ආගම අහිංසකද? එසේ නැත්නම් වෛරීද?

religionආසියාව තුල මුස්ලිම් – බෞද්ධ ගැටුම් කාලානතරයක් තුල දක්නට ලැබේ. එය ලංකාවට පමණක් උරුම වූ දෙයක් නොවේ. අතීතයේ බුරුමය වන වත්මන් මියන්මාරයේ තේරවාදී බෞද්ධයන් 90% ක් පමණ රට තුළ වාසය කරති. ඒ අනුව සාමය අවිහිංසාව රජයන රටක් ලෙස ප්‍රචලිත විය යුතු යැයි හැඟේ. ඒ මන්ද බුද්ධධර්මය යනු අනෙකාට ගරු කොට සැලකීම, අවිහිංසාව ප්‍රගුණ කිරීම ඉහළින්ම උගන්වනු ලබන ආගමක් වන නිසාවෙනි. නමුත් මියන්මාරයේ තත්වය ඊට හාස්පසින්ම වෙනස්ය. රක්නී ජනපදයට අයත් මුසල්මානුවන් එනම් රෝහිංග්‍යා වැසියන් දහ දහස් ගණනක් ඝාතනය කරන්නේ මෙවැනි ආගමික පසුබිමක් පවතින රටක් තුළදීය. රක්නී පළාතේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට මියන්මාරය අයිති නොමැත යන්න මුල් කරගනිමින් මෙම ගැටුම ආරම්භ වී තිබේ. නමුත් වරින් වර ඇතිවන ගැටුම්වලට හේතු වන්නේ ඉතාම සුළු කරුණුය. ඒවා ගොඩින් බේරා ගැනීමේ හැකියාව පවතින ඒවාය. රෝහින්ගා වැසියන් මරා දැමීම හා පළවා හැරීම ඇරඹි 2011 වසරේදී අවතැන් වී නේපාලයට පැමිණි රෝහින්ග්‍යා වැසියෙකු පැවසුවේ මෙවැනි කතාවකි.

‘අපේ ගමේ මුස්ලිම් තරුණයෙකු එහා ගමේ බුද්ධාගමේ තරුණියකට විහිළු තහළු කරලා තියෙනවා. ඒකට කේන්ති ගිහින් ඒ තරුණියගෙ ගමේ උදවිය ඇවිත් තරුණයාගේ ගමට ගහලා ගියා. මේකට කේන්ති ගිය මුස්ලිම් පිරිස ගිහින් අර කාන්තාවට ලිංගිකව හිංසා කළා. ඒ කත් එක්ක ඇවිළුණු ගින්න බොහෝ දුර ගියා. අපේ ජීවිත දැවි දැවී අළුවුනේ දැනට වසර කීපයකට ප්‍රථම. නගරයට ගිහින් රස්සාව කරලා ගෙදර එනකොට මගේ ගෙදර ගම තිබුණ තැනකවත් නෑ. ගෙවල්වල හිටිය සමහර කට්ටිය පැනලා ගිහිල්ලා. සමහර අය ගෙවල් එක්කම ගින්නට අහුවෙලා. මගට යනකොට මගේ ගෙවල් නෑ කියල ආරංචි වුනා. පස්සෙ මම පණ බේරගන්න හිතාගෙන බංග්ලාදේශයට පලා ගියා. එදා ඇරඹුණු ගමනේ අද තාවකාලික නවාතැන නේපාලය. ඇදි වත විතරයි ඉතුරු වුනේ.

image (4)ඒ මියන්මාරයේය. මේ ලංකාවේය. 2014 අලුත්ගම දර්ගා නගරය මුල්කර ගෙන මුස්ලිම් බෞද්ධ ගැටුමක් වර්ධනය විය. සිදුවූ හානි අපමණය. පසුගිය දා එවැන්නක් සිදුවූයේ දිගන ප්‍ර දේශයේය. ලොරි රථ රියදුරෙකු හා මුස්ලිම් වැසියෙකුට අයත් ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීම ගිය දුරක්. දින 10 ක් ඇදිරි නීතිය දමා සමාජ වෙබ් ජාලා තහනම් කර යාන්තම් කැරැල්ලක් මැඩ පැවැත්වීමට වගකිවයුතු නිලධාරීන් සමත් විය. එහෙත් සිදුවූ දේපළ හානි එමටය. අති උතුම් බුද්ධාගමෙහි ප්‍රමුඛස්ථානය වන නුවර කෙන්ද්‍ර කරගනිමින් සිදුවූ මෙම විපත මැඩ පැවැත්වීමට තබා උසි ගැන්වීම නතර කිරීමටවත් වැඩ සිටි බෞද්ධ අගගන්‍ය භික්ෂූන් වහන්සේලා සමත් වූයේ නම් මේ සිදුවූ විපත් වලින් බොහොමයක් වලක්වා ගැනීමට ඉඩ තිබුනා නොවේද?

