මැලේසියාවේ ශී‍්‍ර ලංකාවේ මහකොමාසරිස්වරයාට පහරදීම සහ දෙමළ ඩයස්පෝරාව

tamil2012 වසරේ සැප්තැම්බර් 11 වන දින ලිබියාවේ බෙන්ගාසි ප‍්‍රදේශයේ තිබූ ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාරයක් නිසා තානාපති කි‍්‍රස්ටෝපර් ස්ටීවන්ස් මරුමුවට පත්විය. ඔහු මෙම ප‍්‍රහාරයට ලක්වුණේ ගැටුම් සහිත ප‍්‍රදේශයක දුෂ්කර වටපිටාවක් තුළ තම රජය වෙනුවෙන් සේවය කරමින් සිටින අවස්ථාවකය. ලෝකයේ බොහෝ රටවල තානාපති නිලධාරීන් මෙසේ ප‍්‍රහාරයන්ට ලක්වීම සහ මරණයට පත්වීම් සිදුව තිබෙන අතර ඒවා නීත්‍යානුකූළව තම රාජකාරිය ඉටුකරන්නට යෑමේදී සිදුවු සිදුවීම්ය. තානාපති කටයුතු පිළිබඳ 1961 වියානා සම්මුතියට අනුව තානාපතිවරු සහ තානාපති නිලධාරීන් ආරක්ෂා කිරීමට ලෝකයේ සෑම රාජ්‍යයක්ම බැඳී සිටිති. තානාපතිවරයා සේවය කරන විදේශ රට ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතුය.

පසුගියදා ලංකාවේ වඩාත් කථාබහට ලක්වීම ඇති මාතෘකාවක් වන්නේ මැලේසියාවේ ශී‍්‍ර ලංකාවේ මහකොමසාරිස්වරයාට එල්ටීටීයට සම්බන්ධ දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් කණ්ඩායමක් විසින් පහරදීමය.  මේ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරුවලට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැලේසියානු සංචාරයේදී ඔහුට අනුග‍්‍රහය දැක්වීම නිසා උරණ වූ පිරිස් මෙම පහරදීම සිදුකළ බවට තහවුරු වී තිබේ.

මින් පෙර ලංකාවේ තානාපති නිලධාරීන් පහරකෑමට ලක්වූ අවස්ථා තිබේ. අවස්ථා දෙකකදී එල්ටීටී අනුගාමිකයින් ජර්මනියේ සහ නෝර්වේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලවලට පහර දෙන ලදී. අතීතයේදී තමන්ට අනවශ්‍ය තැනකට යාම නිසා එවකට රුසියාවේ සේවය කළ වත්මන් ඊශ‍්‍රායල් තානාපතිවරයායට පහර කෑමට සිදුවිය. ඔහු නිවසට පැමිණ තිබුණේ ඇඳි වතත් අහිමි කරගෙනය. එසේම වරක් කෙන්යාවේ සේවය කළ තානාපති නිලධාරියෙක් ද පහරදීමකට ලක්විය. මෑත අතීතයේදී හිටපු හමුදාපති වත්මන් බ‍්‍රසීලයේ තානාපති අවකි‍්‍රයායක් සඳහා අනවශ්‍ය ස්ථානයකට යෑම නිසා ඇඳිවත ද අහිමි කර ගත් බව දැන ගන්නට ලැබිණි. ඔහු තවමත් යහතින් තම තනතුර දරයි.

