හාතාවාරිය වැල්පෙනෙල මුරුංගා – අනුරාගයට කරයි ආරාධනා

ලිංගික ශක්තිය වඩවන ඔසු තුනක්

ආයුර්වේදයට අනුව වාජීකරණ ප්‍රතිකාර ක්‍රම සඳහා ඒ ඒ පුද්ගලයන්ට අනුව විවිධ ඖෂධ භාවිත කෙරෙනවා. වැල් පෙනෙල, හාතාවාරිය, අමුක්කරා, කංසා, අබිං වැනි ඖෂධ වාජීකරණ හැකියාවන් වර්ධනය කෙරෙන ඖෂධ වන අතර, මේවාට අමතරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහාම සැකසූ සුවිශේෂී වට්ටෝරු තිබෙනවා.

හාතාවාරිය

හාතාවාරිය වැල් 

එදා ගම්මානවල ඉබේ වැවුන, බහුලව දක්නට ලැබුණු වැල් වර්ගයක් හාතාවාරිය. වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේත් ගෙවතුවල, බඩවැටිවල මෙන්ම, වනගතවත් මෙය දක්නට ලැබුණා. මේ වැලේ අල හා කොළ කැඳ සඳහා භාවිත කරනවා. රසවත් කැඳ වර්ගයක් වන මින් ශරීර ශක්තිය වැඩිකරවන අතර ශරීරයේ ඇති විස නසනවා. පිරිමින්ගේ ලිංගික ශක්තීන් වර්ධනය කර ශරීරයේ ප්‍රතිශක්තිය ද වැඩිදියුණු කරන ඔසු අතර හාතාවාරිය මුල් තැනක වැජඹෙනවා.

ත්‍රිදෝෂයම නසන හාතාවාරිය වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පානය කළ හැකි ඖෂධයක්. ශරීරය උෂ්ණාධික නම් මෙම ඖෂධීය කැඳ පානය කිරීමෙන් ශරීරය සිසිල් කර ගත හැකියි. ලේ පිරිසුදු කරන අතරම හාතවාරිය මඟින් වයසට යෑමත් සමඟ ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරන බව ආයුර්වේදයේ සඳහන්. ශරීර දැවිල්ල නැති කරන අතරම කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිරය පිටවීම පාලනය කරනවා. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා ඉතා සුදුසු යි. දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැඳ තබා ගන්න හාතාවාරිය කොළ කැඳ ඉතාම යෝග්‍ය බව පැවසෙනවා.

හාතාවාරිය අල

විටමින් ඒ, බී, සී, ඩී,

ප්‍රෝටීන්

කැල්සියම්

යකඩ

ඛනිජ ලවණ

වැල්පෙනෙල

ඉන්දියාව, මලක්‌කාව, ශ්‍රී ලංකාව වැනි රටවල සාරවත්ව වැවෙන වැල් වර්ගයක්. ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි පහත රට ප්‍රදේශවල බහුලව දක්‌නට ලැබෙනවා. කලකට පෙර අත්හැර දැමූ ඉඩම්වල මෙන්ම ගෙවතුවලද බහුලව මෙය වැවුණා. වැල් පෙනෙල කැඳ වශයෙන් මෙන්ම එහි කොළ තෙල්දමා ව්‍යංජනයක් ලෙස ආහාරයට ගැනීමත් ජනප්‍රිය යි. ශරීර ශක්තිය සහ ශුක්‍රාණු වර්ධනය කරමින් ලිංගික ශක්තිය වැඩිකරන ඖෂධයක් ලෙස පුරාණයේ පටන් වැල්පෙනල ප්‍රකට යි.

මීටර් 3ක්‌ පමණ දිගට වැවෙන සිහින් කඳක්‌ ඇති බහු වාර්ෂික වැලක්. ත්‍රිකෝණාකාර ස්‌වභාවයක්‌ ගන්නා පත්‍ර දිගින් සෙ.මී. 3ත් 8ත් අතර ප්‍රමාණයක් වෙනවා. බීජ කළු පැහැති යි.

වර්තමානයේ දේශීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ මේ සඳහා තිබෙනවා. නගරවල කොළ කැඳ වෙළෙදසැල්වලද වැල්පෙනෙන කැඳවලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

පෙනෙල පුෂ්ප 

දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සම්පූර්ණ පෙනෙල පැළෑටියම ඖෂධ පිණිස ගන්නවා. මුත්‍රාකාරකයක්‌ වන වැල් පෙනෙල ස්‌නායු රෝග සඳහා කරන ප්‍රතිකාරවල දී ද යොදා ගැනෙනවා. කැඩුම් බිඳුම් වෙදකමේ දී බිඳුණු අස්‌ථි සකස්‌ කිරීම සඳහා වැල් පෙනෙල භාවිත කරනවා. උදෑසන ආහාරයට වැල් පෙනෙල කැඳ ගැනීම ශරීර ශක්‌තිය වර්ධනයටත් ස්‌නායු වර්ධනයටත් හේතුවක්.