මේ අතරම දකුණු තායිලන්තයේ මුස්ලිම් සහ බෞද්ධ පිරිස් අතර ගැටුම ඉතාම දුර දිග ගිය එකකි. එය 1948 ආරම්භ වූවකි. දකුණු තායිලන්තයේ සිදුවන මෙම ගැටුම තායි බෞද්ධයන් හා මැලේ මුස්ලිම් අතර හටගෙන ඇත. මෙය දේශසීමා ගැටුමක් බව බැලූ බැල්මට පෙනේ. නමුත් සැගවී ඇති තත්වය නම් මීට වෙනස්ය. බුද්ධාගම සැම ආගමට වඩා ඉහලින් පැවතිය යුතු බවට එහි සිටින බෞද්ධ වැසියන්ගේ පිළිගැනීම මීට මුල්ව තිබේ. මේ ගැටුම උත්සන්න වූයේ 2001 දීය. 2004 යළි පන ගැන්වුයේය. 2001 සිට 2015 වන විට ගැටුමෙන් මිනිසුන් 8000ක් 12000ක් අතර ප්‍රමාණයක් මිය ගියේය.

එසේම ඉන්දියාවේ ජම්මු කාෂ්මීරයට අයත් වූ ලඩාක් ප්‍ර දේශයේ මුස්ලිම් බෞද්ධ ගැටුම උග්‍රව ඇත. මෙහි 51% ක් බෞද්ධයින් වෙසෙති. 49% ක් ඉස්ලාම් ජනතාව වෙසෙති. ලඩාක් බෞද්ධ සංගමය පෙරටුකොට ගෙන 1989 දී ආරම්භ වූ මෙම ගැටුම් 1992 දක්වා දිව ගියේය. ගැටුමට හේතුව වූයේ මුස්ලිම් හා බෞද්ධ සමාජය අතර විවාහ සිදුවීම නිසා බෞද්ධයින් වඳ වීගෙන යන තර්ජනයක් ඇතිවන බවට පවතින බිය හේතුවෙනි. මෙම ගැටුම් නැවත 2006 දී උත්සන්න වූයේ ශුද්ධ වූ කුරාණය විනාශ කිරීමක් පදනම් කර ගනිමිනි. ඉන්දීය රජය මෙම ගැටුම් නැවැත්වීමට බොහෝ පියවර ගෙන ඇත. මේ සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සෘජුව මැදිහත් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. වසරකට දෙවතාවක් පමණ මෙම ප්‍රදේශයේ මුස්ලිම් – බෞද්ධ ගැටුම් වර්ධනය වේ.

ආගමික ශාස්තෘවරුන් හෝ මග පෙන්වන්නන් අවශ්‍ය වන්නේ මෙවැනි ගැටුම්කාරී අවස්ථාවලය. ජාතීන් අතර හෝ ආගම් අතර ගැටුම් ඇතිවීම වැලැක්වීමට කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමයි. ආගම් අතර සංහිදියාව ඇති කිරීමට, ගොඩ නැගීමට ආගම් ශාස්තෘවරු මූලික විය යුතුයි.

මෙම ගැටුම්වලට පොදු සමාන තාවයක් තිබේ. එනම් බෞද්ධයන් විනාශ කිරීමට ඔවුන්ගේ සංඛ්‍යාව හීන කිරීමට හා ඔවුන්ගේ සම්පත් පරිහරණය කිරීමට මුසල්මානුවන් පොර කනවා හා කටයුතු කරනවා යන පොදු මතයක් ඇත. එසේම බෞද්ධාගම අනිකුත් ආගම්වලට වඩා ඉහළින් පැවැතිය යුතුය යන අනෙක් බෞද්ධ මතයයි. එසේම මෙම ගැටුම් පිටුපස සිටින අන්තවාදී දේශපාලන බලවේග වරින් වර මෙම ගැටුම් අවුළුවාලයි. ඒ ඔවුන්ගේ දේශපාලන වාසි තකාය. මෙහිදී ජීවිතය දන් දෙන්නේ අහිංසක සාමාන්‍ය ජනතාවයි.

තමාට කැමති ආගමක් ඇදහීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. මානව හිමිකමකි. තමා කැමති ආගමක් ඇදහීම පිළිබඳව කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක. නමුත් ආගම ඇදහීම අනෙකාට කරදයක් නොවිය යුතුය.

ආගම මුල්කරගෙන ප්‍රචන්ඩ ක්‍රියා ඇතිකරවන්නන්ට නීතිය හමුවේ දඩුවම් කළ යුතුය. නොමැති නම් ඉතා සුළු පෞද්ගලික කරුණු මුල්කරගෙන ඇතිවන මෙම ගැටුම් සදාතනිකව පවතිනු ඇත. පරම්පරා ගණනාවක් ඉදිරියටත් තම ජීවිතයෙන් මේ සඳහා වන්දි ගෙවනු ඇත. අද ලංකාවේ සිදුවන මෙම සිදුවීම් ආගමික මානයෙන් බලා විසදීමට අදාළ ආගමික නායකයන් මැදිහත් වීය යුතුයි. විශේෂයෙන්ම ආගම පිළිබඳව මග පෙන්වන්න පූජකවරුන් මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියා සිදුකිරීමට මුල් වන්නේ නම් ඔවුන්ට ආගමානුකූලව දැඩි දඬුවම් දිය යුතුය.

අන්තවාදී ආගමික මත ඉදිරියට ගෙන යන අයට දඩුවම් ලබා දීමට ආගමික නායකවරු ඉදිරිපත් නොවන්නේ නම් ඔවුන්ටද රාජ්‍ය නීතිය අනුව දඩුවම් කිරීමට උත්සාහ ගත යුතු වේ. එය බලරයන්ගේ යුතුකම වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.