“හුන්නට” පණිවිඩයක්‌ ඇරිය නම් හොඳයි

ගෙවල් දොරවල් හෝදන්න ඉස්‌සරින් බිත්තිවල හුනු ගාව ගන්න “හුන්නට” පණිවිඩයක්‌ ඇරිය නම් හොඳයි.”

සිංහල අලුත් අවුරුදු ළං ළංව එද්දී එසේ කිව්වේ අපගේ මිත්තණියන්දෑය. ඉන් ටික දිනකට පසු උදෑසන හත වෙද්දීම වාගේ හුන්නා ආවේය.

හුන්නා සමග තරුණයෙක්‌ සහ ළමයෙක්‌ද ආහ. රියනක්‌ තරම් උස, හරි හතරැස්‌ අඩියක ඉඩකඩ ඇති ලොකු බෙලෙක්‌කයේ කට පෙත්තටම තෙත බරිත හුනු පිරී තිබිණි. හුනු බෙලෙක්‌කය නොසෑහෙන්න බර නිසාදෝ හුන්නාත් තරුණයාත් එය ඔසවාගෙන ආවේ බෙලෙක්‌කය කඹ හතර පොටක්‌ මත රඳවා කදක්‌ ගෙන එන ආකාරයට ලොකු දෙදෙනාගේ උරහිස්‌ මත රැඳවූ සවිමත් ලීයක එල්ලාගෙනය. ළමයා ගෙන ආවේ විවිධ ප්‍රමාණයේ දිගින් යුතු ලී මිටවල් ඇති හුනු ගාන කොසු කිහිපයකි. හුනු කද ළිඳට ආසන්නයේම තබා හති අරින්නටවත් නොරැඳී තරුණයා ආ පයින්ම පිටත්ව ගියේය.

හුනු දිය කිරීම සඳහා ලොකු පනිට්‌ටු දෙකක්‌ ඉල්ලා ගත් හුන්නා රාජකාරිය පටන් ගත්තේය. ඔවුන් විසින්ම ගෙන ආ මිට දිග පොල්කටු හැන්දකින් තලප මෙන් වූ හුනු හැඳි හතරක්‌ පහක්‌ පනිට්‌ටුවකට දැමූ ඔහු ළමයාට මෙසේ පැවසීය. හින්නි පුතේ වතුර බාල්දියක්‌ ගෙනෙන්.”

හුන්නාගේ පුතාට හින්නා යයි නම තබා ගත්තේ තමා විසින්මය.

පදම එනතුරු වතුර දමමින් පොල්කටු හැන්දෙන් කාල්ගාමින් හදාගත් හුනු දියරය සුදුම සුදුපාට විය. අප රොබින් කුරුල්ලා යයි හැඳින්වූ කුරුල්ලාගේ ලාංඡනය ඇති රොබින් නිල් පැකැට්‌ටුව අතට ගත් ඔහු හුනු බාල්දියට නිල් කුඩු ස්‌වල්පයක්‌ මිශ්‍ර කර නැවතද කාල්ගෑවේය. එවිට අර හෝදා ඉස්‌තිරික්‌ක කරන ලද පිරුවටයක පවතින්නාවූ සුදුම සුදු පාට වෙනස්‌ව ගොස්‌ හුනු දියර ලා නිල්පාට විය. ඊළඟට දියලුණු අහුරක්‌ද ඊට එකතුකර කාල්ගෑමෙන් මිශ්‍රණයේ කටයුතු අවසන් වූ බැව් පෙනුණි.

පළමුව හුනු ගෑවේ ගෙය ඇතුළත කාමරවලය. වහලයේ පරාල, රීප්ප අතරේද, බිත්තිමුලුවලද මකුළුදැල් කඩා තිබුණේ හුනු ගාන්නට දින කිහිපයකට කලිනි.

