හැරී කුමරු මන්මත් කළ ඇතීනාගේ ආදර පිම්ම

Athina22ලොව පුරා විවිධ රටවල රූමත් තරුණියන්ගේ ප්‍රේම මායා දැලේ වරින් වර පැටලෙන මහ බ්‍රිතාන්‍ය රජ පවුලේ තනිකඩ කුමරු හැරී අරභයා ඊයේ පෙරේදා පැතිරී ගිය පුවත නම් කාගෙත් නළල්තල රැළි ගැන්වූ එකකි. ඔස්ට්‍රේලියාවේ පළවන ‘නිව් අයිඩියා’ සඟරාවේ පළවූ මේ පුවතට අනුව ග්‍රීසියේ හිටපු ධන කුවේරයකු වූ ඇරිස්ටෝටල් ඔනාසිස්ගේ අතිවිශාල ධන සම්භාරයේ තනි අයිතිය භුක්ති විඳින එකම මිනිපිරිය ඇතීනා ඔනාසිස් අද හෙටම මේ 31 හැවිරිදි තනිකඩ හැරී කුමාරයාගේ මනාලිය වීමේ පෙරනිමිති පහළ වන්නට පටන්ගෙනය. ඇය මේ වෙද්දී සිය සැමියාට එරෙහිව දික්කසාද නඩුවක් දමා ඇති අතර ‘නිව් අයිඩියා’ සඟරාව පවසන්නේ ඒ දික්කසාද නඩුව නිමාවට පත් වූ විගස බ්‍රිතාන්‍යයත්, ග්‍රීසියත් එකට යා කරන ආදර කතාවට මුල පිරෙනු ඇති බවකි.

හැරී කුමරු ගැනත්,ඔහුගේ ඉතිහාසය ගැනත් ඇති තරමට අසා ඇති කාගෙත් කුතුහලය ඇවිස්සී ඇත්තේ මේ කියන ඇතීනා නම් වූ තරුණ කෝටිපතිනිය ගැන දැනගැනීමටය.

‘නිව් අයිඩියා’ සඟරාව විසින් බ්‍රිතාන්‍ය රාජකීය පවුලට ඉතා සමීප කාන්තාවකගෙන් අනාවරණය කරගනු ලැබුවේ යැයි කියන මේ උණුසුම් ඕපාදූපයට අනුව හැරී කුමරුට ලොව වටා රූමත් තරුණියන්ගේ ඇල්මෙන් සහ බැල්මෙන් අඩුවක් නොවූවත් කනගාටුදායක දික්කසාදයකට අද හෙටම මුහුණදීමට නියමිත මේ සුන්දරියට සිය හිස රුවාගෙන හිතේ හැටියට හඬා වැලපෙන්නට ඔහු සිය උරහිස පුද කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

හැරී කුමරු මේ තරුණ ගැහැනිය හඳුනන්නේ වසර ගණනාවක සිටය. ඇය ජාත්‍යන්තර අසුන් ධාවන තරග බිමේ නිත්‍ය ක්‍රීඩිකාවකි. අසුන් ධාවනයට උපන් හපන්කම් ඇති හැරී කුමරුත් වරින් වර එවැනි ධාවන තරගවලට සහභාගි වන බැව් ප්‍රකට කරුණකි.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලට කවදත් ලොව පුරා කාගෙත් අවධානය යොමු වී තිබුණත් මේ කියන ඇතීනා ඔනාසිස්ට එවැනි අවධානයක් දිනාගත හැකි වී ඇත්තේ ඇගේ මුත්තාට පින් සිදුවන්නටය. ඇයට ලොව වඩාත්ම ධනවත් තරුණිය ලෙස ගෞරවනීය පසුබිමක් නිර්මාණය කර දුන්නේ ඔහුය. මීට දශක ගණනාවකට පෙර ග්‍රීසියේ විශාලතම නැව් සමාගමක හිමිකරු ලෙස කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයාගැනීමට සමත් වූ ඇරිස්ටෝටල් ඔනාසිස් ඇතීනාගේ මුත්තාය. මුදල් ඉපැයීමට මෙන්ම සුරූපි කාන්තාවන් හා යහන්ගත වීමට ද උපන් හපනකු වූ ඇරිස්ටෝටල් ඔනාසිස් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඝාතනයෙන් පසුව හුදෙකලා ජීවිතයක් ගෙවූ සිය දිගුකාලීන මිතුරියක වූ ජැකී කෙනඩි විවාහ කරගැනීම නිසාය.

