දැන් කාගෙත් මල්ලි කොත්තමල්ලි

නිරන්තරව හේනේ කුඹුරේ වැඩ කළ අපේ ගැමියාට සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ යනු ආගන්තුක රෝගයන් නොවේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩාල වූ සැණෙන් වැළඳෙන මේ රෝග දෙකට ප්‍රතිකාර හැම ගැමි නිවෙසකම නොවැරදීම තිබිණි. දැන් කොරෝනා වෛරස් ආසාදනයෙන් බේරීමටත් කොත්තමල්ලි නිර්දේශිතයි.

කොත්තමල්ලි යනු අප කොයි කවුරුත් හොඳින් හඳුනන ඖෂධයකි. ආහාර රසවත් කරන තුනපහ මිශ්‍රණයේ වැඩි ඉඩක් වෙන්වනනේ කොත්තමල්ලි සඳහා ය. ඒ නිසාම ඖෂධයක් ලෙස පමණක් නොව ආහාරයක් ලෙස ද කොත්තමල්ලි මුළුතැන්ගේ තුළ නිරන්තරව භාවිතයට ගැනිණි. වැසි වැටෙන්නට පටන්ගත් සැණින් කොත්තමල්ලී මිටක් සමඟ ගෙවත්තේ වවා තිබූ අමු ඉඟුරු කැබැල්ලක් තලා භාජනයකට දමා තම්බා ගැනීමත්, ඉන්පසුව සීනි සමඟ හෝ නැතිව පානය කිරීමත් අද ද ගැමි නිවෙස් වල සිදුකෙරෙන සුපුරුදු කටයුත්තකි.

මණ්‌ඩුකපර්ණී කුලයට අයත් කොත්තමල්ලි ඉන්දියාවේ සහ පකිස්‌ථානයේ සෑම ප්‍රදේශයන්හිම වැවෙනු ලැබේ. ධාන්‍යා, ධාන්‍යක, ආර්ද්‍රිකා, කුස්‌තුම්බුරු ආදී සංස්‌කෘත නාම වලින් හඳුන්වනු ලබන අතර කොත්තමල්ලි යනු ද්‍රවිඩ නාමයයි. සිංහල නම ‘කොතඹුරු’ වුවද බොහෝ දෙනා භාවිත කරන්නේ කොත්තමල්ලි යන නමයි. ඉංග්‍රීසියෙන් Coriander ලෙස හදුන්වන කොත්තමල්ලී ලංකාවේ යහමින් නොවැවෙන නමුදු අතීතයේ සිටම ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් ආනයනය කොට භාවිත කොට තිබේ. එසේම කොත්තමල්ලී ඖෂධයක්, සාම්ප්‍රදායික පානයක් ලෙස භාවිතයට ගැනීම ලොව බොහෝ රටවල ජනතාවගේ පුරුද්දකි.

විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී එහි ඇති ප්‍රතිප්‍රදාහක ගුණත්, විටමින් C වලින් අධික වීමත්, විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීමත් නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුවද කොත්තමල්ලි බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයකි.කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගු ය.

ශරීර උණුසුම්

කොත්තමල්ලි වල කෂාය, තික්‌ත, කුළු, මධුර යන රස හතර ම පවතී. වීර්යයෙන් උෂ්ණය; විපාකයෙන් මධුරය; ගුණයෙන් ලඝු සහ ස්නිග්ධ ය. වැසි සමයත් සමඟ කොත්තමල්ලී සහ ඉඟුරු එකට තම්බා පානය කිරීමෙන් ශරීරයට ඇතිවන ප්‍රධාන ප්‍රයෝජන දෙකකි. පළමු වැන්න නම් වැස්සත් සමඟ වෙනස්වන පරිසර උෂ්ණත්වය නිසා ශරීරයේ උණුසුම රැක ගැනීමයි. ශරීරයේ උණුසුම නිසි පරිදි පවත්වාගැනීමෙන් ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීම දෙවැනි ගුණාංගයයි. මේ නිසා වැසි සමයක් නොවූවද නිරන්තරව වැළඳෙන සෙම් රෝග සහ උණ රෝග වළින් ආරක්ෂා වීමට ඉඟුරු කොත්තමල්ලී පානය වැදගත් වේ.

බොහෝ දෙනා සැහැල්ලුවෙන් සැලකුවද කොත්තමල්ලී සතුව සුවිශේෂ ගුණාංග ගණනාවක් ඇත. ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණාංග පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුව ඇත. මවගේ මිය යෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි නොලැබී යන ළදරුවන්ට අතිතයේ දී ලබාදුන් ආහාර පරිපූරකය වූයේ කොත්තමල්ලී තැම්බූ වතුරයි. සමහරවිට මාස 6-7ක කාලයක් ම කොත්තමල්ලි තැම්බූ වතුරෙන් පණ ගැටගසාගත් ළදරුවන් කෘතිම ළදරු ආහාර පරිපූරක නොවූ ඒ කාලයේ අපේ ගම්වල විසූහ. “කොත්තමල්ලි වතුරෙන් හැදුණු එකා” වැනි තවමත් අතරින් පතර ඇසෙන ගැමි කියමන් වලට පාදකවී ඇත්තේ මේ කරුණයි.

