අවුරුදු පහළොවකට පස්සෙ… ( සතියේ කෙටි කතාව)

ART!මම හිටියෙ පෝළිමේ අන්තිමට. මට ඉදිරියෙන් පස් දෙනෙක් හිටියා. චීන මුහුණු තියන කාන්තාවන් තිදෙනෙක්, කළු අප‍්‍රිකානුවෙක් සහ බටහිර පෙනුම තියන දෙදෙනෙක්. දැන් සැමතැනම සංචාරකයො පිරිලා. නුවර වීදිවලදි ස්වදේශිකයින්ට වැඩිය දකින්න ලැබෙන්නෙ විදේශිකයො. මේක උපන් රට වුනාට මමත් දැන් විදේශිකයෙක්. පුරවැසිකම තියෙන්නෙ එහෙ. අතේ තියන මුදල් වියදමට ඇතත් මට තවත් යූරෝ දෙසීයක් විතර මාරුකරගන්න හිතුන හින්දයි පොළිමට එක්වුනේ. අවශ්‍යතාවක් නැතත් සාක්කුවෙ සල්ලි තියන කොට තනියක් නෑ වගේ ගතියක් දැනෙනවා හිතට.ART
කෙටිම පෝලිමක් තියෙන්නෙ විදේශමුදල් හුවමාරු කවුන්ටරේ විතරයි. සාමාන්‍ය ගනුදෙනු කවුන්ටර වල පෝළිම් හරි දිගයි. මම මට දකුණු පැත්තෙ බිත්තියෙ තියන පින්තූරයක් දිහා බැලූවා. බැංකුවෙන් ණය මුදලක් අරන් අළුත් කාර් එකක් මිළදී ගත්ත පවුලක ණය වීමේ සතුට ඒ පින්තූරයෙන් ඉතිරෙනවා. ඒ පින්තූරය ළග කවුන්ටරයෙන් මුදල් අරන් ඉවත්ව යන කාන්තාව මම දැක්කෙ එතකොට.
සෙනඟ මැද්දෙ ඇය හිටියෙ මට පිටුපාලා. අපි අතර දුර යාර දහයක් විතර ඇති. සෙනඟ අතරෙ හිඩැසකින් ඇයව මට පැහැදිලිව පෙනුනෙ නෑ.යන්තමින් පෙනුනෙ ඇගේ පිට සහ ගෙලට මදක් ඉහළින් උඩට නමා සකස් කළ කෙහෙරළ. එක පාරටම හුරු පුරුදු දසුනක මතකය අවදිව මගේ හිත අස්සේ විදුලියක් කෙටුවා. එතකොටම ඒ දසුන මුවාකරමින් තඩි උස මිනිහෙක් ඒ හිඩැස වසා දැමුවා.
ඒ ඇයමදැයි සැක හැර දැනගන්නට මට ඕනැ වුනා. මම පෝලිමෙන් පැනලා ඒ දිහාවට ගියා. එකකොට ඇය එතන නැහැ. එළියට යන දොරටුව තිබුනෙ එතනමයි. මම එළියට ගිහින් දෙපැත්ත බැලූවා. සිටි සෙන්ටර් වෙළඳ සංකීර්ණයේ බැංකු ශාකා සියල්ලම තිබුනෙ එකම මහලක. ඒවා අතර එක රොත්තට දෙපසට ඇවිද යන සෙනඟ අතරේ ඇය සොයමින් එහෙ මෙහෙ බැලූවා.සෑහෙන දුරකින් දකුණු දෙසට ඇවිද යමින් සිටි ඇය එවර මා හඳුනා ගත්තේ ඇගේ ගමනේ රිද්මයෙන්. ඔව් මේ ඇයම විය යුතුය. මා ඇය හඹා ගියේ දෙතුන් දෙනෙකුගේ සිරුරු වලද ගැටෙමින්. මහත ගැහැනියක් නැවතී යමක් සැරෙන් කිව්වද මගේ අවධානය යොමුවී තිබුනේ ඉදිරියෙන් ඇවිදන්නිය වෙතයි.
