අම්පාර සැලසුමක් සහ නුවර අහම්බයක් – මෛත්‍රි

maithripala-sirisenaඅම්පාර සිද්ධිය පැහැදිලිවම සැලසුම් කරලා කරපු වැඩක්‌ බවත් එය අහඹු සිදුවීමක්‌ හෝ හදිසියේ ඇතිවුණු තත්ත්වයක්‌ නෙවෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එහෙත් ජනාධිපතිවරයාට අනුව මහනුවර සිදුවීම අහම්බයකි.

” මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ රියෑදුරෙකුට පහරදීම කලින් සංවිධානය වෙච්ච එකක්‌ නෙවෙයි. මුස්‌ලිම් තරුණයෝ තුන්දෙනෙක්‌ හොඳටම මත්පැන් පානය කරලා, ත්‍රීවීල් එකක යනකොට, තවත් වාහනයක ගැටුණා. මේ තරුණයන් තිදෙනා අනෙක්‌ වාහනයේ රියෑදුරුට ගැහුවා. දවස්‌ කීපයකට පස්‌සේ ගුටි කෑ තරුණයා රෝහලේදී මිය ගියා. එතන වැරැද්ද ඒගොල්ලන්ගේ.” අන්තවාදීන් මහනුවර සිදුවීම ප්‍රයෝජනයට ගත බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

“මට පේන විදියට අම්පාර සිද්ධියත්, රියෑදුරුගේ මරණයත් යන දෙකම එකට තියලා, අවසනාවන්ත තත්ත්වයක්‌ දක්‌වා එය යම් පිරිසක්‌ විසින් එය සංවිධානය කළා. අම්පාර සිද්ධිය සංවිධානය කරපු පිරිස, මේ ප්‍රශ්නය මහනුවරටත් ගත්තා කියලයි, මම විශ්වාස කරන්නේ. එක පැත්තකින් මේකේ අන්තවාදීන්ගේ ක්‍රියාකලාප තියනවා. තවත් පැත්තකින් ආණ්‌ඩුවට විරුද්ධව දේශපාලන බලවේගවල පසුබිමකුත් තියනවා. එයට හේතු සාක්‌ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක්‌ ගත්තහම පෙනෙන දෙයක්‌ තමයි තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක්‌ තියෙනවා ඡන්ද ලකුණක්‌ තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට ගහලා තියෙනවා.

කුලියාපිටියේ මුස්‌ලිම් කඩ දෙකකට පහර දුන්නා. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් තරග කරපු අපේක්‌ෂකයෙක්‌, ඔහුගේ වාහනයෙන් ගිහින් එම පහරදීම කර තිබෙන බව පරීක්‌ෂණවලදී හොයා ගෙන තිබෙනවා. සමහර දේවල් පැහැදිලිවම, දේශපාලන පසුබිම්වලින් ආණ්‌ඩුවට විරුද්ධව සිද්ධ කරපුවා බව මේ සාධක වලින් පෙනෙනවා. සමහර අය දේශපාලන පසුබිමක්‌ නැතිව අන්තවාදී විදියට හිතන අය. මේ තත්ත්වය තුළ තමයි මේ ප්‍රශ්නය වර්ධනය වුණේ…

මහනුවර ප්‍රදේශයේ කලබල කරන අයට විශාල වශයෙන් අරක්‌කු, කසිප්පු ඒ ගම්වලටම ගිහිල්ලා දෙන වැඩපිළිවෙළක්‌ තිබිලා තියෙනවා. රජයේ නිලධාරීන්, පොලීසිය, හමුදාව, ස්‌වාමීන් වහන්සේලා ඒ අය කියන්නේ මේ විදිහේ පහරදීම් කරන අයව ගිහින් හම්බ වුණාම, ඒ කවුරුත් එක්‌ක කතා කරන්න පුළුවන් හොද සිහියෙන් හිටියේ නැහැ, කියලයි.  සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට සාධාරණ හේතු තිබු බවයි ජනධිපතිවරයා පවසන්නේ.

