කවුද මේ උපුල් ?

PVUඩි.වි.රෝහණ ප්‍රිය උපුල්   මහින්දවාදියෙකි.  පසුගිය ජනාධිපතිවරණයේ දි මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුනත් ඔහු මහින්ද අත් නොහැරියේය.   වරක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිළිබඳ කට කැඩුණු කතාවක් කී උපුල් ඒ නිසාම බන්ධනාගාරගත විය.   ඔහුට රිදී තිබුණේ මහින්ද පවුල හා පවුලේ ඥාතිවරු මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිරන්තර කැඳවීම්වලට ලක්වුණු නිසාය.

වරෙක උපුල් මහින්ද රාජපක්ෂට දේශපාලනිකව ජය බිමක් වූ බෙලිඅත්ත ආසනයේ  ශ්‍රි.ල.නි.ප බල මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.   රිෂි කොම්පැණියෙන්  ලක්ෂ 700 මුදලක් ලබාගෙන එයට කළ කී දේ පිළිගත හැකි ලෙස ඉදිරිපත් කරගත නොහැකිවූ  නාමල් රාජපක්ෂව   අත් අඩංගුවටගත් අවස්ථාවේ  ඊට එරෙහිව  තංගල්ලේ පැවති විරෝධතාවයට නායකත්වය දුන්නේ උපුල්ය.

උපුල් මුලින්ම දේශපාලනයට පිවිසෙන්නේ තංගල්ල ප්‍ර දේශිය සභාවේ උප සභාපති ලෙසය. ඒ 1997 වර්ෂයේ ය. පසුව   ඔහු 1999 වර්ෂයේ පැවති  දකුණු පළාත්  සභා මැතිවරණයේ දි  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජය විය. නමුත් 2004 පළාත්සභා මැතිවරණයේ දි    දකුණු පළාත් සභාවට තරග කොට මුල් වරට පළාත්සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වුණේය.

වර්ෂ 2009 වර්ෂයේ පැවති  පළාත් සභා මැතිවරණයෙන් ද උපුල් ජය ගන්නේය. ඔහුට මුල්වරට පළාත් සභාවේ ඇමති ධුරයක් ලැබෙන්නේ 2010 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් පසුවය.  එවකට ඇමතිවරයකු වශයෙන් කටයුතු කළ වි.කේ ඉන්දික   පාර්ලිමෙන්තුවට තේරිපත්විම නිසා ඩි.වි උපුල්   දකුණු පළාත් සභාවේ ධිවර  ඇමති ධුරයට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් පත් කළේය.  මේ දේශපාලන ගමනේ වැදගත්ම සලකුණ ඔහු විසින් තබන්නේ වර්ෂ 2014   දකුණු පළාත් සභා මැතිවරණයේ දීය. ඩි.වී උපුල්   මනාප ඡන්ද 66995ක් ලබාගෙන  හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු වැනියා ලෙස පළාත් සභාවට තේරිපත් වන්නේය. උපුල් ජය පරාජය හා බිඳවැටීම් සහිතව සිය දේශපාලන ගමන ක්‍රමානුකූලව පැමිණි දේශපාලකයෙකි.

නැවත වරයක් දකුණු පළාත් සභාවේ ධිවර සත්ව නිෂ්ෂාදන  පරිසර විදුලිබල හා ග්‍රාමිය පහසුකම් ඇමතිවරයා වන්නේ ඩී.වී උපුල්ය.  පසුගිය ජනාධිපතිවරණයෙන් පසු    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ශ්‍රි.ල.නි.පක්ෂයේ  නායකත්වයට  පත්වුවද දැඩි මහින්දවාදියෙක් වූ උපුල්ව එම තනතුරින් ඉවත් කරන්නට යහපාලන ආණ්ඩුව කටයුතු කළේ නැත. එහෙත්     උපුල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නොව,  මහින්ද රාජපක්ෂ වෙනුවෙන්  දේශපාලනය කිරීම   අත්හලේ නැත.   දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා, ඇමතිවරුන් වන යු.ජි.ඩි ආරියතිලක, චන්දිමා රාසපුත්‍ර, මෛත්‍රි පාර්ශවය වෙනුවෙන් පෙනි සිටියද කොමියුනිෂ්ට් පක්ෂයේ වීරසුමන විරසිංහ ඩි.වි උපුල් යන ඇමතිවරු  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ   වෙනුවෙන් පෙනි සිටියේය.

