ණය ගැතියී සදා සුරම්‍ය හදවතට

පෙට්‍රල් බෝම්බ සද්දේ එනකොට මට දැනුනේ පුදුම මර බයක්. අපි මැරුණා කියලා තමයි මට හිතුනේ. ඉස්සරහ ගෙදර සුජීවනී නංගි එයාගේ ගෙදරට අපිව දා ගත්තේ නැත්නම් අපිට වෙන දේ දන්නේ දෙයියෝ විතරයි. අපේ පවුලත් එක්ක මුස්ලිම් පවුල් තුනක් මේ ගෙදර ආරක්ෂාව ලැබුවා.”

පසුගිය සඳුදා (මැයි 13) රාත්‍රියේ දියත් වූ මුස්ලිම් විරෝධී ප්‍රහාර හමුවේ සිංහල පවුලක් තමන්ට ආරක්ෂාව සැලසූ අයුරු නාත්තන්ඩිය තුම්මෝදර පදිංචි ඒ කේ හලීමා සිහිපත් කළේ එලෙසිනි.

“ඒ ගේ සිංහල ගෙයක්… සිංහල ගෙයක් …” හලීමා පවසන පරිදි ඇයගේ නිවස ට එල්ල වීමට ගිය ප්‍රහාරය වැළකී ඇත්තේ ද සිංහල පුද්ගලයෙකු විසින් මාර්ගයට පැන කරන ලද එම ප්‍රකාශය හේතුවෙනි.

හලීමා ඇතුළු පවුලේ සාමාජිකයන් මේ වන විටත් රැඳී සිටින්නේ සුජීවනීගේ නිවහනේය.

“අපිව, අපේ ගේ බේර ගත්තා විතරක් නෙමෙයි අද අපිට කන්න දෙන්නෙත් මේ අය තමයි. මේ දැන් තේ එක බිව්වෙත් මෙහෙන්. අපි මේ අයට ණය ගැතියි,” හලීමා හැඟුම්බරව පවසන්නීය.

හලීමා ගේ කෘතවේදී අදහස් දැක්වීම ගැන ප්‍රතිචාරය පළකරමින් සුජීවනී චන්දිමා පවසන්නේ, තමන් ඇතුලු පවුලේ සාමාජිකයන් “අවශ්‍ය මොහොතේ” සිය අසල්වැසියා වෙනුවෙන් ගත් තීරණය පිළිබඳව නිහතමානීව සතුටු වන බවය.

”සිංහල අය ගහන්න එද්දී හලීමා ගේ පවුලේ හතරදෙනත්, තවත් මුස්ලිම් පවුලකුත් අසරණ වෙලා හිටියේ. අපි දන්නවා මේ අය බේරා ගත්තම අපිට ගැටලු එනවා කියලා. නමුත් අපි ඒ වෙලාවේ හිතුවේ අපේ ජීවිතවලට වඩා මේ අයගේ ජිවිත ගැන.”

සුජීවනී චන්දිමා මාධ්‍ය වෙත සිය අදහස් දැක්වීමට මුලින් මැලිකමක් දැක්වූයේ ඒ නිසා විය යුතුය.

ඇය පවසන පරිදි ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණ ඇත්තේ ගම්වාසීන් නොවේ.

“මේ අය මුස්ලිම් අයට ගහලා ගියාට පස්සේ අපිට වෙන්නේ මොකක්ද කියල හිතුවද? අපි අවුරුදු ගාණක් කිසිම ගැටලුවක් නැතුව ජීවත් වුණා.නමුත් දැන් අපිට මේ තත්ත්වය ගැටලුවක්.”

සුජීවනීගේ නිවසේ රැකවරණ ලද පවුල් අතර මොහොමඩ් රිස්වි ඇතුළු පවුලේ සාමාජිකයන් ද විය.

“හතර වටින් කෑකෝ ගහගෙන එද්දී අපිට දුවන්න තැනක් හොයා ගන්න බැරි වුණා. මම දුවන්න තැනක් හොයද්දි සුජීවනිගේ මහත්තයා කුමාර අපේ ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා හතරවටෙන් ගහගෙන එනවා අපේ ගෙදරට එන්න කියල. මම මගේ නෝනයි දරුවෝ තුන්දෙනයි එක්ක සුජීවනීලගේ ගෙදරට එද්දී එහෙ තව මුස්ලිම් පවුල් දෙකක් හිටියා මේ අය පොඩි කාමරයක දාලා වහලා හිටියේ. අපිවත් මේ කාමරයට දාලා වැහුවා,” මොහොමඩ් රිස්වි පැවසීය.