හුනු ගාන බිත්තිය අද්දරින් හුනු බාල්දිය තැබූ ඔහු කාමරයේ අනිත් බිත්තිය තෙක්‌ පසුපසට ගොස්‌ තමාට වඩා අඩි එකොළහක්‌ ඈතින් ඇති හුනු දියරයේ කොස්‌ස ඔබා පොඟවා දෙවරක්‌ බාල්දිය ගැටේටේ ගසා වැඩි දියර හලා ඒ සැණින්ම කොස්‌ස ඉහළට ඔසවා බිත්තිය මුදුනේ සිට පහළට හුනු ගෑමට පටන් ගත්තේය. හින්නාගේ තාත්තා අඩි පහමාරක්‌ පමණ උස්‌වූ මිනිසෙකි. අඩි එකොළහක්‌ පමණ දිග වූ කොසු මිටේ අගිස්‌සෙන් අල්ලා අත ඉහළටම දිගු කළ විටය ඔහුට බිත්තිය මුදුනේම හුනු ගෑමට හැකි වූයේ. ඒ අනුව බලන කල අපේ ගෙදර මුදුන් බිත්තියක උස අඩි දහහතක්‌ පමණ විය.

හින්නාගේ තාත්තා බිත්තියක උසින් තුන් කාලක තරම් ප්‍රමාණයක හුනු ගෑ විට පහළ කොටසේ ඉතිරි කාලේ හුනු ගෑවේ හින්නාය. ඔහු ඒ සඳහා යොදා ගත්තේ මිට අඩි දෙකක්‌ තරම් දිග වූ කොස්‌සකි. බිත්තියේ පාමුල හරියේ හුනු ගාන විට හින්නාගේ කොසු මිටේ දිග අඩියක්‌ තරම් විය. වරින් වර තම පුත්‍රයාගේ වැඩ පරීක්‍ෂා කර බලන පියා අඩුපාඩු ඇති තැන් පෙන්වා දී ඒ තැන් පිළිසකර කර දුන්නේය.

ගෙය ඇතුළත හුනු ගා අවසන් කිරීමට දින තුන හතරක්‌ම ගතවිය. මේ දින කිහිපයේදී සම වයසේ තරම් වූ අප දෙදෙනා අතර කතාබහින් නොව දැකීමෙන් ලියලන්නට වූයේ සුහදත්වයකි.

මම උදැසන පාසල් යැමට ලකලෑස්‌ති වන විටත් සිය පියා සමග පැමිණ සිටින හින්නා හුනු ගාන්නට අවැසි දේ පිළියෙල කිරීමට පියාට අත්උදව් දෙයි. නාවික නිල්පාට ඩ්‍රිල් රෙද්දෙන් මැසූ කොට කලිසමත්, අත් කොට සුදු කමිසයත් ඇඳ මේස්‌ සපත්තු පැළඳ පාසල් යැමට සැරසෙන මදෙස හින්නා බලා සිටින්නේ ආශාව පිරි විකසිත දෙනෙතිනි.

හින්නා සෙල්ලමට අල්ලාගෙන සෙල්ලම් කරන්න ඇත්නම්· යයි මට කොතෙකුත් සිතිණි. එහෙත් ඊට අවස්‌ථාවක්‌ ලැබුණේම නැත.

ඒ වෙලාවේ මම හිටියේ පරණ වූ අභ්‍යාස පොත්වල පිටුවලින් හැදූ රොකට්‌ හා ගුවන් යානා අතින් විසිකර ගුවන්ගත කරමිනි. හින්නා හිටි පියේම නතර වී කිරීමට ආ කාරියද අමතකව මදෙස බලා සිටින්නට විය.

ඔහුට රොකට්‌ටුවක්‌ දුන්නෙමි. අප දෙදෙනා තරගයට මෙන් රොකට්‌ යෑවීමට පටන් ගත්තෙමු.

එක්‌ වරටම හින්නා වෙතට කඩාපාත්වූ ඔහුගේ තාත්තා හින්නාගේ ඔළු ගෙඩියට මිට මොළවා ඇන්නේ පොල් ටොක්‌කකි. රොකට්‌ යවමින් උන් හින්නාට දවල් තරු පෙනෙන්නට ඇත.

“මම අරහෙ හුනු ගේනකම් බලා ඉන්නවා. උඹ මෙතැන… ” හින්නාට එසේ කියූ ඔහුගේ තාත්තා මා වෙත බයාදු සිනාවක්‌ පෑවේ මා සමග සෙල්ලම් කරමින් සිටියදී හින්නාට පහර දීම නොමනා යෑයි සිතූ නිසා විය යුතුය.

ටොකු පහර කා හිස ඇලයට හරවා ගෙන හිස අතගා ගත් හින්නා මදෙස බලා දඟකාර සිනහවක්‌ පෑවේ කිසිවක්‌ සිදු නොවූ විදියටය. මට නම් එවන් ටොක්‌කක්‌ මුත්‍රා පහවීමට වුව ප්‍රමාණවත්ය. හින්නා ටොකු කා පුරුදු කාරයෙක්‌ විය යුතුය.

