සිරකරුවන් මනුෂ්‍යයන්ද?

සිරකරුවන්ද මනුෂ්‍යයන් බව ලියා ඇත්තේ වැලිකඩ හිරගෙදර බිත්තියේය.ඒ කථාව බිත්තියට පමණි.අකුණ වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට සිරකරුවන්ට සලකන්නේ අමනුෂ්‍යයන් ලෙසිනි.

නිලධාරීවාදයත් දැඩි ග්‍රීෂ්මයත් මේ මිනිසුන් දැඩිව පෙළන කළ මේ අමනුස්සකමේ තොරතුරු රැසක් හෙළිදරව් වී ඇත.

සාඩින් ඇහිරිල්ල -කොළඹ රිමාන්ඩ් බන්ධානාගාරයේ රැඳවීමට හැකි ඉඩ කඩ ඇත්තේ 270 වකට පමණක් වුවද එක් දහස් දෙසීය ගණක් රඳවා තිබිණි. වැලිකඩද රදවා ඇති ගණන පහසුකම් ඇතිවාට වඩා හතර ගුණයක් වැඩිය. මොවුන්ට යහපත් සෞඛ්‍ය පවා පවත්වාගත නොහැක්කේ අවශ්‍ය ජලය ප්‍රමාණය තබා වාතාශ්‍රය මෙන්ම වැසිකිළි යාමටද බොහෝ විට ජල පහසුකම් නොමැති වීමෙන් සිර ගෙය මෙලොව අපායක් බවට පත්ව ඇත. (එල් වාට්ටුව මෙයට හොඳම උදාහරණයකි. හැකිනම් කිසිවෙකුටත් කලින් නොදන්වා නිසි බළධාරියෙකු හෝ මහෙස්ත්‍රාත් වරයෙකු හෝ විනිශ්චයකාරයෙකු එහි ගොස් පරීක්ෂා කරන්න. ඔබ අවංක පුද්ගලයෙකුනම් තව දුරටත් තමන් දරණ තණතුරේ සිටින්නේ නැත. එය මිනිසෙකුට සිතා ගත නොහැකි තරම්ය)

විමර්ශන ඇස්බැන්දුම-මහෙස්ත්‍රාත් වරයෙක් හිරගෙය පරීක්ෂා කිරීමට පැමිණියහොත් (එය ඔවුන්ගේ රාජකාරියේ කොටසකි) ඔහුට එහි යථා තත්ත්වය දැක ගත නොහැක්කේ ලකුණු රැස් කිරීමේ තරගයේ යෙදී සිටින අධිකාරිවරු බහුතරය එදාට එක්කෝ පංසලේ ගායනා පුහුණුවක් හෝ අවිධිමත් අධ්‍යාපන පංතියක් හෝ භාවනා වැඩසටහන් සංවිධානය කර බොරුව මවා පෙන්වීමෙනි. පැමිණෙන මහෙස්ත්‍රාත් වරුන්ද සිරකරුවන්ගෙන් පහසුකම් විමසන්නේ නැත. විමසුවාට වැඩක් නොවන්නේ අදාල සිරකරුවන් පළිගැනීමට ලක්වන බැවින් සත්‍ය ප්‍රකාශ කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බැවිනි. කෙසේ වෙතත් මා කළින් සඳහන් කළ ඉඩ ප්‍රමාණය සහිත එක් අයෙකු රඳවන කුටියක සය (06) දෙනාගේ සිට දොලොස් (12) දෙනා දක්වා රඳවනු ලබයි. මී හරකුන් ප්‍රවාහණයේදී සිදුවන සාධාරණයවත් රඳවා ඇති සිර කරුවන් වෙත ලබාදීමට රජයන් හෝ අධිකරණ පද්ධතිය සමත්ව නැත. (ලියුම්කරුවන මමද ඇතුලු කිහිප දෙනෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එච් වාට්ටුවේ යන්තම් වාඩිවීමට පමණක් ඉඩ ඇතිව සෙළවීමට හෝ නොහැකිව එක් දිනක් පහන් කර ඇත. සාමාන්‍යයෙන් වැසිකිළි යාමේදී පාවහන් පළඳිය යුතු වුවද එහි වැසිකිළියට යාමේදී පාවහන් ගලවා ඇතුළු විය යුතුය. මන්ද රාත්‍රියට සිරකරුවන් රෙදි කැබලි තෙමා එයින් වැසිකිළිය පිරිසිදු කර ඒ තුළ නිදා ගනිති. ඒ අධිකරණ තීන්දුවකින් සිරගත කල පුද්ගලයන් වීමේදී අධිකරණයට මේ සඳහා කිසිවක් ප්‍රකාශ කිරීමට ඇතිදැයි මම නොදනිමි. ඒ බන්ධනාගාරයේ ඉඩ සහ පහසුකම් පිළිබඳ එක් උදාහරණයෙකි.) මෙම ප්‍රකාශය යම් අයුරකින් පවතින නීතියට විරුද්ධ විය හැකි වුවද යථාර්ථය එයයි.

