හෝටන්තැන්නේ දැවැන්ත ජාන මංකොල්ල මැඩලන්න මහ රෑ ගිය ගමන

horton plains

දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව මෙරටට පැමිණෙන රුසියානු ජාතිකයන් තිදෙනෙක් එක්ව කරන ලද එම ජාන හොරකම හරහා සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 ක් පමණ එරටට රැගෙන යෑමට එම රුසියානු ජාතිකයන් උත්සාහ ගෙන තිබෙන අතර වනෝද්‍යාන භාර වී. කේ. පී. එම්. ප‍්‍රදීප් කුමාර ඇතුලූ නිලධාරීන් පිරිසකගේ මැදිහත්වීම මත අවසානයේදී එය වැරදුන කුරුමානමක් බවට පත් වී ඇත.

හැන්දෑවත් එක්ක සැඟවෙන රුසියානුවන්
ඉකුත් 26 වැනි දින සිරිත් පරිදි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන පිවිසුම එහි පිවිසීම පිණිස සංචාරකයන්ට විවර වන්නේය. එදින විශාල පිරිසක් එහි පැමිණ සිට ඇති අතර උදෑසන 9.20 ට පමණ එම පිරිස අතරට එකතු වන රුසියානු සංචාරකයන් තිදෙනෙක්ය. අවශ්‍ය අවසරපත් ලබා ගැනීමෙන් අනතුරුව වනෝද්‍යානය තුළට ඇතුළුවන ඔවුන් කිසිවකුටත් සැකයක් ඇති නොවන අයුරින් වනෝද්‍යානය තුළ සැරිසරන්නට ගෙන ඇත්තේ එම මනරම් පරිසරයට අපමණ ලෙස ඇලූම් කළ පරිසර හිතකාමීන් තිදෙනෙක් පරිද්දෙන්ය. දිනය කෙමෙන් ගත වෙමින් පැවති අතර රාත‍්‍රි 7.00 පමණ වන විටත් ඔවුන් වනෝද්‍යානය තුළින් පිටතට නොපැමිණීමත් ඔවුන් පිළිබඳව කිසියම් හෝ තොරතුරක් වාර්තා නොවීමත් උද්‍යා භාර නිලධාරීන්ගේ අවධානයට ලක් වූ කරුණක් වී ඇත. එම සැකය වඩාත් වර්ධනය වීමට තවත් හේතුවක් බවට පත් වන්නේ එම විදේශිකයන් තිදෙනා පැමිණ සිටි මෝටර් රථය ඒ වන විටද වනෝද්‍යානයට අයත් රථ ගාල තුළ නතර කර තිබීමය.

රාත්‍රී ආලෝකධාරා
මෙරට සිරි නැරඹීම පිණිස පැමිණි මෙම විදේශීය සංචාරකයන්ට යම් අනතුරක් සිදු වූවේද නැතහොත් වෙනත් කරදරයකට පත්ව ඇත්ද යන්න පිළිබඳව විමසිලිමත් වන උද්‍යා භාර නිලධාරීන් ඔවුන් පිළිබඳව සොයා බැලීම ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවය. ඒ අනුව දැඩි මීදුමත් රාත‍්‍රී අන්ධකාරයත් අතරින් මෙම විදේශික ජාතිකයන් තිදෙනා සොයා මෙහෙයුම් අරඹන උද්‍යා භාර නිලධාරී ප‍්‍රදීප් කුමාර ඇතුළු නිලධාරීන් පිරිස පළමුව එම සොයා බැලීම සිදුකරනු ලබන්නේ වනෝද්‍යානයේ පිහිටි තොටුපළකන්ද ස්වභාවික මං පෙත ඔස්සේ වනෝද්‍යානයේ අභ්‍යන්තරයට ගමන් කිරීමෙනි. එලෙස දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඉදිරියට ගමන් කරන නිලධාරීන් පිරිසට තවත් නොබෝ වේලාවකින් දකින්නට ලැබෙන්නේ රාත‍්‍රි අන්ධකාරය ඉරා දමමින් විහිදෙන ආලෝකධාරා කිහිපයකි. ඒ අනුව ක‍්‍රියාත්මක වන නිලධාරීන් කෙටි මං ඔස්සේ එම විදුලි ආලෝක ධාරා විහිදෙන ස්ථානයට ලඟා වීමත් සමඟ ඔවුන්ට දකින්නට ලැබී ඇත්තේ එම විදේශිකයන් තිදෙනා ඔවුන් අතර රැදි විදුලි පන්දම් ආධාරයෙන් ගස් බෙන දියකඩිති ආදීය නිරීක්‍ෂණය කරන ආකාරයකි. එය දැඩි අවදානමක් සහිත රාත‍්‍රී කාලයක විදේශික ජාතිකයන්ට නොව වනෝද්‍යානය භාර නිලධාරීන්ට පවා පහසුවෙන් කළ නොහැකි අපහසු කාර්යයක් බැවින් වන නිලධාරීන් ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් වී ඇත්තේ එම කටයුත්තේ කුමන හෝ අබිරහසක් ඇතැයි යන සිතුවිල්ලෙනි. එහිදී එක් නිලධාරියකුට දකින්නට ලැබී ඇත්තේ එක් සංචාරකයෙක් පැළඳ සිටි කබායක සාක්කුවක් තුළින් කුරුමිණි විශේෂයකට අයත් කුරුමිණියන් කීප දෙනෙක් පිටතට පැමිණෙන දර්ශනයකි. එම සැකය මත ඉන් අනතුරුව ඔහුව වඩාත් හොඳින් පරීක්‍ෂා කිරීමේදී ආරක්‍ෂක නිලධාරීන්ට මෙම මහා පරිමාණ ජාවාරමේ සුලමුල හෙළිදරව් කරගැනීමට හැකි වී ඇත.