අහස් නිල් පැහැති ඔසරියකින් සැරසී සිටි ඇය ගමන් කරමින් සිටියේ සෙමෙන්. සතුටක් තිගැස්මක් සහ බියක් සමඟ සිහින් දහඩියකින් මගේ සර්වාංගය තෙත්ව යන බවක් මට දැනෙමින් තිබුණා. මා ඈ අසලට ළං වන විටම ඇය ඉහළ මාලයට යන දුවන පඩිපෙළට ගොඩවුනා. මම ඊට ගොඩවුනේ ඇයට පඩි තුන හතරකට පසුවයි. ඇය පඩිපෙළින් බැස ඉදිරියට යද්දී මා ඇය පසුකර යමින් ඇගේ මුහුණ දෙස බැලූවේ මේ ඇයම දැයි සැක හැර දැන ගැනීමටයි.
සැබැවින්ම මෙය අහම්බ ආශ්චර්යයක්. අවුරුදු පහළොවකට පස්සෙ… මේ ඇයම තමයි. ඇය ටිකක් වෙනස්වෙලා. තුරුණු වියෙන් චුට්ටක් විතර ඈත් වෙලා. පසෙක ඇති වෙළඳ ප‍්‍රදර්ශනා ගාරයක යෝධ කැඩපත් බිත්තියකින් මට මාව පෙනෙනවා. අතරින් පතර සුදු පැහැයට හැරුණු හිස,තරමක් ඉදිරියට නෙරා ආ කුස,ගෙවුණු අවුරුදු පහළොවක කාලය මාවත් මැදිවියට අරං ගිහිල්ලා.
දැන් මම ගමන් කරන්නෙ ඇයට සමාන්තරව. ඒත් ඇගේ අවධානය මා වෙත යොමුව තිබුනේ නෑ. මගේ හදවතේ ලප් ඩප් රිද්මය ගිඩි ගිඩි හඬකට මාරුවී මට හයියෙන් ඇහෙන්න පටන් ගත්තා.හරියට දෙමෝලෙන් පිටිකොටනවා වගේ. උගුර කටත් කාන්තාරයක් වගේ වේලිලා.
‘‘සරෝජිනී’’
මම ඇය ඉදිරියෙ හිට ගත්තා. සිය ගමන අවුරා නැඟුණු බාධක දෙස නොරුස්සුම් බැල්මක් හෙළමින් ඇය නැවතුනා. විසල්ව අයාගත් ඇගේ දෑසෙහි රැුඳී තිබුනෙ අදහාගත නොහැකි තරමේ විශ්මයක්. ඇගේ මුහුණ සුදුමැලිවුනා. දෙතොල සෙමෙන් වෙව්ලන්නට පටන් ගත්තා. දෙපස කෙස් අඩුවීම නිසා කලින් තිබුනු ප‍්‍රමානයටත් වඩා ටිකක් පළල්ව තිබුනු නළල් තලයේ රැුලි කීපයක් ඇඳුනා. දෑස් අග කෙමෙන් තෙත්වනු පෙනුනා. තප්පර තිහ හතලිහක්ම ඇය ඒ ඉරියව්වෙන්ම සිටියා ඊට පස්සෙ දෑස පියාගෙන දිග සුසුමක් හෙළුවා.
අපි දෙන්නා හිටගෙන ඉන්නෙ මිනිස්සු යන එන තීරුව මැද්දෙ. ඇය සෙමෙන් මිනිසුන්ට ඉඩදෙමින් අයිනකට වුනා. මමත් ඇය අනුව ගියා. ඇය හිටියෙ බිම බලාගෙන .කතාවකට මුල පුරන්න මම වචන හොයමින් හිටියා. විනාඩි දෙකක විතර නිහඬ කාලයක් ගෙවී ගියා. හරියට මළගිය ඇත්තන් සිහිපත් කරන නිශ්ශබ්ද කාලයක් වගේ. මම කතාකරන්න පටන් ගත්තෙ ඒ නිහඬතාව තවත් දරාගන්න බැරි නිසයි.
‘‘අවුරුදු පහළොවකට පස්සෙ ඔයාව දැක්කෙ…’’
මම කිව්වා.
‘‘අවුරුදු පහළොවයි.. මාස තුනයි සති දෙකයි…’’
එයා එක පාරටම කියද්දි මාව හීතල වෙලා ගියා.
‘‘ හරියටම දෙදාස් එකේ ජනවාරි පහළොස් වෙනිදා….’’
