තැපැල් මහත්තයා

(මෙය රබින්ද්‍රනාත් ඨාකූර්තුමා විසින් රචිත The Post Master නම් වූ කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි. මනුෂ්‍යත්වයට නිගා දෙන බලවේග වල රළු බව නිරාවරණය කර දැක්‌වීම ඨාකූර්තුමාගේ සමස්‌ත කෙටි කතාවල මුඛ්‍ය ලක්‍ෂණයයි. මෙම කෙටිකතාව ඊට කදිම නිදසුනකි).

තැපැල් මහත්තයා කෙටි චිත්‍රපටිය

මෙම විශිෂ්ට ගණයේ කෙටි කතාව ඉන්දීය මහා සිනමාකරු සත්‍යර්ත් රායී (1921-1992) විසින් වර්ෂ 1960 දී කෙටි චිත්‍රපටියක්‌ වශයෙන් නිර්මානය කරන ලදී. මෙහි තැපැල් මහත්තයාගේ භූමිකාව බෙංගාලි නළු අනිල් චැටර් විසින් පණ පොවන ලද අතර රාතන් දැරියගේ චරිතය බෙංගාලි ළමා නිළි චන්දනා බැනර් විසින් පණ පොවන ලදී. කෙටි කතාවේ ගුණ සුවඳ එලෙසම සිනමා රූපීව ආරක්‍ෂා කර ගත් මෙම කෙටි චිත්‍රපටිය අන්තර් ජාතික සිනමා උළෙලවල් කිහිපයක්‌ම නියෝජනය කරමින් සම්මානයට පාත්‍ර විය. එපමණක්‌ ද නොව මෙම කෙටි චිත්‍රපටිය දෙස්‌-විදෙස්‌ සිනමා ප්‍රේක්‌ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද නොමඳ පැසසුමට ලක්‌ විය. ඉංග්‍රීසි භාෂාවෙන් රචිත මෙම කෙටි කතාව විශේෂයෙන්ම මවිසින් තෝරා ගෙන සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දේ. මෙම කෙටි කතාව බොහෝ වතාවක්‌ කියවා විඳි සාහිත්‍යය රසාස්‌වාදයත් මා එංගලන්තයේදී මෙම කෙටි චිත්‍රපටිය නරඹා විඳි සිනමා රසාස්‌වාදයත් නිසාය. -පරිවර්තක.)

එය වූ කලී පිටිසර උල්පූර් ගම්මානයයි. මෙහි පිහිටි කුඩා තැපැල් කන්තෝරුවට මෑතකදී තේරී පත්ව පැමිණි තැපැල් මහත්තයා පැමිණීයේ කල්කටා නගරයේ සිටය. තමා උපන් නගරය හැරදා මේසා දුර බැහැර ප්‍රදේශයකට පැමිණි ඔහු නුහුරු නුපුරුදු පරිසරයක හිඳ තම දෛනික රාජකාරියේ නියැලුණේය.

තම පාළුව මකා ගැනීමේ අටියෙන් ඇතැම් වේලාවන්හි දී කවි රචනා කිරීමෙහි නියෑළුණු ඔහු අරුණෝදයත් සම`ගම කෙමින් මෝරන්නට පටන් ගන්නා ලාහිරු රැස්‌ කෙඳි, නිල්වන් වළාකුළු හා වෛවර්ණ සළුපිළියෙන් සැරසුණු අවට වණ ගහණයේ තුරුලතා යනාදියෙන් කුල්මත් වූයේය.

තැපැල් මහත්තයාට මාසිකව ලැබුණේ යාන්තමින් තම ජීවිතය ගැට ගසා ගත හැකි වූ සුළු වැටුපකි. එහෙත් එවන් වූ සුළු වැටුපකින් දැන් ඔහුටත් ඔහුගේ තනි නොතනියට ළ`ග සිටින මෙලොව කාත් කව්රුවත් නැති අසරණ දැරියටත් ජීවත් වීමට සිදුව ඇත.

මළ හිරු බැස ගියේය. දීර්ඝ සන්ධ්‍යා කාලය කෙමින් ගෙවී ගොස්‌ රාත්‍රිය ඇරඹුණේය. එතෙක්‌ නිවහන තුළ පැවති නිහඬතාවය බිද දමමින් තැපැල් මහත්තයා දැරියට කතා කළේය.

”ඇයි මහත්තයා ? ” යැයි කියමින් දැරිය මුළුතැන්ගෙයි සිට දිව ආවාය.

