වඳුරන්ටත් කොරෝනා වෛරස් ආසාදන අනතුරක්

Covid 19 වයිරසය මගින් මිහිතලය පුරා මානව ප්‍රජාව දහස් ගණනින් මරණයට පත්වෙමින් පවතින අතරවාරයේ මිහිතලයට එල්ල විය හැකි තවත් අනතුරක් හා පෙන්නුම් කෙරේ.

මිනිසාගේ ළඟ ම ජීවීන් ලෙස සැලකෙන දියුණු වානර කුලයේ සතුන් (great apes) කොරෝනාවෛරසයට ගොදුරු වීමෙන් වළක්වා ගනිමින් එම ජීවීන් රැක ගැනීම සඳහා ඉක්මන් පියවර ගත යුතු බවට පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති.

‘Nature’ විද්‍යා සඟරාවට සපයන ලිපියක් මගින් කරුණු පැහැදිලි කරන එම විද්‍යාඥයන් කණ්ඩායම ගොරිල්ලන්, චිම්පන්සීන් සහ ඔරන්උටන් වැනි වනජීවීන්ට Covid -19 වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට අලුත් ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බව පෙන්වා දෙති.

එම දියුණු වානර වර්ගයාගේ පැවැත්ම සම්බන්ධයෙන් එම සතුන්ගේ වාසභූමි වැනසීම සහ දඩයමට ගොදුරුවීම හේතුවී තිබුණත්, දැන් ඔවුන්ට තවත් අලුත් තර්ජනයකට මුහුණ දීමට සිදුවී ඇත.

එනම් Covid -19 කොරෝනාවෛරසයයි. එය දියුණු වානර ජීවීන්ටත් බෝවීමට ඉඩකඩ ඇති බවට විද්‍යාඥයෝ කනස්සල්ල පළකරති.

දරුණු අන්තරායක්

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, දැනට පැතිර යමින් පවතින වෛරසය, දියුණු වානර කුලයේ ජීවීන්ට දරුණු අන්තරායක් එල්ල කරන බවය.

ගොරිල්ලන්, චිම්පන්සීන් සහ ඔරන්උටන් වැනි දියුණු වානර ජීවීන් වර්ග තුන අතර ආසාදනය නිසා වැළඳෙන දැනට හඳුනාගනු ලැබ ඇති ව්‍යාධීන් ඇතැම් දියුණු වානර කුලයේ සතුන්ට තර්ජනයක් බවත් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

”අපි දන්නේ නැහැ-මේ වෛරසය වානරයන්ට බලපාන්නේ කොහොම ද? කියල. ඒත් අපි කලින් පරෙස්සම් වීමේ පූර්වෝපායික මූලධර්ම අනුගමනය කරන්න ඕන.කොරෝනා වෛරසය එම ජීවීන්ට ආසාදනය වීමේ අනතුර එමගින් අවම කරගන්න පුළුවන් ”එක්සත් රාජධානියේ ‘ලිවර්පූල් ජෝන් මුවර්ස්’ සරසවියේ මහාචාර්ය සර්ජ් විච්(Prof Serge Wich) පවසයි.

”ඒකෙ තේරුම සංචාරකයන් පැමිණීම නතර කරන්න ඕන කියන එකයි. රටවල් කිහිපයක් ඒ සඳහා දැනටමත් පියවර අරගෙන තියෙනව. දියුණු වානරයන් සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පර්යේෂණ අඩුකරන්න අවශ්‍යයි. දියුණු වානරයන් අතරට මිනිසුන් සමීප වීමට හේතුවෙන ක්‍රියාකාරකම් නතර කළ යුතුයි. වෛරසය මිනිසාගෙන් දියුණු වානරයන්ටත් බෝවීමේ විශාල ඉඩකඩක් තියෙන නිසා ”

බොහෝ වයිරස් වර්ග, බැක්ටීරියා සහ පිළිල (parasites) ආදිය අපේ දියුණු වානර ජීවීන් අතර ඔවුන්ට අනතුරකින් තොරව පැතිර යන අතරවාරයේ, ඉන් ඇතැම් ඒවා රෝගාබාධවලට හේතුවෙන බව දැනගන්නට ඇත.

වෛරසයට ගොදුරු විය හැකි බව

චිම්පන්සීන් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හේතුවෙන වෛරසයට ගොදුරු විය හැකි බව කලින් සිදුකරනු ලැබ ඇති පර්යේෂණ මගින් පෙන්නුම් කෙරේ.

මේ අතර අප්‍රිකානු රටවල් කිහිපයක පැතිරගිය ඉබෝලා (Ebola) වෛරසයට ගොදුරුවීමෙන් චිම්පන්සීන් සහ ගොරිල්ලන් දහස් ගණනක් මරණයට පත්වන්නට ඇතැයි සැළකේ.

පවතින අනතුර තක්සේරු කිරීම සඳහා දියුණු වානර ජනාවාසවල සියලු ව්‍යාපෘතීන් පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු අවශ්‍ය කරන බව මහාචාර්ය විච් පවසයි.

”සංඛ්‍යාව අතින් ඉතා සුළුතරයක් වෙන ‘ටපනුලි ඔරන්උටන්’ (Tapanuli orangutan) දියුණු වානරයන් අතර වයිරසයක් පැතිර ගියහොත්, එම ජීවීන් මිහිතලයෙන් සහමුලින්ම වඳ වීයාමේ අවදානමක් පවතිනවා ” මහාචාර්යවරයා පෙන්වා දෙයි.

‘ටපනුලි ඔරන්උටන්’ (Tapanuli orangutan) වානරයා ඉන්දුනීසියාවේ ‘සුමාත්‍රා’ දූපතේ එක් කලාපයකට පමණක් සීමා වූ දුර්ලභ සත්ව විශේෂයකි.

වඳවෙමින් ඇති සත්ත්ව කොට්ඨාසයක්

එම වානර වර්ගයාගෙන් දැනට වනයට ඉතිරිව ඇත්තේ අටසීයක් පමණ සංඛ්‍යාවකි. මහාචාර්ය සර්ජ් විච් එම වානරයන් වඳවෙමින් ඇති සත්ත්ව කොට්ඨාසයක් බව 2017 වසරේ තහවුරු කරන ලද විද්‍යාඥයන් අතරින් එක් ප්‍රාඥයෙකි.

අප ජීවත්වන වත්මන් මිහිතලයේ දියුණු වානර වර්ග හතරක් ජීවත් වෙති. එනම්; ගොරිල්ලා (අප්‍රිකාව) ඔරන්උටන් (ගිනිකොන ආසියාව) බෝනොබෝස් (අප්‍රිකාව) සහ චිම්පන්සි (අප්‍රිකාව) යන ජීවීන් වර්ග හතරය.

මානව වර්ගයා දියුණු වානර වර්ගයාගේ සමීපතමයෝ වෙති.මෙයින් වර්ෂ දශලක්ෂ ගණනකට පෙර එකම වානර වර්ගයකින් පරිණාමය වූවෝ වෙති.

(BBC)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.