ඇය දිනයත් මතක් කළා. සිද්ධිය මතක තිබුනට මට දිනය මතක තිබුනෙ නෑ. මම ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයට අනුව හදපු ගොඩනැගිල්ලෙ යෝධ කුලූනක් ළඟට වෙලා හිටියෙ. එයා කර්නල් මහේන්ද්‍ර වික‍්‍රමසිංහත් එක්ක මාව පහුකරගෙන ඇවිදගෙන ගියෙ මගෙ දිහා බලන්නෙවත් නැතිව. එයා ඇඳලා හිටියෙ කළු පාට බෝඩරයක් තියන සුදුපාට සාරියක්. කර්නල්ගෙ පැජරෝවට නඟින්න ඉස්සෙල්ලා ඇය ආපහු හැරිලා මගෙ දිහා බැලූවා. ශෝකී බවක් මෙන්ම ආදරණීය බවක් ඒ බැල්මෙ ගැබ්වෙලා තිබුනා. ඇය පිළිබඳ බොහෝ මතක කාලය විසින් මකා දැමුවද ඒ බැල්ම මට කිසිදාක අමතක වුනේ නෑ. ඉඳ හිට ඇයව සිහිවන හැම මොහොතකම ඇගේ රූපයෙහි සංකේතය ලෙසින් මැවෙන්නේ ඒ අවසන් බැල්මයි.
‘‘ඔයා දැන් නුවරද ඉන්නෙ?..’’
මම ඇගේ අතැඟිලි දෙස හොරෙන් බලමින් ඇහුවා. වම් අතේ එල්ලගෙන හිටපු පොඩි බෑග් එකට එයාගෙ ඇඟිළි හරියට පෙනුනෙ නෑ.
‘‘මම දැන් උගන්නන්නෙ මෙහෙ. මහමායා එකේ..’’
නුවර මහමායාව එයා ඉගන ගත්ත ඉස්කෝලෙ. එයා මහමායාවෙ. මම ධර්මරාජෙ. මේ නුවර හැම තැනම අපේ පේ‍්‍රම පුරාණයේ නටඹුන්.
ඉස්කෝලෙ යන කාලෙ සරෝජිනීලා හිටියෙ පේරාදෙනියෙ රේල්ලූවෙ කොවාටස් වල. පස්සෙ එයාලා කැලණියෙ එයාලගෙ ගමේ පදිංචියට ගියා. මීට අවුරුදු පහළොවකට ඉස්සර එයා උගන්නමින් හිටියෙ කොටහේනෙ බාලිකාවෙ. දැන් එයා අපහු නුවර පදිංචියට ඇවිත්.
‘‘හස්බන් නුවරද?’’
ඒ පාර තමයි එයා හිස ඔසවලා මගේ දිහා බැලූවෙ. ඒ බැල්මෙ තිබුනෙ මම අනවශ්‍ය ප‍්‍රශ්නයක් ඇහුවා වගේ අප‍්‍රසාදයක්. මම ආයෙමත් එයාගෙ වම් අතේ ඇඟිලි දිහා බැලූවා. එයාට ඒක දැනුනද කොහෙද.
‘‘මම බැන්දෙ නෑ…’’
ඇය වම් අතේ ඇඟිලි පෙනෙන්න බෑගය දකුණු අතට මාරුකරන ගමන් කිව්වා.
‘‘නුවර කවුද දැන් ඉන්නෙ.? ’’
‘‘කවුරුත් නෑ..’’
‘‘එතකොට?’’
‘‘මම මෙහෙ ඇනෙක්ස් එකක තනියම ඉන්නවා….. රවී දැන් ලංකාවෙද පදිංචි?’’
ඇය ඒ කතාව දිගග් ස්සන්න කැමති වුනේ නෑ.
‘‘නෑ..නෙදර්ලන්තෙ… මම ලංකාවට ඇවිත් සති දෙකක් වෙනවා..’’
‘‘ෆැමිලි එකම ආවද?’’
ඇය ඒ ප‍්‍රශ්නෙ ඇහුවෙ ඉතා හෙමින්.
‘‘මට ෆැමිලි එකක් නෑ..’’
ඇය කෙළින්ම මගේ මුහුණ වෙතට ප‍්‍රශ්නාර්ථ බැල්මක් එල්ල කළා.
‘‘තවමත් මට ඉන්නෙ මං විතරයි …’’
මගේ පිළිතුරට ඇගේ මුහුණේ වෙනසක් වූවා දැයි සෙවූමුත් එවැන්නක් හඳුනාගන්නට තිබුනේ නැහැ. දෙනෝ දහසක් දෙනා එහෙ මෙහෙ යන එන මඟක මෙලෙස කතා බහ කිරීම මහත් අපහසුවක්.