වැල් පෙනෙල පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ:

ප්‍රෝටීන 4.7%

මේද 0.6%

කාබෝහයිඩ්රේට්‌ 9.1%

ඛනිජ ලවණ 2.3%

ශක්‌තිය කැලරි 61

මුරුංගා

මුරුංගා කරල් 

ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය කිරීමට හැකි මුරුංගා බුරුමය, ඉන්දියාව, පිලිපීනය, සහ ශ්‍රී ලංකාව වැනි රටවල පැතිර තිබෙනවා. සමහරු මේවා වැටේ මුරුංගා ලෙස ද හඳුන්වනවා. ඒ මුරුංගා බහුලව ගෙවතුවල වැට සඳහා සිටුවා ඇති නිස යි. අප රටේ වියළි කලාපයේ මුරුංගා හොඳින් වැවෙනවා. යාපනේ දෙමළ ජනතාව අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වශයෙන් මුරුංගා සැලකෙනවා.

මුරුංගා ව්‍යාංජනයක්

මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර ඖෂධ සඳහා යොදා ගන්නවා. අප රටේ මුරුංගා කරල් පමණක් බහුලව එළවළුවක් ලෙස ආහාරයට ගත්තත්, වෙනත් ආසියානු රටවල මුරුංගා කොළ කුඩු බවට පත් කර පැකට් වශයෙන් අලෙවි කරනවා. ආයුර්වේදයේ දී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරන ඖෂධයක් ලෙසයි. මුරුංගා කොළ රසවත් මැල්ලුමක් වශයෙන් ද ආහාරයට ගත හැකියි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධීය ගුණයක් මුරුංගාවල පවතින බව ඔබ දන්නවා ද? මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් බී, බීටා කැරොටීන්, කැල්සියම්, මැග්නිසියම්, තඹ, යකඩ, පොස්පරස් ආදියේ ඛණිජ ලවණ අඩංගු යි. ගී‍්‍රක, රෝම, හා ඊජිප්තු ජාතිකයන්ගේ විශ්වාසය අනුව විවිධ සෞඛ්‍ය ගැටලු 300ක් නිරාකරණය කිරීම සඳහා දේශීය වෙදකමේ දී මෙම ශාක කොටස් උපයෝගී කරගෙන තිබෙනවා.

මුරුංගා පත්‍ර ව්‍යංජනයක්

සිරුරේ ප‍්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමටත්, පුරුෂයින්ගේ කාම ශක්තිය වර්ධනයට හා පුරුෂයින්ගේ ලිංගික ක‍්‍රියාකාරිත්වයේ ඇතිවන්නා වූ බාධක මැඩ පවත්වන ඔසුවක් ලෙසත් මෙය යොදා ගැනෙනවා. අස්ථි ශක්තිමත් කිරීමට, ලේ පිරිසිදු කිරීමට මෙන්ම රුධිරයේ සීනි මට්ටම පහත හෙලීමටත් මුරුංගා උපකාරී වෙනවා.

මෙහි අඩංගු සැපොනින් නැමැති රසායනිකය ලිංගික උද්දීපනය ඇති කරවන ටෙස්ටෙස්ටරෝන් මට්ටම ඉහළ නංවනවා. එය ලිංගික කාර්ය වර්ධනයට බලපාන බව නූතන පර්යේෂණ අනුව සොයාගෙන තිබෙනවා.

තෙලේ බදින ලද මුරුංගා පත්‍ර

ව්‍යායාමයෙන් පසු ශරීරය ප‍්‍රකෘති ස්වභාවයට පත්වීමට මුරුංගා කොළ තේ පානයක්, පෙත්තක්, කුඩු වශයෙන් හෝ තෙල් වශයෙන් භාවිතයට ගැනිම හිතකර යි. ඔබගේ සෞඛ්‍ය යහපත් කර ගැනීමටත් ලිංගික දිවිය උද්දීපනයටත් මුරුංගා තේ පානය කිරීමෙන් අවස්ථාව ලැබෙනවා. ලොව බොහෝ රටවල මුරුංගා කොළ කුඩු බවට පත් කර පැකට් වශයෙන් අලෙවි කරනවා. නමුත් අප රටේ නම් එවැනි නිපැයුම් දක්නට නැතිවීම කනගාටුදායක කරුණක්.

ආශ්‍රිත මූලාශ්‍ර-

ආයුර්වේද ප්‍රකාශන

http://www.thehealthsite.com

www.instituteofayurveda.org

(ROAR)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.