යෝෂිත විසි හත් වරක් කොහේ ගියාද?

 

 

Yoshitha-Rajapaksa

 

කළු සල්ලි සුදු කිරීමේ චෝදනාව යටතේ අධිකරණයෙන් ඇප ලබා සිටින යෝෂිත රාජපක්ෂ 2006 අවසානයේ නාවික හමුදාවට බැඳීමෙන් පසු 2014 වර්ෂය අවසන් වන විට විදේශ ගමන් 27කට එක් වී ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළි වේ. මේ සඳහා නිල අනුමැතිය ලබා දී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය.

ඔහු වැඩි වශයෙන් ගොස් ඇත්තේ යුක්රේනයට වන අතර එම වාර සංඛ්‍යාව 11ක්ය. එක්සත් රාජධානිට අවස්ථා තුනකදීද, කොරියාවට හා ඕස්ට්‍රේලියාවට අවස්ථා දෙක බැගින්ද ඇමෙරිකාව, ඉරානය ,හොංකොං, ජපානය, මැලේසියාව, මියන්මාරය,රුසියාව සහ නවසීලන්තයට එක් අවස්ථාව බැගින්ද විදේශගත වී ඇත.

විදේශ පුහුණුවීම් සඳහා අවස්ථා 12කදී සහ රග්බි ජාතික කණ්ඩායම නියෝජනය කරන බව පවසා අවස්ථා 6කදීද පෞද්ගලික සංචාර අවස්ථා 3කදීද රාජකාරි, විශේෂ රාජපකාරී සහ ජාතික වෙඩි තැබීම් සංචිතය නියෝජනය කරමින් එක් අවස්ථාව බැගින්ද විදේශගතවී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නකයට ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ලබා දුන් පිළිතුරකින් මෙම තොරතුරු අනාවරණය වේ.

යෝෂිත රාජපක්ෂ යුක්රේනයේ ආරක්ෂක පශ්චාත් උපාධියක් හදාරන බව ප්‍රකාශ කර තිබුණද එයට සමාන්තර කාලසීමාව තුළදී යුක්රේනයේ කැරළිකරුවන්ට මෙරට සංවිධානයකින් අවි ආයුධ සැපයූ බවට චෝදනා එල්ල වී තිබිණ. මෙය මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් පසුගිය ආණ්ඩුවෙන් හෝ මෙම ආණ්ඩුවෙන් සිදු කර නොමැත.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.