‘‘සරෝජිනී ඔයාගෙ අකමැත්තක් නැත්නම් අපි කොහාට හරි ගිහින් ටිකක් ඉඳගන කතාකරමුද?’’
ඇය අකමැත්තක් පෙන්නුවෙ නෑ. සිටි සෙන්ටර් එකෙන් දළදා වීදියට පිවිසෙනකොටම මගේ නෙත ගැටුනෙ බේක් හවුස් එක. එතන අපේ පේ‍්‍රම පුරාණයේ බොහෝ මතක සටහන් ඇති තැනක්. විජේකෝන් සර්ගෙ කෙමෙස්ටි‍්‍ර ක්ලාස් යන දවස්වල වාද විවාද, කලා සංවාද, දේශපාලන සංවාද සහ පේ‍්‍රම සංවාද වලට අපි යාළුවො කට්ටිය තොරාගත්තෙ බේක් හවුස්එකේ උඩ තට්ටුව. සරෝජිනියි මමයි මුලින්ම මෙතෙන්ට එනකොට මට දහනවයයි. සරෝජිනීට දහ අටයි.
එතන දැන් හුඟක් වෙනස්වෙලා. වැඩිපුරම හිටියෙ විදේශීය සංචාරකයො. එහි දකුණු කෙලවරේ දළදා වීදියට මුහුණලා ඇති ඉස්සර අපි පෙම් මුල්ල කියලා හඳුන්වපු තැන මේසයක් අපි දෙන්නට හිස්ව තිබුනා. අපි අවුරුදු පහළොවකට පස්සෙ මුහුණට මුහුණ ලා හිඳගත්තා.
සරෝජිනී හිටියා වගේමයි. වියපත් වීමේ සලකුණු හේතුවෙන් පරිනත පෙනුමක් ඇයට ලැබී තිබුනා.මට දැන් හතලිස් පහයි. ඒ කියන්නෙ සරෝජිනීට හතලිස් හතරයි. ඔව් දැන් අපි වයසයි.
ඒ වෙනකොට දවල් දෙකට ආසන්නයි. හීන් බඩගින්නක් මෝරමින් තිබුනා.තරුණ වේටර් වරයෙක් මෙනූ පතක් මේසය මත තිබ්බා.
‘‘ අපි මොනවා හරි කමු’’
ඇය කැමැත්තක් හෝ අකමැත්තක් ප‍්‍රකාශ කළේ නැහැ.
‘‘සී ෆුඞ් ප‍්‍රයිඞ් රයිස් වෙජිටබල් චොප්සි ඇන්ඞ් ප්‍රෝන්ස් ඩෙවල්..’’
මම වට්ටෝරුව දෙස නොබලාම ඕඩර් කළා. සරෝජිනී පුදුමයෙන් වගේ මගේ දිහා බලාගෙන
හිටියා.
‘‘සර් ඩි‍්‍රන්ක්ස්…?’’
‘‘මැඩම්ට නෙල්ලි ක‍්‍රෂ් එකක්.. මට ලයිම් ජූස් එකක්….’’
සරෝජිනීගෙ ඇස්වලින් කඳුළු එළියට පැන්නා. ඇය ලේන්සුව අරන් දෑස්වලට තියා තද කරද්දි.සිහින් ඉකි බිඳිමකුත් මට යාන්තමින් ඇසුනා. නෙල්ලි ක‍්‍රෂ්, ලයිම් ජූස්, ඒ දවස්වල අපි අතරෙ තිබුනු එකම නොගැලපීම. ඇය අමාරුවෙන් ඉකිය නවතාගෙන මගෙ දිහා බැලූවා.
‘‘ඔයා නුවරට ඇවිත් හුඟක් කල්ද..?’’
මම ඇහුවා.
‘‘අවුරුදු දෙකක් වෙනවා…අම්මා නැතිවුනාට පස්සෙ මම නුවරට ආවා…’’
‘‘අම්මා නැතිවුනාද..?’’
සරෝජිනීගෙ පාර්ශවයෙන් මට ටිකක් හරි කරුණාවක් පෙන්නුනෙ අම්මා විතරයි.