අන්තවාදී පිරිස්‌ සමාජ වෙබ් අඩවි පාවිච්චි කෙරුවෙ ඉතාමත්ම පහත් විදියට. මේ ගැටුම වර්ධනය වෙන්න මූලික වශයෙන්ම සමාජ වෙබ් අඩවි හේතු වුණා. ඒ නිසා තමයි අපි ඒවා නියාමනය කරන්න පටන් ගත්තේ. ජාතික ආරක්‌ෂාව සම්බන්ධයෙන් තිබෙන නීති රීති යටතේ එවැනි ක්‍රියාමාගර් ගැනීමේ බලය රජයට තිබෙනවා. කැබිනට්‌ මණ්‌ඩලය සාකච්ඡා කරලා, ජාතික ආරක්‌ෂක මණ්‌ඩලය සාකච්ඡා කරලා, සමාජ වෙබ් අඩවි තාවකාලිකව වාරණය කිරීම සඳහා පියවර ගැනීමට රජයට සිදුවුණා.

මහනුවර ප්‍රශ්නෙ තිබෙන වෙලාවෙ ජනාධිපතිවරයා මහනුවරට ගියේය ඒ පිළිබඳව
“මම ගිය අවුරුද්දේ යාපනයට ගිය අවස්‌ථාව. එවිට යාපනයේ අන්තවාදී පිරිස්‌ විශාල විරෝධතාවන්වල නිරතවෙලා හිටියා. ඒ අයවත් බලාපොරොත්තු නොවුණු විදියට, ආරක්‌ෂක අංශ බලාපොරොත්තු නොවුණු විදියට, මම වාහනෙන් බැහැලා ඒ අය ළඟට ගිහින් කතා කළා. ‘ඇයි මේ විදියට හැසිරෙන්නේ. ඕන දෙයක්‌ මාත් එක්‌ක කතා කරන්න, සාකච්ඡා කරන්න පුළුවන්. මම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්‌. ඒක නිසා මෙහෙම කලබල කරන්නේ නැතිව, මාත් එක්‌ක කතා කරන්න…’ කියලා මම කිව්වා. ඒ අය ඒක පිළිගත්තා. ඊට දවස්‌ දෙකකට පස්‌සේ යාපනයේ උද්ඝෝෂණය කරපු අය, මගේ ආරාධනය අනුව කොළඹට ආවා. ඒ අයගේ ඉල්ලීමක්‌ තිබුණා. ඒ ඉල්ලීමත් මම ඉෂ්ට කළා. ජනාධිපතිතුමා අපේ ඉල්ලීම ඉෂ්ට කළා…’ කියලා ඒ අයට මා ගැන පැහැදීමෙන් ප්‍රශ්නය නිමාවුණා.

එදා මම අනුරාධපුරේ දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා කටයුතු සඳහා, අනුරාධපුරේ ඉන්න තිබුණේ. උදේ කුරුණෑගල රැස්‌වීමක්‌ යොදාගෙන තිබුණා. කුරුණෑගලදී මට ආරංචි වුණා තත්ත්වය ඉතාම නරකයි. මේ විදිහේ නොසන්සුන්තාවයක්‌ තියනවයි කියලා. ඒ නිසා, මම වැඩ සේරම නවත්තලා නුවරට ගියා. ගිහිල්ලා මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේලා දැනුවත් කරලා, ෙත්‍රෙනිකායික අනුනායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේලා, ඒවගේම ඉස්‌ලාම් මව්ලවිතුමන්ලා, ක්‍රිස්‌තියානි, හින්දු පූජකතුමන්ලා ඒ සියලුදෙනා ගෙනැල්ලා, හමුදා නිලධාරීන් පොලීසිය, දේශපාලනඥයන් සේරම එකට තියලා සාකච්ඡා කරලා මේ තත්ත්වය වෙනස්‌ කරන්න, සාමය ඇති කරන්න, මේ ගැටුම් වළක්‌වන්න කටයුතු කිරීමට අවශ්‍ය දේවල් සාකච්ඡා කරලා ඒ තීන්දු තීරණ ගත්තා. ”