(සමහර වාට්ටුවල සැකකරුවන් පැත්ත හරවා නිදි කරවා ඉඩ මදිකම නිසා අවසන් සැකකරුවා ඒ මැදට ඔබා කකුලින් පාගා සිර කරන බව දන්නේ සිර සැක කරුවන්ම පමණි.

ආර්ට් සුදා – ඔහු කුඩු උරන්නෙකි. (සාමාන්‍ය ජනතාවට කුඩු උරන්නෙකු මහා ලොකු දෙයක් වූවාට හිරගෙදරට එය සාමාන්‍යයකි) එහෙත් සිංහල භාෂාවෙන් කියතොත් ඔහු අහිංසකයෙකි. කිසිවෙකුටත් ඔහුගෙන් කරදරයක් හෝ හිරිහැරයක් නැත. වසර ගණනක් තිස්සේ වැළිකඩ තොරණට චිත්‍ර අඳින්නේ ආට් සුදාය. ඒ ඔහු හිරගෙදර යාව ජීව සාමාජිකයෙකු නිසාය. ඔහු දැනට එකම වරදට හෙරොයින් මත් ද්‍රව්‍ය පාවිච්චිය පිළිබඳ විසිපස් වතාවක් වත් සිර ගතවී ඇත. එය මේ රටේ සිරකරු පුනරුත්ථාපනයට ඇති ඉතාම සුදුසු උදාහරණය වන්නේ බොහෝ දෙනෙක් ඔහු දන්නා නිසාය. මේ ඒ සඳහා මා තෝරාගත් සාම්පලයයි. මෙසේ යාවජීවව නැවත නැවතත් එකම පුද්ගලයා සිරගත වෙන්නේ නම් බන්ධනාගාර පුනරුත්ථානය යනු කුමක්ද? එය නිකම්ම නිකං හිස් වචනයක් පමණකි.

සිරකරුවන් මරාදැමීම සාධාරණීකරණය කරනන්ට තරම් දුෂ්ඨ සිත් පිත් නැති නිළධාරීන්ගෙන් පුනරුත්ථාපනය ගැන බලාපොරොත්තුවක් තැබිය හැකිද?

සිරකරුවන් මෙන්ම සැකකරුවන්ද අන්ත දුකක් විඳිමින් සිටිද්දීත්, අනෙක් ආයතන වලදී මෙන්ම නුසුදුස්සන් නිළතළ දරණ බන්ධනාගාර පද්ධතිය තුළද සිදු වන්නේ සිදු නොවිය යුතු බොහෝ දේය.