‘‘එයා අංශබාගෙන් ඔත්පල වෙලා අවුරුදු හතක්ම එක තැන හිටියා. අම්මා හින්දා තමයි ඔච්චර කාලයක්වත් මම එහෙ හිටියෙ.’’
’’එතකොට කර්නල් මහේන්ද්‍ර වික‍්‍රමසිංහ..?’’
හැමදාමත් මම ඔහුව හඳුන්වන්නෙ තනතුර සහිත සම්පූර්ණ නමින්මයි.
‘‘ඒ ගොල්ලන්ගෙ පදේට නටන්න ගිහින් තමයි මේ හැම දෙයක්ම වුනේ. මම හුඟක් දේවල් තේරුම් ගත්තෙ පහුවෙලා. එයාටයි එයාගෙ නෝනටයි ඕනැ වුනේ මාව තවත් එයාලගෙ පදේට නටවන්න. මම ඒ ගෙදර ඔච්චර කාලයක් හරි ඉවසගෙන හිටියෙ අම්මා හින්දා. එයා මගෙ එකම සහෝදරයා තමයි. ඒත් කරන්න දෙයක් නෑ. ඒ ගොල්ලොත් එක්ක තිබ්බ සේරම සම්බන්ධකම් අම්මගෙ මරණෙන් පස්සෙ මම අත්හැරියා.’’
‘‘මම හිතුවෙ ඔයා බැඳලා ඇති කියලා…’’
‘‘අයියයි මායි අතරෙ ගැටුම් අතිවුනෙත් ඒකයි. අවුරුදු දහයක් දොළහක් තිස්සෙම එයා එක එක යෝජනා ගෙනාව. මම එකකටවත් කැමතිවුනේ නෑ..’’
‘‘ඇයි?’’
ඇය එකපාරටම මගෙ ඇස්දෙක දිහා කෙළින් බැලූවා. ඇගේ දෑස පත්ලේ දිලිසෙමින් තිබුනෙ මගෙ ප‍්‍රශ්නෙට උත්තරේ කියලයි මට හිතුනෙ.
‘‘එහෙම දේකට හිත හදාගන්න මට බැරිවුනා…’’
ඇය සෙමෙන් කිව්වා. එතකොටම වේටර් දුම් දමන කෑම පිඟන් අරන් ආවා. ඒ දවස්වල ඒක සරෝජිනීගෙ ප‍්‍රියතම තේරීම. ඒත් අද කිසිම උනන්දුවක් පෙනෙන්න නෑ.
මේකනම් පුදුම අහම්බයක්. ලැබුණු සති තුනේ නිවාඩුවට ටිබෙට්වලට යන්නයි මම සැලසුම්කරගෙන හිටියෙ. ඒත් අන්තිම මොහොතෙ මගෙ වෛද්‍ය වරයා මට ඒ ගමනට අනතුරු ඇෙඟව්වා. නිතර ඇදුම රෝගයෙන් පෙළෙන නිසා ඒ ගමන මගේ පෙනහළු වලට ඔරොත්තු නොදෙයි කියලයි ඔහු කිව්වෙ.
ලංකාවට එන්න මම හීනෙකින්වත් හිතුවෙ නෑ. මට ලංකාව ඒ තරමටම එපා වෙලා තිබුනෙ. පුංචිකාලෙ ඉඳන් මට වැදිලා තිබුනු අවජාතකයා කියන හංවඩුව අමාරුවෙන් ගත්ත උපාධියෙන්වත් ඊට පස්සෙ ලැබුණු ගුරු වෘත්තියෙන්වත් වහගන්න ලැබුනෙ නෑ.
ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකම ඒක ඉස්සරහට පැන්නා. සියලූ බිඳ වැටීම් කඩා වැටීම් වුනේ ඒ හංවඩුවත් එක්ක. හැම කරදරයක්ම ආවෙ එකට. සරෝජිනීගේ වියෝව විඳිමින් ඉන්න කාලෙ තමයි අම්මා නැතිවුනේ. ඊට පස්සෙ මේ අවජාතකයාට ලංකාවෙ දාලා යන්න බැරි කිසි දෙයක් තිබුනෙත් නෑ. අහිකුන්ටක ජීවිතේ පටන් ගත්තෙ ඊට පස්සෙ. මුලින්ම ගියේ ඩුබායි වලට. ඩුබායි වලින් ඉතාලියට, ඉතාලියෙන් ප‍්‍රංශයට, ඊට පස්සෙ එංගලන්තෙට, එංගලන්තෙන් නෙදර්ලන්තයට, තාවකාලික නවාතැන් පොළවල් හොයමින් මම කාලෙන් කාලෙට එක එක රස්සාවල් කරමින් රටින් රටට මාරුවුනා.
