වහින්නට හැකිනම් ගිගුම් දී…

RAINEඑක්තරා සති අන්තයක උදයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක ලංකාවේ හිතවතෙකු මුණ ගැහුණා.

ආගිය තොරතුරු කතා කර සමුගන්නා අතරේ ඔහු එක්වරම මෙහෙම කිව්වා.

“ ඔක්කොමත් හරි මේ චුරු චුරු වැස්ස තමයි මට පෙන්නන්නම බැරි… ” ඇත්තටම ඔහුගේ මුහුණේ තිබුණේ දැඩි නොපහන් බවක්. පුස්තකාලයේ පුළුල් වීදුරු බිත්තියේ එපිටින් ඒ මොහොතේත් සිහින් වැහි බිදු ඇද වැටෙමින් තිබුණා. මේ සිරිපොද වැස්ස වැන්කුවර් නගරයට බොහොම හුරු පුරුදු දෙයක්. පුස්තකාලයට මායිම් වෙච්ච බිම් තීරුවේ මේපල් අතු රිකිළි අතරින් හීන් සීරුවට ඇද වැටෙන වැහි බිංදු මගේ හිතට චමත්කාරයක් ඇති කරමින් තිබුණත් මං ඔහුට විරුද්ධ වෙන්න ගියේ නැහැ. ඔහු මගෙන් සමුගෙන පුස්තකාලයේ දොරටුවෙන් පිටවෙලා ගියේ බොහොම තරහින් , “ මේ වැස්ස නිසා එළියට බහින්නවත් හිතෙන්නේ නැහැ ” කියලා කියන ගමන්.

ඒ සිදුවීම වුණු දවසේම පුස්කකාලයෙන් ගෙනාපු පොතක් කියවන්නට කලින් එහි පෙරවදන කියවන අතරේ හරිම අපූරු සිදුවීමක් ඇහැ ගැටුණා. වැන්කුවර්හි ජීවත්වන විදේශීය ලේඛකයකු වන එම ලේඛකයා තමන්ගේ පෙරවදනේ සදහන් කරලා තිබුණේ ඔහු වැන්කුවර් නගරයට ආදරය කරන එක් කාරණයක් නම් මේ අපූරු වැස්ස නිසා බවයි. ඒ පෙරවදන කියවද්දී මට සිහිපත් වුණේ මීට අවුරුදු ගණනාවකට කලින් සාහිත්‍ය මාසය වෙනුවෙන් කරපු පුවත්පත් සාකච්ඡාවක දී කේ. ජයතිලක සහ ජයකොඩි සෙනවිරත්න කියන ප්‍රසිද්ධ ලේඛකයන් දෙදෙනාම මට කිවුව කතාවක්. ඔවුන් කිවුවේ ඔවුන්ගේ නිර්මාණ ජීවිතය දිහා පසුපස හැරිලා බලද්දී ඔවුත් අතින් වැඩිපුරම පොත් පත් ලියැවිලා තියෙන්නේ වැහිබර කාල සීමාවලදී බව සිහිපත් වෙන බවයි. ඒ නිසා වැස්ස කියන්නේ තමන්ගේ නිර්මාණ ජීවිතයට ආශිර්වාදයක් කියලා තමයි ඔවුන් කිව්වේ.