හින්නාටත්, පියාටත් දවල් බත දුන්නේ අපේ ගෙදරිනි. මහ ගෙයත්, කුස්‌සියත් අතර තබා ඇති ඉස්‌පිරිතාල බංකුවක්‌ වැනි දිග ලී බංකුවේ වාඩිවී ඔවුන් බත් කෑවේ අල්ල මත තබා ගත් පිඟන්වලිනි. කටට දෙකට මගේ බත්පත ගිල දැමූ මම හින්නාත්, ඔහුගේ තාත්තාත් බත් කන හැටි බලා හිටියේ ඒ ආසන්නයේ වූ බේසම් කණුව මත වාඩිගෙනය.

“ඉඳා පුතේ බඩ පිරෙන්න කාපන්” හින්නාගේ තාත්තා තම පිඟානේ වූ මාළු කෑලි දෙකක්‌ හින්නාගේ පිඟානෙන් තබා තම පුතු දෙස ආදරයෙන් බැලීය. මේ ටිකකට පෙර පුත්‍රයාට ටොක්‌කක්‌ ඇන්න පියාගේම ආදරය නොවේ දැයි මට සිතිණි.

“හා, හා, ඔහේ කන්න. අපි දරුවට තව මාළු දෙන්නම්.” මම මෙන්ම එම සිද්ධිය දුටු මගේ මිත්තණිය එසේ පවසා මාළු හොදි කරදීසිය ගෙනවුත් හින්නාටත් තාත්තාටත් මාළුත් හොදිත් බෙදුවාය.

ඉන් මොහොතකට පසු මා දුටුවේ හින්නාගේ තාත්තාගේ දැසින් කඳුළු වැගිරෙන හැටිය. බත් පිඟාන බංකුව මතින් තැබූ ඔහු තම සරමේ වාටියෙන්ම දෙනෙත පිසදාගෙන නාසයද සූරා පිස දමා ගත්තේය. තම පියා දෙස එක්‌ වරක්‌ පමණක්‌ බැලූ හින්නා කරබාගෙන බත් කෑවේය.

ඔවුහු ආහාර ගෙන අවසන් වෙන තුරුම අඩුපාඩු බලන්නට වරින් වර එන මිත්තණිය හින්නාගේ පියා කඳුළු සලන හැටි දුටුවාය.

“මොකෝ, ඔහෙට මාළු හොද්ද සැර වැඩි උනයි?

“එහෙමයි හාමිනේ.”

“සැර වෙන්නෙ නැතැයි ඔහේ බුලත් කන තරමට. හුනු, දුංකොලවල සැරට කට, දිව පැලිල ඇති.” සැබෑ විය හැක. හින්නාගේ තාත්තාගේ මුවේ බුලත් හපයක්‌ නොවූ මොහොතක්‌ නැති තරම් විය. පියා පමණක්‌ නොව හින්නා ද බුලත් හැපුවේය. ඔවුන් දෙදෙනා පළමුවෙන් දුටු දිනයේත් ඉන් පසුවත් මම විස්‌මයට පත් කළ කරුණක්‌ තිබිණ. එය නම් ඔවුන්ගේ අසාමාන්‍ය වූ හමේ පැහැයයි. මගේ වැඩිහිටියන්ද කිව්වේ ඔවුන් සුද්දන්ටත් වඩා සුදු බවයි. එහෙත් මම ඒ වන විට සුද්දෙකු ජීවමානව දැක නොසිටියෙමි. හින්නාත්, ඔහුගේ පියාත් හුනුවල පාටින් වෙනස්‌ වුයේ ඔවුන් තරමක්‌ කහපාටට හුරු වූ බැවිනි. මේ සුදුපාට හම නිසාදෝ බුලත් කහටින් පෙඟුණු ඔවුන්ගේ දෙතොල් රත් පැහැයෙන් දිස්‌වූයේ පන්සලේ පිළිම ගෙයි ඇති කාන්තා රූපවල දෙතොල් මෙනි.

රෑ කෑමෙන් පසු අපේ ගෙදර මැද සාලයේ සාකච්ඡා මණ්‌ඩපය ආරම්භ විය. ඊට මිත්තණියෝ දෙදෙනා, අම්මා. ලොකු අම්මා, නැන්දලා තිදෙනා සහ පොඩි සීයා ඇතුළත් විය. පිරිසගේ මාතෘකා අතරට හින්නලාගේ හමේ පැහැය ද ආවේය.