“කාමරේ ඇතුලේ පවුල් තුනක 14 දෙනෙක් හිටියා. කරුවල නිසා, වටේ පිටේ සද්ද නිසා ළමයි බයට කෑ ගහලා ඇඞුවා. අපි දරුවන්ගේ කටවල් තදින් වහගෙන හිටියා. අපේ ගේ ගිනි තියන්න හදද්දී බේර ගෙන තියෙන්නේ ඉස්සරහ ගෙදර සිංහල පවුලේ අය. ගිනි තියන්න ආපු අයට ඒ අය වැඳලා කියලා තියනවා ගිනි තියන්න එපා කියලා. ඒ නිසා තමයි මේ පිරිස ගිහින් තියෙන්නේ.”

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මොහොමඩ් රිස්වි ඇතුළු තුම්මෝදර මැල්ලකැලේ ප්‍රදේශවාසීන් එක්ව පහන් දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට කටයුතු කළහ. මරාගෙන මැරෙන ප්‍රහාරය හෙලා දකිමින් එල්ලූ බැනර් සහ සුදු කොඩි ගමේ පල්ලියේ මෙන්ම ගමේ තැන තැන දැනටත් ඉතිරිව තිබේ.

මොහොමඩ් රිස්වි ගේ බිරිද ෆාතිමා රිස්වියා සඳහන් කළේ මේ සිදුවීම්වලට සමස්ත සිංහල ජනතාව වගකිවයුතු නොමැති බවය.

“බලන්න අපිව බේර ගත්තේ කවුද? සමහර විට අපිව හැංගුවේ නැත්නම් කොට්ටරමුල්ල ගමේ වුණා වගේ සිදුවීමක් මෙහෙත් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට ලොකු හානියක් වුණත් බහුතර සිංහල ජනතාව මේ තත්ත්වයට වගකියන්න ඕනෑ නැහැ කියල අපි දන්නවා .ඒ වගේම අපිට ඒ අයත් එක්ක වෛරයක් නැහැ.”

නාත්තන්ඩිය තුම්මෝදර සහ මැල්ලකැලේ සිංහල සහ මුස්ලිම් ජනතාව සහජීවනයෙන් දිවි ගෙවන ප්‍රදේශ දෙකකි.

එහෙත් පසුගිය සඳුදා එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එකී සහජීවනයට බරපතල කලු පැල්ලමක් එක් වූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය.

මේ අතර හලාවත රදගුරු වැලන්ස් මෙන්දිස් හිමිපාණන් තුම්මෝදර ප්‍රදේශයේ කරන ලද සංචාරයක් අතරතුර හලීමාගේ අත්දැකීම හෙළි කළේ තුම්මෝදර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති සුමිත් ප්‍රේමකුමාර විසිනි.

“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හලීමලා කිව්වා අපේ මූණ බලන්න බැහැ කියලා. අපෙන් සමාව ඉල්ලුවා. නමුත් අද අපිට හලීමලගේ මූණ බලන්න බැහැ. මම සමස්ථ ජාතිය වෙනුවෙන්ම අත් දෙක වැඳලා ඉල්ලන්නේ මේ සිදුවුණු දේට අපිට සමාව දෙන්න කියලයි.”

සුමිත් ප්‍රේමකුමාර ගේ මූලිකත්වයෙන් මීට දින කීපයකට පෙර තුම්මෝදර විහාරස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් ගම ආරක්ෂා කර ගැනීමට කමිටුවක් ද පිහිටුවා ගෙන තිබිණි.

එම කමිටුවේ දී ගත් ප්‍රධාන තීරණ අතර:

නොසන්සුන්කාරී තත්ත්වයකදී ගම ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් ප්‍රදේශවලින් ගමට පුද්ගලයන් ඇතුළුවීම වළක්වාලීමට වැඩපිළිවෙලක් සැකසීම
ඉලක්ක වන පාර්ශ්වය බේරා ගැනීම සදහා අනෙක් පාර්ශවය කටයුතු කිරීම
පන්සියයකට ආසන්න පිරිසක් එකවර ගම තුළට කඩා වැදුණු හෙයින් තමන්ට කර කියා ගත නොහැකි තත්ත්වයක් උදා වූ බව ද තුම්මෝදර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා පැවසීය.

“අපි පුලුවන් තරම් උත්සහ කළා පිට ගම්වලින් මේ ගමට එන පිරිස වළක්වන්න. නමුත් පිරිස වැඩි නිසා යමක් කරන්න හැකියාවක් තිබුනේ නැහැ. ඒ අය ඇවිල්ල ගහගෙන ගහගෙන ගියා. පල්ලි දෙකටම ගැහුවා. හැබැයි අපිට පුළුවන් වුනා අපේ ගෙවල්වලට මේ අය දාගෙන දොරවල් වහගන්න. මේ සිංහල ගෙයක් කියල ගෙවල් කීපයක් බේරගන්නත් අපිට හැකිවුණා. ඒ අය කඩල බිඳලා දාල ගියේ මේ ගෙවල්, පල්ලි විතරක් නෙමෙයි. අපේ හිතුත් ඒ අතර තියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.