කළු කොටියාට කරදර කරන්න එපා

කළු කොටියාගේ ඡායාරූපය මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග කලු කොටියා හොයාගෙන යන පිරිස වැඩි වී ඇත. උඩවලව ප්‍රදේශය ආශ්‍රිතව සැරිසරන සංචාරකයින් බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ කළු කොටියා මුණ ගැසේවා යන්නයි අහිංසක ප්‍රාර්ථනයකි.

අවසන් වතාවට කළු කොටියකු දක්නට ලැබුණේ 2009 වර්ෂයේ පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේදීය. ඒ උගුලකට හසුවී මියගොස් සිටි සතෙකි. මේ කොටියාගේ සම වෙන්කර කළු කොටි අනුරුවක් සාදා එය ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ තැන්පත් කළේය. එසේ හමුවුණු සතා අවසන් කළු කොටියා බවට පිළිගැනිණ.

වනජීවී දෙපාර්තමේන්තුවේ උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සහ මධ්‍යම කලාපයේ පශු වෛද්‍ය මනෝජ් අකලංක මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් විසින් උඩවලව සහ සබරගමුව ආශ්‍රිතව දිවි ගෙවන කොටි සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයක් සඳහා සවිකරන ලද කැමරාවක සජීවි කළු කොටියාගේ දර්ශනය 2019 ඔක්තෝබර් මස 26 වැනිදා සටහන් වී තිබිණ. ලෝකයේ කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ මෙරටට ආවේණික උප විශේෂයකි. සත්ත්ව විද්‍යාත්මකව ‍මෙම සත්ත්වයා පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වනයි. පැන්තරා පාඩුස් කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණය ගෙන දෙන වර්ණ දේහයක් ස්වභාවිකවම සිරුරේ නොමැති වීම හේතුවෙන් කළු පැහැති කොටි උපත ලබයි.

මෙම කොටි ගහනය ඉතා විශාල නොවේ. එමනිසා ඔවුන් බෙහෙවින්ම ආරක්ෂා කරගත යුතුය. එහෙත් සංචාරකයන් කළු කොටියා නැරඹීමේ කැමැත්තෙන් පසුවන බව ඔවුන් ඒ පිළිබඳ අදහස් පළ කරමින් සමාජ මාධ්‍ය ජාලාවල සඳහන් කර තිබුණි. මේ සත්ත්වයා සිටින ඉසව්ව කරා යෑම සුදුසුද?

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා “මේ සත්ත්වයා සාමාන්‍ය සතෙක්. මේ සතා දැක බලාගන්න කැලෑවල රිංගලා ඒ සතාගේ හැසිරීම බාධා කළ යුතු නෑ. සීල් මත්ස්‍යයා ශ්‍රී ලංකා මුහුදු තීරයට ආවාම ඒ සතාගේ හැසිරීමට බාධා කළ අන්දම ඔබට මතක ඇති. ඒ සතාට ආහාර දීම වැනි අනවශ්‍ය ක්‍රියා කළා. මේ කොටියාගේ බලන්න දෙයක් නෑ. ඒ සතා නිදහසේ ආරක්ෂිතව ජීවත් වෙනවා. ඇයට ඒ විදිහට නිදහසේ ජීවත් වෙන්න ඉඩදෙන්න ඕනෑ. සතා දෙස ළංවෙලා නැරඹුවා කියලා අලුත් දෙයක් එකතු වෙන්නේ නෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.