රත්වෙන කථාවක් කියන – රත්ගමයා මාලිංග

Lasith Malingaරත්ගම කිව්වාම සමහරුන්ගේ මුහුණු හැකිළෙනවා. රත්ගම ඉපදුණු ඔබට රත්ගම දැනෙන්නේ කොහොමද?

රත්ගම ඉපදුණු හැම කෙනාටම වගේම මටත් තියෙන්නේ ආඩම්බරයක්
අපේ ගමේ ඉන්නේ ඇත්තම කතා කරන, ඇත්ත වෙනුවෙන් මැරෙන්න හරි පුළුවන් මිනිස්සු. ඒ ගමේ ගති මටත් තියෙනවා.

ජාතික කණ්ඩායමට එන්න ඕනෑ දක්‍ෂතාව විතරමද?
හොඳ ප්‍රශ්නයක්. ජාතික කණ්ඩායමේ ඉන්න නිසා උත්තර නොදී ඉන්නම්. වෙන දෙයක් කියන්නම් ජාතික කණ්ඩායමට ආවාට රැඳෙන්න නම් දක්‍ෂයෙක් වෙන්නම ඕනෑ.

Lasith Malingaඔබ කණ්ඩායම ඇතුළේ හුදෙකලා සලකුණක් නේද?
එහෙම පේනවාද? (හිනා) මට මගේ උපරිමය කරනවා. තනිව හරි තරගය ජයගන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. ලණුව පැනලා පිටියට ගියාම අපිට වෙනස් මත නෑ. තරගය දිනන මතය හැර. ඒ තැන මාත් ඉන්නවා.

මාලිංග දිගට හරහට විවේචනය කළා ඒ ඇයි?
ඒ අය (මාධ්‍ය) බලාපොරොත්තුවන කෙනෙක් බවට මට පත් වෙන්න බැරි වුණ හින්දයි එහෙම වුණේ. මාධ්‍ය බලාපොරොත්තු වෙනවා හැමෝම ඒ අය කියන විදියට, ඒ අය හිතන විදියට ඉන්න ඕනෑ කියලා. ඒ ඉරෙන් පනිනවා නම් පන්න පන්නා ගහනවා. මට වුණේත් ඒක. එහෙම ගහන ගමන් මට කිව්වා, මාව හැදුවේ මාධ්‍ය කියලා. මම කිව්වා, අපරාදෙනේ මාව විතරක් හැදුවේ, තව මම වගේ දහයක් හැදුවා නම් ගොඩ නේ කියලා. ඔන්න ඉතින් පරල වුණා.

Lasith Malingaමාලිංගට වැරදුණේ කොතැනද?
සිංහයා ඉඹින්න බැරි වුණ එක. මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියා නම් මම මේ රටේ වීරයෙක්. එහෙනම් හරි ෂෝක්. එහෙම බොරු කරන්න මම ඉගෙන ගත්තේ නෑ. මට ඕනෑ වුණේ ඊයේ විකට් දෙකක් ගත්තා නම් අද හතරක් ගන්න. ඉතින් මාධ්‍යයට ඇවිත් අමුතු මූණක් දාගෙන ඉන්න මට වුවමනාවක් නෑ. පිට්ටනියෙත් ඉන් පිටතත් මේ මූණම තමයි මට තියෙන්නේ.

ඔබ විතරයි, ඔව්! මම සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ කිව්වේ.
ඔව්, ඒක අදත් කියනවා. රට වෙනුවෙන් කියලා බොරු කතා කියන්න මට බෑ. ජාතික කණ්ඩායම රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් අපි වෘත්තිකයෝ. මේක මගේ රස්සාව. උදේ ඉඳලා හවස් වෙනකම් පුහුණු වෙන්නේ රස්සාවට. මට ගෙවන්නේ ක්‍රීඩා කරනවාට. අපි හොයලා දීලායි වැටුපක් ලබන්නේ. අනෙක් හැම ක්‍රීඩකයාටම දෙන වැටුප තමයි මටත් දුන්නේ. හැබැයි කතා වුණේ මාලිංග සල්ලිවලට බෝල ගහනවා කියලා. එතකොට අනෙක් අය නිකංද ගහන්නේ. මට මේ අයට වඩා ශත පහක්වත් හම්බවුණේ නැහැ. ඒ වුණාට මම විතරයි සල්ලිවලට ගහලා තියෙන්නේ. මේක රස්සාවක්.

ඔබ මෝස්තරකාරයෙක්
ඔව්! හැබැයි බාහිරින් විතරයි.
මගේ මම මෝස්තර කරනවා. ඒක කාටවත් හානියක් නෑ. මාලිංගට අනුව මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ මොකකටද?
මම දන්න, මට තේරෙන විදියට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ පිටිය තුළ විනයක් ඇතිව ක්‍රීඩා කිරීමයි. මගේ ක්‍රිකට් දිවිය තුළ අදටත් මම අයි.සී.සී එකේ චෝදනාවකට ලක් වෙලා නෑ නීති විරෝධි කටයුත්තක් කළා කියලා. එහෙනම් මම ක්‍රිකට් මහත්තයෙක් නෙවෙයිද?

Lasith Malingaඔබ මාධ්‍ය එක්ක තරහද?
තරහකුත් නෑ, යාළුකමකුත් නෑ. හැබැයි මම කියන්නේ පොත්ත අත ගාලා අරටුව ගැන කියන්න එපා කියලා විතරයි. මම වෙන්න ඇති ලෝක ක්‍රිකට් ඉතිහාසයේම මේ තරම් බැණුම් අහන්නේ. ඒත් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට කරලා තියෙන දේත් ගොඩයි.
මාලිංග දැන් සල්ලිකාරයෙක්ද?
ඔව් සල්ලිකාරයෙක්.

ක්‍රිකට් නැති වුණාට පස්සේ?
ඒත් ඔලුව කෙළින් කරගෙන ඉන්න පුළුවන් පදනම මට තියෙනවා.

ක්‍රීඩකයෝ සුරා සූදුවෙන් තොරද?
අනෙක් අය ගැන කතා නොකර මම ගැන කියන්නම්. විශ්වාස කරන එකක් නෑ. මම මේ වනතුරු ෂැම්පේන් එකක් වත් බීලා නෑ. බීම කියන එක මගේ හිතකවත් නෑ. බීමට විරුද්ධත් නෑ. බොන එක බොන අයගේ අයිතියක්.

ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා. මාලිංගත් එයිද පසුකාලීනව?
කවදාවත් නෑ. මම දේශපාලනය වගේ උතුම් දෙයක් කරන්න සුදුසු නෑ. දේශය පාලනය කරන්න මම කවුද? කවදාවත් එන්නේ නෑ.

ඔබ පන්දුවට වැඳලා බෝල දාන්නේ ඇයි?
පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා. මම මට වඩා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක මාව ජීවත් කරනවා. මොකද ජීවත් වෙන්න අවශ්‍ය හැම සම්පතක්ම මට ලැබුණේ මේ පන්දුවෙන්. ඉතින් ඒකට වැඳීම පවක්ද?

ක්‍ෂේත්‍රයේ කතාවක් තියෙනවා, ඔබ මාපියන්වත් විදෙස් සංචාරවලට රැගෙන යනවා කියලා
ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල්
(රාවය -ටිරන් කුමාර බංගගමආරච්චි)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.