
සිවිල් පරිපාලනය සහ හමුදා පරිපාලන යනුවෙන් තෙල් සහ වතුර මෙන් එකට එක් නොවන සංයෝග දෙකක් බව කල්පනා කරන පිරිස් දිගින් දිගටම හමුදා නිලධාරීන් තනතුරුවලට පත් කිරීම හා සිවිල් සේවාවලට හමුදා මැදිහත් කර ගැනීම සම්බන්ධයෙනි තම විරෝධය පළකොට සිටිති.
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා යුද්ධ හමුදාවේ සාමාජිකයෙකු වශයෙන් සේවය කළ අයෙකු වන අතර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනුයේ, මේජර් ජනරාල් කමල් ගුණරත්නය.
ආරක්ෂක අංශ සිවිල් පරිපාලනය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා යොදවා ඇති අවස්ථා කිහිපයක් මෙසේය. ශ්‍රී ලංකා රේගුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පත්කිරීම.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති වශයෙන් විශ්‍රාමික යුද හමුදාපති, ජනරාල් දයා රත්නායක පත්කිරීම. නෙළුම් කුළුණේ කළමනාකරණ ප්‍රධානී වශයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ පත්කිරීම. රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලේ පත්කිරීම.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සීඅයිඩී විමර්ශන අධීක්ෂණය කිරීම සඳහා හමුදා සාමාජිකයින් ද ඇතුළත් කාර්ය සාධක බලකායක් පිහිටුවීම. කොළඹ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා යුද්ධ හමුදා පොලිසිය යෙදවීම.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් පළකරමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කර තිබුණේ, “ශ්‍රී ලංකාව පරිපාලනමය වශයෙන් අසමත් රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ ද?” යනුවෙන් ප්‍රශ්නයක් ද නගමිනි.
ඔහු පළ කර තිබූ ට්විටර් පණිවුඩයේ සඳහන්ව තිබුණේ, “ජනාධිපති, ආරක්ෂක ලේකම්, කොළඹ වරාය, ගුවන් තොටුපොළ, වී අස්වනු මිල දී ගැනීම, රථවාහන ධාවන කළමනාකරණය, කොරෝනා ප්‍රතිකාර, රැකියා ලක්ෂය වැඩසටහන… යන සියල්ල ආරක්ෂක හමුදා සාමාජිකයින් සම්බන්ධ වී ක්‍රියාත්මක වන,” බවය.
කෙසේවුවත් ෆේස්බුක් සටහනක් තබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා, ආරම්භයේදී හමුදාකරණයට සහය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණට මේ මොහොතේ එයට විරුද්ධ වීමට සදාචාරාත්මක් අයිතියක් නොමැති බවට තර්ක කොට තිබුණි.