පසුකලෙක ඇරිස්ටෝටල් ඔනාසිස්ගේ අභාවයෙන් පසුව ඔහුගේ සම්පූර්ණ බූදලයම අයිතිවූයේ පළමු විවාහයෙන් උපන් එකම දියණිය ක්‍රිස්ටිනාටය. ඇය ඇතීනාගේ මෑණියන් ය. පසුව සිය මවගෙන් උරුම වූ ඩොලර් බිලියන ගණනාවක් වූ ඔනාසිස් උරුමයේ තනි අයිතිකාරිය බවට පත්වූ ඇතීනා විවාහ වී සිටියේ ඇගේ පළමු හා එකම පෙම්වතා වූ බ්‍රසීල ජාතික බාධක මැදින් අසුන් පැදවීමේ ඔලිම්පික් පදක්කම්ලාභී ඇල්විරෝ ඩි මිරැන්ඩා සමගිනි. වසර 10ක් පුරා ඔහු සමග දීග කෑ ඇතීනාට දැන් ඔහුගෙන් දික්කසාද වීමට සිදුවූයේ පසුගිය වසරේ එක්තරා දිනෙක ඔහු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔවුන්ට අයත් සුපිරි මන්දිරයක දී තවත් අසුන් ධාවන ශූරියක සමග යහන්ගත වී සිටීම අතටම අසුවීම හේතුවෙනි.

තමා හා සතුට බෙදාහදාගත් එකම යහනේ සිය සැමියා වෙනත් කාන්තාවක හා නිදා සිටිනු දැකීමෙන් ඕනෑම බිරියක පත්වන මානසික ව්‍යාකූලතාවට ඇතීනා ද දැඩි සිත් තැවුලකින් යුතුව මුහුණ දුන්නාය. කෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත් සිය ආදරණීය සැමියාගේ සල්ලාලකමට දැන් ඇය දෙන්නට සූදානම් වන තෑග්ග දික්කසාදයයි. එය ඉතා ඉක්මනින් ඔහුට ලැබෙනු ඇත. බෙල්ජියමේ උසාවියක ගොනු කළ මේ දික්කසාද නඩුව ඉතා ඉක්මනින් නිමාවට පත්කර ගැනීම ඇතීනාගේ එකම අදිටන වී තිබේ. මේ දිනවල ඇල්විරෝ සිටින්නේ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාධක මැදින් අසුන් පැදවීමේ තරග ඉසව්වට සහභාගි වෙමිනි. ඉන් අනතුරුව ඔහු දික්කසාද නඩුවට සම්බන්ධ වනු ඇත.

මේ බ්‍රසීල ජාතික වෘත්තීමය බාධක මැදින් අසුන් පැදවීමේ ක්‍රීඩකයා සමග ඇතීනා 2005 දෙසැම්බරයේ දී අතිනත ගත්තේ වසර කිහිපයක්ම පෙම් කිරීමෙන් පසුවය. දෙවතාවක්ම ඔලිම්පික් පදක්කම්ලාභීයකු වූ ඇල්විරෝ හා ඇතීනාගේ විවාහයට ෂැම්පේන් බෝතල් දහසක්ම භාවිත කොට තිබූ අතර එය එකල ධනවත් විවාහ උත්සව අතරින් ප්‍රමුඛස්ථානයක් ගත් එකක් විය. දෙදෙනා මුලින් සැලසුම් කළ අයුරින්ම විවාහයේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් නොකළ අතර තම විවාහ උත්සවයට තෑගි ගෙන නොඑන ලෙසටත්, ඒ මුදල් සුබසාධක අරමුදල් වෙනුවෙන් වෙන් කරන ලෙසත් සිය විවාහ උත්සවයට ආරාධනා ලැබූ ආරාධිතයන්ගෙන් ඇතීනා ඉල්ලා සිටියාය.

ඇතීනාටත් හොර රහසේ වෙනත් කාන්තාවන් සමග යහන්ගතවීම පුරුද්දක් කරගෙන සිටි ඇල්විරෝ අවසානයේ බිරියගේ අතටම හසුවූයේ ඇගේ ආරක්ෂක කණ්ඩායමේ ඔත්තු බැලීම නිසාය. සිය ස්වාමි දියණියගේ නියෝග අකුරටම පිළිපදිමින් ඇගේ සැමියාගේ මේ සල්ලාලකම හෙළිදරවු කිරීමට තරම් ඇතීනාගේ ආරක්ෂක කණ්ඩායම ඇයට ලැදිව සිටීම එක්තරා අන්දමකින් ඇතීනාගේ වාසනාවකි. අනිත් අතට මේ ඔනාසිස් පවුලේ බූදලයේ හිමිකාරිනියට එවැනි පක්ෂපාතීත්වයක් ලැබී තිබුණේ ඇය සතු නිහතමානී ගතිපැවතුම් නිසාය. එමෙන්ම සිය කාර්ය මණ්ඩලයට ඇය පෙන් වූ කාරුණිකභාවය හේතුවෙනි.

අඩුම තරමින් ඩොලර් බිලියන 5කවත් ධන සම්භාරයකට උරුමකම් කියන්නට වාසනාව තිබුණත් ඔනාසිස් පවුලේ එකම මිනිපිරියට මෙවැනි අවාසනාවන්ත විවාහ ජීවිතයකට හිමිකම් කියන්නට සිදුවී තිබීම දෛවයේ සරදමකි. ලොවට පෙනෙන්නට දීග කෑ ඇතීනා – ඇල්විරෝ යුවලගේ විවාහ ජීවිතය අද හෙටම දික්කසාදයෙන් කෙළවර වූවත් එය තවත් ආදර අන්දරයක ඇරැඹුමක් වනු ඇතැයි නම් ඉඳුරාම පැවැසිය හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.