අනෝමාට ප්‍රංශ කලාශූරී සම්මානය

සිනමාවේදිනී අනෝමා රාජකරුණා, ප්‍රංශ රජය විසින් කලා ක්ෂේත්‍රයේ විශේෂ කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයන්ට පිරිනමන ගෞරව සම්මානයක් (Officer in the Order of Arts and Letters ) මගින් ගෞරවයට ලක්කර ඇත.

සිනමා කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඇයට මෙම ගෞරව සම්මානය පිරිනමන්නට පෙර එනම්, 2012 වසරේදී ඇය පළමුවරට ප්‍රංශ ජනාධිපති ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබුණි.

ලාංකේය සිනමා ක්ෂේත්‍රය තුළ වෘත්තීයමය වශයෙන් නියැලී සිටින කාන්තාවන් අතළොස්සක් අතර විශිෂ්ට කාර්යයක් ඉටු කරමින් විශේෂයෙන් කෙටි චිත්‍රපටය විෂයෙහි කැපවී සිටින ඇය ඡායාරූප ශිල්පිනියක්, පුවත්පත් කලාවේදිනියක්, විචාරිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වන්නීය.

වර්තමාන ලාංකීය සිනමාව ගැන ඇගේ කියවීමයි මේ

“සිනමාව කියන්නේ වෙළඳ භාණ්ඩයක්. එය නිෂ්පාදනය කරන්නේ වෙළඳපොළ වටහාගෙන. කෙසේ වෙතත් ඇමෙරිකාවේ ඉන්ඩි සිනමාවක් තියෙනවා. ලෝකයේ වෙනත් රටවලත් ඉන්ඩි සිනමාව ලෙස හඳුන්වන විකල්ප සිනමා කර්මාන්තයක් තියෙනවා. දැවැන්ත සිනමා සංස්කෘතියක් තිබියදී, එයට පරිබාහිරව ස්වාධීන සිනමාකරුවන්ගේ සිනමාවක පැවැත්ම එයින් තහවුරු වෙනවා. ඉන්දියාව, ඇමෙරිකාව, යුරෝපය වගේ තැන්වල කර්මාන්තයට ආයෝජනය කරලා ලාභයක් ඉපැයිය හැකි සිනමාව එක විදියකට පවත්වාගෙන යද්දී මේකට විකල්ප වශයෙන් තියෙන ඉන්ඩි සිනමාවට අනුග‍්‍රහය ලැබෙනවා.
බොහෝ රටවල මධ්‍යම රජයෙන් සහ ප‍්‍රාන්ත ඇතුළේ ප‍්‍රාදේශීය වශයෙන් ආයෝජනයන් සිද්ධවෙනවා. කෙනෙකුට තිර රචනයක් තියෙනවා නම් ඒක අරගෙන නිෂ්පාදකයෙකු සොයාගෙන ගිහින් මුදල් ආධාර ලබාගැනීමේ අවකාශය තියෙනවා. මේ කර්මාන්ත දෙකම නැතිව සමාජයකට පැවැත්මක් නැති බව අවබෝධ කරගෙන තිබෙනවා. අපේ රටේ එහෙම නැහැ. කලාව හා සංස්කෘතිය පවත්වාගෙන යෑමේ ව්‍යාපෘතියක් අපට නැහැ. මම අකැමති දෙයකට පැවැත්මක් තිබෙන්න බැරි බව තමයි අපි විශ්වාස කරන්නේ. අනුන්ගේ මතය නොඉවසීම විචාරය තුළත් අපි දකිනවා.

ඔබ සතුව හෙට සිනමා තිර රචනයක් තිබුණොත් ඔබ ඒක අරගෙන යන්නේ කොතැනටද. එහෙම තැනක් අද නැහැ. ඔබට වෙනත් සිනමා උළෙලක් හෝ කර්මාන්තය ආශ‍්‍රිත තැනක් හොයාගෙන විදේශගත වෙන්න සිද්දවෙනවා. ඒ වගේ තැනක අතිරික්තයෙන් නොදියුණු සිනමා සංස්කෘතියක් තියෙන රටවල් වෙනුවෙන් වෙන්කරපු කෝටා එකකින් ආධාරයක් ලබන්න සිද්ධවෙනවා. ඉස්සර කාන් කිව්වා වගේ පහුගිය කාලයේදී ලොකු සද්දයක් තිබුණා ලොකානෝ සිනමා උළෙලට අදාලව. පළමු ලෝකයේ කලා ව්‍යාපෘතිවලින් අනේ පව් කියලා දෙන කොටස තමයි මේ. ඒ හැරුණාම ලංකාවේ සිනමාවට අනාගතයක් නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.