සරත් ෆොන්සේකා බිල්ලෙක් නොවේ – හිටපු බෑනා

Sarath Fonsekaධනුන තිලකරත්න තවදුරටත් සරත් ෆොන්සේකා ගේ බෑනා නොවේ. ‘කාලය මැව් වෙනසක අරුමේ’ ගීතය මුමුනමින් අතීතය මෙනෙහි කරන ඔහු ෆොන්සේකා ගේ දියණිය අප්සරා ගෙන් වෙන්ව තනිකඩ ජීවිතයක මිහිර විඳින අතරතුර තමන්ගේ මාමා හා විරසකයක් නැති බව පවසයි. මේ අතීත ගංගාවෙන් ගලා බසින දිය දෝතකි.

මල්සර හී වැදුණු එ දවස

… මගේ තාත්තා ආමි එකේ. තාත්තා බ්‍රිගේඩියර් කෙනෙක්‌ විදියට තමයි විශ්‍රාම ගියේ. අපි ‘ආමි කමියුනිටි’ එකක ජීවත් වුණේ. එක කාලයක්‌ අපි හමුදාවේ නිල නිවාසවල ජීවත් වුණා. අපේ සහ සරත් ෆොන්සේකා මහත්තයලගේ ගෙවල් පිහිටා තිබුණේ ආසන්නයේ… මම ජෙනරාල් සරත් ෆොන්සේකා දන්නේ මගේ වයස අවුරුදු දහයක දොළහක කාලයක ඉඳලයි. එතුමා මම කැමති චරිතයක්‌… අපේ තිබුණු ළඟ හිතවත්කම නෑදෑකමක්‌ බවට පරිවර්තනය වුණා. දැන් ඒක යළිත් පරණ පුරුදු හිතවත්කම බවට පත්වුණා. මම හිතන්නේ ඒක කියලයි. පසුගිය කාලයේ ඇතිවුණු ප්‍රශ්නත් එක්‌ක අප්සරා සහ මම සුහදව වෙන්වෙන්න තීරණය කළා. එහෙම වුණත් සරත් ෆොන්සේකා මහතා සමඟ තිබුණු මගේ හිතවත්කම දිගටම තියෙනවා.

‘කාලය මැව් වෙනසක අරුමේ’

පසුගිය කාලයේ ආපු ප්‍රශ්නත් එක්‌ක අප්සරාට සහ මට ඉන්න සිද්ධවුණේ, දෙතැනක. අඩුම ගාණේ අපි දෙන්නට දුරකථනයෙන්වත් කතාබහ කරන්න බැරි වුණු කාලයක්‌ තිබ්බා. ඒ දේවල් එක්‌කයි මේ වෙන්වීම සිද්ධ වුණේ. අප්සරා ඇමරිකාවේ ජීවත් වෙනවා. මම ශ්‍රී ලංකාවට ඇවිත් මගේ ව්‍යාපාරික කටයුතු කරගෙන ඉන්නවා. ඇත්තටම අප්සරාට ඕනේ වුණේ ඇමරිකාවේ ඉඳන් පවුල් ජීවිතයක්‌ ගත කරන්න. මම කැමති වුණේ ලංකාවට එන්න. ඒ නිසා අවසානයේ අපි දෙන්නා තීරණය කළා වෙන් වෙන්න.

සරත් ෆොන්සේකා නම් ආදරණීය පියා ගේ ප්‍රතිචාර

උරණවිමක්‌ ඇති වුණේ නැහැ. එතුමාගේ සහ මා අතර තියන්නේ වෙනම සම්බන්ධයක්‌. ඒ පවුලේ හැමෝම එක්‌ක මම වෙන වෙනම සම්බන්ධයි. අපේ සම්බන්ධතාවය පටන් ගත්තේ අසල්වැසියන් ලෙස. බෑනාගේ සම්බන්ධය නැතිවුණා, කියලා එදා අසල්වැසියන් ලෙස, අපේ ඇතිවුණු සම්බන්ධයට කිසිම හානියක්‌ වුණේ නැහැ.

