වූහාන් මරු කටට ගිය ශ්‍රීලංකන් ගුවන් සේවය

SriLankan Airlines

වුහාන් වල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් ගුවන් යානයක් එන තුරු දින 9 ක් හුස්ම සමග පොර බදිමින් සිටියා. කොරෝනා මාරයාගෙන් ගැලවී මබ් බිමට පැමිණීම හැරෙන්නට ඔවුන්ට විකල්පය නොතිබිනි. ශ්‍රීලංකන් ගුවන් යානයක් එනතුරු තමන්ගේ ජීවිත රැක්දෙන්න කියා ඔවුන් නොපෙනෙන දෙවියන්ට කන්නලව් කල වාර ගණන අනන්තය.

නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා චීනයට පැම්නෙන්නට ඇත්තේ ලෝකයේ නම ගිය ගුවන් සේවා වල වන්නට ඇත. පුංචි සිදුවීම් වලින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයට අපහාස කරන්නට ඔවුන්ද එක මොහොතකට හෝ සම්බන්ධ වන්නට ඇතයි සිතීම වරදක් නැත.

නමුත් අද ලෝකයේ සියලු ගුවන් සේවා චීනය වෙත මෙහෙයුම් නවතා දමද්දී, දින 4 ක සිට ශ්‍රීලංකන් ගුවන් කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටියේ ශ්‍රී ලාංකික දූ දරුවන් කිසිදු කරදරයකින් තොරව මබ් බිමට රැගෙන ඒමටය. එහිදී ඔවුන් අපේ රටේ වෛද්‍යවරුමෙන් දිරි දීමනා ඉල්ලුවේ නැත, වැඩි පඩි ඉල්ලුවේ නැත, සේවය අගය කරමින් ලිපි ඉල්ලුවේ නැත. රෝහල් සාත්තු සේවකයන් මෙන් ලෙඩ නිවාඩු ඉල්ලුවේ නැත. ඔවුන් රජයෙන් ඉල්ලුව එකම ඉල්ලීම වුනේ හැකි ඉක්මනින් වූහාන් යෑමට අවසරය ලබා දෙන ලෙසයි. ඒ අනුව සිකුරාදා සවස 3. 45 ට UL 1422 ගුවන් යානය මෙම මානුෂීය මෙහෙයුම දියත් කලේය.

Capt Chaminda and the SriLankan Airlines crew before the flight and in Wuhan!
කපිතාන් චමින්ද ඇතුළු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය වුහාන් බල පිටත් වීමට පෙර

ශ්‍රීලංකන් ගුවන් සේවය වූහාන් ලගා වන විටත් මරණ සංඛාව 240 ඉක්මවා තිබුණි. නමුත් මේ කිසිවක් මායිම් නොකල ශ්‍රීලංකන් ගුවන් කාර්ය මණ්ඩලය දරුවන් රැගෙන ඒමට පියාසර කලේ කෙතරම් අපහාස වින්දත් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ වගකීම අපි හදවතින්ම ඉටු කරන බවට ලොවට පසක් කරමින්‍ ය. ඒ වගේම ආපසු එන ගමනේ දී පුරා පැය 6 කට අධික වු ගුවන් ගමන තුළ මේ දරුවන්ට දිය හැකි සියලු සත්කාරයන් ද නොඅඩුව ලබා දෙන ලදී. ඊටත් වඩා ඔබ සියලු දෙනා දැන් ආරක්ෂිතයි අපි දැන් කොළඹ බලා පිටත් වෙමු යන ගුවන් කපිතාන්ගේ නිවේදනය ඔවුන්ට නැවත ජීවිතයක් ලබා දෙන ලදී.