වර්ෂාව කියන කාරණය එක් අයෙකුගේ ජීවිතයට ආශිර්වාදයක් වෙද්දී තවත් කෙනෙකුට ජීවිතය අප්‍රසන්න කරවන සිදුවීමක් වෙන හැටි ගැන හිතලා බලන එකත් හරිම අපූරු දෙයක්. වැස්ස විතරක් නෙමෙයි ජීවිතයේ අපිට හමුවෙන ඕනෑම දෙයක් දිහා අපි බලන දෘෂ්ටි කෝණය අපේ ජීවිත වලට කොයි තරම් බලපෑමක් කරනවා ද කියන කාරණය හිතාබලන්න වටින දෙයක්. බොහෝ පිරිසකගේ හදවතට සමීප ගායකයෙකු වන බොබ් මාලේ එක්තරා අවස්ථාවක හරිම ලස්සන කියමනක් කිව්වා. “ සමහරු වැස්ස වින්දනය කරති. අනෙක් අය ඔහේ වැස්සට තෙමෙති ”(Some people feel the rain, Others just get wet). බොබ් මාලේගේ ඒ කියමන හරිම ගැඹුරුයි. බොබ් මාලේ තමන්ගේ සංගීත සම්ප්‍රදාය තුළින් උත්සාහ කළේ කිසියම් සමාජීය පරිවර්තනයකට මුල පුරන්න. සමහර විට ඔහු ඒ කියමන කියන්නට ඇත්තේ ඒ අරමුණින් වෙන්නට ඕනේ. වැස්ස වගේම සංගීතය වුණත් වින්දනය කරන්න හැමෝටම හැකියාවක් නැහැ. ගීතයක්, නවකතාවක්, කවියක් විතරක් නෙමෙයි සුළගට වැනෙන බෝ කොළයක් වුනත් වින්දනය කිරීමේ හැකියාව හැම දෙනාටම පිහිටලා නැහැ. එක්තරා රටාවකට අතුගාලා තිබුණු පන්සලේ මිදුලේ වැලි මළුව දිහා බලාගෙන ඉදීමෙන්ම පමණක් රහත් වුණු හිමි නමක් ගැන කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. පොළොන්නරුවේ තිවංක පිළිම ගෙයි බුදු පිළිමය ඉදිරිපිටම තියෙන බිතු සිතුවම් අතර කාන්තාවක් හා පුරුෂයෙක් ලිංගික කටයුතුවල යෙදෙන සිතුවක් සහිතව අසංඛ්‍යවතී ජාතක කතාව සිතුවමට නැගිලා තියෙනවා. ජාතක කතා පොත් වහන්සේ ගත්තත් අද දවසේ අරුතින් ගත්තම ඉතාම අසභ්‍ය කතා කිහිපයක්ම එහි තියෙනවා. ඒත් වින්දනය කියන හැගීම අදට වඩා එදා අපිට තිබුණු නිසා ඒවායේ සැබෑ අරුතින් රස වින්දනය කිරීමේ හැකියාව පැරණි සමාජයට තිබුණා.

ශේක්ස්පියර් තමන්ගේ හැම්ලට් නාට්‍යයේ එක්තරා අවස්ථාවක මෙහෙම සදහන් කරනවා. හොද හෝ නරක කියා කිසිවක් නැහැ. අපි සිතන සිතිවිලි අනුවයි ඒක තීරණය වෙන්නේ. (There is nothing either good or bad, but thinking makes it so). මේ අදහස බුදුන් ලොවට කිවුවේ ශේක්ස්පියර්ලා බිහිවෙන්න බොහොම කලින්: “ ඔබ සිතන්නේ කුමක් ද යන්න අනුව ඔබේ ජීවිතය තීරණය වන්නේය ” (What you think, you become).

වින්දනය කියන කාරණාව කිසිසේත්ම සරල දෙයක් නෙමෙයි. යමක් වින්දනය කිරීමේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ විචාරශීලීව යමක් දිහා බලන්න පුළුවන්නම් විතරයි. එත් ජාතිකයක් විදියට අද අපි ඉන්නේ සියවස් ගණනාවකින් පිටුපස්සේ. සීගිරි සිතුවම් බිහිවුණු, කැටපත් පවුරේ කුරුටු ගී ලියැවුණු, තිවංක පිළිමගෙයි බිතු සිතුවම් නිමැවුණු, ජාතක පොත් වහන්සේ සිංහලයට නැගුණු යුගයේ සිටි ජාතිය අද නැහැ. ඒ වෙනුවට අද ඉතිරි වෙලා සිටින්නේ ඔපෙරා ශෛලියෙන් ගීයක් ගැයුවාම බුදු දහම විනාශ වෙලා යනවා කියලා හිතන, සිවුරක් දරාගෙන කෑ ගැසීමෙන් සිංහල බෞද්ධ ජාතිකත්වය සුරකින්නට පුළුවන් කියලා හිතන, එක් එක් දේශපාලකයන්ගේ වහලුන් වෙලා ඔවුන් වෙනුවෙන් කොදු ඇට පෙළ හතර අතට නවා ගන්නා නිවට නියාළු පරපුරක්. ජාතියක් විදියට මේ නිවට නියාළු බවට අද අපි කොයි තරම් වහළුන් වෙලා තියෙනවා ද කියනවා නම් අනේ අපි වහළුන් නේද කියලා හදුනා ගන්නවත් හැකියාවක් අද අපිට නැහැ. මේ නිසාම තමන්ගේ හිත ගත්ත දේශපාලන නායකයාගේ ඕනෑම අමනකමක් ඉතාම ඉහළින් ඔසවා තබන්නත්, තමන්ට විරුද්ධ දේශපාලන නායකයාගේ ඕනෑම යහපත් කාරියක් හෙළා දකින්නත් තරම් අපි ඉන්නේ මං මුළාවූ චින්තනයක. මේ නිසා ආණ්ඩු පෙරළුණත් කොයි කවරදාකවත් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ‍මුහුණු ටික වෙනස් වෙන්නේ නැහැ.

