මාධ්‍ය මඩ ගොඩ අනන හැටි නාලක හෙළිදරව් කරයි

ටී.බී. ඉලං ගරත්න සූරීන්ගේ විලම්බීත, තිලක, තිලක හා තිලකා කියන තුන් ඈඳුතු නවකථා මාලාවේ දෙවැනි පොතේ අප කියවන්නේ රජයේ ලිපිකරු තිලකගේ තරුණ විය ගැන.

තිලකගේ බෝඩින් සගයන් අතර පත්තර වාර්තාකරුවකු ද සිටියා. මට මතක ඇති විධියට නම් ඔහුගේ නම මඩගොඩ. සෙස්සෝ කීවේ අනුන්ගේ කුණු කන්දල් සොයා යන නිසා නම අපූරුවට ගැළපෙන බවයි. ඔහුට නිගරු කිරීමට සමහර වෙලාවට අනෙක් අය කීවේ “පත්තර පරයා” කියලයි.

වාර්තාකරුවන් කුණුකන්දල් අවුස්සන හැටි

වාර්තාකරුවන් අනුන්ගේ කුණු කන්දල් අවුස්සන බවට පවතින ජනමතය අද ඊයෙ මතු වූවක් නොවෙයි. එයට පදනම් වන සාක්ෂිද එමට තිබෙනවා.

උදාහරණයක්: දශක කිහිපයකට ඉහත මෙරට පුවත්පත්වල දික්කසාද නඩු ගැන අධිකරණ වාර්තා නිතර පළ වුණා. අදාළ දෙපාර්ශ්වය හැරුණු කොට සෙසු සමාජයට කිසිදු අදාළත්වයක් නැතත්, ඒවායෙන් මතුවන කුණු රසය නිසාදෝ මෙවැනි වාර්තාකරණයට එකල සැලකිය යුතු ප්‍රමාණයක පුවත්පත් ඉඩ වෙන් කෙරුණා.

එහෙත් පසු කලෙක එම සම්ප්‍රදාය නතර වුණා. එයට හේතුව පෞද්ගලිකත්වය පිළිබඳ මෙරට මාධ්‍ය යම් තරමකටවත් සංවේදීවීමද? නැතිනම් ඊට වඩා භාවප්‍රකෝපකාරී ලෙස වාර්තා කළ හැකි රිය අනතුරු, අපරාධ, සිවිල් යුද්ධය වැනි ප්‍රවණතා ප්‍රබලව මතුව ඒමද?

පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම:

මාධ්‍ය විසින් පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම වඩාත් උග්‍ර වී ඇත්තේ දේශීය ටෙලිවිෂන් නාලිකා මෙරට වඩාත්ම ප්‍රචලිත ජනමාධ්‍යය බවට පත්වීමෙන් පසුවයි. (මාධ්‍ය සමීක්ෂණ සනාථ කරන පරිදි, මෙරට ජනයාගෙන් 90%කට වඩා පුවත් හා කාලීන තොරතුරු ටෙලිවිෂන් හරහා ලබා ගන්නවා.)

”මාධ්‍ය විසින් පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම වඩාත් උග්‍ර වී ඇත්තේ දේශීය ටෙලිවිෂන් නාලිකා මෙරට වඩාත්ම ප්‍රචලිත ජනමාධ්‍යය බවට පත්වීමෙන් පසුවයි.”

බිහිසුණු රිය අනතුරු, මිනීමැරුම්, ආපදාවන් වැනි අවස්ථාවලදී වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල අය දැඩි කම්පාවට සහ ශෝකයට පත්වනවා. එවැනි ඛේදවාචකයන්ගේ හේතු සාධක ගැන තොරතුරු දැනගැනීම සමාජයට වැදගත් විය හැකි වුවත්, ඒවා ගවේෂණාත්මක සහ සංවේදී ලෙසින් හසුකර ගැනීමේ විශාල වගකීමක් මාධ්‍යවේදීන්ට තිබෙනවා.