යටි බිම් ගතව ගෙවුනු දවස්

මාව ගෲප්ස්‌ ගොඩාක්‌ ආරක්‌ෂා කළා. ඒ අය මේ රටට ආදරය කරන පිරිසක්‌. මාව අමාරුවේ වැටුණාම ගොඩගන්න පිරිසක්‌ හිටියා. අපි හමුදා පවුල් හැටියට ඔක්‌කොම ටි්‍රක්‌ස්‌ දන්නවා. මොකද්ද වෙන්නේ, මොකද්ද කරන්න යන්නේ කියලා, අපිට කලින්ම තේරුණා… ලංකාවේ හැම තැනම මම හැංගිලා හිටියා.

මම වාහන වල යනකොට පොලිස්‌ චෙක්‌ පොයින්ට්‌ දෙක තුනක නැවැත්තුවා. නේවි චෙක්‌ පොයින්ට්‌ එකක නැවැත්තුවා. මම හිටපු තැන්වලටත් ආවා. ආවා කියන්නේ මම ඉන්නකොට නොවෙයි, මම ගියාට පස්‌සෙ ඇවිත් තියෙනවා. ඒ අයත් ලයින් එකක්‌ දිගේ ආවා… ඒත් මම ඉන්න තැනක්‌ හොයාගන්න බැරි වුණා.

බැංකු සේප්පුවල අමෙරිකානු ඩොලර්

බැංකු සේප්පුවල අමෙරිකානු ඩොලර් 525000 ක්‌ද ස්‌ටර්ලින් පවුම් 2000ක්‌ ඇතුළු මෙරට මුදල් තොගයක්‌ තිබුණු බවට එකල වාර්තා වුණා. පැහැදිලි පිළිතුරක්‌ දෙන්න මම කැමති වුණත්, එය අධිකරණය හමුවේ විභාග වෙන නඩුවක්‌… නිසා ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඒ ගැන සඳහන් කිරීමට මට හැකියාවක්‌ නැහැ.

සරත් ෆොන්සේකා නීතියට පිටින් වැඩ කරලා නැහැ

පිළිතුර – එතුමා ගැන රටේ ඇතිවෙලා තිබෙන ප්‍රතිරූපය මම දන්නවා… එතුමා යම් තද ගති ගුණ සහිත චරිතයක්‌ බවයි බොහෝ දෙනාගේ හැඟීම… ඔව්… එතුමා තදින්ම නීතියට අනුව වැඩ කරන කෙනෙක්‌… ඒ මිසක්‌ කවදාවත් එතුමා නීතියට පිටින් වැඩ කරලා නැහැ. ත්‍රස්‌තවාදය පරාජය කරන්න එතුමාට හැකිවුණෙත් ඒ නිසයි. ඔහු සිය දියණියන් දෙදෙනාට සහ පවුලට ආදරය කරන කෙනෙක්‌. මම දන්නවා, එතුමා තමන්ගේ දරුවන්ට කොයිතරම් ආදරය කළාදා කිව්වොත්, කොයි තරම් වැඩ රාජකාරි මැද්දේ, ලෝකේ කොහේ හිටියත්, දුවලාට දවසකට දෙවතාවක්‌ ඔහු කතා කරනවා. එතුමා සංගීතය රස විඳින කෙනෙක්‌. එතුමා හමුදා විනය අනුව ජීවත්වුණු කෙනෙක්‌… ඒ නිසා බාහිරෙන් සරත් ෆොන්සේකා මහතාව දකින කෙනෙකුට, ඔහු දැඩි පුද්ගලයෙක්‌ කියලා හිතෙන්න පුළුවන්. මාධ්‍ය මගින් සමහර ප්‍රශ්න අහනකොට, එතුමා පිළිතුරු දෙන විලාසය නිසයි සමාජයට එතුමා ගැන මේ ප්‍රතිරූපය මැවී තිබෙන්නේ…