”මොකද කරන්නේ ? ”

”මම බත් උයන්ට ලැහැත්ති වෙනවා ”

”රාතන් …. ඊට ඉස්‌සර වෙලා චිමිනි ලාම්පුව පත්තු කළොත් හොඳයි නේ ද? ”

ඒ සම`ගම දැරිය තම කාර්යය ඉටු කළාය. දුම් පයිප්පය උරමින් ඇඳි පුටුවෙහි හරිබර ගැසි හිඳගත් තැපැල් මහත්තයා වෙනදා මෙන් අදත් දැරිය සම`ග සතුටු සාමිචියට මුල පිරුවේය.

”රාතන් … උඹට අම්මා මතක ද?”

මෙය දෙනෙතට කදුළු න`ගන කතාවකට මුල පිරීමකි. දැරියගේ මතකය තමාගේ ළදරු සංදිය තෙක්‌ ඇඳි ගියාය. තම පියා තමාට බෙහෙවින් ආදරය කළ බව ඇයහොඳින් දනී. එහෙත් දැන් ඒ පිළිබඳව වැඩි විස්‌තරයක්‌ ඇයට හරිහැටි මතක නැත. එනමුත් ඇයට මතක තිබෙන්නේ තම පියා සන්ධ්‍යා කාලයෙහි දෛනික රාජකාරිය නිමා කොට නිවහනට පැමිණෙන අයුරු පමණි.

තැපැල් මහත්තයාගේ දෙපා මුල හිඳගත් ඇය තමාට මතක තිබෙන අතීතය ආවර්ජනය කරන්නට පටන් ගත්තාය. ඇයට සිටියේ එකම සොහොයුරෙකි. එහෙත් ඒ ගැන දැන් ඇය කිසිවක්‌ නොදත්තාය. එහෙත් තම සොහොයුරා සම`ගින් ළදරු සංදියේ දී නිවහන අසලින් ගලා ගිය දිය පාරෙහි මාළු සොයමින් පෑ ද`ගකම් නම් ඉඳහිට ඇයගේ මතකයට නැගේ.

දැරිය රාත්‍රී ආහාරය පිළියෙල කරන අතරතුර දී මුළුතැන්ගෙට පැමිණි තැපැල් මහත්තයාට තම මව සහ සොහොයුරිය ගැන ආවර්ජණය වූ කළ ඔහුගේ හදවත දරාගත නොහැකි වූ වේදනාවකින් පිරී යයි. දැන් මෙලොව තමාගේ දුකෙහි දි සැපෙහි දී තමා ළ`ග යම් කෙනෙක්‌ වේද? ඒ මේ කුඩා දැරිය පමණි.

මේ අතරතුරේදී දැරිය තැපැල් මහත්තයාගේ පවුලේ ආගිය තොරතුරු විමසන්නීය. මෙය ඇයට මහත් සතුටක්‌ ගෙන දෙන්නකි.

ගොම්මන් කළුවර වැටී එත්ම තණපත්වල සිහින් හඬ හුදෙකලා බවක්‌ කියා පෑවේය. අකුණු කොටන විට වලාකුළු බියෙන් කම්පනය විය. ඒවා රතු මිශ්‍ර කහ පැහැති ගිනි ජාලාවකින් ඇවිලිණි. මොහොතකින් සතර වටින් සුළං හමමින් මහවැසි ඇද හැලිණි. තැපැල් මහත්තයා දැරියට කතා කළේ ය.

”ඇයි මහත්තයා ?” යැයි කියමින් දැරිය දිව ආවාය.

”මට හිතයි උඔට අකුරු සාස්‌තරේ කියලා දෙන්ට”

එයට පිළිතුරු ලෙස දැරිය මුවින් කිසිවක්‌ පිට නොකළ නමුදු තම හිස කසන්නට අමතක නොකළාය. පසුදා සන්ධ්‍යා කාලයෙහි සිට තැපැල් මහත්තයා දැරියට හෝඩි පොතෙහි මුල් අකුරු කීපය කියා දුන්නේය. මෙලෙස දින කීපයක්‌ ගෙවී යත්ම, දැරිය කියා දෙන සියල්ල හරි හැටි ධාරණය කර ගන්නට සමත් වූවාය.

තවත් වැසි සමයක්‌ එලඹෙත්ම, ගහකොළ මල් වැල් නව ජීවයක්‌ ලැබුවේය. දවස පුරා නොකඩවා ඇද හැලෙන්නට වූ වැස්‌සෙන් ගං`ගා-ඇළ-දොළ පිරී ඉතිරී යන්නට විය. ගම්වැසියෝ තම දෛනික වැඩ කටයුතු පාරුවල ආධාරයෙන් කර ගත්හ.