“ඔය අඩු කුලවල මිනිස්‌සුය කියලා හිතාගෙන අපේ ගෙවල්වලට ආවම අපි පුටු බාගේ දෙන මිනිස්‌සු සමහරවිට හොඳ පරම්පරාවලින් පැවතෙන රාජකීය ලේ තියන මිනිස්‌සු වෙන්නත් බැරි නෑ. කාගෙවත් ලේ වල ඇති වෙනසක්‌ නිසාවත් ශරීරෙ ඇති අඩුපාඩුවක්‌වත් නිසාවත් නෙවෙයිනේ ඔය අර කුල – මේ කුල කියලා බෙදලා තියෙන්නේ· රජ කාලේ මිනිස්‌සුන්ට පවරපු රස්‌සාවල් නිසා. කුඹුරු අස්‌වද්දලා ගොයිතැන් කරන්න භාරදීපු මිනිස්‌සු ගොවියන්ට වෙන් කරපු නින්දගම්වල හිටිය නිසා ගොවිගම වුණා. ධීවර කර්මාන්තෙ භාරදීපු මිනිස්‌සු කරාවෙ වුණා. හමුදාවේ එක එක ධුරවලට පත් කරපු මිනිස්‌සු දුරාවෙ වුණා. මැටි භාජන කර්මාන්තේ භාරදීපු අය කුඹල් වුණා. අනිත් හැම කුලයක්‌ම එහෙමයි.

කුල බේද මිනිස්‌සුන්ගේ බොරු මනස්‌ගාත.

එසේ පැවසුවේ අම්මාගේ පොඩි මාමා වූ අපගේ පොඩි සීයාය. කොළඹ ජීවත් වෙන පොඩි සීයා සිංහල අවුරුද්ද ළං වෙත්ම ගමට පැමිණෙයි. ඔහු කරුණු කාරණා දන්නෙකියි මගේ විශ්වාසය විය.

ගෙයි ඇතුළත බිත්තිවල සුදු හුණු ගා අවසන් විය. පිට පැත්තේ බිත්තිවල ගාන්නේ සුදු හුණු නොව සමරය. සමර කහ පාටය.

සමර කුඩු පැකැට්‌ටුව අතට ගත් හින්නාගේ තාත්තා නිල් කුඩු කලවම් නොකළ සුදු හුණු බාල්දියක්‌ ගෙන එයට සමර කුඩු දමා හොඳින් කවලම් කෙළේය. නැවත සිමෙන්ති කුඩු අහුරු දෙකක්‌ ද ඊට මුසු කළ ඔහු හුණුත්, සමර කුඩුත්, සිමෙන්ති කුඩුත් එකම මිශ්‍රණයක්‌ වෙනතුරු හොඳින් කාල් ගෑවේය.

වැස්‌සට, පින්නට, හිරිකඩට අහුවෙන පිට බිත්තිවල පාට සේදී නොයනු පිණිස සිමෙන්ති කුඩු එක්‌ කළ යුතු බව ඔහු කාට හෝ පවසනු මට ඇසී තිබිණ.

ළා කහපාට සමර ආලේපිත බිත්ති දෙනෙතට ප්‍රිය විය. සමර ගෑ බිත්ති නිසා අපේ මහ ගෙදරට කලඑළියක්‌ ලැබුණා නොවේ දැයි මට සිතිණි. සුදු හුනු ගෑ ගෙය ඇතුළේ බිත්තිවල යට කෙළවරේ කළු පටියක්‌ද, සමර ගෑ පිටත බිත්තිවල යට රතු පටියක්‌ද පින්තාරු කළ විට නිවසට අපූරු අලංකාරයක්‌ ලැබිණි.

හුණු ගෑමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වූයෙන් ගනුදෙනු බේරාගත් හින්නාගේ තාත්තා සිය ආම්පන්න ද පුත්‍රයා ද කැටුව මගට බැස්‌සේය.