කොත්තමල්ලිවල පවතින උෂ්ණ වීර්යය නිසා ශරීරයේ වාත කෝපයෙන් හටගන්නා කැක්කුම් සහ වේදනා සමනය වේ. එසේම එහි ඇති මධුර රස හේතුවෙන් ශරීරයේ ඇතිවන පිත් කෝප සමනය කළ හැකිය. මේ අනුව කොත්තමල්ලී තම්බා බීමෙන් වුවද ශරීරයේ තුන්දොස් සමනය කළ හැකිය.

එසේම අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව පවත්වා ගැනීමටද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වැසි සමයේදී අපිරිසිදු වතුර පානයෙන් ඇතිවන මුත්‍රා ආසාදන වෙතොත් ඒවා සුවකිරිමට ද කොත්තමල්ලි තම්බා පානය කිරීම සුදුසු ය. ආහාරයේ වස විෂ උරාගන්නා අක්මාව යළි ප්‍රකෘතිමත් කිරිමට ද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වෙනත් බොහෝ ඖෂධීය ගුණ දෙන ශාක හෝ පත්‍ර වර්ග නිරන්තරව භාවිතය නොසුදුසු යැයි නිර්දේශ කළද කොත්තමල්ලී නිරන්තර භාවිතයෙන් ශරිරයට කිසිදු අගුණයක් ඇති නොවේ. වයස් භේදයකින් තොරව ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම කොත්තමල්ලී පානය නිර්දේශ කළ හැකිය.

තම්බා බීමට

වැසි සමයේ අපිරිසිදු ආහාර ගැනීම නිසා ඇතිවන අජිර්ණ, අතීසාර, පාචන අවස්ථා වලදී ඉරිවේරිය සහ කොත්තමල්ලි සම පමණ ගෙන තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. කොත්තමල්ලි ඇට, හොඳින් වියලූ හීන් අරත්ත අල, වියළි ඉඟුරු, වියළි වෙනිවැල්ගැට සම පමණ ගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත්කර බීමට ගැනීමෙන් ශරිර පද්ධති වල ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් ව පවත්වා ගත හැකිය. තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද මෙය භාවිතයට ගත හැකිය. එදිනෙදා වැළඳෙන ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස ද මේ සංයෝගය යෝග්‍ය වේ.

අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනය සලසා ගත හැකිය. ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වල මේ වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසුය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකිය. වකුගඩුවල අපහසුතා, ඉදිමීම් ඇති විට කොත්තමල්ලි හා පත්පඩාගම්, බෙලිමුල් තම්බා බීමෙන් සහනය ලබාගන්නට පුළුවන. පැපොල රෝගය වැළඳුණු විටෙකදි පත්පාඩගම් සමඟ කොත්තමල්ලී තම්බා දෙන්නේ තුවාල වල වේදනාව අඩුකර ගැනීම පිණිස ය.

කොත්තමල්ලි ඇටයේ මෙන්ම කොළයේ ද බොහෝ ගුණ ඇත. කොළ පළාවක් ලෙස සකස් කර ආහාරට එක් කරගත හැකිය. ශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. සුප් වර්ග පිළියෙල කරන විට භාවිත කිරීමෙන් ප්‍රශස්ත රසයක් මෙන්ම ඖෂධීය ගුණය ද නොඅඩුව ලැබේ.

කොත්තමල්ලි කොළ පමණක්‌ නොව මුළු පැළෑටිය ම ආහාරමය සහ ඖෂධිය වශයෙන් ප්‍රයෝජනයට ගත හැකිය. ආමාශ හිතකාරීය; කෑම රුචිය වඩවන අතර ශාරීරික බාහිර හා අභ්‍යන්තර ප්‍රදාහ වළකන, කොලෙස්ටරෝල් හෙවත් මේද වෘද්ධි, දියවැඩියා හෙවත් මධුමේහය පාලනය කිරීමට ද අජීර්ණ, මුඛ තුවාල, පාණ්‌ඩුව, අක්‍ෂි රෝග ආදියට ද මානසික සුවතාව වර්ධනය කරගැනීමට ද කොත්තමල්ලි කොළ ආහාරයට එකතු කරගත හැකිය.

නැවුම් බව

ඌෂ්ණය නිසා කටේ ඇතිවන තුවාල තත්ත්වයන් සමනය කරන අතර මුවට නැවුම් බවක් ලබා දෙ කොත්තමල්ලි සිරුරේ අස්ථි නිරෝගී කරන අතර පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. ඩයරියා රෝග තත්ත්වය සුව කිරීමට ද කොත්තමල්ලි වලට හැකියාව ඇත. ඇස් රෝගවලින් දෑස් ආරක්ෂාකර ගැනීමට ද කොත්තමල්ලි භාවිතය ඔබට ප්‍රයෝජනවත් වේ. අධි රුධිර පීඩනය අඩු කිරීමට ද සරම්ප රෝගය වැළැක්වීමට ද කොත්තමල්ලි වලට පුළුවන. රසායන ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ශාක සාර මඟින්, අපගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළියම් යොදන්නට හැකිනම් එය දිගුකාලීන සුව දිවියකට මඟ පාදනු ඇත.

මීට කලකට පෙර ජිප්සීස් ගායක සුනිල් පෙරේරා කොත්තමල්ලි වල ගුණ ගැන දැනගෙන සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.