තවත් එක්‌ වැසි දිනයක සන්ධ්‍යාවේ දැරිය තැපැල් මහත්තයා අකුරු කියා දෙන තුරු බලා සිටියාය. එහෙත් තැපැල් මහත්තයා ඊට සූදානම් නැත. ඔහු තම ඇඳෙහි වැතිර කල්පනා කරමින් සිටියේය. මෙතුවක්‌ වේලා අකුරු කියා දෙන තුරු බලා සිටි දැරිය අවසානයේ දී කාමරය කරා පිය මැන්නාය.

මොහොතකින් සිහින් හඬකින් ඇය අමතනු ඇයට ඇසිණි. සැබවින්ම එය කෙඳිරිල්ලක්‌ සහිත සිහින් හඬකි.

”මං හිතුවා උඔ මෙලහකටත් නිදි ඇති කියලා” යැයි කියමින් දැරිය දෙසට තැපැල් මහත්තයා තම දෙනෙත් හෙළීය.

”රාතන්… අද මට ටිකක්‌ සනීප මදි” දැන් ඔහුට කෙනෙකුගේ උපකාරය අත්‍යාවශ්‍ය වන වේලාවයි. ගැහැණු අතකින් තම නළල අතගා ගැනීමට හැකි වේ නම්? තමාගේ වේදනාව මඳකට හෝ අමතක වන බව හෙතෙම හොඳින් දනී. එහෙත් ඉතින් ඒ සියල්ලටම ඔහු ළ`ග සිටියේ… මේ කුඩා දැරිය පමණි.

තැපැල් මහත්තයාට වැළඳී තිබුණු මැලේරියා (ඵ්ක්‌රස්‌) උණසන්නිපාතය දිනෙන් දින උත්සන්න වත්ම දැරිය ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට තරම් උත්සුක වූවාය. ඇය කෑම වේල බෙහෙත් වේල ඔහුගේ ඇඳ අසලට රැගෙන විත් කවා පොවා ඉතිරි වැඩ කටයුතු නිම කළාය. මෙලෙස දින කීපයක්‌ ගෙවී යත්ම තැපැල් මහත්තයා සහ දැරිය අතර බැදුණු සෙනෙහසේ ප්‍රතිඵලයක්‌ ලෙස ඇය ඔහුට ”තාත්තා” යැයි කියා ඇමතුවාය.

”තාත්තාට දැන් සනීප ද?” මෙසේ ඇය ඔහුගේ අසනීපය සුවවන තුරුම ඇසුවාය.

මාසයකට ආසන්න කාලයක්‌ ගෙවී ගියේය. ඒ අතරතුරදී තැපැල් මහත්තයා තමාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතු කොට ගෙන මාරුවීමක්‌ ඉල්ලා තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලිපියක්‌ යැවීය.

එක්‌ දිනක්‌ තම දෛනික රාජකාරි නිමා කොට නිවහනට ගොඩ වැදුණු තැපැල් මහත්තයා දැරියට කතා කළේය. ඇය එක පිම්මෙන් මුළුතැන්ගෙයි සිට දිව ආවාය.

”ඇයි තාත්තා ? ”

”දුව… මම හෙට මෙහෙන් යනවා”

”කොහෙට ද ?”

”කල්කටාවට”

”එතකොට තාත්තා ආපහු මෙහෙ එන්නේ කවද ද ?”

”මං ආයේ කවදාවත් මෙහෙ එන්නේ නැහැ” මෙම වදන් වැල තැපැල් මහත්තයාගේ මුවින් ගිලිහෙත්ම, දැරියගේ දෙනෙත් කඳුලින් බර වූ නමුදු ඇය එය පිටතට නොපෙනෙන්නට වග බලා ගත්තාය. ඔවුන් අතර බොහෝ වේලාවක්‌ යනතුරු දැඩි නිහඬතාවයක්‌ පැවතුණි.

ආලින්දයෙහි දැල්වුණු චිමිනි ලාම්පුවෙන් නිකුත් වූ මඳ එළිය අවට අඳුර පලවා හැරීමට සමත් නොවීය. පියස්‌සෙහි වූ සිදුරක්‌ තුළින් රූරා වැටෙන වැහි බිංදු අවට තිබුණු නිහඬතාවය වරින් වර බිඳ දැමුවේය.

මොහොතකින් දැරිය මුළුතැන්ගෙය කරා පිය නැගුවාය.තැපැල් මහත්තයාගේ රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට දැන් වේලාව පැමිණ තිබේ. එහෙත් වෙනදා මෙන් නොව අද එම කාර්යය කිරීමට ඇයගේ හදවත ඉඩ නොදේ. වචනයෙන් කියා ගත නොහැකි වේදනාවක්‌ ඇයගේ හදවත වෙලා ගෙන ඇත.