කල් පමාව – වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකු මත් කුඩු හෝ ආයුධ සහිතව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඒ මත්කුඩුද නැතහොත් ටයිල් ග්‍රවුට්ද යන වාර්ථාව එනතුරු හෝ අදාල ගිණිඅවිය ක්‍රියාත්මක තත්ත්වයේ ඇතිද නැතිද බවට වාර්ථාව එන තුරු වසර තුනේ සිට වසර පහ දක්වා බලා සිටිය යුතුය. අධිකරණය විසින් දින ලබා දෙන අතර, බන්ධනාගාරය ජනතා බදු මුදලින් කන්න බොන්න දී ඔහුව සිර කර තබයි. මේ කාළය තුළ ඔහු හෝ ඇය නමින් ඇති දරු මල්ලන් සහ අනෙක් උන් විඳින වද වේදනාවන්, දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිසිවෙකු වගකියන්නේ නැත. වසර තුනකට හෝ පහකට පසුව ලැබෙන වාර්ථාව අනුව එක්කෝ නිදහස් වීමෙන් පසු ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සිදුව ඇති අලාභය කිසිවෙකු විසින් ප්‍රථිපූරණය නොකරයි (ඔහු රජයේ වැටුප් ලබන රැකියාවක නියුතුව සිටි කෙනෙකුනම් අදාල කාලයට වැටුප් ලැබෙතත්, සාමාන්‍ය කම්කරුවෙකුට මේ නීතිය තුළ තමන් වැය කළ කාළයට මිළක් හෝ වටිනාකමක් නැත). එසේත් නැතහොත් නඩු පැවරිමක් සිදු වුවහොත් වසර පහකට පමණ පසු අදාල පුද්ගලයා නැවත වසර ගණනක් එම නඩුව වෙනුවෙන් තම කාළය ගත කළ යුතුවේ. අමතර කාලයේ බන්ධනාගාර ගතව සිටීම සැළකිල්ලට ගැනෙනුයේ ඉතාමත් කළාතුරකින් අවස්ථාවකය. අප මගහැර යා යුත්තේ මේ අවිධිමත් ක්‍රමවේදයන්ය. පසුගිය දිනවල කෝටි ගණනක වැට් වංචාවට වරද කරුවන් වූවන්ට වසර සියයද ඉක්මවා දඬුවම් ලැබිණි. මිනිසුන් ඉන් තෘප්තියට පත් වූහ. එහෙත් ඔවුන්ගේ දඬුවම් සියල්ල එකවිට ගෙවී යන විට වසර තුනක් වැනි කාළයකින් ගෙවා අවසන් කළ හැකිය. ඒ බලවතුන් සඳහා ලැබෙන දඬුවම්ය. එහෙත් පොඩි පොඩි සොරකම් කිහිපයකට අදාළ දඬුවම් එකක් පසුපස එකක් වශයෙන් වසර 36ක දඬුවම් විඳින තරුණයෙක් මට හමුවිය. ඔවුන්ට ඒ සඳහා ඇපීල් කිරීමට හෝ හැකියාවක් නැත. එවැනි හඬක් නොමැති මිනිසුන් කොතරම් නම් පිරිසක් මේ සිපිරි ගෙවල් තුළ තාප්ප වලින් වටව සිටිත්දැයි දන්නේ කීයෙන් කී දෙනෙක්ද?.

ජනතාවගේ වියදම-අනෙක් සුවිශේෂී කාරණයනම් දැනට ජනතා මුදලින් නඩත්තු කරණු ලබන සිර සැක කරුවන් තිස් හතළිස් දාහක පිරිසක් සහ ඊට අනුබද්ධිත විශාල නිලධාරී පිරිසකුත් බන්ධනාගාර ලෙස ඉදිකෙරුණු අතිවිශාල ගොඩනැගිළි සමූහයකුත් නඩත්තු කිරීමට හේතුව මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ (විශේෂයෙන් හෙරොයින්) සැකකරුවන් සහ සිරකරුවන්ය. ඔවුනගේ ප්‍රමාණය මුළු රැඳවියන් ප්‍රමාණයෙන් 60% පමණ වේ. මේ පිරිස නියමිත විද්‍යාත්මක පුනරුත්ථාපනයකින් තොරව කිසි දිනෙක මේ වියදම දැරීම රජයට නවත්වා ගත නොහැකිවා මෙන්ම මෙම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මගින් නැවත නැවතත් තමන් වෙත ඇද ගන්නා පිරිස් වැඩිකරගනී. ඔවුන් වෛද්‍ය ප්‍රථිකාර ලබාදීම, සමාජයේ අවස්ථාවන් සළසා දීම, යහපත් ජීවන තත්ත්වයක් සඳහා මගපෙන්වීම ආදී ක්‍රමවේදයකට අනුව පුනරුත්ථාපනය කළහොත් නැවත නැවත එකම කෙනා සිරගතවීම නැවැත්විය හැකිය. එසේ වූයේනම් ආට් සුදාට විසිපස් වතාවක් හිර ගත වන්නට නොවන අතර ඔහුට ක්‍රමවත්ව සමාජගතව සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට පහසුකම් සකසා දෙන්නට හැකියාව තිබිණි. එමගින් ඇබ්බැහි වූවන් මගින් මත්ද්‍රව්‍ය භාවිතයට අලුතින් ඇද ගන්නා පිරිසද අඩුකිරීම කළ හැකිය. එසේ නොමැතිව දැනට බන්ධනාගාරයේ ඉහළ නිළධාරීන් සිතා සිටින්නා සේ තග දමා බැටන් එකෙන් නැතිනම් එස්කේප් පොල්ලෙන් තලා ඇබ්බැහියක් නැවැත්විය නොහැකිය.

කේ තිස්ස

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.