අළුත් දාහේ නෝට්ටුව එක්දහස් තුන්සීයකට

Central Bankඅභිමානවත් අයුරින් සැමරෙන මෙරට 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 1000ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කොට තිබේ.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා වෙත පසුගියදා 30 වැනිදා මේ මුදල් නෝට්ටුව නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.

මේ සමරු මුදල් නෝට්ටුව මහ බැංකුව නිකුත් කළ 4 වැනි සමරු මුදල් නෝට්ටුව වේ. නව සමරු මුදල් නෝට්ටුව දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව හා බොහෝ සෙයින් සමාන වේ.

නව නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සලකුණු දැනට සංසරණයේ පවතින රුපියල් 1000හේ නෝට්ටුව හා සමාන වේ. දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ වම්පස ඉහළ කෙළවරේ දැක්වෙන්නේ සමනල රූපයකි. නව මුදල් නෝට්ටුවේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනයක් මුද්‍රණය කොට තිබේ.

එසේම දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව මධ්‍යයේ ඇති රම්බොඩ උමඟේ රූපය වෙනුවට පන්සලක්, මුස්ලිම් පල්ලියක්, දමිළ කෝවිලක් හා ක්‍රිස්තියානි පල්ලියක රුවක් දිස්වේ. නෝට්ටුවේ ඉ අනුක්‍රමික උපසර්ගය වෙනුවට ඉ 70 අනුක්‍රමික උපසර්ගය දැකගත හැකිය.

මෙවැනි සුළු වෙනස්කම් සහිතව මහජනතාව අතට පත්වන රුපියල් දහසේ නව සමරු නෝට්ටුවේ පිටුපස දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ පිටුපස හා සමාන වේ. පවතින රූප එලෙසම නව නෝට්ටුවේද කිසිදු වෙනසකින් තොරව දැකගත හැකිය.

2018/02/04 ලෙස සඳහන් වූ නෝට්ටුවේ දිනය සහිත නව සමරු නෝට්ටු අනුක්‍රමික අංක ඉ70/1 000001 සිට ඉ 70/5 1 000000 දක්වා මුදල් නෝට්ටු මිලියන 5ක් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා නීතියෙන් වලංගු වේ. මේ සමරු මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා අනිද්දා (06දා) සිට සංසරණය සඳහා නිකුත් කෙරේ.

එමෙන්ම මේ මුදල් නෝට්ටුවේ මුල් අනුක්‍රමික අංක සහිත මුදල් නෝට්ටු සීමිත ප්‍රමාණයක් ආකර්ෂණීය ෆෝල්ඩරයක් සමඟ අලෙවි කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම නෝට්ටු සීමිත ප්‍රමාණය වටිනාකම රුපියල් 1300ක මිලකට කොළඹ 01, චැතැම් වීදියේ අංක 54 දරන ස්ථානයේ පිහිටි සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැඟිල්ලේ ඇති ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙහිදී සහ අනුරාධපුරය, මාතර, මාතලේ, ත්‍රිකුණාමලය හා කිලිනොච්චිය යන ප්‍රදේශවල පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු පළාත් කාර්යාලවලදීද එදින (06දා) අලෙවි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.