මොරගහ කන්දට ජීවිත යට කරන්න එපා… ලග්ගල වැසියෝ වීදි බසිති

 

Laggala3මොරගහකන්ද කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමයට ඉඩම් පවරාගැනීම හේතුවෙන් තමනට ප්‍රමාණවත් වන්දි මුදල් නැතිවූ බවත් ගොඩනැගිලි සඳහා වත්මන් ඉදිකිරීම් පදනම්වූ වන්දි මුදලක් නොලැබුණු බවත් ආදී කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ලග්ගල වැසියෝ අද දඹුල්ල – මහියංගණ පාර හරස් කරමින් විරෝධයක නිරත වූහ.

ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරමින් බ්‍රහස්පතින්දා (22) විරෝධයේ යෙදුණු පිරිසේ සහායට අද තවත් පිරිසක් එකතු වී පාරේ වාඩිවී මග හරස් කරමින් විරෝධය දැක්වූහ.

ජලාශය ඉදිකිරීමේදී කඹරව, ගප්පොරු ගොල්ල, ඇළගමුව, තලාගොඩ, කඩවත, මැදපීල්ල කියන මේ ගම් 6 සම්පූර්ණයෙන්ම යට වේ. එමෙන්ම ධම්මන්තැන්න, කෝන්ගහ වෙළ, මරා ගොමුව, රජාවෙළ, මොරගොල්ල  ගම් අර්ධ වශයෙන් යටවී යයි. යටවෙන සම්පූර්ණ පවුල් ප‍්‍රමාණය   පවුල් 1690කට වැඩිය. ජනග‍්‍රහණය විදිහට ගතහොත් එය 4000කට වැඩි ජනගහණයකි. ජලාශයට  ඇලගමුව ප‍්‍රාථමික විද්‍යාලය, හා ඇලගමුව මහා විද්‍යාලයේ පමණක්    ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 600කට වැඩිය අවතැන් වීමට නියමිතය. මේ ප්‍රශ්න පිළිබද පුරා වසර එක හමාරකට අධික කාලයක් තිස්සේ ජනතාව ඉල්ලීම් කර තිබුණහ.

මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය මහවැලිය යටතේ ඉදිවන ලංකාවේ සුවිශාලම ජලාශය වන අතර එහි බැම්මේ උස මීටර් 65ක්ය. ජල ධාරිතාව ඝණ මීටර් 521,000,000කි. මෙම ජල ධාරිතාවයෙන් පොළොන්නරුව ප‍්‍රදේශයේ හෙක්ටයාර 80,000ක් පමණ වගා කරන්නට සැලසුම් සකස් කර ඇත. අඹන්ගඟ මාතලේ ලග්ගල මොරගහකන්ද ප‍්‍රදේශයේ දී හරස් කර මෙම ජලාශය ඉදිවෙන අතර මෙම ව්‍යාපෘතිය පිළිබඳ මූලික අදහස 1955 තරම් ඈතකට යයි. සිරිමා බණ්ඩාරනායකගේ මහවැලි ව්‍යාපෘතිය තුළ මෙන්ම 1977 බලයට පැමිණි එජාපය ක‍්‍රියාත්මක කළ මහවැලි කඩිනම් ව්‍යාපාරය තුළ ද මෙම යෝජනාව පැවතියේය. එහෙත් නොයෙකුත් හේතූන් මත පස්සට විසිවී ගිය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නව වේශයකින් වැඩ ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ 2007 ජනවාරි 25 වැනි දිනය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන දිනය වනවිට මහවැලි අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ වර්තමාන ජනාධිපතිවරයාය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.