“යන්නම්” හින්නා මට කිව්වේ ඇසෙන නෑසෙන හඬින්ය. හුනු ගාන කොසු කිහිපයක්‌ කර මත තියාගත් හින්නා පියා පසුපස ගාටමින් ඈත් වී යන හැටි මම බලා හිටියේ ශෝකයෙනි. හින්නාගේ සොඳුරු ළමා විය ඔවුන්ගේ පවුලේ ජීවන බර විසින් පාගා චප්ප කර දමා ඇතිවා නොවේදැයි මට තේරුම් ගියේ එම දිනවලදී නොව පසු කාලයකදීය.

එම වසර ගෙවී ගොස්‌ උදාවූ ජනවාරියේදී මට ගමින් ඈත්ව යාමට සිදුවූයේ නගරයේ උසස්‌ පාසලකට ඇතුළත්ව එහි නේවාසිකාගාරයේ නතරව අධ්‍යාපන කටයුතු කිරීමට සිදුවූ නිසාය.

අපේ ගෙදර බිත්තිවල හුණු ගෑ අවසන් වතාව එය යයි මම සිතමි. ඉන් වසර දෙකකට පමණ පසු එක්‌ පාසල් නිවාඩුවකට ගෙදර පැමිණි වහාම මා දුටුවේ පිට බිත්ති රෝස පාටින්ද, ඇතුළත බිත්ති ළා කොළ පාටින් හා කහ පාටින් පින්තාරු කර ඇති බවය. මට එය විශේෂයක්‌ වුවද අපගේ අහල – පහල නිවෙස්‌ වලද විවිධ වර්ණ ආලේප කර තිබිණි.

පොල්කිච්චන් දුක්‌ ගී ගයන, හෙන්දිරික්‌කා මල් පිපෙන සෝබර සැඳෑව එළඹෙමින් තිබිණ. ඔවුහු අප නිවසට ආවේ එවන් විටකය. කුස්‌සිය ළඟ ලී බංකුවේ වාඩිවී උන් හින්නා මා දුටු විගසම නැගී සිට සිනහවක්‌ පෑවේය. හින්නා උස ගොසිනි. පෙරටත් වඩා හීන්දැරිය. සුදුමැලිය. හින්නාගේ තාත්තා හිස නවා උර මත වූ තුවාය අතට ගෙන සිනහවක්‌ පෑමට උත්සාහ දැරුවත් කටේ තොලේ පෙර නොවූ විකෘතියක්‌ ඊට බාධා කෙළේය.

“දැන් කාලෙකින් හරි හමං රස්‌සාවක්‌ කෙරුනෙ නෑ. දැන් ගෙවල්වල හුණු ගාන්නේ සමර ගාන්නේ නෑ. ඔන්න ඔය “ඩිස්‌ටැම්පර්” ද මොකක්‌ද රට තීන්ත වර්ගක්‌ ඇවිල්ලා දැන් හැමෝම ගාන්නේ ඒවා.”

ගොත ගහමින් මෙන් අපහසුවෙන් කතා කළ හින්නාගේ පියා අපේ ගෙදර බිත්ති දෙස ද බැල්ම විහිද විය. මට කිසියම් අපහසුවක්‌ දැනිණ.

“ඉතින් ඔහෙලටත් බැරියෑ අලුත් තීන්ත ගාන්න පුරුදු වෙන්න.”

මගේ මිත්තණිය ඇසුවාය.

“ඒ තීන්ත ගාන එක හුණු ගානවා වගේ අමාරු නෑ හාමිනේ. තීන්ත ටින් එකත් එක්‌ක බුරුසුවකුත් ගත්තම තම තමන්ටම ගා ගන්න ඇහැකි. මේ උන්නාන්සෙල පවා ඉණිමං උඩ නැගිලා චෛත්‍යවල සුදු තීන්ත ගාන හැටි මගේ දැහින්ම දැක්‌කා. අපේ පරම්පරා රස්‌සාව ඉවරයි. මට දුක මෙන්න මේ කොල්ල ගැන. උන් අපේ රස්‌සාව ඉගෙන ගත්ත මිසක්‌ ඉස්‌කෝලෙක ගිහිල්ලා අකුරක්‌ ඉගෙන ගත්තෙ නෑ. උන් අනාථයි.

සිමෙන්ති උර බෑගයක දමා මගේ මිත්තණිය දුන් කළමනා ටිකක්‌ හා මුදලක්‌ පිළිගෙන පින්දුන් හින්නාගේ පියා ගෙය වටෙන් ගොස්‌ මගට බැස්‌සේය. හින්නා පෙර මෙන්ම පියා පසුපස ගියේය.

