යූඑන්පී එක කුමක් කල යුතුද?

ජයග්‍රහි මාවතකට පිවිසීම සඳහා එක්සත් ජාතික පක්ෂය කුමක් කළ යුතුද යන්න පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරන මාධ්‍යවේදී උපුල් ජෝශප් ප්‍රනාන්දු පවසන්නේ අලුත් වෙසකින් එළියට එනවා හැරෙන්නට කළ හැකි අන් යමක් නැති බවයි. වාර්තාවන පරිදි සජිත් ප්‍රේමදාස මේ දිනවල කරන්නේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමයි.

සවන්දෙමු උපුල්ට:

2018 බැසිල් කළා වගේ යූ. ඇන්. පී. ය අලුත් පක්ෂයක්, අලුත් ලාංඡනයකින් එළියට එන්න වෙලාව හරිය. ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට මුලින් හැදෙන්නේ පක්ෂ නොව නායකයාය. ඒකට හොඳම නිදසුන යූ. ඇන්.පී. ය බිහිවුණ හැටි කියන ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් මේ කතාවය.
“ඩී. ඇස්. සේනානායකට එවකට රටේ තිබූ සැලකිල්ලත් කිත් යසසත් නිසා සිංහල ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා රොක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළද, නව පක්ෂයට වැඩි ආනුභාවයක් ආරූඪ වූයේ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සහ ඔහුගේ සිංහල මහ සභාවේ සහභාගිත්වය නිසයි….”

මෙයින් පෙනෙන්නේ යූ.ඇන්.පී. ය බිහිවුණේ ඩී. ඇස්.ගේ සහ බණ්ඩාරනායකගේ පෞරුෂය නිසාය. 1951 ශ්‍රී ල.නි.ප. ය බිහි වූයේ බණ්ඩාරනායකගේ පෞරුෂය නිසාය. ල.ස.ස.ප. ය බිහි වූයේ ඇන්. ඇම්. ගේ පෞරුෂයෙන්ය. කො.ප. ය බිහිවූයේ දොස්තර වික්‍රමසිංහගේ පෞරුෂයෙන්ය. ජ.වි.පෙ. බිහි වූයේ විජේවීරගේ පෞරුෂයෙන්ය. මේ පක්ෂ ඉස්සරහට යන්නේත් අලත් නායකයන්ගේ පෞරුෂ තුළින්ය. නායකත්වය එක තැන පල්වෙන පක්ෂ වල්බිහි වෙයි. ල.ස.ස.ප. යටත්, කො.ප. යටත් වුණේ ඒකය. ඇන්. ඇම්. ලා මැරෙන තෙක් පක්ෂ නායකත්වය අත හැරියේ නැත. පක්ෂ අලුත් වන්නේ නායකයා අලුත් වීමෙනි. නායකයා වෙනස් වීමෙනි. නායකයා අලුත් නොවන, වෙනස් නොවන පක්ෂ දිරාපත් වී යයි. 2015 පරාජයට පසුත් මහින්ද ශ්‍රී ල.නි.ප. නායකයා වී සිටියා නම් 2018දී මහින්ද පුංචි ඡන්දය දිනන්නේ නැත. 2019 ජනාධිපතිවරණය දිනන්නේත් නැත.

මෙය හොඳට තේරුම් ගත්තේ බැසිල්ය. මෛත්‍රි ශ්‍රී ල.නි.ප. නායකත්වය ගෙන එය යූ.ඇන්.පී. ආණ්ඩුවට හේත්තු කිරීමෙන් ශ්‍රී ල.නි.ප. ය විනාශ වනවා ඔහු දුටුවේය. යූ.ඇන්.පී.- ශ්‍රී ල.නි.ප.-ජ.වි.පෙ. විරෝධී අලුත් පක්ෂයකට අවස්ථාවක් තියෙන බවත්, මහින්දට ඩී.ඇස්.ට, බණ්ඩාරනායකට වගේ අලුත් පක්ෂයක් හදන්න පෞරුෂත්වයක් තියෙන බවත්, එය ප්‍රයෝජනයට ගෙන අලුත් පක්ෂයක් හැදිය යුතු බවත්, ඔහුගේ මොළේට වැදුණේය. ඔහුගේ සූදුව හරි ගියේය. 2015 මහින්දටත්, පවුලටත් ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් විරුද්ධව ඡන්දය දුන් අය 2018දී මේ අලුත් පක්ෂයට ඡන්දය දුන්හ. 2019 පොහොට්ටුව අලුත් පක්ෂයක් ලෙස අලුත් අපේක්ෂකයෙක්ද ඉදිරිපත් කළ නිසා පොහොට්ටුව ජනාධිපතිවරණයද ජය ගත්තේය. හැබැයි දැන් හැරිලා බලන කොට මේ අලුත් පක්ෂ ආණ්ඩුව ඉන්නේ 2015ට කලින් හිටපු ඔක්කොම පරණ මුහුණුය. හැබැයි බැසිල් ගේම ගහලා ඉවරය. දැන් ඒ ගේම ආපසු හරවන්න බැරිය.

දැන් යූ.ඇන්.පී.යත් ගහන්න ඕනෑ ඒ වගේ ගේම් එකක්ය. යූ.ඇන්.පී. හැව ඇරැලා අලුත් හැවකින් එන්න ඕනෑය. අලුත් ඡන්ද ලක්ෂ 10ක් 15ක් ආකර්ෂණය කර ගන්න පුඵවන් එතකොටය. 1977 වමේ පක්ෂ ඉවර විය. 2018 ශ්‍රී ල.නි.ප. ඉවර විය. අද ජ.වි.පෙ. ඉන්නෙත් ලොකු අර්බුදයකය. ඉතිරි වෙලා තියෙන්නේ යූ.ඇන්.පී.යය.

ස්වභාවිකවම මිය යනවාද නැද්ද කියන එක යූ.ඇන්.පී.යම තීරණය කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.