පසුගිය කාලය තුල රටකට ජාතික ගුවන් සේවයක් අවශ්‍ය නොවන බවත් ශ්‍රීලංකන් විකුණා දමා එහි නිලධාරීන් ගෙදර යැවිය යුතු බව ඇතැම් බලධාරීන් ප්‍රකාශ කලේය. එසේම කජු පිගානම ආහාරයට ගෙන බල්ලෙකුට ශ්‍රීලංකන් කජු කන්න බැරි බව ප්‍රසිද්ධියේ කියමින් වසර 40 ක් පුරා රැකගෙන ආ ශ්‍රීලංකන් කීර්ති නාමයට හානි කල රාජ්‍ය නායකයින්ද අපේ රටේ සිටි බව සැමටම මතකය. එසේ අපේ රටේ ජනතාවගෙන්ම පහර පිට පහර කමින් අපහාස විදීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුවිය. නමුත් අපේ රටට අගයක් නැති බොහොදේ අනෙක් රටවලට කොතරම් වටින බව පෙන්වමින් 2019 වසරේ දී ගෝලීය සම්මාන රාශියක් හිමි කර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබුනු බව දන්නේ අතලොස්සකි. ශ්‍රීලංකන් එකට ලොවපුරා මල් ලැබෙනකොට අපේ රටේ මිනිස්සු ගල් ගැසීමට පුරුදුව සිටීම කෙතරම් අවාසනාවක්ද.

රටකට ජාතික ගුවන් සේවයක් අවශ්‍ය නොවන බව කියූ පිරිස් අද සොයා ගන්නටවත් නැත. ඉතිරිව සිටිනේ ජාතික හැගීමෙන් කිසිදු කරදරකින් තොරව දරුවන් රැගෙන ඒමට ගුවන් සේවයට හැකි වේවායි හදවතින්ම ආශිර්වාද කළ පිරිසකි. පුරා දින 9 ක් මරුවා සමග සටන් කල දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ගේ එකම පැතුම වූයේ ද එයයි.

Capt Chaminda and the SriLankan Airlines crew before the flight and in Wuhan!
කපිතාන් චමින්ද ඇතුළු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය වුහාන් බල පිටත් වීමට පෙර

අන්ධකාරයේ පහන් සිළු දැල්වීමට වේ යැයි බියෙන් සිටි නිවෙස් තුළ ආලෝකයේ පහන් සිළු දැල්ලීමේ අවස්ථාව සලමින් වූහාන් වල සිරවී සිටි දරුවන් මව් බිමට ගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය අද උදෑසන කටයුතු කරන ලදී. ඒ අනුව ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය නිදි වර්දිත පැය 16 ක් එසේ අවසන් කරන ලදී.

හෙටින් පසු නැවත ජාතික ගුවන් සේවයට අපහාස කිරීමේ කදවුරට එක් වන්නට ඔබට සිතෙන්නට පුළුවනි. නමුත් ඔබ වෙනුවෙන් මරු කටට ගිය ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය ද ඉදිරි දින 14 ක කාලයක් කාමරයක කොටුවී තමන්ට කොරෝනා මාරයා අඩ ගසයි දැයි බලමින් සිටින බව පමණක් මතකයේ තබාගන්න. ඒ ඔබ වෙනුවෙන් ජාතියේ වගකීම ඉටු කිරීම නිසාය.

ඉදිරියේදීත් ලෝකයේ ඕනෑම තැනක වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට කරදරක් වූ විගස පිහිටට ඒමට ශ්‍රිලංකන් ගුවන් සේවය සූදානම්ව සිටියි. එය යුධ බිමද වැඩ බිමද යන්න ඔවුන්ට ගැටලුවක් නොවන බව විශ්වාසයෙන් සදහන් කරමි. කතාවක් තියෙනවා අපිට අහලා පුරුදු. ඒක තමයි කරදරයදී මුලින්ම පිහිටට එන්නේ තමන්ගේ මිනිස්සු කියලා. අද ඒ කතාව සියයට සීයක් සත්‍ය බව නැවත ඔප්පු කර ඇත. ගුවන් කාර්ය මණ්ඩලයට අමතරව තවත් බොහෝ පිරිසක් ගුවන් යානය ගුවන් ගත කිරීමට දින හතරක සිට තම සහය ලබා දුන්නේ අපි ආර්ථිකයට ණය වූවද ජාතියට ණය නැති බව හිතේ තබාගෙනය.

වුහාන් ගිය ගුවන් කාර්ය මණ්ඩලයට සහ ගුවන් යානයේ පැමිණී දරුවන්ට නිරෝගී සුව පතමින් මෙම සටහන අවසන් කරමි.

සටහන – පසිදු සමරවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.