මැලේසියාවේ ශී‍්‍ර ලංකාවේ මහකොමසාරිස්වරයා එල්ටීටී අනුගාමිකයින්ගේ ප‍්‍රහාරයකට ලක්වීම තුළින් ද්වනිත වන කරුණු කීපයකි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යනු දෙමළ ඩයස්පෝරාවේ පරම හතුරෙකි. ඔහු සමග කථා කරන අයෙක් පවා ඔවුන්ගේ සතුරෙක් සේ කලකන බව පෙනේ. දෙමළ ඩයස්පෝරාව 2009 වනතෙක් ගිලී සිටියේ ඊලම නැමති ස්වප්නයේය. එය අහිමි කළ එකම පුද්ගලයා මහින්දය. එසේ වුවත් එල්ටීටීයේ හස්තයෙන්  තමන් ගලවා ගත් තැනැත්තාට ද්‍රවිඩයින් හතුරෙක් සේ සලකන්නේ මන්ද?. සරල පිළිතුර නම් එල්ටීටීය පරාජය කළ මහින්ද දෙවනුව ද්‍රවිඩ ජනතාවද පරාජය කළ බවයි. ඔහු එසේ කරන ලද්දේ ඉතා ක‍්‍රමානුකූලව ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්න පසෙක දමා ඔවුන් පගා දැමීමට කටයුතු කිරීමෙනි.

තානාපති අන්සාර්ට පහරදීම තුළ මින් එහාට ගිය තත්ත්වයක් දැකිය හැකිය. එනම් යුද්ධ සමයේදී නැති තත්ත්වයක් ඇති කරමින් ද්‍රවිඩ ජනතාව තානාපතිවරයාට පහරදීමට පෙළඹෙන්නේ වත්මන් රජය තුළ ඇති එක් දුර්වලතාවයක් නිසාය. එනම් ජාත්‍යන්තරයේ පදයට නැටීමට රජය කටයුතු කිරීම තුළ දෙමළ ඩයස්පෝරාවට නැති බලයක් ආරූඩ කිරීමය. මෙය මැලේසියාවේ පමණක් ඇති තත්ත්වයක් නොවේ. ද්‍රවිඩ පිරිස් යුරෝපයේ බොහෝ රටවල තානාපති කාර්යාලවට ඇතුළු වී සිංහ වෙස් ගෙන නිලධාරීන්ට දැඩි බලපෑම් කරන බව සහ පරිභව කරන තත්ත්වයක් ඇති බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. සමහර විදේශගත දෙමළ ජනතාව කටයුතු කරන්නේ තමන්ගේ ඊළම බැන්කී මූන් හරහා ලැබෙමින් පවතින ආකාරයකින්ය.

එම පහරදීමේ අනිත් පැත්තක් නම් තානාපති කාර්යාලයේ දෙවන නිලධාරියා තානාපති අතහැර පැන දිවීම නොවේ. අන්සාර් තානාපතිවරයා තුළ තම රාජකාරිය පිළිබඳ ඇති නොදැනුවත්කමය. පෙරදින රාති‍්‍රයේ යම් සිදුවීමක් සිදුව තිබියදී පවා ආරක්ෂක පියවරක් අනුගමනය කරන්නට ඔහු අසමත්වීමය. යම් කිසි විදිහකින් මෙම තානාපතිවරයාගේ මොට්ටකම නිසා හිටපු ජනාධිපතිවරයාට හෝ වෙනත් ඇමතිවරයෙකුට යම් හිරිහැරක් වූයේ නම් එය රටවල් දෙක අතර බලවත් ප‍්‍රශ්නයක් බවට පත්වේ. දැනගන්නට තිබෙන අන්දමට මෙම තානාපතිවරයා තනිකරම රාජපක්ෂවාදියෙක් ලෙස කටයුතු කරමින් උද්ඝෝෂණයක නිරතව සිටි දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් ප‍්‍රකෝප කර ඇත.

තවත් ටික කාලයකින් මෙම පහරදීම අනුගමනය කරමින් වෙනත් රටවලද ලංකාවේ තානාපතිවරුන්ට සහ නිලධාරීන්ට පහරදීමට ඉඩ ඇති බව එක් තානාපතිවාරයෙක් අප සමග පැවසීය. ඔහු ඒ සඳහා හේතු ඉදිරිපත් කරමින් කියා සිටියේ වැඩ නොදන්න පිරිස් තානාපති කාර්යාලවලට පත්කිරීම, වැඩ අනා ගැනීම, ජනතාවගේ සුබ සිද්ධිය ගැන නොතැකීම, අකාර්යක්ෂතාවය, මුදල් නාස්තිය සහ රටට හිතැතිව වැඩ නොකිරීම නිසා විශේෂයෙන්ම මැදපෙරදිග සහ ඉතාලියේ සිටින තානාපතිවරු සහ නිලධාරීන්ට ජනතාව පහරදීම වැඩි ඈතක නැති බවය.