ටිබෙට් සංචාරය අවලංගුවුනාට පස්සෙ මට එක පාරටම හිතුනා ලංකාවට එන්න. ඒකත් පුදුම අහම්බ සිතුවිල්ලක්.
ඇයි මම ලංකාවට ආවෙ?. අම්මා මැරුණට පස්සෙ මගෙ මව් පාර්ශවයෙ නෑදෑයො අතරෙ මගෙ අවජාතක භාවය සිල්ලර මාතෘතාවක් වුන නිසා ඒ සම්බන්ධතා සියල්ල මම අත්හැරලා දාලා තිබුනෙ. පිය පාර්ශවයක් ගැන මම දැනගෙන හිටියෙත් නෑ. මගේ මිත‍්‍ර සම්බන්ධතා සියල්ල අවුරුදු පහළොවක්ම යාවත්කාලීන වුනේ නැති නිසා යාළුවොත් අමතක කරලයි තිබුනෙ.
ඒත් මට ලංකාවට එන්න හිතුනා. ඒ ඇයි? මං දන්නෙ නෑ .අමිහිරි මතකය පහුරු ගාන්න නෙමෙයි. ටිකක් නිවිහැල්ලෙ සංචාරකයෙක් වගේ ලංකාවෙ හුළං ටිකක් විඳින්න මට ආසා හිතුනා.
දඹුල්ලෙ සතියයි. ඊට පස්සෙ සතිය හපුතලේ. අන්තිම සතියෙ ගාල්ලට යන්නයි හිතාගෙන හිටියෙ. ඒත් ඊයෙ උදේ හපුතලේ බස්නැවතුම් පළට ගාල්ලෙ බස් එකට කලින් නුවර බස් එකක් ආවා. එක පාරටම මට නුවර එන්න හිතුනා. ඒ ඇයි? මම දන්නෙ නෑ. ඒක අහම්බයක්. මම හිතන්නෙ අතීත නටඹුන් අතරෙ සැරිසරන්න මට හිතෙන්න ඇති. ඒත් ඒ නටඹුන් නුවර නටඹුන් මතක අතරෙ සරෝජිනී මුණ ගැහෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. මේක නම් පුදුමාකාර අහම්බයක්.
‘‘ඔයා දැන් මොකද කරන්නෙ…’’
ඇය මගෙ පිඟානට ඉස්සො බෙදන ගමන් ඇහුවා.
‘‘මම එහෙ රේඩියෝ ස්ටේෂන් එකක ප්‍රෝග‍්‍රම් ප‍්‍රඩියුසර් කෙනෙක් හැටියට වැඩකරනවා..’’
‘‘ඒ කාලෙත් ඔයාට රේඩියෝ පිස්සුවක් තිබුනනෙ… මට තවම මතකයි ඔයා ලියපු ගුවන් විදුලි රඟමඬලවල්…’’
පැයක් විතර අපි එහෙම ඉන්න ඇති. හරියට නන්නාඳුනන දෙන්නෙක් ඉස්සෙල්ලම හමුවුනාම වගේ ආගන්තුක සබකෝලයක් දැනෙමින් තිබුනා. වචන පාවිච්චි වුනෙත් හරි පරිස්සමෙන්. අපි අපේ ජීවිත වල මතු පිට තොරතුරු විතරයි කතා කළේ. සනීප වෙච්චි තුවාල පාරවලා රිද්ද ගන්නෙ ඇයි කියලා අපි දෙන්නටම හිතෙන්න ඇති. අන්තිමට කතාකරන්න වචන නැතිව දෙන්නා අතරෙ විනාඩි පහක විතර දීර්ග නිහැඬියාවක් තිබුනා. අතීතය සිහිපත් වෙමින් කෙමෙන් කෙමෙන් සිතට දැනෙන පේ‍්‍රමණීය සහ සරාගී සිතුවිලි වලකාගන්න ඕනැ නිසා මම මහ පාර දිහා බලාගෙන හිටියා. සරෝජිනීගෙත් ඇස් තිබුනෙ මහපාරෙ.