“ඒ මනුස්‌සයගේ උගුරේ මහ ලෙඩේ හැදුනා. දැන් උගුර ඔපරේසන් කොරලා මොකක්‌ද බටයක්‌ හයි කරලයි තියෙන්නේ. ලෙඩ දුක්‌ අස්‌සේ උන්ගේ පරම්පරා රස්‌සාවත් නැති වුණාම හිඟමනට තමයි වැටෙන්නේ. හැම නස්‌පැත්තියක්‌ම දුප්පත් අහිංසක උන්ටම තමයි.

දයාවන්ත හදවතක්‌ ඇති මගේ මිත්තණිය විස්‌සෝප වූවාය.

මම නැවත හින්නා දකින්නේ කොතරම් කලකට පසුව දැයි නිශ්චිත නැතත් අඩුම තරමින් වසර දහයකටවත් පසුව විය යුතුය. පාර දිගේ සුළඟට ගසාගෙන යන පරඬැලක්‌ මෙන් වූ ඔහු හඳුනාගෙන කතා කරනු ලැබුවේ. මා විසින්මය. හින්නා ඇඳ සිටි කමිසය අවුරුදු දහයක දොළහක ළමයෙකුට වුව ඇඳිය හැකි ප්‍රමාණයේය. ඔහු ඇඳගෙන උන් කඩමාලු සරම ඇතුළේ මිනිහෙකුගේ ඉණක්‌, උකුලක්‌, පාද දෙකක්‌ තිබේ දැයි විශ්වාස කළ නොහැකි තරම්ය.

“ආ මේ සල්ලි ටික තියාගෙන ටික දවසක්‌ හරි හොඳට කන්න බොන්න”.

මුදල් නෝට්‌ටු කිහිපයක්‌ ඔහුගේ උඩ සාක්‌කුවට ඔබමින් මම පැවසීමි. මා ඉදිරිපිටදීම සිය වැල් කෝටු වැනි අතැඟිළිවලින් මුදල් ගැන බැලූ හින්නාගේ දෑස මොහොතකට ආලෝකවත් විය.

“….. තාත්තටයි – අයියටයි පිං දීලා අපේ පන්සලට දානේ ඩිංගක්‌ හදල දෙන්න ඇහැකි.”. ඔහු සතුටින් මෙන් පැවසීය. මසිතේ යම් කෝපයක්‌ ද විමතියක්‌ද එක්‌විටම පහළ විය.

අයියා මළේ මොනවා වෙලාද? මම සන්සුන්ව විමසීමි.

“වහ බීලා. මට නම් ඒ වගේ දේකටවත් හිතේ හයියක්‌ නෑ” හින්නාගේ හඬ බිඳී ගියේය.

ඊළඟ වසර දෙක තුනේ ගමට ගිය වාරයන් හිදී හින්නා දැක ගැනීමේ වුවමනාව පැවතියත් එය ඉටු නොවීය. මම මෙවර ගෙදර පැමිණියේ මිත්තණියගේ අවුරුද්දේ දානමය පින්කම වෙනුවෙනි.

“අර ඉස්‌සර අපේ ගෙදර හුනු ගාපු මනුස්‌සයගේ පුතා හින්නා එහෙම පාරේ යනවවත් දැක්‌කේ නැද්ද අම්මේ”. මම මවගෙන් විමසීමි.

“දැනට මාස හත අටකට ඉස්‌සර ඒ කොල්ලා කෝච්චියට හැප්පිලා මැරුණයි කියලා ආරංචි වුණා”.

“හැප්පිලා? මැරුණා? මම නැවත නැවතත් මුමුණා ගත්තෙමි.

කාමර වලටද ඇතුළු වෙමින් පිටවෙමින් මා ගෙය පුරා සෙමෙන් සෙමෙන් ඇවිද ගියේ නිශ්චිත අරමුණක්‌ ඇතිව නොවේ. දැන් අප නිවසේ බිත්ති පින්තාරු වී ඇත්තේ ඩිස්‌ටෙම්පර්ද වැසී යන සේ ගාන ලද රබර් තීන්තවලිනි. එහෙත් මැද සාලයේ උසම බිත්තිවල සොල්දර බාල්කවලට ඉහළින් තවමත් ඇත්තේ හින්නලා ඉස්‌සර ගෑ හුනුමය.
රෝහිත මුණසිංහ
ප්‍රංශය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.