උනෙක් අතට එල්ටීටී අනුගාමිකයින් පිළිබඳ පැහැදිළි තක්සේරුවක් රජය තුළ සහ රාජ්‍ය නිලධාරීන් තුළ නැති බව පෙනේ. වත්මන් රජයේ සහනශීලී යහපත් කි‍්‍රයාවන් නිසා ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමේ මාර්ග විවෘත වෙද්දී දෙමළ ඩයස්පෝරාවේ තවත් කොටසක් වැටී සිටින එල්ටීටිය නැගිටුවමින් වෙනත් උපක‍්‍රම හරහා ඊළම දෙසට කිට්ටුවීමට උත්සාහ දරන බව රාජ්‍ය නිලධාරීන් හෝ තානාපති නිලධාරීන් නොදනිති.

යුද්ධයේ අවසන් අදියරේ දී යුරෝපයේ එල්ටීටී කි‍්‍රයාකාරකම් සියල්ලම පාහේ මැලේසියාව මුල් කරගෙන සිදු කිරීම ආරම්භ කළ අතර මේ සම්බන්ධයෙන් නිසි නිරීක්ෂණයක් කිරීමට ලංකාවේ ආරක්ෂක අංශ සහ තානාපති අංශ කටයුතු කෙළේ නැත. ඒ සඳහා දැනුමැති තානාපතිවරුන් පත් කෙළේද නැත. මෙය රජය පැත්තෙන් කරන ලද වැරැද්දකි.

මෙම මැලේසියාවේ ශී‍්‍ර ලංකාවේ මහකොමාසරිස්වරයාට පහරදීම සුලු කොට තකා කටයුතු කිරීමට ලක් රජයට නොහැකිය. ඒ මක්නිසාද යත් එය රටේ නම්බුව පිළිබඳ ප‍්‍රශ්නයකි. අනෙක් පැත්තෙන් මැලේසියාවේ ආරක්ෂක අංශවල දුර්වලතාවයකි. එරට තමන්ගේ යුතුකමක් ඉටු නොකළ නිසා මෙය සිදු වී තිබේ. මේ නිසා ලක්  රජය තාවකාලිකව හෝ තමන්ගේ විරෝධතාවය ප‍්‍රදර්ශනය කිරීම පිණිස මලේසියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දැමිය යුතුය. මෙම සිදුවීමේ පරීක්ෂණ නිසි පරදි කරන බවක් දැන ගන්නට නැත. එයට හොඳම සාධකය නම් සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ගේ විස්තර ප‍්‍රකාශයට පත් නොකිරීම සහ ලක් රජය වෙත ලබා නොදීමය.  එසේම තම මහ කොමසාරිස්වරයා අතහැර පැන දිවූ මජින්ත ජයසිංහ වහාම ලංකාවට ගෙන්විය යුතුය.

උත්ප‍්‍රාසය දනවන සිද්ධියක් වන්නේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කර ඇත්තේ මෙය ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ පිරිසකගේ පහරදීමක් බවය. මෙය තමන් තුළ ඇති නෙදැනුවත්කම ප‍්‍රකාශ කරන අවස්ථාවක් සහ තවදුරටත් සත්‍ය දැකීම හෙවත් කොටි සංවිධානයට ආවඩන දෙමළ ඩයස්පෝරාවක් කි‍්‍රයාත්මක වන බව සිතාමතා ම වසන් කිරීමකි.

මෙම තත්ත්වය වාසිදායක වන්නේ මහින්ද රාජපක්ෂට මිස රනිල් වික‍්‍රමසිංහට නොවේ.

 

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.