‘‘අපි යමු රවී…’’
ඒ නිහඬතාව දරාගන්න බැරිම තැන සරෝජිනී කිව්වා.
‘‘ඔයා කවදද රවී ආපහු යන්නෙ…?’’
තරප්පු පෙළ බසින ගමන් ඇය ඇහුවා.
‘‘තව දවස් තුනකින්….’’
බේක් හවුස් එක ඉස්සරහා අපි මොහොතක් නැවතිලා සමුගන්නෙ කොහොමද කියලා හිතමින් හිටියා.
‘‘ හරියට හීනයක් වගේ රවී.. මෙහෙම හරි දකින්න ලැබුනනෙ… ඒ ඇති.. .මම යන්නම්…’’
එයා දළදා වීදිය දිගේ උඩහට ගියා. එයාගෙ අතින් අල්ලගෙන සමු ගන්න මට ඕනැ කමක් තිබුනත් ඊට ඉඩක් නොතියාම එයා ගියා .මම දළදා වීදියෙ පහළට හැරුනා.
මහා පසුතැවිල්ලකින් හිත බරවෙලා විශාල තනිකමක් මට දැනෙමින් තිබුනා. චම්පා ස්ටෝර්ස් එකත් පහුකරලා පහළට ගිහින් මම ආපහු හැරිලා එයා දිහාවෙ බැලූවා. එයා වීදියෙ ඉහළ කෙළවර බැංකුව ළඟ නැවතිලා මම යන දිහාව බලාගෙන ඉන්නවා. මට එක පාරටම මතක් වුනේ මීට අවුරුදු පහළොවයි මාස තුනයි සති දෙකකට ඉස්සර දවසක එයා කර්නල් මහේන්ද්‍ර වික‍්‍රමසිංහගෙ පැජරෝවට නඟින්න ගිහින් මගෙ දිහා බලපු බැල්ම. මම ඉදිරියට ගියා. එයා මම එනකම් නැවතිලා හිටියා.
‘‘සරෝජිනී…අපි කසාද බඳිමු…’’
මම කිව්වා. එයා පුදුමෙන් වගේ මගෙ දිහා බලාගෙන හිටියා.
‘‘මේ දැන්…?’’
එයා ඔර්ලොසුව දිහා බලමින් ඇහුවා.
‘‘ඔව් මේ දැන්….’’
‘‘දැන් අපි වයසයි රවී…’’
මහපාරත් පදික වේදිකාවත් වෙන්කරන යකඩ වැටට හේත්තු වෙමින් එයා කිව්වා.
‘‘වයසට යනකොට තමයි සරෝජිනී මිනිසුන්ට පාළුව තනිකම තදින් දැනෙන්නෙ.’’
‘‘අපි එක පාරක් කසාද බැඳලා දික් කසාද වෙච්ච දෙන්නෙක් රවී…’’
එයා කිව්වෙ දුකෙන් වගේ. හිතුවක්කාර විවාහය, නුගේගොඩ ජම්බුගස්මුල්ල පාරෙ පුංචි ඇනෙක්සියක ගතකරපු සුන්දර මතක. අඬදබර රන්ඩු සරුවල් වලින් පිරුනු අසුන්දර මතකය, ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයට ඉදිවුනු උසාවිය, කර්නල් මහේන්ද්‍ර වික‍්‍රමසිංහ, මගේ මනසේ රූප රාමු ගොඩක් එකිනෙක මත ෙඡ්දනය වන්නට පටන් ගත්තා.
‘‘දික්කසාද වෙච්ච දෙන්නෙකුට ආයෙත් බඳින්න පුළුවන්ද?’’
‘‘ඇයි බැරි…’’
‘‘දැන් වෙලාව තුනයි දහයයි…’’
සරෝජිනී කීවෙ ඔර්ලෝසුව දිහා බලමින්.
‘‘කච්චේරිය වහන්නෙ හතර හමාරට..තව වෙලා තියනවා..’’
මම ඉස්සර වුනා. එයා මගෙ අතේ එල්ලූනා. අපි දළදා වීදිය දිගේ පහළට ගිහින් යටිනුවර වීදියට හැරුනා.

චූලාභය ශාන්ත කුමාර හේරත්. 

( ලක්බිම පුවත්පතේ මංජුසාව අතිරේකයේ පලවූ කෙටි කතාවකි)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.