රුසියානුවන් අත්අඩංගුවට
ආරක්‍ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වන මෙම රුසියානු ජාතිකයන් තිදෙනාව ඉන් අනතුරුව රැගෙන එනු ලබන්නේ ඔවුන් වනෝද්‍යානය දක්වා ගමන් ගත් මෝටර් රථය වෙතය. එම මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී සතුන් ඇල්ලීම පිණිස භාවිතා කරන උපකරණ රැසක් රසායනික කුඩු වර්ග කීපයක් තවත් විෂ රසායනික ද්‍රව්‍ය කීපයක් හා සත්ව විශේෂ කීපයක්ද සොයාගැනීමට හැකි වී ඇත. එහිදී කරන ලද වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම විදේශිකයන් තිදෙනා රැඳී සිටි පට්ටිපොළ ප‍්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනය ආරක්‍ෂක නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක් වී ඇත. එහිදී මෙම මහා පරිමාණ ජාන හොරකමට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් හා සැකකටයුතු සත්ව කොටස් විශාල ප‍්‍රමාණයක් හඳුනාගැනීමට වනෝද්‍යාන භාර ආරක්‍ෂක නිලධාරීන් සමත් වී ඇත.

එම පරීක්‍ෂාවේදී සර්පයින්, ගෝනුස්සන්, කටුස්සන්, සමනලයින්, කුරුමිණියන්, බත්කූරන්, මකුළුවන් ගොළුබෙල්ලන් ඇතුළු විශාල සතුන් ප‍්‍රමාණයක් සොයාගැනීමට හැකි විය. මීට අමතරව වටිනා ශාඛා වර්ග සහ අනෝදා ඇට, කොස්ඇට, කරවිල ඇට මෙන්ම හඳුනා නොගත් බීජ වර්ග රාශියක්ද මොවුන්ගේ සන්තකයේ තිබී අත්අඩංගුවට ගත්හ. මෙම සතුන් අතර මියගිය සතුන් හා සතුන්ගේ කොටස්ද විය.

පසුදින මෙම සැකකරුවන් සහ ඔවුන් සන්තකයේ තිබූ නීති විරෝධී සියලූම දෑ නුවරඑළිය මහෙස්ත‍්‍රාත් ප‍්‍රමෝද් ජයසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 05 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මින් පසුව ජීවත්ව සිටින සතුන් නිදහස් කිරීමට අධිකරණ නියෝග ලබාගැනීමට අවශ්‍ය වූ බැවින් මෝසමක් මගින් මාර්තු 03 දා සැකකරුවන් යළි අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙහිදී ජීවත්ව සිටින සතුන් ඔවුන්ගේ වාසභූමි හා පරිසර පද්ධතිවලට මුදාහැරීමට නියෝග ලබාගත්හ. සැකකරුවන් මාර්තු මස 12 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ජාන මංකොල්ලකරුවන්ගේ වතගොත
මෙම රුසියානු ජාතිකයින් තිදෙනාගෙන් එක් අයකු පුරාවිද්‍යාඥයෙකි. අනෙකා ජීවවිද්‍යාඥයෙකි. තෙවැන්නා පරිගණක සහ අන්තර්ජාල විශේෂඥයෙකි. මෙම වනෝද්‍යානය රැකගැනීමට මහජන සහාය බෙහෙවින්ම අවශ්‍යයි. මෙම වනපෙතට පැමිණි ඇතැම් අය සතුන්ට ආහාර ලබාදෙනවා. එය තහනම් ක‍්‍රියාවක්, මත්පැන්, දුම්වැටි, ගිනි දල්වන උපකරණ සපුරා තහනම්. මෙය සතුන්ට අයිති බිමකි. එනිසා නළා හැඩවීම්, විවිධ ඝෝෂා කිරීම්, සංගීත භාණ්ඩ භාවිතා කිරීමටත් ඉඩක් නෑ. මෙහි සුන්දරත්වය විඳගන්නවා මෙන්ම අනාගතයට මෙය දායාදයක් ලෙස අනාගත පරපුරට රැකදීමට කාගේත් සහාය අවශ්‍ය බවද ප‍්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

මෙම වැටලීම සඳහා පී.ජී. දයාරත්න, පී.එම්.පී, පනාවලගේ, එච්. කේ. ප‍්‍රියදර්ශන උදය කුමාර රියැදුරු එම්.පී. චන්ද්‍රලාල් යන වනෝද්‍යාන නිලධාරීන් එක්වූහ. අත්අඩංගුවට ගත් සතුන් අතරින් සියයට හතළිහක් පමණ මිය ගොස් සිටි අතර ඒවා ජාතික කෞතුකාගාරයට භාරදීමටත්, මොවුන් ගෙනයෑමට තැත් කළ බීජ වර්ග පේරාදෙණිය උද්භිද උද්‍යායට භාරදීමටත් කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.