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට සුදුසුයි

එතුමා කාගෙන්වත් පළිගනී කියලා, මම නම් හිතන්නේ නැහැ… නීතිය සහ සාමය කියන ඇමතිකම එතුමාට හොඳටම ගැලපෙනවා… මේ රටේ තිබෙන මත් උවදුර නැති කරන්න, ජනතාවගේ ආරක්‌ෂාව සහ රටේ ආරක්‌ෂාව සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ හදන්න සරත් ෆොන්සේකා වැනි චරිතයක්‌ රටට වුවමනයි. එතුමා හමුදාපති ලෙස මුලින්ම කළේ, හමුදාවේ තිබුණු ක්‍රමවේදය වෙනුවට විධිමත් ක්‍රමවේදයක්‌ අනුව එය පෙළගැස්‌සවීමයි. අනවශ්‍ය පුද්ගලයන් ඉවත් කරලා, දක්‌ෂයන් නිසි තැන්වලට යොදවලා, තාක්‌ෂණය සහ නිසි ක්‍රමවේදය හමුදාවට යොදවපු නිසා තමයි එතුමාට යුද්ධය ජය ගන්න පුළුවන් වුණේ… එවැනි ක්‍රමවේදයක්‌ අද රට අවශ්‍යයි. එතුමා මේ වගේ තනතුරකට ආවොත්, රටේ නීතිය හා සාමය තහවුරු කරනවා වගේම ඒ සඳහා රටට ගැලපෙන නව ක්‍රමවේදයක්‌ පිහිටුවාවී… එතුමා කාගෙන්වත් පළිගන්නවත්, නීති විරෝධීව කාටවත් උදව් කරන්නවත් යන කෙනෙක්‌ නෙමෙයි. එතුමා තමන්ගේ හිතේ තියෙන එක කෙලින්ම කියලා දානවා… ඒ වුණාට කාගෙන්වත් පළිගන්න යන්නේ නැහැ…

රටේ ජනතාවට මවා පාලා තියෙන බිල්ලා

මම එතුමා සමග විශ්වාසයෙන් වැඩ කරපු කෙනක්‌. අපි අතර හොඳ අවබෝධයක්‌ කාලයක්‌ තිස්‌සේ ගොඩනැගිලා තියෙනවා. අපේ තරුණ පරම්පරාවේ අය මෙවැනි ලෙස පවුලේ ගැටලුවක්‌ මතු වුණහම, ගහ මරා ගන්න යන්නේ නැහැ. ඒ අනුවයි මම හැමවිටම කටයුතු කළේ… එතුමා අපේ තරුණ පරම්පරාවේ කෙනෙක්‌ නොවුණත් ඒ විදිහට වැඩ කරන එක එතුමා සතු හොඳ ලක්‌ෂණයක්‌… මම ඒකයි කියන්නේ, රටේ ජනතාවට මවා පාලා තියෙන බිල්ලා එතුමා ළඟ නැහැ කියලා. මම හිතන්නේ එතුමා මේ රටට සම්පතක්‌… මාධ්‍ය සහ දේශපාලනයෙන් එතුමා විවිධ පැතිවලට නම්මන්න හදනවා මිසක්‌, එතුමාගෙන් මේ රට තව වැඩ ගන්න තියෙනවා නේද කියලා, හිතන්නේ නැහැ…

රාජපක්‌ෂලා සමග ඔබට තරහක්‌, වෛරයක්‌ තිබෙනවාද…?

පිළිතුර – නැහැ… ඇත්තටම නැහැ… එතුමන්ලා තිබෙන දේශපාලන තත්ත්වය උඩ කටයුතු කළා… මමත් ඒ තත්ත්වය තුළ කටයුතු කළා… එච්චරයි…

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.