දේවානි ජයතිලක දූපත්වාසී මානුෂිකත්වයට පයින් ගසයි – සුමිත් චාමින්ද

සංවර්ධනය සහ පරිසරය පිළිබඳ සංවාදය දැන් යළිත් මතුවෙමින් තිබේ. එය සාධනීය ප්‍රවණතාවකි. පරිසරය සුරැකීම වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ හඬක් නැගෙමින් තිබීමද අගය කළ යුත්තකි. නමුත්, තවමත් ගෝලීය උණුසුම සහ පාරිසරික විපර්යාසය ගැන ප්‍රමාණවත් සාකච්ජාවක් මෙරට සිදුවෙමින් පවතින්නේ නැත.
පරිසරයට වඩා සංවර්ධනය ප්‍රමුඛ බවද කියනු ඇසේ. සංවර්ධනය වෙනුවෙන් පරිසර විනාශය ඉවසා සිටිය යුතු බවද කියැවේ. මේ අතිශය දූපත්වාදී අදහස් බව මගේ හැඟීමයි. සරලව, මේවා ඉතිං තවමත් ලංකාව තුළ නම් කිව හැකිය; ඒ, මහද්වීපික ලෝකයේ සිදුවෙමින් පවතින සංවාද දූපත් වැසියන්ට නොතකා සිටිය හැකි බැවිනි. පරිසරයට වඩා සංවර්ධනය ප්‍රමුඛය යන්න දූපත තුළ නවීන අදහසක් ලෙස පෙනී යා හැකි වුවත්, මහද්වීපික ලෝකයට නම් එය යල් පැන ගිය අදහසකි.

ලෝකයේ රටවල් 153 ක කාලගුණ විද්‍යාඥයින් ඇතුළු විද්වතුන් 11,000 දෙනා එක්ව කාලගුණ හදිසි තත්ත්වයක් ගැන අනතුරු හැඟවූයේ මාස තුනකට පමණ ඉහතදීය. මිනිස් වර්ගයා මෙතෙක් නොවූ විරූ මහා ඛේදවාචකයකට සූදානම් විය යුතු යැයි ඔවුහු පැවසූහ.”තිරසර අනාගතයක් අත්පත් කර ගන්නට නම් අප අපගේ ජීවන ශෛලීන් වෙනස් කර ගත යුතුය; අපගේ ගෝලීය සමාජය ජෛව ගෝලය සමග අන්තර්-ක්‍රියා කරන ආකාරය බරපතල ලෙස වෙනස් කරගත යුතුය.” ඔවුනගේ වාර්තාවේ ප්‍රධාන අවධාරණය වූයේ එයයි.

“තවත් කාලය ඉතිරි වී නොමැත. කාලගුණ අර්බුදය දැනටමත් පැමිණ තිබේ. එය කලින් සිතුවාට වඩා දරුණුය; සොබාවික පාරිසරික පද්ධතීන් සහ මිනිස් වර්ගයාගේම පැවැත්ම අනතුරට වැටී ඇත.” මේ ඔවුන්ගේ වචනය.තවමත් පාරිසරික විපර්යාසය ගණනය කරනු ලබන්නේ ගෝලීය මතුපිට ඌෂ්ණත්වය අනුවය. 2015 පැරිස් සම්මුතියේ ඉලක්ක සකසා ඇත්තේද ඒ අනුවය. නමුත්, දැන් දැන් කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ එය ප්‍රමාණවත් නිර්ණායකයක් නොවන බවයි. පාරිසරික විපර්යාසයේ බහුල පැතිමාන සැලකිල්ලට ගත හොත්, එදිරියේ එමින් තිබෙන ව්‍යසනයේ බරපතලකම කොතරම්දැයි දැනෙනු ඇත.

කෙසේ වුවත්, පැරිස් සම්මුතියේ අරමුණු කරා යාමට වුවත් ඇත්තේ තව වසර දහයක් පමණි. එනම් වසර 2030 වන විට ගෝලීය සාමාන්‍ය ඌෂ්ණත්වය (පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව) තවත් සෙල්සියස් අංශක දෙකකට වඩා ඉහළ යාම වළක්වා ගැනීම (සහ එය අංශක එකයි දශම පහක සීමාවේ රඳවා ගැනීමට ප්‍රයත්න දැරීම) ය; මේ සඳහා කාබන් විමෝචනය 20% කින් අඩු කිරීම, පුනර්ජනනීය බලශක්තියේ වෙළඳපල පරිමාව 20% වැඩි කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව 20% කින් වැඩි කිරීම කළ යුතුය. මෙය පහසු අරමුණක් නොවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය කාබන් විමෝචනයෙන් 14% ප්‍රමාණයකට වග කිව යුතු එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් ඉවත් කරගන්නට තීරණය කළේය. පෘතුවියේ මෙතෙක් වාර්තාගත වඩාත් ඌෂ්ණාධික වර්ෂය 2016 විය; දෙවන ඌෂ්ණාධික වර්ෂය 2019 යි.

මෙය පාලනය කරගන්නට මිනිස් වර්ගයා අසමත් වුව හොත් එය මිනිසුන් ඇතුළු සමස්ත ජෛව ගෝලයේම විනාශය කරා යන ගමනක් වනු ඇත. ස්ලේවෝයී ශිෂෙක් අද අප ජීවත් වන්නේ සමාප්ත කාලයක (end-times) යැයි පවසන්නේ මේ අරුතිනි.
මේ ව්‍යසනය වළක්වන්නට හැකි අවසාන පරම්පරාව අප විය හැකිය. මෙම ගැටළුව නොතකා හැර රැඩිකල් සමාජ හෝ දේශපාලන පරිවර්තන ගැන කතා කළ හැකිව තිබුණේ විසි වන සියවසේදීය. අද අප එය නොතකා හරින්නේ නම්, මිලියන් ගණනක් ජනයා කාලගුණ සරණාගතයන් බවට පත් වීමේ අනාගතයකට අප සූදානම් විය යුතුය. එවැන්නකට ඉඩ දෙන දේශපාලනයක්, නැතහොත් එවන් ව්‍යසනයක් දෙස උදාසීනව බලන දේශපාලනයක් අප තව දුරටත් සීරියස්ව භාර ගත යුතුද?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.