කෙසේ නමුදු දැරිය තැපැල් මහත්තයාගේ රාත්‍රී ආහාරය පිළියෙළ කර දුන්නාය. රාත්‍රී ආහාරය ගෙන නිමාවත්ම ඔහු අසලට පැමිණි ඇය මෙසේ කීවාය.

”තාත්තා… හෙට කල්කටාවට යනකොට මාවත් එක්‌කන් යනවද?”

එම ප්‍රශ්නය හමුවේ මහත් වික්‍ෂිප්තභාවයට පත් වූ තැපැල් මහත්තයා ඊට පිළිතුරු ලෙස කිසිවක්‌ නොකියා තම කාමරය වෙත පිය මැන්නේය.

එදින රාත්‍රිය පුරාම දැරිය නොනිදා තැපැල් මහත්තයාගේ මෙම හදිසි වෙන්ව යැම ගැන මහත් සේ දුක්‌ වූවාය.

පසුදා අරුණෝදයෙන්ම අවදි වූ තැපැල් මහත්තයාට තම මුහුණ කට සේදීමට අවශ්‍ය කළමණා ටික වෙනදා මෙන් ළිඳ අසළ පිළිවෙලින් තබා තිබෙන අයුරු දැකගන්නට ලැබුණි. ඒ අවස්‌ථාවේ දී දැරිය මුළුතැන්ගෙයි දොර අසළට වී බිම බලාගෙන කල්පනා කරමින් සිටියාය.

”දුව… මගේ මාරුවීම ගැන එච්චර හිතන්ට ඕනේ නැහැ. මං ගියාට පස්‌සේ මෙහෙට එන අළුත් තැපැල් මහත්තයා දුවට හොඳට සලකාවි”

”ඕනේ නැහැ… ඕනේ නැහැ… මං ගැන මීට පස්‌සේ කව්රුවත් නොබැළුවාට කමක්‌ නැහැ. මං තව ටික වැඩි දවසක්‌ මෙහෙ ඉන්න එකක්‌ නෑ”

මෙයට පිළිතුරු ලෙස කිසිවක්‌ නොපැවසූ තැපැල් මහත්තයා බිම බලාගෙන එතැනින් නික්‌ම ගියේය.

”දුව… මෙතන සල්ලි ටිකක්‌ ඇති ඒක තියාගන්ට” ඔහු තමාගේ ගමනට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය පමණක්‌ තමා ළ`ග තබාගෙන ඉතිරි මුදල් ඇයගේ අතෙහි තැබුවේය. දැරිය තමා තනිකර දමා නොයන්නැයි කියා තැපැල් මහත්තයාගේ දෙපාමුල වැඳ වැටී කිපවතාවකත්ම ආයාචනා කළාය.

විනාඩි කීපයක්‌ ගෙවී ගියේය. තැපැල් මහත්තයා අවසන් වරට තමාගෙන් සමුගන්නා අයුරු දැරිය නිවහන අසල තිබූ රූස්‌ස ගසකට මුවා වී බලා සිටියාය. තම කුඩය ඉහලා ගත් තැපැල් මහත්තයා තමාගේ ට්‍රන්ක පෙට්‌ටිය කෙරෙහි තබාගෙන සිටි ගම්වැසියා සම`ග ගමනට පිටත් වූයේය. මොර සූරන වැස්‌ස නොකඩවා ඇඳ හැලෙන්නට විය. ඔහුගේ හදවත දරාගත නොහැකි වේදනාවකින් පෙළෙයි.

තමාගේ මාරුවීම අවලංගු කර ගැනීමට හැකි නම් ? එය කොතරම් හොඳද යෑයි කියා ඔහුට සිතුණි. එහෙත් එයට ප්‍රමාද වූවා වැඩිය. ඔහු රැගත් පාරුව සෙමින් ග`ග මැද්දට ඇඳුණි. තමා සම`ග කල්කටා නගරයට යැමට මහත් ආසාවෙන් බලා සිටි මෙම කුඩා දැරිය ගැන ඔහුගේ හදවත හඬා වැළපෙයි. එහෙත් ඒ වෙනුවෙන් දැන් තමා කුමක්‌ කරන්න ද? ක්‍රම ක්‍රමයෙන් තැපැල් මහත්තයාගේ දෙනෙත් මානයෙන් දිස්‌වෙන උල්පූර් ගම්මානය බොඳ වී යන්නට පටන් ගත්තේය.

පරිවර්තනය
පූජ්‍ය ඇතිපොළ මංගල හිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.