කෑදරකමින් ළං වන වෘක රැළක් වගේ:

නමුත් මෑතකාලීනව අප බොහෝ විට දකින්නේ ඛේදවාචකයක් සිදුවී පැය කිහිපයක් ඇතුළත වාර්තාකරුවන් සහ වීඩියෝ කැමරාකරුවන් එතැනට ඇදී එන සැටියි. හරියට තුවාල ලද වන සත්ත්වයකු අසරණව සිටින විට කෑදරකමින් ළං වන වෘක රැළක් වගේ.

ඒ අවස්ථාවන්හිදී වින්දිතයන්ගේ පෞද්ගලික ඉඩම් හා නිවෙස් තුළට ආරාධනයකින් තොරව ඔවුන් කඩා පනිනවා. ඉන් පසු මාධ්‍ය සඳහා ඡායාරූප, වීඩියෝ රූප සහ වොයිස් කට් එක්රැස් කිරීම කිසිදු සංවරයකින් තොරව සිදු කරනු මා දැක තිබෙනවා.

ඛේදජනක මරණයක් සිදුවූ නිවෙසක සමීපතයන්ගෙන් කඳුළු සහ විලාප සමග වොයිස්කට් ලබාගෙන, එය තලුමරමින් දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ප්‍රමුඛ තැනක් දී ඉදිරිපත් කිරීමේ බෙහෙවින් අශිෂ්ට සම්ප්‍රදාය ඇරඹුවේ එක්තරා සරුව පිත්තල ටෙලිවිෂන් නාලිකාවක්. ඒ මීට වසර කිහිපයකට පෙරයි.

පිත්තල නාලිකාව

එය ඇරඹි මුල් වකවානුවේ ‘ලේ සහ කඳුළු නිර්ලජ්ජිත ලෙස අලෙවි කරන පිත්තල නාලිකාව’ ලෙස මා ප්‍රසිද්ධියේ ඔවුන් විවේචනය කළා. කිසිදු වෙනසක් සිදුවූයේ නැහැ.

”ඛේදජනක මරණයක් සිදුවූ නිවෙසක සමීපතයන්ගෙන් කඳුළු සහ විලාප සමග වොයිස්කට් ලබාගෙන, එය තලුමරමින් දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ප්‍රමුඛ තැනක් දී ඉදිරිපත් කිරීමේ බෙහෙවින් අශිෂ්ට සම්ප්‍රදාය ඇරඹුවේ එක්තරා සරුව පිත්තල ටෙලිවිෂන් නාලිකාවක්. ඒ මීට වසර කිහිපයකට පෙරයි.”

එහෙත් එම ප්‍රවෘත්ති විකාශය ටෙලිවිෂන් රේටින් හෙවත් ජනප්‍රිය බවින් ඉහළ යනු දුටු සෙසු සමහර නාලිකා ද, ඒ දක්වා පවත්වා ගත් යම් තරමක සංවරය බිඳ ගනිමින්, ‘මාධ්‍ය අශිෂ්ටත්වයේ අංක එක’ වීමට පොරකෑම ඇරඹුණා.

කොරෝනා වසංගතයේ පැතිරීමත් සමග අප දකින්නේ මෙම මාධ්‍ය අශිෂ්ටත්වයම නව මුහුණුවරකින් තවත් ඉදිරියට (පසුපසට?) යාමයි.

කොරෝනා වෛරසයට මානව අපගේ බෙදීම් කිසිවක් අදාළ නැහැ. ජාති, ආගම් සහ පංති භේදවලින් තොරව අප ඕනෑම කෙනකු ආසාදනයට ලක්විය හැකියි.

ආසාදිතයන් කිසිම ආකාරයකින් වරදකරුවන්, චූදිතයන් හෝ සමාජ විරෝධීන් නොවෙයි. ඇත්තටම ඔවුන් තමයි මේ දිගින් දිගට ඇදී යන ආපදාවේ ප්‍රධාන වින්දිතයන්.

එහෙත් මෑත සතිවලදී මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍යවල අප දකින්නේ කොරෝනා ආසාදිතයන් අපකීර්තියට සහ අවමානයට (stigma) පත්වන ආකාරයෙන් කරන සාහසික වාර්තාකරණයක්.