ඔය වගේ ප්‍රශ්නවලදී මම ගැන නෙවෙයි හිතන්නේ. රටේ ප්‍රශ්නය ගැනයි මම හිතන්නේ. මට වඩා මිනිස්‌සුන්ගේ ජීවිත. ගෙවල් ගිනිගන්නවා නම් වාහන ගිනි ගන්නවා නම් මිනිසුන්ගේ ජීවිත විනාශ වෙනවා නම් මම මම ගැන හිතන්නේ නැතිව ප්‍රශ්නය තියන තැනට හෝ ගිහිල්ලා විසඳුමක්‌ දීම මගේ ප්‍රතිපත්තිය. මගේ අවුරුදු 50 ක ජීවිතය ගත්තහම එවැනි සිදුවීම් ඕනතරම් තිබෙනවා. දැඩි භයානක ස්‌ථානවලට අවදානම් ස්‌ථානවලට මම එහෙම ගිහින් තිබෙනවා. මම ජනාධිපති අපේක්‌ෂකයා වුණෙත් ලොකු අවදානමක්‌ අරගෙනනේ. මහමුහුදට පැන්නා වගේනේ මම පැන්නේ.

ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන කොට මම යනවා. මට විශ්වාසයක්‌ තිබෙනවා ඒ තැනකට ගිහින් කතා කරපුවහම ඒ අයට මාත් එක්‌ක යම් එක`ගතාවයකට එන්න පුළුවන් වෙයි කියලා. ඒ පිළිබඳව මට අත්දැකීම් තිබෙනවා. ඒ වගේම හැම වෙලේම ඒ දේ සිද්ධ වෙලත් තිබෙනවා. ඕනෑම බරපතළ දරුණු අදහස්‌ දරන, ප්‍රචණ්‌ඩකාරී අදහස්‌ දරන අය එක්‌ක පවා කතා කරපුවහම ඒ අය වෙනස්‌ වුණු ආකාරයන් මම දැකලා තිබෙනවා. මාව මරන්න ආපු එල්ටීටීඊ ත්‍රස්‌තවාදියා ගෙනැල්ලා මම නිදහස්‌ කෙරුවා. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. මේක එක එක්‌කෙනාට එක එක විදියට පේන්න පුළුවන්.

රතුපස්වල සෙවනැල්ල මහනුවරදීත්

පොලීසිය හිතන විදිහත් හරි. මහජනයා හිතන විදියත් හරි. ඒ මොකද පොලීසිය පැත්තෙන් පොලිස්‌ නිලධාරීන්ගේ විශාල කැප කිරීමක්‌ තිබෙනවා, උනන්දුවක්‌ තිබෙනවා. දිවා රෑ වැඩ කරනවා, වගේම ඒ අයගේ දුක්‌ ගැනවිල්ලක්‌ තිබෙනවා… මොනවා හරි සිද්ධියක්‌ වුණාම, ඒ අය ගැන බලන්න කෙනෙක්‌ නැහැ කියන එක ඔවුන් නිතරම කියනවා. ඒ කතාව ඇත්ත. සමහර වෙලාවට රජය වෙනුවෙන් පෙනී ඉඳලා, උද්ඝෝෂණ පෙළපාලි විරෝධතා ඒවා පාලනය කරන්න ඒ අය කටයුතු කරපුවහම, අවසාන දෝෂාරෝපනයේදී ඔවුන් තනිවෙනවා. මානව හිමිකම් නීති, ඒවගේම යම් යම් අලුත් නීති රීති යටතේ මේ ප්‍රශ්න පොලීසියට ඇතිවී තිබෙනවා. සමහර වෙලාවට රජයේ නීතිපතිවරයාවත්, ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න බැහැ කියනවා. ඇත්තටම මේක ප්‍රශ්නයක්‌. ආණ්‌ඩුවක්‌ රටක්‌ එක්‌ක වැඩ කරන කොට සීමාව කොතනද කියලා, මානව හිමිකම් කොමිෂන් සභාව දැනගන්න ඕනෑ. ඒ සීමාවලින් එහා ගියාම රටකට ආණ්‌ඩු කරන්න බැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේක යුරෝපය නෙවෙයි. යුරෝපයේ තත්ත්වයට මේ රටේ ආර්ථිකය සංවර්ධනය වෙලත් නැහැ. ඒ තත්ත්වයට අධ්‍යාපනය දියුණු වෙලත් නැහැ. ඒ තත්ත්වයට හැදියාව ඇවිල්ලත් නැහැ. “

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.