ජනාධිපතිවරණයෙන් පසු දකුණු පළාත් සභාවේ ඇමති මණ්ඩලයේ සංශෝධනයක් පිළිබද නිරන්තරයෙන්  කථා බහට ලක්විය. ඒ විතරක් නොව  මැයි දිනයට පෙර ගාල්ලේ පැවති පක්ෂ ක්‍රියාකාරින්ගේ රැස්විමකදි  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන   ප්‍රකාශ කළේ පළාත් සභාවල ඇමති මණ්ඩවල වෙනසක් කිරීමට කටයුතු කරණ බවය. මේ ප්‍රකාශයෙන් පසු දකුණු පළාත් සභාවේ මහින්ද පාර්ශවය නි‍යෝජනය කරණ  සන්ධානයේ මන්ත්‍රිවරු මේ ගැන සාකච්ඡා කළහ.

එහෙත් ඉකුත් 20 වනදින උදේ ඩි.වි උපුල් ඔහුගේ ඇමති ධුරයෙන් ඉවත් කරණු ලැබිය.  එදින තමන්ගේ ඇමති ධූරය අහිමිවන බව නොදත් උපුල්  එදින උදෑසන  දකුණු පළාත් සභාවේ කැබිනට් මණ්ඩල රැස්විමටද එක්ව සිටියේය. කෙසේ වෙතත් දැන් උපුල්ට ඔහුගේ ඇමති ධූරය නැත. දැන් යළිත් මේ රටේ කොටසකට උපුල් වීරයෙකි.

උපුල් වැනි දේශපාලකයන් අහඹු නොවේ. ඔවුන් ඉෂ්ට කරන්නේ මේ සමාජයේ අභිලාෂයයි. අතේ පත්තුවන වැරදි, වංචා, මහජන දේපල හා මුදල් කොල්ලකෑම් අවභාවිතා වීම්,  සහිත ඔප්පු වූ කාරණා ඉදිරියේදීත් ඒවා පිළිගැනීමට සූදානම් නොවුණ මිනිසුන් සහිත රටක නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින හෘදය සාක්ෂියක් සහිත දේශපාලකයන් බිහි වන්නේ නැත. ඔවුන් ස්වකීය හාමුපුතුන් වෙනුවෙන් අවිචාරවත්ව පෙනී සිටින කීකරු සුනඛ පෝතකයන්ට වඩා වෙනස් වේ නම් ඒ අල්ප වශයෙනි. ඒ අල්ප වෙනස මේ රටේ දුගී මිනිසුන්ට දැනෙන්නේ නැත දැනෙනවානම් මහින්ද මෙහෙම විනාශ වන්නේවත්, රනිල් වික්‍රමසිංහ හා සිරිසේන හවුල මේ ආකාරයේ හතරවරං කෙළින්නේවත් නැත.

කෙසේ වුවද නුදුරේදීම දකුණු පළාත් සභාවේ අර්බුදයක් නිර්මාණයවන ලකුණු පහළ වී තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ උපුල් වෙනුවෙන් පත්වුණු නව ඇමති එච්.ඩබ්ලියු ගුණසේනගේ ඇමති ධූරයට එපමණ ආයුෂ නොමැති බවය.

මන්ත්‍රි සංසදයේ කැදවුම්කරු දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකොරල  මාධ්‍ය හමුවකදී සඳහන් කරන්නේ තව මාස කිහිපයක් යනවිට නව ඇමතිවරයකු පත්කිරීම සදහා  මන්ත්‍රිවරයකු සොයා ගැනිමට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සිදුවන බවය.

දකුණු පළාත්  සභාවේ සන්ධානයේ මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයක් නියෝජනය කරණු ලබන්නේ  මහින්ද පාර්ශවය ය. ඔවුන් මෙසේ  නොකියා කියන්නේ   තව මාස  තුන හතරකින් පැවැත්වෙන ඇය වැය ඡන්ද විමසිමේදි නව ඇමතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කරණ බවය.‍ ඔවුන් මේ පිළිබඳ අවසාන තීන්දුව ගනු ලබන්නේ අද (21) ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.