම නිසා මානව පරිණාමය පිළිබඳ නැවත සිතාබැලීම පවා සංකීර්ණ කටයුත්තක්‌ වන බවයි. ඒ කෙසේ වෙතත්, මේ හඳුනානොගත් මානව වර්ගයට අයත් DNA ඛණ්‌ඩ තවදුරටත් පර්යේෂණයට ලක්‌කිරීමෙන්, ආසියානු කලාපයට අයත් වැසියන්ගේ අතීතය අනාවරණය කර ගැනීමට හොඳ අවස්‌ථාවක්‌ ලැබී ඇත්තේ, යෑයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේය. මේ සොයා ගැනීමෙන් හෙළිවන්නේ, ආසියානු කලාපය තුළ පහලවූ ආවේණික මානව වර්ගයක්‌ පිළිබඳව නොවේද? එසේ නම් ආසියානු කලාපය සැදුම්ලන්නේ, සංක්‍රමණය වූවන්ගෙන් පමණක්‌ යෑයි සිතන මතය වෙනස්‌ කිරීමට කාලය එළැඹ ඇත.

ලිහිනි උදයන්ති ජයතිස්ස ( දියග- ඉරිදා දිවයින සංග්‍රහය)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.