නිරෝධායනය කරන පුද්ගලයන් ආසාදිතද නැද්ද යන්න තහවුරුවීමටත් කලින්, සමහර ජනමාධ්‍ය විසින් ඔවුන් රෝගීන් ලෙස හැඳින්වීම ද කරනවා.

මාධ්‍ය විසින් ආසාදිතයන් මෙසේ හංවඩු ගැසීම රෝග මර්දන කටයුතුවලට බෙහෙවින් අහිතකරයි. සමාජ අපකීර්තියට බියෙන් සමහර ආසාදිතයන් ප්‍රතිකාර පැතීමට ඉදිරිපත් නොවී සැඟවී සිටින්නට ඉඩ තිබෙනවා. එයින් සිදුවන්නේ වසංගතය තව තවත් පැතිර යාමයි.

දැනටත් සමාජයේ කොන්වීමට ලක්වී සිටින ජන කොටස් අතර ආසාදිතයන් හිටියොත් මේ සාධකය ප්‍රබලව ඔවුන්ට බලපෑ හැකියි.

”PHI මහත්තයා කොරෝනා ආසාදිතයි කියා සැක කරන අයකුගේ ගෙදරට එන විට, එන්නේ මාධ්‍ය එක්කර ගෙන. ඒ තමයි පසුගිය දවස්වල අපි දැකපු දේ. මාධ්‍ය ගෙදරට එන පාර පෙන්වනවා. ගේ ඇතුළේ තිබෙන දේ පෙන්වනවා. ගෙදර ඉන්න දරුවො පෙන්වනවා. මේ ආකාරයට පෞද්ගලිකත්වය ගැන කිසිම තැකීමක් නැතිව රටටම පෙන්වනවා.”

ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මෑතදී ලහිරු මුදලිගේ සමග කළ YouTube සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන හොඳ විග්‍රහයක් කළා.

ඔහු කියන හැටියට: “PHI මහත්තයා කොරෝනා ආසාදිතයි කියා සැක කරන අයකුගේ ගෙදරට එන විට, එන්නේ මාධ්‍ය එක්කර ගෙන. ඒ තමයි පසුගිය දවස්වල අපි දැකපු දේ. මාධ්‍ය ගෙදරට එන පාර පෙන්වනවා. ගේ ඇතුළේ තිබෙන දේ පෙන්වනවා. ගෙදර ඉන්න දරුවො පෙන්වනවා. මේ ආකාරයට පෞද්ගලිකත්වය ගැන කිසිම තැකීමක් නැතිව රටටම පෙන්වනවා.”

ඔහු තවදුරටත් පැහැදිලි කළා: “පෞද්ගලික නිවසකට අනාරාධිතව පිවිසෙන්න මාධ්‍යවලට කිසිම අයිතියක් නැහැ. එසේ කිරීම අපරාධ නීතිය යටතේ අයුතු ඇතුළුවීම ලෙස සැලකෙනවා. ඒ වගේම ඕනම කෙනෙක් ලෝකය ඉදිරියේ පෙනී සිටින්නේ හැකි උපරිම හොඳටයි. යමකු තමන්ගේ ගෙදර සැබැවින්ම ගත කරන ජීවිතය රූපගත කොට රටටම පෙන්වීමෙන් ඒ නිවැසියන්ට තිබෙන පෞද්ගලිකත්වය මුළුමනින්ම නැති කර දමනවා. එසේ පෙන්වන රූපරාමුවලින් නිවැසියන්ට යම් අපහාසයක් සිදුවූවා යයි සිවිල් නීති යටතේ නඩුවක් පැවරීමට ද හැකියාව තිබෙනවා.”

රෝගියෙකු හෝ ආසාදිතයකු ගැන පමණක් නොවෙයි, අපරාධයක් පිළිබඳව සැක කරනු ලබන අයකුගේ පෞද්ගලිකත්වයට හානි කිරීමට මාධ්‍යවලට හෝ වෙන කිසිවකුට අයිතියක් නැති බව නීතිඥ වික්‍රමනායක අවධාරණය කරනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.