වින්දනය කිරීමේ හැකියාව මේ විදියට අපෙන් ක්ෂය වෙලා ගිහින් තියෙන නිසා දේශපාලනයෙන් විතරක් නෙමෙයි, කලාවෙන් සංගීතයෙන් බණ දහමින් පවා ඕනෑම කතක්කඩියෙකුට අපේ පරපුර මන මෝහනය කරවන්න පුළුවන්. උද්ඝෝෂණ පෙළපාලිවල දේශපාලන පාට් දමන චීවරධාරීන් අහවල් සේනාව, අහවල් බලකාය, අහවල් බලය ආදී වූ විවිධ නම්වලින් සංවිධාන බිහි කරද්දී ඒවා පසුපස දුවන්නට තරම් පරපුරක් බිහිවෙලා තිය‍න්නේත් රස විදීම සම්බන්ධයෙන් අපිට තියෙන මේ මූලික ආබාධය නිසයි. රූපවාහිනියේ ගුවන්විදුලියේ කැමරාව ඉදිරියේ පෙනී සිටිමින් ජනප්‍රිය වෙච්ච, ඒ වගේම භාවනා, අධ්‍යාත්මික වැඩසටහන් මගින් ජනප්‍රිය වෙච්ච බොහොම ප්‍රසිද්ධ ඇතැම් හිමිවරුන්ගේ බණ අහන්නට ලැබෙද්දිත් දැනෙන්නේ අපේ මිනිසුන්ව මුලාකරවන්න කොයි තරම් පහසුවෙන් පුළුවන් ද කියන කාරණයයි. දුවන්නන් වාලේ දුවනවා මිසක් තමන් දුවන්නේ කවුරුන් පසුපස්සේ ද තමන්ට මග පෙන්වන අධ්‍යාත්මික ගුරුවරයා මේ කියන්නේ බුද්ධියට ගෝචර වන කරුණු ද කියලාවත් හිතන්නට තරම් අඩුම තරමින් කාලාම සුත්‍රයේ සරල මූලධර්ම කිහිපයවත් තමන්ගේ එදිනෙදා ජීවිතයට සමීප කරගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ.

කිසිම කෙනෙගේ චින්තනමය වහලෙකු නොවී විචාර බුද්ධියෙන් යමක් දිහා බලන්නට එහෙමත් නැතිනම් යමක් සැබෑ ලෙසින්ම විදින්නට අපිට හැකිනම් දේශපාලකයන්ට, කලාකරුවන් යැයි කියාගත් කලාහොරුන්ට, චීවරධාරීන්ට විතරක් නෙමෙයි ‍අධ්‍යාත්මික නායකයන් යැයි කියාගත් ඔය ‍බොහොමයක් පිරිසට අපේ මනසට රිංගලා අපිව වහළුන් බවට පත්කරවන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒත් මේ චින්තනමය වහල් භාවයට අපි කොයි තරම් ඇබ්බැහි වෙලා තියෙවාද කියනවා වහල් කදවුරෙන් පිටත තියෙන නිදහස් ‍ලෝකයේ සුවද කොයි තරම් ද කියලා හිතන්නවත් අපි බයයි. අපේ ඔළුගෙඩි ඇතුළේ අපිම නිර්මාණය කරගෙන තියෙන මේ දැවැන්ත ප්‍රතිරූප බිද දමන තාක් ඒ නිදහසේ සුවද අපිට උරුම වෙන්නේ නැහැ. ඒත් ඒ ප්‍රතිරූප බිද දමා අනුනේ ඔළු ගෙඩි තුළින් වෙනුවට අපේම මනසින් ලෝකය දිහා බලන්නට පුරුදු පුහුණු වෙච්ච දවසක යහපත් රටක් යහපත් සමාජයක් වගේම නිදහස් නිවහල් මිනිසෙක් බිහිවේවි.

සමන් කලුආරච්චි

( සිලිලාර බ්ලෝග් අඩවියෙන් උපුටා ගැනුණි.)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.